ජනාධිපති ගෝඨාභය මහතා විසින් අතේ දුරින් තබා ගනිමින් පරෙස්සම් විය යුතු, නව ලිබරල් වාදී පොලිටිකල් ‘වල්’- පල් හෙවත් දේශපාලන පතරංග ජාතක
Posted on November 28th, 2019

Kudaligamage Geethanjana

සෑම දේශපාලකයෙකුම තමා විසින් ඉලක්ක කරගනු ලබන  ජන සමාජය රැවටීමට, මුළා කිරීමට හෝ ඊට සේවය කිරීමේ  අරමුණින්, අරුත් ජනනය හා සන්නිවේදනය සඳහාත්, යම් යම්  පණිවිඩ අවශේෂ ලෝකයට ප්‍රක්ෂේපනය කොට දැන්වීම සඳහාත්, දෘශ්‍ය සංඛේත (visual symbols and metaphors) සහ නිමිති ධර්මවාදය (semiotics) ඉතාමත්ම බහුල ලෙස උපයෝගී කරගනී. මෙහි, එනම් දේශපාලනයේදී නිමිති ධර්මවාදය භාවිත කිරීමේ ආරම්භය මිනිසා විසින් දේශපාලනය නැමති සංකල්පය භාවිතයේ ආරම්භය තරම්ම ඉපැරණි ය. අද වන විට රට රට වල ජාතික දේශපාලන කරලියේ පමණක් නොව, ජාත්යන්තර දේශපාලනයේදීත්, රාජ්‍යතාන්ත්‍රික  පණිවිඩ හුවමාරුවේදීත් මෙකී නිමිති ධර්මවාදය ඉතා බහුල ලෙස භාවිතා වේ.  

උදාහරණයක් ලෙස ගතහොත්, බටහිර රටවල රාජ්‍යතාන්ත්‍රික පණිවිඩ හුවමාරුවේදී තුන්වන ලෝකය ඉලක්ක කරගනිමින් භාවිතා වන සාමය, සංවර්ධනය හා මානව හිතවාදය පිබඳ සඳහන් බොහොමයක් අරුත් සුන් වදන් හා හිස් ප්‍රලාප (platitudes) මේ ගණයට අයත් වේ. බටහිර රටක රාජ්‍ය නායකයෙකු හෝ ඔවුන්ගේ විදේශ අමාත්‍යාංශයක  ප්‍රකාශකයෙකු  විසින් කිසියම් අර්බුදයක් පිළිබඳව ප්‍රතිචාර දැක්වීමේදී “සියලු විකල්ප මේසය මත ඇත” (All options are on the table) යැයි ප්‍රකාශ කළහොත් එහි නිමිති ධර්මවාදී (semiotic) අරුත වන්නේ, හන්දියේ චන්ඩියාගේ බැවහැර භාෂාවෙන් කිවහොත්…… “උගේ…අ…(මෙහිදී පාවිච්චිකළ කුනුහරුපය මව් වරුනට අපහාස වන නිසා බලධරයා විසින් කපා හරින ලදී) ඕකාට අම්බානක ගුටි පෝරියල් එකක් දෙන්ඩයි අපි/මං ඉන්නේ” යන්නය.

 අපි අපගේ ප්‍රස්තුතය ජාතික දේශපාලන තලයට ගෙන ආවහොත්, මංගල සමරවීර මහතා විසින් කිසියම් රාජද්‍රෝහී ප්‍රකාශයක් කරන විට හෝ බෞද්ධ ජන විඥානයට අපහාසකර ප්‍රකාශයක් හෝ කරනවිට, කට දෙකොනින් කෙළ පෙරීම මෙම නිමිති ධර්මවාදයට අයත් නොවූවත්, ඔහු විසින් ශ්‍රී ලංකා රාජ්‍යයට ඉතා බරපතල ලෙස බලපාන්නා වූ දේශපාලනික ප්‍රකාශයක් කරනවිට වුව, එම වචන  උච්චාරණයට (යකඩ පෞරුෂයක් සහිත හඬක්/අවධාරණයක් වෙනුවට) කිසියම් වූ සියුම් කෝමළ ලාලිත්‍යයක් ආරෝපණය කිරීම තුල නම් නිමිති ධර්මවාදී පණිවුඩයක් ඔහු ඉලක්ක කරන සමාජ ස්ථරය වෙත ප්‍රක්ෂේපනය කිරීමට අපේක්ෂා කරන බව අනුමාන කල හැක.

එමෙන්ම, රනිල් වික්රමසිංහ මහතාද සිය බිරිඳ සමග ජන සමාජය ඉදිරියේ පෙනී සිටීමෙන් සමාජයට දීමට අපේක්ෂා කරන පණිවිඩය ඉහත කී නිමිති ධර්මවාදයට (semiotics ) අයත් වන දේශපාලන තීරණයකි. ඔහු එසේ කිරීමෙන් ජන සමාජය වෙත දීමට අපේක්ෂා කරන පණිවිඩය වන්නේ, තමාත් අන්‍යයන් මෙන් සිය ජීවන ගමනේ පමාවී හෝ, “පවුල් පන්සල් වී” තැන්පත් වීමට අපේක්ෂා කරන කෙනෙකු බවය. එම පණිවිඩය සාර්ථක ලෙස සමාජ ගත කිරීමට ඔහුට හැකිවී නැතැයි ඇතැමුන් සිතන හෙයින්, අවම තරමින් ඔහු ස්ත්‍රී ලෝලියකුය යන පණිවුඩය වත් සමාජ ගත කිරීම මින් අපේක්ෂා කෙරෙයි.

(මෙවැනි කොන් වලට මාගේ ලිපිවල තර්කය එළඹුණු විට, අපවටා ඇති සමාජ දේශපාලන යථාර්තයන් පිලිබඳ මාගේ පෞද්ගලික නිරීක්ෂණ වලට අමතරව මවිසින් කල අධ්‍යයනයෙන්  උකහාගත් දැනුම ලිපිවල සටහන් කිරීමට සිත්වෙයි. එවිට මා නිතැතින්ම ප්‍රධාන මාතෘකාවෙන් පිට පැන වෙනත් මාතෘකා වලට පවා එළඹී, පන්සීය පනස් ජාතකය වැනි, පතරංග ජාතක වැල්වටාරම් සහිත විස්තර කථනයකට යොමු වීම සිදුවන්නේ ඒ ඒ මාතෘකා වලට අදාලව වෙන වෙනම ලිපි ලිවීමට මාගේ ඇති අලස කම නිසාය. එබැවින් පහත සඳහන් කාරණා වෙනම ලිපියකින් ඉදිරිපත් නොකිරීම පිළිබඳව මට සමා වන්න.)

සම්ප්‍රදායික මිනිස් සමාජයේ දේශපාලන ස්ථිතියක (entity) නායකත්වය තෝරාගැනීමේදී, කුටුම්භයට ගරු කරන, කුටුම්භ සංරක්ෂණයේ අපේක්ෂා, දුක්ඛ දෝමනස්ස ප්‍රත්‍යක්‍ෂයෙන්ම හඳුනන පුද්ගලයෙකු කෙරෙහි වඩාත් විශ්වාසය රැඳවීම මිනිසාගේ සත්ව ගතිවලට ආවේනික ගති ලක්ෂණයකි. මිනිසාගේ සත්ව ගති වලට ආවේනික ප්‍රධාන උවමනා කිහිපයකි. ආහාර සපයා ගැනීම (Basic sustenance of food and nourishment), තම ජීවත්වන පරිසරයේ දේශගුණික, කාලගුණික පීඩාවන්ගෙන් ආරක්ෂා වීම (weather shield and shelter), වන සිව්පාවුන්ගෙන් හා සතුරන්ගෙන් ආරක්ෂාවී විසීම (Defense), හා වර්ගයා බෝ කිරීම (Reproduction) ඒ අතරින් ප්‍රධාන වෙයි. 

ඕනෑම සත්ව සමාජයක් තම නායකයා තෝරා ගැනීමේදී ඒ තෝරාගන්නා සතා/පුද්ගලයා සිය ප්‍රතිවිරුද්ධ ලින්ගිකයනට ආකර්ශනයක් විෂධ කරන සතෙකු/පුද්ගලයෙකු වීම විශේෂ කරුණකි. උදාහරණයක් ලෙස වඳුරු රෑනක් ගතහොත්, එහි නායකත්වයට තේරී පත්වන්නේ, රැහේ දසත දුව පැන හැසිරෙනාවූ තරුණ විසේකාර වැඳිරියන් දෙස නිස්සරණාද්‍යාෂයෙන්  බලන ඇස්දෙකෙන් පණගිය වඳුරෙකු නොවේ. එසේම තරුණ වැඳිරියන්, සිය චමත්කාරජනක තාරුණ්‍යයේ අංග ප්‍රත්‍යංග තම නාසයේ කණේ අතුල්ලන් ගියත් එසේ නොවුනාසේ සිටිනා බෝධිසත්ව වඳුරෙකුද නොවේ. සැබවින්ම උන් තෝරා ගන්නේ හොඳ විසේකාර, මදනය ගැසූ, තරුණ වැඳිරි ගැටිස්සියෝ දහ දොළහක් උනත් බලා කියාගෙන සිටියහැකි ‘වලත්ත’ වඳුරෙකි.  අප බෝසතානෝත් පෙර භවයක ඉහතකී වඳුරු නායකත්වයේ වගකීම ඉටුකරමින් සිය වර්ගයා බෝ කිරීමේ වගකීම වඳුරු ආචාර ධර්ම පද්ධතියට අනුකුලව අකුරටම ඉටුකළ සේක්නොවැ.  

ස්වභාව ධර්මයද වර්ගයා බෝ කිරීම කෙතරම් වැදගත් කරුණක් සේ සලකා ඇත්ද යන්න, පැහැදිලි වන්නේ එම ලිංගික ක්‍රියාවලියට සත්වයා ආකර්ෂණය කර ගැනීම සඳහා ඊට සම්බන්ධ කර ඇති තෘප්තියෙහි ඇති පරිමාණය සැලකිල්ලට ලක් කිරීමේදීය. එම ලිංගික ක්‍රියාවලිය කිසිදු තෘප්තියක් නොමැති නීරස වගකීමක් පමණක් වූවානම්, කිසිම සතෙකු එය ඉටු නොකරනු ඇත. මට දැන් කම්මැලියි අප්පා, පසේ කොරනවා” කියා හොඳ දෙයක් කිරීමට විරුද්ධ පක්ෂය උත්සාහ ගන්නාවිට  එජාපය දින නියමයක් නොමැතිව පාර්ලිමේන්තුව කල් තබනවාසේ, ලිංගික ක්‍රියාවද  කල් දමනු ඇත.

නමුත් වත්මන් මිනිස් සමජයේ මෙම වර්ගයා බෝ කිරීමේ වගකීම ක්‍රමයෙන් නොවැදගත් දෙයක් බවට පත්වීමට හේතුවූ සමාජ දේශපාලන හා දාර්ශණික හේතුන් තේරුම් ගත යුතුය.

කිසියම් දේශපාලකයෙකු විසින් තමාගේ ලිංගිකත්වය කවරේද යන්න සමාජ ගත කිරීම රාෂ්ට්‍ර පාලනයට අදාළ දෙයක්ද? එය වැදගත් කටයුත්තක්ද? මෙය ඉතා වැදගත් ප්‍රශ්නයකි. ලිංගිකත්වය දේශපාලනයට අදාළ දෙයක් නොවන්නේනම්, ඇතැම් දේශපාලකයින් විසින් තම ලිංගිකත්වය කුමක්ද යන්න ජන සමාජයෙන් සඟවා තැබීමට අමතර වෙහෙසක් ගන්නේත්, ඇතැමුන් සමාජය රවටා ගොනාට ඇන්දවීමට උත්සාහ ගන්නේත් , හෝ එසේම, අවංක දේශපාලකයින් තම සැබෑ ලිංගිකත්වය කුමක්දැයි යන්න ජන සමාජයට හෙළිදරව් කිරීමට අමතර වෙහෙසක් ගන්නේ ඇයි? එමෙන්ම තම දේශය, රාශ්ට්‍රය පාලනය කිරීමට භාර ගන්නා තැනැත්තාගේ ලිංගිකත්වය කුමක්ද යන්න, එම වගකීම ඉටුකිරීමෙහිලා බලපෑමක් තිබේ යැයි ජනයා සිතන්නේ ඇයි?

මෙය තේරුම් ගැනීමට නම් දේශපාලනය නමැති සංකල්පය මිනිසා විසින් සොයා ගැනීමටත් එය භාවිතා කිරීමටත් හේතුව කුමක්ද යන්න පැහැදිලි ලෙස වටහා ගත යුතු වෙයි. දේශපාලනය බිහිවන්නේ මානවයාගේ පැවැත්ම සහතික කර ගැනීමේ ක්‍රමවේදයක් ලෙසය. එනිසාම වර්ගයා බෝ කිරීමද මානව පැවැත්ම පිලිබඳ දේශපාලනයේදී වැදගත් වෙයි. ​

අපි අපේ අතීතයට එබී බලමු. “නැවුම් පොළොවේ පළමු පස් පිඩැල්ල පෙරලුදා මිනිසා ශිෂ්ටාචාර ගත විය” යැයි කියමනක් තිබේ.  මිනිසා සිය දඩයක්කාර අශිෂ්ට සත්ව ජීවිතයෙන් බැහැරව, වනයෙන් එලියට විත්,  භූමිය සමග පොරබදන, කෘෂිකර්මයෙන් දිවි ගෙවන සත්වයෙක් බවට පත්වූ දා ශිෂ්ටාචාර ගතවී සාමූහික සමාජ ජීවිතයකට මුල පිරීය. මේ නවමු කෘෂිකාර්මික ජීවන රටාව දඩයක්කාර ජීවන රටාවට වඩා හාත්පසින්ම වෙනස් ජීවන රටාවකි. මෙම ජීවන රටාව තනි තනිව සරි කරගතහැකි ජීවන රටාවක් නොවේ. මෙය ජන කණ්ඩායමක් විසින් සරි කරගත් ජීවන රටාවකි. මීට ගම්  නියංගම් බිහිකර ගැනුමට අවශ්‍ය වෙයි. මහා ජන කණ්ඩායමක අවශ්‍යතාව උද්ගත වෙයි. ඒ අනුව වර්ගයා බෝ කිරීම මිනිසා විසින් සිය පැවැත්ම සහතික කර ගැනුමේ මුලික අවශ්‍යතාවක් බවට පත්වෙයි. මෙහිදී පවුල හෙවත් කුටුම්භය නමැති සංකල්පය බිහිවිය. මෙවැනි සමාජයක් මෙලෙස සංකීර්ණ වනවිට එය මනාසේ කළමනා කරණය කරගැනීමේ අවශ්‍යතාව මතුවේ. ඊට විසඳුමක් ලෙස ‘දේශපාළනය’ නමැති සංකල්පය මිනිසා විසින් සොයා ගැනේ. දේශපාලනය යනු මිනිසා විසින් සොයාගත් තවත් එක් මෙවලමක් ලෙස සැලකිය යුතුය.  ​

 ​

නමුත් අද එය කණපිට පෙරලී තිබේ. එනම් දේශපාලකයා සිතන්නේ මිනිස් සමාජය යනු දේශපාලනය විසින් සොයාගත් මෙවලමක් ලෙසය. එය අවලමාගේ දේශපාලනයයි. තමා දේශපාලනය කරන ජන සමාජය තමාට අවශ්‍ය ලෙස පාවා දීමට, කඩා  බිඳ දැමීමට, නව ලිබෙරල් වාදයේ වහලුන් බවට පත් කිරීමට උත්සාහ ගන්නේ එබැවිනි.​

මේ කරුණු සංක්ෂේපයෙන් කිවහොත් මෙසේය. සිය වර්ගයා බිහි කිරීම මිනිස් පැවැත්ම සහතික කිරීමෙහි ලා මූලික අවශ්‍යතාවක් බව මිනිසා ප්‍රත්‍යක්ෂයෙන් වටහාගෙන සිටී. එසේම දේශපාලනය යනු මිනිස් පැවැත්ම සහතික කරගැනීම සඳහා මිනිසා විසින් භාවිතා කරගනු ලබන කළමනාකරණ මෙවලමකි. දේශපාලකයින් සිය ලිංගිකත්වය කවරේද යන්න අවශේෂ ලෝකයාට දැනෙන්නට හැරීමට හේතුව වන්නේ, තමා මිනිස් වර්ගයා බෝ කිරීමට තිත තබන කෙනෙකු නොව, ඊට ජෛවීමය වශයෙන් (Biologically) දායකත්වය සපයන කෙනෙකු බව ලෝකයාට ප්‍රකාශ කිරීම අත්‍යවශ්‍ය කරුනක්සේ දේශපාලකයා සිතන  නිසාවෙනි.  මන්ද, මිනිස් පැවැත්ම සහතික කිරීමෙහිලා භාවිතා වන මෙවලමක් වන දේශපාලනය කිරීමට මිනිස් පැවැත්මට දායකත්වය නොසපයන්නෙකු නුසුදුසු යයි මිනිසා සිතන නිසාය. ​

එසේවුවත් ප්‍රංශ විප්ලවයෙන් පසු ආධිපත්‍යය පිහිටුවන නුතනවාදී බටහිර දේශපාලන දර්ශනයේ ධජය ධනවාදයේ ග්‍රහණයට හසුකර ගැනීමේ හේතුවෙන්, එහිම දිගුවක් වන පශ්චාත් නුතන වාදයේ ඉමෙහි බිහිවන නව ලිබරල් වාදී මතවාද විසින් ඉහතකී චිරාත් කාලයක් පුරා පැවතී, මිනිස් පැවැත්ම සහතික කරගැනීමේලා ඉවහල් කරගත් ඇතැම් මෞලික ප්‍රඥාප්තීන් උල්ලංඝනය කරමින් පවතී.​

නව ලිබෙරල් වාදීන් සිතන්නේ ඔවුන් වඩාත් පගතිවාදී, නුතනවාදී, හා අනාගත වාදී (futuristic) ජීවන දෘෂ්ටියකින් හා දර්ශනයකින් හෙබියන් බවය. සැබවින්ම සත්‍ය වන්නේ එහි ප්‍රති විරුද්ධ පැත්තය. මොවුන් මානව ප්‍රගතියේ පරිනාමය ආපස්සට හරවා ශුන්‍යත්වය කරා මානව සංහතිය දක්කාගෙන යන්නෝය. අද වනවිට බටහිර ලෝකයේ නව ලිබරල් වාදයේ පෙර ගමන් කරුවන් වන්නේ ලෝකයේ සකල ජනයා තම නව යටත් විජිතවාදී වියහසට ගැට ගැසීමට මාන බලන මහා පරිමාන බහු ජාතික සමාගම්, එම සමාගම් වලින් මුදල් ලබන බටහිර දේශපාලකයින්, එම සමාගම් හා ධනකුවෙරයින්ගෙන් මුදල් ලබන මිනීමරු ඔත්තු සේවා සංවිධාන හා ඔවුන්ගෙන්ම මුදල් ලබන NGO සංවිධාන හා අනන්‍යතා දේශපාලනයේ නියැලෙන LGBTQ  (lesbian, gay, bisexual, transgender, and queer) කණ්ඩායම් ය.  ​

නව ලිබෙරල් වාදයේ ඇති මානව විරෝධී, උග්‍ර ධනවාදී ආර්ථික හා දේශපාලන ප්‍රතිපත්ති පිළිබඳව බහුලව සාකච්චා වී තිබුනද, නව ලිබෙරල් වාදී දර්ශනයේ සියුම් තැන් පිළිබඳව සාකච්චා වී ඇත්තේ ඉතා මද වශයෙනි. ​

නව ලිබෙරල් වාදීන් සිතන්නේ ඔවුන් වඩාත් පගතිවාදී, නුතනවාදී, හා අනාගත වාදී (futuristic) ජීවන දෘෂ්ටියකින් හා දර්ශනයකින් හෙබියන් බව යයි සඳහන් කලෙමි. ප්‍රංශ ජාතික දර්ශනවාදියෙකු වන මෛකල් ෆුකෝ ගේ Michel Foucault වැනි දර්ශන වාදීන් ගේ අදහස් වලින් සහ ස්ත්‍රී වාදී අදහස් වලින්  සන්නද්ද වී ඇති මොවුහු, ලෝකයේ අනාගතය නව ආනතියක් වෙත යොමු වී ඇතැයි සිතති. ලෝකයේ මෙතෙක් පැවති ආචාරධර්ම පද්ධතීන්, සමාජ ප්‍රඥප්තීන් පුහු වුත්, සමාජ ප්‍රගතියට එරෙහි වූත්, , අතීතයට අයත් ඒවා බව ඔවුහු සිතති. ලාංකික චින්තනය ඇතැම් නව ලිබෙරල් වාදීන් විසින් හඳුන්වන්නේ ‘පසුගාමී ‘ගොවි චින්තනය’ කියාය. එනිසා අතීතයට අයත් වත්මන් සමාජය පවත්වාගෙන යන සියලු පදනම් විනාශ කල යුතුයැයි ඔවුහු සිතති. ලංකාවේදී නම්, එය  බෞද්ධ දර්ශනයෙන් හික්මවුනු සමාජ දාර්ශනික  පදනම හා ඊට ආවේනික ආචාරධර්ම පද්ධතියයි. පසුගිය රජයේ සිටි නව ලිබෙරල් වාදී න් වන රනිල් වික්‍රමසිංහ  හා මංගල සමරවීර ගේ දේශපාලන තීරණ, ක්‍රියා කලාපය හා  ඔවුන්ගේ ප්‍රකාශ වඩාත් හොඳින් තේරුම් ගත හැකි වන්නේ මේ පසුබිම තුලය. මංගල නිරතුරුවම භික්ෂු සමාජයට පහර ගැසීමත්, රනිල් විසින් ශ්‍රී ලංකාවේ ආරක්ෂාව දුර්වල කොට විදේශ හමුදාවන්ට රට තුලට පිවිසීමට අවශ්‍ය නයිතික පසුබිම සකසා දීමත්, මංගල ජාත්‍යන්තර තලයේදී ශ්‍රී ලංකාව පාවා  දීමේ  ක්‍රියාවලියත් යොමු වන්නේ ඉහතකී අතීතයට අයත් සමාජ දේශපාලන පදනම විනාශ කිරීමේ අරමුණ වෙතය.​

නව ලිබෙරල් වාදීහු පවුල නමැති  ඒකකය සමාජ ප්‍රගතියේ අත්‍යවශ්‍ය සාධකයක් සේ නොසලකති. වර්ගයා  බෝ කිරීම, කුටුම්භ සංරක්ෂණය යල් පැනගිය පුරාවෘත  වලට අයත්  සංකල්ප සේ සිතති. ස්ත්‍රී පුරුෂ මෛතුන්‍යය යල් පැනගිය දෙයක්සේ මුන් සිතති. මෛතුන්‍යය ප්‍රජනන ක්‍රියාවලියෙන් වෙන් කොට සිතන මොවුහු එය සන්තුෂ්ටි මූලධර්මයහි  (pleasure principle) හි  කොටසක් බවට පත් කරති.     

මෛතුන්‍යය වර්ගයා බෝකිරීමේ වගකීමෙන් බැහැර කල විට, එය සන්තුෂ්ටි මූලධර්මයහි  (pleasure principle) හි  කොටසක් බවට පත් කලවිට, ස්ත්‍රී පුරුෂ යෝගය හා සමවායේ ඇති වැදගත් කම අහෝසි වී යයි. එවිට පුරුෂයෙකු ස්ත්‍රියක සමග සේම ස්ත්‍රියකට පුරුෂයෙකු සමග ලිංගික ක්‍රියාවලියේ යෙදීමට අවශ්‍ය නොවේ. ලිංගික ක්‍රියාව සන්තුෂ්ටි මූලධර්මයහි  (pleasure principle) හි  කොටසක් නිසාත්, වර්ගය බෝ කිරීම නමැති වගකීම ඉන් ඉවත් කර ඇති නිසාත්, පිරිමියෙකුට තවත් පිරිමියෙකු සමගත්, ස්ත්‍රියකට තවත් ස්ත්‍රියක සමගත්, කෙනෙකුට බෝනික්කකු (sex robot dolls) සමග හෝ ලිංගික ක්‍රීඩා භාණ්ඩයක් (sex toys) සමග ලිංගික ක්‍රියාවේ  යෙදිය හැක. 

මේ පසුබිම තුල මානව සංහතියේ පැවැත්ම සඳහා ස්ත්‍රී පුරුෂ යෝගය අවශ්‍ය නොවෙතැයි සිතන මොවුහු, මිනිස් වර්ගයා බෝ කිරීම විද්‍යා ගාරයක් තුල සිදු කල හැකි ඉතා සුළු දෙයක් යැයි සිතති. සැබවින්ම කිවහොත්, විශාලතම මානව ඝාතක අවිය (Bigest wepon of mass-destruction) ලෙස සැලකිය යුත්තේ පරමාණු බෝම්බය නොව, නව ලිබෙරල් වාදී මත බව අප විසින් වටහා ගත යුතුය. අපගේ නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැති තුමා පරෙස්සම් වියයුතේ මුන්ගෙන්ය.  මන්ද, මුන් දැන් දැන් නව   ජනාධිපති  තුමා වටේ හොල්මන් කිරීම ආරම්භ කර ඇති බව අපට දැනගන්නට ලැබී ඇති නිසාවෙනි. මුන් මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනයත් පීලි පැන්වූ නිසා, ගෝඨාභය රාජපක්ෂගේ   රජයත් එලෙසම පීලි පැන්විය හැකි යයි සිතනවාට සැකයක් නැත. 

මතු සම්බන්ධයි    

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2020 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress