ආධිපත්‍යය සහ ආයතනික බලය
Posted on November 21st, 2019

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

ආධිපත්‍යය කියන එක සමාජ කාරණයක් විදිහටත් ජීවිතයට අදාළ කාරණයක් විදිහටත් සළකනවා. ඒ හින්දා ආධිපත්‍යය” කියන එක අස්වභාවික දෙයක් කියලා සළකන්න ඕන නෑ. මේ කාරණයෙන් බලයක්, අධිකාරිත්වයක්, ප්‍රමුඛතාවක් ප්‍රකාශ කෙරෙනවා.

සමාජ කාරණයක් විදිහට සළකලා බැලුවාම ආධිපත්‍යය (ඒ කියන්නේ බලය, අධිකාරිත්වය, ප්‍රමුඛතාව) හැම දෙනාට ම සම සේ ලැබෙන්නේ නෑ. ඒක උරුමයෙන්, භාවිතයෙන්, සමාජ සම්මතයෙන් ලැබෙන දෙයක්. ආයුධ බලයෙන් වගේ ම නීතියෙනුත් ඒක ලබාගන්න පුළුවන්. ආධිපත්‍යය කියන එක හොඳින් වගේ ම නරකිනුත් ලබාගන්න පුළුවන්. මේ ලෝකයේ හැම සමාජ සංස්ථාවක් ම පාලනය වෙන්නේ” මේ විදිහට.

මේ කාරණය පිළිගන්න හින්දා තමයි අපි ජනතා පරමාධිපත්‍යය” ගැන පවා කත‍ා කරන්නේ. එහෙම කිව්ව පමණින් ආධිපත්‍යය ජනතාවට ම පවරපු රටවල් මේ ලෝකයේ නෑ. යම් යම් ව්‍යවස්ථා, නීති රීති හරහා සමාජය පාලනය කරන්න පුළුවන් අය බලයට එනවා. බලය ක්‍රියාත්මක කරන ආයතන බිහිකරනවා. පොලිසිය කියන්නේ ඒ විදිහට බිහි කරපු ආයතනයක්. හමුදාව කියන්නෙත් ඒ විදිහට බිහි කරපු ආයතනයක්. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියන්නෙත් ඒ විදිහට බිහි කරපු ආයතනයක්. ග්‍රාම නිලධාරි කියන්නෙත් එහෙම ම තමයි.

මේ හැම ආයතනයක් හරහා ම ආධිපත්‍යය යම් යම් ප්‍රමාණවලින් සහ යම් යම් ආකාරවලින් ක්‍රියාත්මක කරනවා. පොඩි ළමයින්ට වගේ මේ දේවල් පැහැදිළි කරන්න ඕන කියලා මම හිතන්නේ නෑ. ආයුධ බලය මාර්ගයෙන් ආධිපත්‍යය පෙන්නන්නේ ඇමෙරිකානු ජනපද සංගමය වගේ දාමරික රටවල් විතරක් නෙවෙයි. අපි වගේ පුංචි රටවල්වලටත් ආයුධ බලය ඕන. එහෙම නැතුව ආධිපත්‍යය රැකගන්න අමාරුයි. රටක් පාලනය කරන්නත් අමාරුයි.

තමන්ගේ ආධිපත්‍යය අභියෝගයට ලක්වුනාමත් රටවල් ආයුධ අතට ගන්නවා. 2001 අවුරුද්දේ ඇෆ්ගනිස්ථාන යුද්ධය පටන්ගත්තෙත් ඒ විදිහට. 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරය බටහිර ආධිපත්‍යයට එල්ල කරපු බරපතල අභියෝගයක්. ඉතින් ඒ යුද්ධයට සම්බන්ධ වුනේ ඇමෙරිකානු ජනපද සංගමය විතරක් නෙවෙයි. කැනඩාව වගේ රටවල් පවා ඒකට හවුල් වුනා. ඒ වෙනුවෙන් හමුදාව යැව්වා. ඒ වෙනුවෙන් ඩොලර් බිලියන ගණනින් වියදම් කළා.

දෙමළ බෙදුම්වාදී කැරැල්ලත් ඒ විදිහේ ම අභියෝගයක්. ආධිපත්‍යයකට විරුද්ධව ආධිපත්‍යයක් වෙනුවෙන් තමයි මිනිස්සු කැරැලි ගහන්නේ. විමුක්තිය” වගේ වචන ඒකට පටලවා ගත්තේ නැති නම් ඒ කැරැලිවලට මිනිස්සු සම්බන්ධ වෙන්නේ නෑ. ඉතින් මේ දෙමළ විමුක්ති අරගලය” කියලා නම් කරපු අභියෝගයට විරුද්ධව සටන් කරන්න අපිට සිද්දවුනා. ඒක අපි හැමෝම දන්න කතාවක්.

1857 අවුරුද්දේ එංගලන්ත පාර්ලිමේන්තුවේ දී Government of India Act කියලා එකක් සම්මත කරගත්තාට පස්සේ තමයි දැන් ඉන්දියාව” කියලා හඳුන්වන රට හදන්න පටන් ගත්තේ. ඒක බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ආධිපත්‍යය පතුරුවන්න කරපු වැඩක්. ඒ වැඩේ හින්දා, අවුරුදු දහස් ගණනක් තිස්සේ ඉන්දියානු උපමහාද්වීපයේ එක එක ප්‍රදේශවල ආධිපත්‍යය පතුරුවාගෙන හිටිය මිනිස්සුන්ට තම තමන්ගේ රටවල් නැතිවෙන්න පටන්ගත්තා. සුද්දෝ කරපු මේ සෙල්ලමට කලින් දෙමළ මිනිස්සුන්ට රටවල් දෙකක් තිබුණා. එකක් චෝළ. අනිත් එක පාණ්ඩ්‍යය. මේ රටවල් දෙකේ ඉතිහාසය හරිම පැහැදිළියි. ඒවා ගැන ඕන තරම් වාර්තා තියෙනවා.

ඒත් ඉන්දියාව කියන රට හැදුවාට පස්සේ දෙමළ මිනිස්සුන්ට තමන්ගේ රටවල් දෙක ම නැතිවුනා. ඒක ඒ මිනිස්සුන්ගේ ආධිපත්‍යය නැතිවීමක්. හැබැයි එහෙම කියලා ඒ රටවල් දෙක ආපහු පිහිටුවන්න යුද්ධ කරන එක ලේසි වැඩක් නෙවෙයි. ඉන්දියාව කියලා අලුතින් හදලා තියෙන රටේ ආධිපත්‍යය මහ විශාල, බලගතු එකක්. ඒකට න්‍යෂ්ටික ආයුධ පවා තියෙනවානේ.

එහෙම නම් කරන්න ඕන මොකක්ද? ඉන්දියාව කියන රටට තරම් බලයක් නැති, බෙදිලා කා කොටාගන්න මිනිස්සු ඉන්න රටකින් වැඩේ පටන් ගන්න එක තමයි වඩාත් ලේසි. ඉතින් ඉන්දියාව කියන රටට අභියෝග කරන වැඩේ අත ඇරපු (එහෙම නැති නම් කල් දාපු) දෙමළ මිනිස්සු අපේ රටේ ආධිපත්‍යයට අභියෝග කරන්න පටන්ගත්තා. මේකට ඉන්දියාව කියන රටත් බටහිර රටවලුත් එක එක විදිහට උදව් කළා.

ඒ වැඩේට උදව් කරන්න සිංහල මිනිස්සු ටිකකුත් හදාගත්තා. එහෙම අය හදාගන්න පුළුවන් ලිබරල් භක්තිකයන් අතරින්. සිංහල ලිබරල් භක්තිකයෝ මේ වැඩේට ආකාර දෙකකින් සම්බන්ධ වුනා. එක පැත්තකින් ඒ අය අපේ ආධිපත්‍යය දුර්වල කරන්න අදාළ කතා පතුරුවන්න පටන්ගත්තා. අපේ ස්වාමීන්වහන්සේලාට ගරහන එකත්, අපේ සංස්කෘතියට සහ ඉතිහාසයට කොචොක් කරන එකත් ඒකට අදාළයි. අපේ ආධිපත්‍යයට එරෙහිව, දෙමළ ආධිපත්‍යය වෙනුවෙන් ගහපු කැරැල්ල සාධාරණීකරණය කරන වැඩෙත් ඒ අය කළා.

කොහොම හරි ඒ කැරැල්ල දැන් ඉවරවෙලා. ඒත් ඒ කැරැල්ල ඉවර කළේ ආයුධ බලයෙන්. ආයුධ බලයෙන් විතරක් ආධිපත්‍යයක් තහවුරු කරන්න බෑ. ආයුධ බලය කියන්නේ ආධිපත්‍යය පතුරුවන එක විදිහක් විතරයි. ඒ වෙනුවෙන් කරන්න සමාජ – සංස්කෘතික වැඩ සෑහෙන ප්‍රමාණයකුත් තියෙනවා. ඒත් ඒ දේවල් එකක්වත් අපේ රටේ සිද්දවෙන්නේ නෑ.

ඒකට හේතුවක් තියෙනවා.

ඒ තමයි මේ රටේ සිංහල බෞද්ධයන්ගේ බලය ජන ප්‍රමාණයට විතරක් සීමාවීම. ඡන්දයක් තියෙන වෙලාවට, යුද්ධයක් තියෙන වෙලාවට තමන්ගේ බලය පෙන්නන්න සිංහල බෞද්ධයන්ට පුළුවන්. ඒත් ඒ මිනිස්සුන්ට අයිති වෙන්න ඕන බොහෝ දේවල් අයිති කරගෙන ඉන්නේ වෙන අය. 1815 ඉඳලා 1948 වෙන කල් ඒ වැඩේ ඇංග්ලිකානු සුද්දෝ කළා. ඒ වැඩේ කරවන්න පිරිසක් පුහුණු කළාට පස්සේ ඒ අය අපිට නිදහස” දුන්නා. ඡන්ද ගන්න ඕන හින්දා ඒ සුවච කීකරු ඇංග්ලිකානු දාසයෝ ටික බෞද්ධ වේශයෙන් ඉස්සරහට ආවා. ඒ අයට තමයි ධනයත් බලයත් තිබුණේ.

ධනය සහ බලය නැතුව සමාජ ආධිපත්‍යය පතුරුවන්න බෑ. 1956 අවුරුද්දේ වෙච්ච පෙරළියත් එක්ක බහුතර සමාජයේ අයත් ඉස්සරහට එන්න පටන්ගත්තා. ඒත් ඒ එක්කම අපේ මිනිස්සු බෙදෙන්න පටන්ගත්තා. ඉතින් යම් ආකාරයකින් හරි සමාජ ආධිපත්‍යය ලබාගන්න තිබුණු අවස්ථාවක් ඒ හරහා නැති කරලා දාන්න සුදු ඇංග්ලිකන් ආධිපත්‍යයේ උරුමක්කාරයන්ට පුළුවන් වුනා.

සිංහල බෞද්ධයෝ මේ විදිහට බෙදුණාම අර ඇංග්ලිකානු දාසයන්ට රජ මගුල්. දැන් ඒ අය ඉස්සරහට එන්නේ ලිබරල් වේශයෙන්. ඒ අයට තමයි ආයතනික බලය පැවරෙන්නේ. මිනිස්සුන්ගේ ඡන්දය ලබාගෙන ඉස්සරහට එන්න ඒ අයට අමාරුයි. ඒ අයට එච්චර පිරිස් බලයක් නෑ. පිරිස් බලය තියෙන අය ලිබරල් නෑ. ඉතින් මේ ගැටලුව ලිබරල් කට්ටිය විසඳා ගන්නේ ව්‍යවස්ථා සෙල්ලම්වලින්. 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන්, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් එක එක සභා ඇති කර ගත්තේ මේ වැඩේට. ඊට පස්සේ ඒ සභාවලට වෙලා වැජඹෙන්නේ මේ ලිබරල් සෙට් එකේ නෝනලා මහත්තුරු.

මේ රටේ තියෙන ලොකුම අවුල තමයි අපේ මිනිස්සුන්ට (සිංහල බෞද්ධ සංස්කෘතියේ මිනිස්සුන්ට) ආයතනික බලය හිමි නොවීම. ආයතනවල බලය බාහිර සංස්කෘතියකින් මේච්චල් කරපු පිරිසක් පවරගෙන ඉන්න හින්දා ඒ ආයතන හරියට ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒ ආයතනවල වැඩ කරන මිනිස්සු හිතන්නේ එක විදිහකට. ඒවා පාලනය කරන එවුන් හිතන්නේ තව විදිහකට. ඉතින් හැම තැනම තියෙන්නේ මහා අවුලක්.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2019 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress