හිටපු අමාත්‍ය සජිත්ගේ නිවාස ව්‍යාපෘතියක් නිසා ජනතාව දැඩි අසීරුතාවක
Posted on December 8th, 2019

Hiru News

නිවාස සංවර්ධන හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ නිවාස ව්‍යාපෘතියක් හරහා තිස්සමහරාම, වීරහෙළ ග්‍රාම සේවා කොට්ඨාසයේ ජනතාව දැඩි අසීරුතාවකට පත්ව සිටිනවා.

ඒ, නිවාස ඉදිකිරීම් සඳහා ලබාදුන් ආධාර මුදල් නිවාස සංවර්ධන අධිකාරියේම නිලධාරීන් පිරිසක් විසින් යටිමඩි ගැසීම හේතුවෙන්.

නිවාස සංවර්ධන හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ මඟපෙන්වීම මත තිස්සමහාරාම, වීරහෙළ ග්‍රාම සේවා කොට්ඨාසයේ අඩු ආදායම් ලාභීන් උදෙසා මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක වී තිබුණේ මීට වසර දෙකකට පෙරයි.

 ‘‘සාම සිසිලගම  නිවාස ව්‍යාපෘතිය ලෙස එය නම් කර තිබුණා.

එම නිවාස ව්‍යාපෘතිය මගින්, එක් නිවසක් ඉදිකර ගැනීම සඳහා රුපියල් ලක්ෂ 6ක මුදලක් කොටස් වශයෙන් ජනතාවට ලබාදීමටයි නිවාස අධිකාරිය පොරොන්දු වී තිබුණේ.

නිවාස ඉදිකිරීම සඳහා කොටස් වශයෙන් ජනතාවට මුදල් ලබා දී තිබුණේ චෙක්පත් මාර්ගයෙන්.

එහෙත් මෙහි සිදුව ඇති පුදුම සහගත කරුණ වන්නේ එලෙස ලබාදෙන මුදල් ජනතාව විසින් යළි නිවාස අධිකාරියේ නිලධාරීන් පිහිටුවා ගත් සමිතියකටම ලබාදීමට නියම කර තිබීමයි.

ඒ අනුව, නිවාස ඉදිකිරීමට වැලි, ගල්, සිමෙන්ති ආදී අමුද්‍රව්‍ය සඳහා අධික මුදලක් වැය වූ බව පවසමින් නිවාස අධිකාරියේ නිලධාරීන් මෙම ජනතාවට වංචා සිදුකර තිබෙනවා. <

අඩු ආදායම් ලාභී ජනතාවට නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සිදුකළ මෙම වංචා සහගත ක්‍රියාවලිය හරහා ඔවුන් මේ වනවිට නිවෙස්වල ඉතිරි වැඩ නිම කර ගැනීමට නොහැකිව දැඩි දුෂ්කරතාවට පත්ව සිටිනවා.

මෙම ගම්මානයේ ජනතාවගේ නිවාස සිහිනය මේ වනවිට වනගත වී අවසන්.

එදාවේල හරි හම්බ කර ගැනීමටවත් නොහැකි ඇතැමුන් අලුතින් ඉඳිකල නිවාසවල බිත්තිවලටම ආවරණයක් යොදා ගනිමින් මෙලෙස ජීවත් වනවා.

පසුගිය රජය සමයේ මාධ්‍ය සංදර්ශන යොදා ගෙන නිවාස ව්‍යාපෘති ඉදිකලත් එම බොහෝ නිවාස ව්‍යාපෘතිවල තත්ත්වය මෙය බවයි ජනතාව පෙන්වා දෙන්නේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress