බොඳවුණු ලිබරල් අපේක්‍ෂාව
Posted on November 17th, 2019

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

2018 අවුරුද්දේ නොවැම්බර් මාසයේ 23 වැනි දා සිකුරාදා පූර්ව භාග 11:07 ට ගරු විජිත ‍හේරත් මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේ දී සභාව කල් තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කළා. ඒ, ගරු කථානායකතුමාත් ජනතා විමුක්ති පෙරමුණේ ගරු මන්ත්‍රීතුමන්ලාත් සහභාගී වුනු සොඳුරු ජවනිකා ගණනාවක් පාර්ලිමේන්තුව තුළ රඟ දැක්වෙමින් තිබුණු දවස් කීපයක්. ගරු කථානායකතුමා පන්දුවක් දැම්මාම ජනතා විමුක්ති පෙරමුණේ ගරු මන්ත්‍රිතුමන්ලා (විශේෂයෙන් ම ගරු විජිත හේරත් මන්ත්‍රිතුමා සහ ගරු අනුර ක්‍රමාර දිසානායක මන්ත්‍රිතුමා) ඒකට ඉතාමත් චමත්කාර අන්දමින් පහර දෙනවා. ඒ වැඩේ අනිත් පැත්තටත් වෙනවා. හරි ම සොඳුරුයි.

ඉතින් එදා ඔය කියපු වෙලාවට ගරු විජිත හේරත් මන්ත්‍රිතුමා සභාව කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කරලා විනාඩියක් ගත වෙන්න කලින් (හරියට ම කියනවා නම් පූර්ව භාග 11:08 ට) ගරු කථානායකතුමා “ගරු අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා” කියලා නම කතා කළා. ඒ වෙලාවේ නැගී සිටිය ගරු අනුර දිසානායක මන්ත්‍රීතුමා තමන්ගේ කතාව පවත්වන්න පටන් ගත්තා. ඒක පැයකටත් වඩා දීර්ඝ බොහොම සාරගර්භ දේශනයක්. මේ කතාව එදාට අදාළ හැන්සාඩ් වාර්තාවේ පිටු 12 ක් පුරා ම වාර්තා කෙරිලා තියෙනවා. ඉවත් කරපු කොටසුත් තිබුණා නම් වාර්තාව තවත් දිග වෙන්න තිබුණා.

මේ වගේ දිග කතා පවත්වන්න ගරු අනුර දිසානායක මන්ත්‍රීතුමා හරි ම රුසියා. මේවා කවුරුවත් අහනවා ද නැද්ද කියන එක එතුමා තකන්නේ නෑ. කවුරු ඇහුවාත් නැතත් කතා කරන එකයි වැදගත්!

‍මම මේ කියන්න හදන්නේ ඒ කතාව ඇතුළේ තියෙන ඉතාමත් සොඳුරු වචනයක් ගැන. ඒ තමයි “ශිෂ්ට” කියන වචනය. “ශිෂ්ට” කියන සොඳුරු වචනය කියද්දි “අශිෂ්ට” කියන නරක වචනයත් පාවිච්චි කරන්න වෙනවා.

“… මෙහි තිබෙන්නේ අශිෂ්ට දේශපාලනයක්. එදායින් පස්සේ අපේ රටේ අශිෂ්ට දේශපාලනයක් දියත් වන්න පටන් ගත්තා. අපි මේ රටේ පොදු ජනයාගෙන් ඉල්ලා සිටින්නේ මෙයයි. මෙවැනි අශිෂ්ටත්වයකට පත් වී තිබෙන දේශපාලනය ශිෂ්ටත්වය කරා ගෙන ඒමේ වගකීමක් අපට නැද්ද? … එම නිසා අපේ රටේ මේ අශිෂ්ටත්වයට පත් වී තිබෙන දේශපාලන ක්‍රමය වෙනස් කිරීම සඳහා දිගු අරගලයක් තිබෙනවා. …”

“… කුමන්ත්‍රණය අශිෂ්ට නම්, ඒකට එරෙහි සටනේ ශිෂ්ටත්වයේ සීමා මායිම් හොයන්න එපා කියලයි මම ජනාධිපතිවරයාට කියන්නේ. මේක අහගෙන ඉන්න ඕනෑ ජනාධිපතිවරයා. මේ කුමන්ත්‍රණය අශිෂ්ටයි. … ඒ නිසා ගරු කථානායකතුමනි, එවැනි කුමන්ත්‍රණයක් කරලා ජනාධිපතිවරයා ඊට පස්සේ කුමන්ත්‍රණය පරාජයට පත් කිරීමේ ශිෂ්ටත්වයේ හිල් හොයනවා. ජනාධිපතිවරයාට තවදුරටත් අයිතියක් නැහැ අපේ රටේ ශිෂ්ටත්වයේ හිල් හොයන්න. …”

“… අපි මේ පාර්ලිමේන්තුවේ පවත්වා ගත යුතු අවම ප්‍රජාතන්ත්‍රවාදී, අවම ශිෂ්ටත්වයේ දේශපාලනයක් පවත්වා ගෙන යෑම සඳහා උත්සාහ කරපු දේශපාලන ව්‍යාපාරයක්.”

“… පාර්ලිමේන්තුවේ දී මේ යෝජනාව සම්මත වුණා ද, නැද්ද කියලා වග විභාගයට ලක් කරමින් සිටිනවා; ශිෂ්ටත්වය පිළිබඳව ප්‍රශ්න කරනවා. ජනාධිපතිවරයාට ශිෂ්ටත්වය පිළිබඳව ප්‍රශ්න කරන්නවත් අද අයිතියක් නෑ. අශිෂ්ට ම දේශපාලනය, ව්‍යවස්ථාව උල්ලංඝනය කළ දේශපාලනය …”

“එම නිසා ලංකාවේ දේශපාලන ඉතිහාසයේ අද අශිෂ්ටත්වයේ ඔටුනු පළඳාගෙන ඉන්නේ. (මූලාසනයේ අණ පරිදි ඉවත් කරන ලදී) මෙවැනි අශිෂ්ට තැනකට අපේ රටේ දේශපාලනය ගමන් කර තිබෙනවා.”

ඉතින් මෙන්න මේ වගේ ගරු ගාම්භීර වචන සෑහෙන ප්‍රමාණයක් පාවිච්චි කරලා අශිෂ්ටත්වයට පහර දීපු එතුමා ඉතාමත් සුන්දර වචන සෑහෙන ප්‍රමාණයක් යොදාගෙන එතුමන්ලා කරන වැඩවල ශිෂ්ටත්වය වනලා තියෙනවා.

පෘතුගීසින් අපේ රටට ආවෙත් අපිව ශිෂ්ට සම්පන්න කරන්න කියලා හිතාගෙන. එක අතකින් කඩුවක් ගත්තත් අනිත් අතින් බයිබලයක් ඇරගෙන ආවේ ඒ වැඩේ වෙනුවෙන් කියලයි කියන්නේ. මේ විදිහට අපි වගේ මිනිස්සුන්ව ශිෂ්ට සම්පන්න කිරීමේ වගකීම බයිබලයෙන් ම ඒ අයට පවරපු දේවකාරියක්නේ.

මෑත කාලයේ දී අපිව ශිෂ්ට සම්පන්න කිරීමේ වගකීම පවරාගෙන ඉන්නේ අපේ රටේ ඉන්න ලිබරල් භක්තිකයෝ. එතුමන්ලා හිතන විදිහට සිංහල බෞද්ධයෝ කියලා කියන්නේ මහ අශිෂ්ට ගති පැවතුම් තියෙන මනුස්ස කොට්ඨාශයක්. ඉතින් මේ අශිෂ්ටත්වයෙන් අපිව මුදවාගෙන ශිෂ්ට සම්පන්න මහත්තුරු බවට පත්කිරීම වෙනුවෙන් එතුමන්ලා මහන්සි වෙනවා.

මේ රටේ සාධාරණ සමාජයක් හදන්නත් එතුමන්ලා මහන්සි වෙනවා. ඒක කරන්න නම් මිනිස්සුන්ගේ ඡන්දයෙන් පත්වෙන එවුන්ට තියෙන බලය ලිබරල් භක්තිකයන් ඉන්න සභාවලට පවරන්න ඕන. ඒ භක්තිකයෝ හොඳින් ශිෂ්ට සම්පන්න වෙච්ච අය. 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඒ විදිහේ සභා හැදුවාත් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනැල්ලා ආයෙත් අශිෂ්ටත්වය ඉස්මතු කළා. ඉතින් අන්තිමට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනැල්ලා ආයෙත් ඒ ශිෂ්ටත්වයේ සභා හදලා ලිබරල් උත්තමයෝ සහ උත්තමාවියෝ ටිකකට ඒවා පවරන්න මේ අයට පුළුවන් වෙලා තියෙනවා.

ලිබරල් ශිෂ්ටත්වය උදා කරගන්න බැරි බයියන්ව පාලනය කරන්න බයියන්ගේ ම ඡන්දයෙන් පත්වෙන එවුන් සුදුසු නෑ. සර්වජන ඡන්ද බලය තියෙන මේ රටේ බයියෝ කවදාවත් තමන්ගේ නියෝජිතයන් විදිහට ලිබරල් භක්තිකයන්ව පත් කරගන්න එකකුත් නෑ. එහෙම නම් කරන්න ඕන මොකක්ද? බයියන්ගේ බලය මේච්චල් කරන්න පුළුවන් ක්‍රමයක් හදන එක විතරයි. නත්‍ථි මේ සරණං අඤ්ඤං!

බලාපොරොත්තු වෙච්ච විදිහට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා මේ වැඩේට නායකත්වය දුන්නේ නෑ. ඉතින් යහපාලන අපේක්‍ෂා බොඳවුනා. එහෙම වුනා කියලා වැඩේ අත අරින්න බෑ. එක්සත් ජාතික පක්‍ෂය හැමදාමත් ලිබලර් ග්‍රහණයේ තියා ගන්නත් බෑ. රනිල් මහත්තයා නැති වෙච්ච දවසක ඒකේ ඉන්න බයියොත් ඉස්සරහට එන්න පුළුවන්. ඒ වෙන කල් බලාගෙන හිටියොත් කපෝතියි!

මෙන්න මේ වෙලාවේ තමයි ලිබරල් අපේක්‍ෂාව ඉස්සරහට ආවේ. මේ රටේ ලිබරල් පක්‍ෂයක් අලුතින් හදන එක ප්‍රායෝගික වැඩක් නෙවෙයි. මහ ජවයක් තිබුණු දේශපාලන පක්‍ෂයක් ලිබරල් කරගන්න පුළුවන් නම් ඒක වඩා ලේසියි. අනුර මහත්තයා තමයි මේ වැඩේට සුදුසු ම පුද්ගලයා. එතුමා කියන්නේ හරියට ම මේ අශිෂ්ටත්වයේ අඳුර දුරු කරන්න පහළ වෙච්ච දිව්‍ය කුමාරයෙක් වගේ කෙනෙක්!

ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෝ ඒකට විරුද්ධ වෙන එකකුත් නෑ. මාක්ස්වාදය ඇතුළෙත් යම් ප්‍රමාණයකට ලිබරල් අදහස් තියෙනවානේ. ඇත්තෙන් ම ආර්ථික සමානත්වය වගේ එකක් සුපිරි ම සුපිරි ලිබරල් සමාජයකවත් නෑ. ඉතින් ආර්ථික සමානත්වය වගේ සිහින දකින පිරිසක් ලිබරල් භක්තිකයන් පිරිසක් බවට පත් කරන එක අමාරු වැඩක් නෙවෙයි. මීට කලින් ජනතා විමුක්ති පෙරමුණු අත හැරලා ගිය අයත් නැවතිලා තියෙන්නේ මහා සුපිරි ලිබරල් භක්තිකයන් බවට පත්වෙලා. ඇත්තට ම ඒ අය තමයි අද අපිව ශිෂ්ට සම්පන්න කරන සටනේ ඉස්සරහින් ම ඉන්නේ.

මෙන්න මෙහෙමයි මේ වතාවේ අපේක්‍ෂාවේ අරගලය දියත් වුනේ. ඒත් මේ රටේ බයියෝ හදන්න බෑ. පවට පින් දෙන්න බෑ! අඩු ගණනේ සියයට හතක් අටක්වත් ඡන්දේ දුන්නා නම් පාර්ලිමේන්තුව ඇතුළේ කේවල් කරන බලයවත් අල්ලාගන්න තිබුණා. ඒත් තිබ්බ හතරවත් මේ යක්කු දුන්නේ නෑනේ.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress