ජනාධිපති ගෝඨාභය මහතා විසින් අතේ දුරින් තබා ගනිමින් පරෙස්සම් විය යුතු, නව ලිබරල් වාදී පොලිටිකල් ‘වල්’- පල් හෙවත් දේශපාලන පතරංග ජාතක – 2 වන කොටස
Posted on December 10th, 2019

Kudaligamage Geethanjana

නව ලිබරල් වාදී දේශපාලන ප්‍රවාහය තුල බල පවත්නා LGBT බල පරාක්‍රමය ඇති මහත්ය. මෙම ප්‍රවනතාව විසින් සමාජ ගත කිරීමට උත්සාහ ගන්නා ඇතැම් අභූත මති භ්‍රාන්ති පිලිබඳ වැටහීමක් පහත සඳහන් ලිපිය කියවීමෙන් ඔබට ලභාගත හැක. 

Western Civilization Is Now A Caricature of Absurdity – PaulCraigRoberts.org Western Civilization Is Now A Caricature of Absurdity. This Is Not A Joke. Dear Readers: If you have concluded that a small handful of crazed morons control the words we are permitted to use, you are correct. www.paulcraigroberts.org

ඊයේ රාත්‍රියේදී මා හට මා දන්නා හඳුනන එක්තරා තරුණ කාන්තාවක් මුණ ගැසිනි. ඇය පිලිපීන ජාතික, විවාහක කාන්තාවක් වූ අතර, අතිශය රූමත් තැනැත්තියක්ද වූවාය. අප මුණ ගැසුනේ කිසියම් සාදයකදී බැවින් ඇය වයින් වීදුරු දෙක තුනක් බී මද වශයෙන් මත්වී සිටියාය. අප ආගිය තොරතුරු සහ වල් පල් කතා කරමින් ඉන්නා අතර එක වරම ඇය මාගෙන් මා බලාපොරොත්තු නොවූ ආකාරයේ අස්වාභාවික ප්‍රශ්නයක් ඇසුවාය.

“ගීත්, මට ඔයාගෙන් පුද්ගලික ප්‍රශ්නයක් අහන්න පුලුවන්ද?

“ඔව් කියන්න”

“ඔබේ බිරිඳ ඔබට චීට් (cheat) කලොත් ඔබ ගන්නා පියවර මොකක්ද?”

(ඔබගේ බිරිඳ වෙනත් අයෙකු සමග අනියම් සබඳතාවක් ඇතිකරගතහොත්, එසේ නැතහොත්, ලිංගිකව හැසිරුනොත් ඔබ ගන්නා පියවර මොකක්ද?) 

මා වාඩි වී සිටියානම් සැබවින්ම මා පුටුවෙන් බිමට වැටීමට ඉඩ තිබිණි. නමුත් මා සිටියේ සිටගෙන බැවින් පිළිතුරු දීගත නොහැකි වූ මම තතනන්නට වීමි. හොඳම උපාය මෙය විහිළුවට ගෙන ගැළවීමයයි සිතා මම මෙසේ කීමි.

“ගෑණියෙක් හැටියට ඔයා දන්නවා ඇතිනේ ගැහැණු කිසිවිටෙක අහුවෙන්ඩ cheat කරන්නේ නැති බව.”

(පිරිමි තම බිරින්දෑ වරුනට cheat කරන විටද එය අහු වෙන්නට කරන්නේ නැති බව මම සඳහන් නොකළේ එය අදාළ නැති නිසා ය.) 

ගෑණුන්ට තමන් දන්න මායං ඔක්කොම දාල, නිර්දෝෂ වෙන්නෙ කොහොමද කියන එක අමුතුවෙන් උගන්නන්ඩ ඕන නැහැ. බල්ලන්ට පිහිනන්ඩ පුරුදු කරන්ඩ ඕන නැහැ වගේ, ඒ අයට ස්වභාව ධර්මයෙන්ම ඒ ශක්තියයි ධ්‍යිර්යයි ක්‍රම උපායවලුයි දීලයි තියෙන්නෙ. එනිසා ඔය ප්‍රශ්නය අදාළ නැහැ යයි කියා ගැලවෙන්නට මම උත්සාහ කලෙමි. 

කිතුනු ලබ්ධිකයෙකු වූ ඇයට මම මෙසේද පැවසීමි. ​

“දහවලදී කපුටු හඬටත් බියවන ගැහැණිය, රෑ කලදී සොරමුලක් සමගින් නර්මදා නදිය වුව තරණය කරන්නීය” යැයි බුදුන් වහන්සේද වදාරා ඇතැයි මම ඇයට පැවසීමි. ​

(කාන්තා විමුක්ති වාදීන් මට පාරේදී අල්ලන් ගහන්න ඉඩ තිබෙන නිසා ඔවුන්ට කරන සාධාරණයක් ලෙස, ඉහතකී තත්වය පිරිමින්ටත් අදාළ බව කරුණාවෙන් සලකන්න.)

මගේ පිළිතුරෙන් ඇය සැහීමකට පත්වූ බවක් නොපෙනුණු නිසා කිසියම් බැරෑරුම් බවක් ආරෝපණය කර ගනිමින් මෙසේ කීමි.

පවුලේ සහ දරුවන්ගේ අවශ්‍යතා හා තත්වය අනුව මෙවන් තීරණ වෙනස් වන බවත්, ඇතැමුන් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මෙවන් තත්වයන් ඉවසන බවත් පැවසීමි. එමෙන්ම ඇතැම් පියවරු සේම මව් වරුද පවුලේ අනාගතය තම පෞද්ගලික ජීවිතයේ ප්‍රශ්න වලට වඩා වැදගත්සේ සලකා, උදාවී ඇති තත්වය අනුව කැප කිරීම් කොට, සිය පවුල රැකගැනීම පිණිස මෙවන් තත්වයන් ඉවසා දරාගෙන, ජීවිතයට මුහුණ දෙන බවත් පැවසීමි. මා හැදුනු වැඩුණු ශ්‍රී ලාංකික සමාජය පවුල නමැති සංස්ථාව වඩාත් වැදගත් සේ සලකන බව ඇයට පැවසීමි.

මෙම පිළිතුරෙන්ද සැහීමකට පත් නොවූ ඇය, එවන් තත්වයන්ගෙන් පරිබාහිරව ඔබගේ බිරිඳ ඔබට cheat කළා නම් ඔබ ගන්නා පියවර කුමක්දැයි මගෙන් පෙරළා ඇසීය. කෙසේ වුවද, කරකියාගත හැකි කිසිවක් නොවූයෙන් අවසානයේදී…

“මම දික්කසාද වෙමි යයි කීමි.”

එසේ කියා එය සාධාරණය කරනු වස්… “මම හිතන්නෙ මම එතරම්…” මට කිව හැකි වූයේ එපමණකි…ඇය මගේ වාක්‍යය සම්පූර්ණ කළාය.

“ප්‍රගතිගාමී (progressive) නැහැ නේද?”

ඇත්තවශයෙන්ම ඔබ හරි…මම එතරම්ම ප්‍රගතිගාමී (progressive) නැහැ.”

“ඇයි…ඔබ විවෘත විවාහ (open marriages) වලට කැමති නැත්ද.”

“අනේ මන්ද, මට ඕව තේරෙන්නේ නැහැ., විවෘත විවාහ (open marriages) මොනවටද? ඇයි… තනිකඩව ජීවත් වෙන්න පුළුවන්නේ.”

“ඒ උනාට එතකොට වයසට යනකොට තනි වෙනවනේ” යයි ඇය පෙරළා පැවසුවාය.

​(open marriages යනුවෙන් ඇය අදහස් කළේ, විවාහකව සිටියදී අන් අය සමග ලිංගිකව හැසිරීමට ඉඩකඩ තිබෙන විවාහ ජීවිත වලටය. බටහිර ඇතැම් අය මෙවන් open marriages වලට වඩාත් ප්‍රිය කරති.) 

“ඇයි ඔයා මගෙන් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවෙ, ඔයාගේ husband ට cheat කරන්නඩ ඔයාට අදහසක් තියෙනවද?” යැයි මම ඇගෙන් ඇසුවෙමි. 

මා එසේ ඇසු විටම වාගේ ඇගේ ස්වාමිපුරුෂයා ඇය කැටුව යෑමට පැමිණ අප වෙතට පියමන් කරනු අප දුටිමු. මාගේ ප්‍රශ්නයට පිළිතුරු දීගත නොහැකිවූ ඇය, තම සැමියා වෙත පියමන් කළාය. ඒ යන අතරවාරයේ එකවරම මා දෙසට හැරුණු ඈ, “ආ…අර ප්‍රශ්නෙට උත්තරේ ‘ඔව්’ හොඳේ” කියාගෙන ගියාය.

මේකි නං යක්ස ගෑණියෙක් තමයි කියා මම හිතින් හිතා ගතිමි.   

මෙම දෙබසින් පසු මට එක වරම මතක් වූයේ මා නිමා නොකොට අතපසු කල මෙම ලිපිය පිලිබඳවය.

ඉහතකී දෙබස මෙම ලිපියට වැදගත් යයි මට සිතුනේ එම කාන්තාව මම ප්‍රගතිගාමී (progressive) නැතැයි පැවසීම නිසා ය. (“You are not that progressive right?)

නව ලිබෙරල් වාදීන් සිතන්නේ ඔවුන් වඩාත් පගතිවාදී, නුතනවාදී, හා අනාගත වාදී (futuristic) ජීවන දෘෂ්ටියකින් හා දර්ශනයකින් හෙබියන් බවය. 

පසුගිය තිස් වසර තුල නව ලිබරල් වාදී මත බහුලව සමාජ ගත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තරුණ පරපුර මෙම අදහස් වල බලපෑමට හසුව තිබේ. මෙම ප්‍රකාශයෙන් එය තව දුරටත් තහවුරු විය. 

ලිංගිකත්වය ලිබෙරල් කිරීම ප්‍රගමනයට අත්‍යවශ්‍ය සාධකයක් යැයි ඔවුහු සිතති. ඒ අනුව පවුල හෝ කුටුම්භය යල් පැනගිය හණමිටි අදහස්ය.

ලිංගිකත්වය නව ලිබෙරල් වාදී න්‍යාය පත්‍රයේ අතිශය ප්‍රධාන මුලිකංඟයකි. නව ලිබරෙල් වාදී අදහස් වල ඇති එක වැදගත් මුලිකාංගයක් වන්නේ ‘ලිංගිකත්වය’ පිලීබඳ ඔවුන්ගේ නව අදහස්ය. සැබවින්ම මේ අදහස් පවුල නමැති ආයතනය, නැතහොත් ‘කුටුම්භය’ විනාශ කරන අදහස්ය. 

අනන්‍යතා දේශපාලනයේ නියැලෙන අය තම අයිතීන් සමාජ දේශපාලන මහා ප්‍රවාහය තුල ස්ථාපිත කිරීමට කරනු ලබන සටනට අප හට එකඟ විය හැකි වුවත්, මහා ප්‍රවාහය මුළුමනින්ම විනාශකොට අනතුරුව තමන්ට අභිමත හැඩයක් එයට ආරෝපණය කිරීමට LGBGT කණ්ඩායම් ගන්නා උත්සාහයට බහුතරයක් ජනයා එකඟ වනු ඇති යැයි සිතිය නොහැක. නව ලිබරල් වාදය හරහා තත්කාලීන දේශපාලන කතිකාවත හා එහි නියාමක බලවේග සියතට ගැනීමට අනන්‍යතා දේශපාලනයේ නියැලෙන අය උත්සාහ ගනිති. මෙය මානව පැවැත්මට හිතකර තත්වයක්ද? එය ඉතිහාසය විසින් තීරණය කල යුත තත්වයකි.

අනන්යතා දේශපාලන මතවාද දේශපාලන කරලියට පැමිණීමේ හේතුව  

පසුගිය ලිපියේදී මවිසින් “නව ලිබෙරල් වාදීන් සිතන්නේ ඔවුන් වඩාත් පගතිවාදී, නුතනවාදී, හා අනාගත වාදී (futuristic) ජීවන දෘෂ්ටියකින් හා දර්ශනයකින් හෙබියන් බවය. සැබවින්ම සත්‍ය වන්නේ එහි ප්‍රති විරුද්ධ පැත්තය. මොවුන් මානව ප්‍රගතියේ පරිනාමය ආපස්සට හරවා ශුන්‍යත්වය කරා මානව සංහතිය දක්කාගෙන යන්නෝය” යයි ප්‍රකාශ කලෙමි. මා එසේ ප්‍රකාශ කලේ හේතු සහිතවය. මෙය බටහිර දර්ශන වාදය ගමන්කළ දිසානතියේ ප්‍රතිඵලයකි.

බටහිර දර්ශනය පුද්ගල කේන්ද්‍රීය දර්ශනයකි. එහි වීරයා මිනිසා නොව, තනි පුද්ගලයාය. මෙහිදී ‘මිනිසා’ යනු පෙරදිග දර්ශනයට අනුව, තනි පුද්ගලයෙකු නොව සමුහයක් බව වටහා ගත යුතු වෙයි. නමුත් බටහිර දර්ශනයේදී ‘මිනිසා’ යනු තනි පුද්ගලයෙකි එනම් individual ය. බටහිර දර්ශනවාදයේ පුද්ගල කේන්ද්‍රීයත්වය ඉස්මතු වන්නේ ධනවාදයේ නැගීමත් සමග බව වටහා ගත යුතුය.


යටත් විජිත වාදය නිසා විශාලවශයෙන් ධනය රැස්කොට පොහොසත්වූ බටහිර විසු සාමාන්‍ය ජනයා ඉතිහාසයේ එක්මොහොතකදී දේශපාලන බලය අපේක්ෂා කරන, තමන්ට අවශ්‍ය පරිදි ලෝකය වෙනස් කල හැකි බලයක් අපේක්ෂා කල බලවේගයක් බවට පත් වූහ. ප්‍රංශ විප්ලවයට පාදකවූ පසුබිමෙහි මොවුන්ගේ මෙම දේශපාලන අපේක්ෂා ද, මිනිසා සහ ඔහුගේ නිදහස පිලිබඳ නව අපේක්ෂා ද විය. මෙහිදී මිනිසා පිලිබඳ සිදුකල දර්ශනවාදී විග්‍රහයන්ගෙන් ඉස්මතු කලේ මිනිසාගේ පෞද්ගලික නිදහස පිලිබඳ සංකල්පනා ය.  

කිසියම් සංස්කෘතියක්  පෞද්ගලික නිදහස නමැති සංකල්පයේ උපරිමයට ගමන් කරන විට,  පෞද්ගලික නිදහස සිය ජීවන දර්ශනයේ ප්‍රධානතම අංගය බවට පත්වන විට, සාමූහිකත්වය පිලිබඳ සංකල්ප නොවැදගත් සංකල්ප බවට පත්වී බැහැර වෙයි. කුටුම්භය හා කුටුම්භ සංරක්ෂණය වැදගත් දෙයක් බවට පත්වන්නේ මිනිසා මිනිස් පැවැත්ම පිළිබඳව තමාට වගකීමක් ඇතැයි සිතන සමාජයක්  තුලය. මමත්වය මුල්වන සමාජයකට එය වැදගත් නොවේ. බටහිර සමාජ ක්‍රමය පදනම්ව තිබෙන්නේ ඉහතකී මමත්වය මතය. 

නව ලිබරල් වාදීන් ලොව දේශපාලන බලය අත්පත් කරගතහොත් මිනිස් සංහතියට දේශපාලනික, ආර්ථික, සමජ හා සංස්කෘතික වශයෙන් අත්වියහැකි ඉරණම කුමක්ද යන්න පිළිබඳව මීට වඩා සාකච්චාවට ලක්විය යුතුය.

(මතු සම්බන්ධයි)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2020 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress