ඇමෙරිකානු සහශ‍්‍ර අභියෝගතා ප‍්‍රදානය සහ ලාංකීය සංවර්ධනයේ අවුල
Posted on December 13th, 2019

කුසල් පෙරේරා

පෙළ ගැස්ම

  1. කුමක්ද මේ එම්.සී.සී ආයතනය?
  2. භූ-දේශපාලනයේ ඇමෙරිකානු මුද්‍රාව
  3. එම්.සී.සීයේ ඩොලර මිලියන 480 කතාව
  4. අපට අදාල එම්.සී.සී ප‍්‍රදානය
  5. කතාවේ සම්පිණ්ඩය ගත් කළ අසංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින්නාවූ රටවලට ආධාර ලබාදීමේ නව උපායක් පිළිබඳ අදහස ඇමෙරිකානු අන්තර් සංවර්ධන බැංකුවේ 2002 මාර්තු රැුස්වීමේදී ඇමෙරිකානු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලියු බූෂ් විසින් ඉදිරිපත් කෙරුවකි. එවැනි ඇමෙරිකානු විදේශ ආධාර වෙනුවෙන් ඔවුන්ගේ රාජ්‍ය ආධාර ආයතනය වන ජාත්‍යන්තර සංවර්ධනය සඳහාවන ඇමෙරිකානු ආයතනය ‘‘යූඑස්ඒඞ්’’ (ඹී්ෂෘ* නමින් අවුරුදු 40 ක් පමණ කාලයක් ඒ වනවිට කි‍්‍රයාත්මක වෙමින් තිබුණි. එය ඇතැම් අවස්ථාවල දේශපාලන බලපෑම් වලට හසු වන බවත් එය ඇතැම්විට ගැටළුකාරී බවත් ඔහුගේ අදහස විය. එනිසා නව උපායික ආධාර ක‍්‍රමයක් තිබිය යුතු යැයි ජනාධිපති බුෂ් අදහස් කළේය. ඔහු ඒ වනවිට ගෝලීය ත‍්‍රස්තවාදයට එරෙහිව යුද ප‍්‍රකාශ කර තිබිණ. මහපරිමාන විනාශ සඳහාවන අවි නිපදවන්නේ යැයි ඉරාකය ආක‍්‍රමණය කිරීමේ සැළැස්මට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එක`ගත්වය දිනා ගැනීමේ ඔහුගේ උත්සාහයද ආරම්භකර තිබිණ. ඉරාක ආක‍්‍රමණයට වසරක් ආසන්න වෙත්ම 2004 ජනවාරියේදී මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (ඵක්‍ක්‍ – එම්.සී.සී* ‘‘සහශ‍්‍ර අභියෝගතා සංස්ථාව’’ නම් අලූත් ආධාර ආයතනය බිහි කෙරිණ. ඒ සමග ඇමෙරිකානු අධාර දෙගුණයක් කිරීමට ජනාධිපති බුෂ් පොරොන්දු විය.

කුමක්ද මේ එම්.සී.සී ආයතනය?

මේ නව එම්.සී.සී ආයතනය පොහොසත් සහ දුප්පත් රටවල් අතර සංවර්ධන කාර්යන්හි විවෘත හා වගවීමක් ඇති කි‍්‍රයාවලියක් පවත්වා ගන්නා ඇමෙරිකානු රාජ්‍යයෙන් ස්වාධීන වූ ආයතනයක් ලෙස හඳුන්වනු ලබයි. ශී‍්‍ර ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයීය නිල වෙබ් අඩවියට අනුව, එම්.සී.සී යනු ‘‘…..ගෝලීය දිළිඳු බවට එරෙහිව ඇමෙරිකානු විදේශ ආධාර නිර්මාණාත්මකව ලබා දෙන්නාවූ ස්වාධීන ආයතනයකි….. සාධනීය ප‍්‍රතිපත්ති, දේශීය හිමිකාරිත්වය සහ යහපත් ප‍්‍රතිපල පාදක කර ගන්නා සවිමත් ඇමෙරිකානු විදේශ ආධාර ඉතා සාර්ථකව යොමු කරන්නේ කෙසේද යන්න වෙනුවෙන් එම්.සී.සී ආයතනය සංවාදය අලූත්කර ඇත.’’ (යඑඑචිථරැුරැුකනගමිැපඉ්ිිහගටදඩරැුපසකකැබබසමප-ජය්කකැබටැ-ජදරචදර්එසදබ-පජජරැු* මෙය මෙතෙක් ඔවුන්ගේ විදේශ ආධාර හැසිර වූ යූඑස්ඒඞ් ආයතනයට වඩා ස්වාධීන යැයි අවධාරණය කෙරෙන තවත් සාධකයක් වන්නේ යූඑස්ඒඞ් ආයතනය ඔවුන්ගේ තානාපති කාර්යාල හා කි‍්‍රයාත්මක වන නමුත් එම්.සී.සී ආධාර සඳහා රටක් සුදුසුකම් ලැබූ පසු අත්සන් කරනු ලබන ද්විපාර්ශවීය ගිවිසුම කි‍්‍රයාත්මක කිරීම වෙනුවෙන් වෙනම එම්.සී.ඒ (මිලේනියම් චැලේන්ජ් අකවුන්ට්* නමින් කාර්යාලයක් පිහිටුවනු ලැබේ. එය එරට ආණ්ඩුවේ නියෝජිතයින්ද ඇතුළත් වන්නකි.

ස්වාධීනත්වය පිළිබඳ ඒ සියලූ අර්ථකතන හා පැහැදිලි කිරීම් අතර, වොෂිංටනයේ එම්.සී.සී ආයතනයෙහි ස්වාධීනත්වය ඇත්තටම අතිශය ප‍්‍රශ්නකාරීය. එහි පාලක මණ්ඩලයේ සංයුතිය ඇමෙරිකානු රාජ්‍ය අවශ්‍යතා වලින් එය ස්වාධීන නොවන බවට ස්ථිර සාධකයකි. ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරි සහ ඔවුන්ගේ යෝධ පෞද්ගලික අංශය නියෝජනය කිරීමේ සාමාජිකයින් සිව් දෙනෙකු ඇමෙරිකානු සෙනෙට් සභාවෙහි එක`ගත්වය ඇතිව ජනාධිපති විසින් පත්කරනු ලබයි. ඊට අමතරව, එයට නිල වශයෙන් ඇමෙරිකානු රාජ්‍ය ලේකම්, භාණ්ඩාගාර ලේකම්, ඇමෙරිකානු වෙළඳ දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙකු සහ යූඑස්ඒඞ් ආයතනයේ පරිපාලකවරයා පත් වන්නාහ. එහි සභාපති ලෙස කටයුතු කරන්නේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ය.

වර්තමාන ප‍්‍රධාන විධායක නිලධාරි ශෝන් කෙයාන්ක්‍රොස් පසුගිය ජුනි මාසයේදී පත්කරනු ලැබුවේ ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසිනි. ඒ වනවිට ඔහු ජනාධිපති ට‍්‍රම්ප්ගේ නියෝජ්‍ය සහකාරවරයා සහ ධවල මන්දීරයේ ප‍්‍රධාන මාණ්ඩලික නිලධාරිගේ උපදේශක විය. ලොකු ව්‍යාපාරිකයෙකු වූ කෙයාන්ක්‍රොස් 2004 සිට රිපබ්ලිකන් පක්ෂයේ ජාතික කමිටුවේ සාමාජිකයෙකු ලෙස ට‍්‍රම්ප්ගේ පූර්ව මැතිවරණ කාර්යන්හි නියැළුනෙකි.

එම්.සී.සී ආයතනයට නිල වශයෙන් පත් වන්නාවූ ඇමෙරිකානු රාජ්‍ය නිලධරයින්ගෙන් රාජ්‍ය ලේක්ම් අතිශය බලසම්පන්න දේශපාලන පත්වීමක් වන අතර, අනෙක් නිලධර තනතුරුද දේශපාලන පත්වීම් ය. එයට පත් කෙරෙන ස්වාධීන නියෝජිතයින් ලෙස ගණන් හැදෙන ඉතිරි සිව් දෙනාද එවැනි ස්වාධීනත්වයක් ඇත්තෝ නොවෙති. ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ නිර්දේශ මත සෙනෙට් සභාවෙහි එකගත්වය ඇතිව පත්කර ඇති වත්මන් සාමාජිකයින් සිව්දෙනාගෙන් නීතිඥයෙකු සහ ව්‍යාපාරිකයෙකු වන මයික් ජොහාන්ස් 2008 සිට 2015 දක්වා ඇමෙරිකානු සෙනෙට් සභිකයෙකි. සූසන් එම්. මැක්කියූ මහත්මිය මෙසේජ් ග්ලෝබල් ව්‍යාපාරයේ ආරම්භක සභාපති වන අතර, ඇය ඇමෙරිකානු සෙනේට් සභාවේ 1998 සිට 2007 දක්වා බහුතර නායකයා වූ හැරී රීඞ්ගේ ප‍්‍රධාන මාණ්ඩලික නිලධාරිනිය විය. ‘‘ජීකියු’’ සගරාව ඇයව නම් කරනු ලැබූයේ වොෂිංටනයේ බලවත්ම පුද්ගලයින් 50 ගෙන් අයෙකු ලෙසය. ඇමෙරිකාවේ ජනපි‍්‍රය සගරාවක් වන ‘‘එල්ලෙ’’ ස`ගරාව 2013 දී ඇයව නම් කර තිබූයේ වොෂිංටනයේ බලවත්ම කාන්තාවන් 10 ගෙන් එක් අයකු ලෙසය. බැංකු ව්‍යාපාරිකයෙකු හා ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකු වන ඇන්ඩ ක්‍රෙන්ෂෝ 2017 වන තෙක් දෙවරක් රිපබ්ලිකන් සෙනෙට් සභිකයෙකු විය. ඔහු එක්සත් ජාතීන්ගේ පදනමෙහි විදේශ කටයුතු පිළිබඳ උපදේශකයෙකු ලෙසද කටයුතු කරයි. ඇමෙරිකාවේ වාණිජ ඉඩම් හා නිවාස සංකීර්ණ ක්ෂේත‍්‍රයෙහි යෝධ ව්‍යාපාරයක් වන මාකස් ඇන්ඞ් මිලිචැප් සමූහ ව්‍යාපාරයේ හිමිකරු ජෝර්ජ් එම්. මාකස් අනෙක් සභිකයා වන්නේය. ඔහු රිපබ්ලිකන් පක්ෂයේ ප‍්‍රධාන මූල්‍ය ආධාරකරුවකු සේ සැළකේ.

මෙවැනි සංයුතියක් සහිත පාලක මණ්ඩලයක් මගින් පවත්වා ගෙන යන සහ ඇමෙරිකානු රාජ්‍ය විසින් අරමුදල් සැපයෙන එම්.සී.සී ආයතනයෙහි ස්වාධීනත්වය ගැන තැබිය හැකි විශ්වාසය කුකුළන් නරියකු ගැන තබන විශ්වාසය බඳුය.

භූ-දේශපාලනයේ ඇමෙරිකානු මුද්‍රාව

ඇමෙරිකානු විදේශ ආධාර හැමවිටම ඔවුන්ගේ ගෝලීය ආධිපත්‍ය හා බැඳෙන්නකි. පළමු ලෝක යුද්ධයටද කලියෙන් සිට ඇමෙරිකාව ලොව බලවතෙකු ලෙස හැසිරුණු රාජ්‍යයකි. ඔවුන් 19 වන සියවස වනවිට හුදකලා භූ-දේශපාලන පැවැත්මෙන් (ෂිදක්එසදබසිඑ* ඉවත්ව ආක‍්‍රමණික භූ-දේශපාලනයකට (ෂබඑැරඩැබඑසදබසිඑ* ප‍්‍රවිශ්ඨ විය. ඒ ඉතිහාසය මඳක් මතක් කරගතහොත් ප‍්‍රයෝජනවත් වනු ඇත.
x චිලිය 1810 දී ස්පාඤ්ඤයෙන් නිදහස් වූ පසු 1811 සිට ඔවුහු කිහිප විට ඇමෙරිකානු ආක‍්‍රමණ වලට මුහුණ දුන්හ.
x මෙක්සිකෝවට එරෙහිව 1846 සිට 1848 දක්වා යුධ වැදි මෙක්සිකෝවට අයත් වූ ටෙක්සාස් ප‍්‍රදේශය ඇමෙරිකාව අල්ලා ගත්තේය.
x ස්පාඤ්ඤ රාජ්‍යයට එරෙහිව 1898 ඇමෙරිකාව දියත් කළ යුද්ධයෙන් පසු ස්පාඤ්ඤ යටත් විජිත ගණනාවක් ඇමෙරිකාවට හිමි විය. ඒ අතර කියුබාව, පුඑර්තො රිකෝ, ගුආම් හා පිලිපීනය විය.

ඇමෙරිකානු ජනාධිපති විලියම් හෝවාඞ් ටෆ්ට් 1910 දී යෝජනා කෙරුවේ ඇමෙරිකානු සමාගම් සඳහා වාසි ලැබිය හැකි ‘‘ඩොලර් රාජ්‍යතාන්ති‍්‍රක’’ ගනුදෙනු සඳහා යා යුතු බවය. ඔහු එය සාධාරණය කෙරුවේ ඇමෙරිකානු ජාතික ආරක්ෂාව හමුවේ මූල්‍ය හා බල හිඩැසක් පිරවීමට යුරෝපීය බලවතුන්ට කිසිදු ඉඩක් නොතැබිය යුතු යැයි අවධාරණය කරමින්ය.
x ඇමෙරිකාව 1898 සිට 1935 දක්වා ලතින් ඇමෙරිකාවෙහි නිරන්තර යුධ මැදිහත්වීම් කළහ. එහි ප‍්‍රතිපලයක් ලෙස ඔවුනට කියුබාවේ, පැනමා ඇල ප‍්‍රදේශයේ, හයිතියේ, ඩොමිනිකන් රාජ්‍යයේ සහ නිකරගුවාවේ හමුදා කඳවුරු පවත්වා ගැනීමට හැකි විය.

දෙවන ලෝක යුද්ධයෙන් පසු ඉතිහාසයෙහි ඇමෙරිකානු මැදිහත්වීම් අතර, 1949 මැතිවරණයෙන් පත්වූ සිරියානු ආණ්ඩුව ඇමෙරිකානු රහස් ඔත්තු සේවය මැදිහත්වී ඉවත් කරනු ලැබූවේ ඇමෙරිකානු ඛනිජ තෙල් සමාගම් විසින් ඉල්ලා සිටි නල ප‍්‍රවාහන මාර්ගය සඳහා එම ආණ්ඩුව අනුමැතිය ලබා නොදුන් නිසායැයි වාර්තා වේ. එයට සාක්ෂිය වන්නේ කුමන්ත‍්‍රණයේ නායක හුස්නි අල්-සාහීම් බලයට පත් වී සති 06 ක් ඇතුළත ඊට අනුමැතිය ලබාදීම ය. මැතිවරණයෙන් පත් වූ ඉරාණ ආණ්ඩුව ඉවත්කර 1953 දී ෂා මොහොමඞ් රේසා පලාවි යටතේ රාජාණ්ඩුවක් පිහිටුවීමට ඇමෙරිකානු සහාය ලබා දෙනු ලැබිණ. එවැනි දිගු ලැයිස්තුවක කොරියානු, වියට්නාම්, ඇෆ්ගන්, ඉරාක, ලිබියන් සහ සිරියන් යුද්ධ ප‍්‍රධාන සන්නද්ධ මැදිහත්වීම් පමණි. ඊට අමතරව 1973 දී ජෙනරල් පිනොචේ බලයට ගෙන ඒමේ කුමන්ත‍්‍රණය සහ 1961 දී ෆිදෙල් කස්ත්‍රෝ බලයෙන් පහ කිරීමට දැරූ අසාර්ථක වූ ‘‘බේ ඔෆ් පිග්ස් ආක‍්‍රමණය’’ තවත් කුමන්ත‍්‍රණ දෙකකි.

ඇමෙරිකානු ආණ්ඩු විසින් ඔවුන්ගේ වාසියට භූ-දේශපාලනය සකසා ගැනීම වෙනුවෙන් 1947 සිට 2000 දක්වා ශී‍්‍ර ලංකාවද ඇතුළත් රටවල් 45 ක මැතිවරණ 81 ට ඇමෙරිකානු සී.අයි.ඒ ආයතනය විවිධාකාරයෙන් මැදිහත්ව ඇතැයි කානගි-මෙලන් විශ්ව විද්‍යාලයේ දේශපාලන හා උපාමාර්ගික ආයතනයේ මහාචාර්ය ඩව් ලෙවින් ගේ පර්යේෂණ වාර්තා හෙළිකර ඇත. ඔහුට අනුව, ඇතැම් අවස්ථාවන්හි ඔවුන්ගේ මැතිවරණ තේරීම වෙනුවෙන් ඇමෙරිකාව මුදල් පවා පොම්පකර ඇත. ‘‘1956 මැයි 04 වන දින මැතිවරණයෙන් එ.ජා.පය පරාජය වීමේ අවදානම හමුවේ පක්ෂයට ආධාර පිණිස ඩොලර මිලියන 05 ක් ලංකාවට දීමට රාජ්‍ය ලේකම් ජෝන් ෆොස්ටර් ඩලස් පොරොන්දු වුනා.’’ හසිනා ලීලාරත්න සමග ශී‍්‍ර ලංකා එක්ස්ප‍්‍රස් සඳහා ලබා දුන් සම්මුඛ සාකච්ඡුාවකදී මහාචාර්ය ලෙවින් පවසා ඇත. ඔහුට අනුව 1960 මාර්තු සහ ජූලි මැතිවරණ වලදීත් 1965 මැතිවරණයේදීත් සී.අයි.ඒ ආයතනය එ.ජා.පය වෙනුවෙන් රහස්‍ය ලෙස මැදිහත්වී ඇත.

වසර 2000 න් පසු මැතිවරණ පිළිබඳවද තොරතුරු හා දත්ත එක්රැුස් කරන ලෙවින්ට අනුව ඔබාමා පාලන කාලයේදී 2009 දී ලෙබනන් හා ඇෆ්ගනිස්ථාන මැතිවරණ වලටද 2013 කෙන්යාවේ මැතිවරණයටද ඇමෙරිකාව අත පොවා ඇත. 2015 ජනවාරි ශී‍්‍ර ලංකාවේ ජනාධිපති මැතිවරණය ගැන ඔහු පවසා ඇත්තේ ඒ ගැන පැහැදිලි පිළිතුරක් දීමට තව ටික කලක් ගත විය හැකි බවය (යඑඑචිථරැුරැුිරසක්බන්ැංචරුිිගදරටරැුමි-සබඑැරඩැබඑසදබ-එද-යැකච-මබච*.

එවැනි පසුබිමක ඇත්තේ මහා ඇලෙක්සැන්ඩර්ලා, සීසර්ලා, ගෙංගිස් ඛාන්ලා තම අධිරාජ්‍ය විශාල කරගැනීම වෙනුවෙන් අන් සතු භූමි අල්ලා ගැනීමක් වැනි ආක‍්‍රමණ නොවේ. එහි ඇත්තේ තමන් සතු නොවන සම්පත් හා වෙළඳපල පාලනය කිරීම සඳහා තමන්ගේ දේශපාලනයට අවනත රාජ්‍ය පාලන පිහිටුවා ගැනීම පිළිබඳ නවීන ඇමෙරිකානු කතාවකි. එබැවින් ඔවුන්ගේ ආධාර පිළිබඳ කතාවද ඊටම බද්ධ වූවක් මිස ඉන් ස්වාධීනව පැවතිය හැක්කක් නොවේ.

එම්.සී.සීයේ ඩොලර මිලියන 480 කතාව

ඉතාම ස්වාධීන යැයි හා දේශපාලනයෙන් තොර යැයි ලොවට හඳුන්වා දෙනු ලබන ඇමෙරිකානු ධවල මන්දිරයේ සෘජු බලපෑමට යටත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (එම්.සී.සී* විසින් පසුගිය වසරේදී ශී‍්‍ර ලංකාවට ඩොලර මිලියන 480 ක ප‍්‍රදානයක් කිරීමට තීන්දු කළ බැව් ප‍්‍රකාශ කෙරිණ. එය ආරම්භ කෙරුණු කි‍්‍රයාවලිය මෙවැනිය. එම්.සී.සීයේ පාලක මණ්ඩලය 2016 දෙසැම්බර 13 වන දින ඔවුන්ගේ ප‍්‍රදානයන් ලැබීම සඳහා ශී‍්‍ර ලංකාව සුදුසු යැයි තීන්දු කළේය. ඒ අනුව 2017 සැප්තැම්බර 20 වන දින ශී‍්‍ර ලංකා ආණ්ඩුව විසින් ‘‘පැවතිය හැකි අවහිරතා’’ පිළිබඳව අධ්‍යයන වාර්තාවක් සම්පූර්ණ කරනු ලැබිණ. ඉන් පසු ඔවුන්ගේ ප‍්‍රදානයක් වෙනුවෙන් ව්‍යාපෘති සකස් කරන මෙන් 2017 දෙසැම්බර 19 වන දින එම්.සී.සීයේ පාලක මණ්ඩලය ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් නැවත තීන්දුවක් ගනු ලැබීය. ඉන් අනතුරුව එම්.සී.සී ප‍්‍රදානයක් සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාව හා සාකච්ඡුා කිරීමට තමන් සූදානම් බව 2018 අගෝස්තු 13 වන දින ඔවුන් ඇමෙරිකානු කොන්ග‍්‍රසයට දැන්වීය. කොන්ග‍්‍රසයේ අනුමැතියෙන් පසු 2019 පෙබරවාරි 28 වන දින යුරෝපා, ආසියා, පැසිපික් හා ලතින් ඇමෙරිකානු රටවල් සම්බන්ධ සාමාන්‍යාධිකාරි කැරලින් න්ගුයෙන්ගේ සහ තේරීම්, සුදුසුකම් සහ ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කිරීමේ සාමාන්‍යාධිකාරී ඩැනියෙල් බාන්ස්ගේ ප‍්‍රධානත්වයෙන් තොරතුරු එක්රැුස් කිරීමටත් පවතින තත්ත්වය ඇගයීමටත් නිලධාරි කණ්ඩායමක් ශී‍්‍ර ලංකාවට පැමිණියහ. ඔවුන්ගේ නිර්දේශ සමග අපේ‍්‍රල් 25 වන දින එම්.සී.සීයේ පාලක මණ්ඩලය ශී‍්‍ර ලංකාවට එම්.සී.සී ප‍්‍රදානයක් (ක්‍දපච්ජඑ* ලබා දීමට තීන්දු කළේය.

මෙහිදී මතුවන පළමු කාරණාව වනුයේ එවැනි ප‍්‍රදානයක් ලැබීමට ශී‍්‍ර ලංකාවට ඇති සුදුසුකම ය. ඔවුන්ගේ තේරීමේ නිර්ණායක මූලික වශයෙන් ‘‘ආර්ථික නිදහස’’ සහ ‘‘යහපාලනය’’ මත සකසා ඇත. එම ක්ෂේත‍්‍රයන්හි ඇති සාධනීය වර්ධන මත පමණක් රටක් සුදුසුකම් ලබන්නේය. ඒ වර්ධන මත එම්.සී.සී ප‍්‍රදානයක් ලැබීමට නම්, (1* ණය ලැබීමට ඇති අවකාශ (2* ව්‍යාපාර ආරම්භ කිරීමේ නිදහස (3* ජනතාව සඳහා කෙරෙන ආයෝජන – දරුවන්ගේ සෞඛ්‍ය පිළිබඳ නිර්ණායක (4* සිවිල් අයිතිවාසිකම් (5* ¥ෂණය පාලනය කිරීම (6* තොරතුරු දැනගැනීමේ නිදහස (7* ළදැරියන් සඳහා අධ්‍යාපනයෙහි ඇති අවකාශය (8* ආණ්ඩු පාලනයේ කාර්යක්ෂමතාව (9* සෞඛ්‍ය සඳහා වියදම (10* ප‍්‍රතිශක්තිකරණ අනුපාතය (11* ආර්ථික උද්ධමනය (12* ඉඩම් අයිතිය සහ ඉඩම් සඳහා ඇති අවකාශය (13* ස්වභාවික සම්පත් ආරක්ෂාව (14* දේශපාලන අයිතිවාසිකම් (15* ප‍්‍රාථමික අධ්‍යාපනය සඳහා වැය කිරීම් (16* නියාමන කාර්යන් සම්බන්ධ ගුණාත්මක තත්ත්වය (17* නීතිය හා සාමය රැුකීම සහ (18* වෙළඳ ප‍්‍රතිපත්ති සඳහාවන නිර්ණායක සාධනීය තත්ත්වයෙන් තිබිය යුතුය.

මේවායින් කවර නිර්ණායක මත ශී‍්‍ර ලංකාව එම්.සී.සී ප‍්‍රදානය ලැබීමට සුදුසුකම් ලැබුවේදැයි නිශ්චිතව සඳහන් නොවුනත් ශී‍්‍ර ලංකාවේ පැවැත්ම සමස්ථයක් ලෙස ඒ සඳහා සුදුසුකම වූයේ යැයි කියැවේ. එහෙත් ලංකාව සම්බන්ධ එම්.සී.සී ප‍්‍රදානය පිළිබඳ කතාව ආරම්භ වන 2016 දෙසැම්බරයට පෙර සිටම යහපාලන ආණ්ඩුව අසාර්ථක වූ බැව් මේ රටේ පොදු පිළිගැනුමය. එය පෙර රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව දිගින් දිගටම පෙනී සිටිනා බහුතරයද පිළිගන්නකි. රාජපක්ෂ ආණ්ඩු පාලනයේ වූ යෝධ ¥ෂණ සම්බන්ධයෙන් නැගුණු චෝදනා සහ ¥ෂණ පිටු දැකීමට 2015 ජනවාරි මැතිවරණයෙන් පත් වූ එ.ජා.පය ප‍්‍රධානවූ යහපාලන ආණ්ඩුව අසමත් වූවාට අමතරව ඒ ආණ්ඩුවද අතිශය ¥ශිත ආණ්ඩුවක් විය. මහ බැංකු බැඳුම්කර වංචා සහ එවැනි තවත් මහ පරිමාණ ¥ෂණ වංචා ගණනාවක් පිළිබඳ තොරතුරු ප‍්‍රසිද්ධ විය. ¥ෂණ හා විශේෂයෙන් රාජපක්ෂ යුගයේ සිදුව ඇතැයි වූ අපරාධ පිළිබඳව කෙරෙන පරීක්ෂණ සඳහා දේශපාලන බලපෑම් ඇතැයි ප‍්‍රසිද්ධ චෝදනා විය. එබැවින් එම්.සී.සී තේරීමේ නිර්ණායකවල (1, (2, (5, (8, (13, (16 සහ (17* සම්බන්ධව කිව හැකි කිසිදු සාධනීය තත්ත්වයක් නැත. ඊට අමතරව (3* සම්බන්ධයෙන් විශේෂයෙන් අවධාරණය කෙරෙන දරුවන්ගේ සෞඛ්‍යය ගැන 2015 න් පසු ආණ්ඩුවට අලූතින් කිව හැකි විශේෂ තත්ත්ව වර්ධනයක්ද නැත. ජාතික රෝහල් පද්ධතියේ සහ වෛද්‍ය වෘත්තියෙහි පිරිහීම සමග එවැනි අලූත් දියුණුවක් හෝ පැවති තත්ත්වය නඩත්තු කිරීමේ හැකියාවක් ඇතැයි කීමට හෝ නොහැක. සමස්ථ අධ්‍යාපනයේ බිඳ වැටීම හමුවේ අංක (7* ගැන කිව හැකි විශේෂයක්ද නැත.

එවැනි සන්දර්භයක ඇමෙරිකානු එම්.සී.සී ප‍්‍රදානය ලැබීමට ශී‍්‍ර ලංකාව සතු නොකියවෙන වෙනත් සුදුසුකමක් තිබිය යුතුය. එය නිශ්චිතවම භූ-දේශපාලනික සාධකය වන්නේය. විශාල ලෙස චීනයට නතු නොවන ආණ්ඩුවක් ලංකාවේ නඩත්තු කිරීම රාජපක්ෂ යුගයේ සිට ඇමෙරිකාව තීන්දුකර තිබුණකි. ඒ වෙනුවෙන් දෙවැනි තේරීමක් සමග ඇමෙරිකානු ලැදි එ.ජා.ප ආණ්ඩුව තව දුරටත් බලයේ තබා ගැනීමට ඔවුන් මාන බැලූවේය. විශාල ණය මත ආර්ථික අර්බූදයකට තල්ලූ වන ශී‍්‍ර ලංකාවට ඩොලර මිලියන 480 ක ආධාරයක් කිරීම ඔවුන්ගේ එක් උපායකි. එවැනි ආධාර දිනා ගැනීමට එ.ජා.ප ආණ්ඩුවට හැකි යැයි ජනතාවට පෙන්වීම ප‍්‍රධාන අරමුණක් විය. එය 1956 මැතිවරණයට පෙර එ.ජා.ප ආණ්ඩුවට ඩොලර මිලියන 05 ක් ලබා දුන්නා මෙනි.

එහෙත් වික‍්‍රමසිංහගේ යහපාලන ආණ්ඩුව සමග ගිවිසුම් අත්සන් කිරීමෙන් ඒවා කි‍්‍රයාත්මක කිරීමට හැකි සමාජ පසුබිමක් ගැන ඔවුන්ටද එතරම් විශ්වාසයක් නොවූයෙන් 2019 නොවැම්බර ජනාධිපතිවරණයට පෙර එම්.සී.සී ප‍්‍රදානය සඳහා ගිවිසුම් අත්සන් කිරීමට ඔවුන්ද හදිස්සි නොවුනි. ඔවුන්ගේ භූ-දේශපාලනික වුවමනාවන් අප‍්‍රසාදයට පත්වන ආණ්ඩු හරහා ඉටුකර ගැනීම අසීරු බැව් ඇමෙරිකාව දන්නාවූ කාරණාවකි. එබැවින් ජනාධිපතිවරණයේ ඔවුන්ගේ දෙවැනි තේරීම සමග ජනාධිපතිවරණයෙන් පසු එම ගිවිසුම අත්සන් කිරීමේ පූර්ව එක`ගතාවක් තිබුණු බව දැකිය හැක්කේ ජනාධිපතිවරණ සමයේ ඊට බරපතල ලෙස විරුද්ධ වූවන් දැන් එහි ඇති සාධනීය ලක්ෂණ ගැන කතා කිරීමෙනි. නව ආණ්ඩුව සමග චීන සාධකය තුලනය කර ගැනීම වඩා පහසු යැයි ඔවුන් ගණන් හැදුවා විය යුතුය.

ආසියානු වැඩසටහන් බාරව ඉන්නා ‘‘කානගි එන්ඩෝමන්ට් ෆො ඉන්ටනැෂනල් පීස්’’ ආයතනයේ උප සභාපති වන ඩග්ලස් එච්. පාල් 2019 ජනවාරියේ ‘‘ජවබල ආසියාවේ ඇමෙරිකානු අනාගතය’’ නමින් ඉදිරිපත් කළ අධ්‍යන පත‍්‍රිකාවෙහි ඔහු සිය හැඳින්වීමෙහි මෙවැනි සටහනක් තබා ඇත. ‘‘චීනය සම්බන්ධයෙන් ඇමෙරිකාවට ඇති හොඳම ඉදිරි මාවත කුමක්ද? පසුගිය අවුරුදු කිහිපයේ මෙම ප‍්‍රශ්නයට අදාල සංවාදයක් ඇරඹී ඇත. ඉස්මතුවන අභියෝගයට සෘජුව මුහුණ දීම සඳහා ඇමෙරිකාව යළි සන්නද්ධවීමෙන් මැදපෙරදිග සිට ආසියානු පැසිපික් කලාපය දක්වා නැවත හමුදා යෙදවිය යුතු යැයි නිරීක්ෂකයින් බොහෝමයක් විශේෂයෙන් ඞ්වයිට් අයිසන්හව නම් කළ ‘මිලිටරි කර්මාන්ත සංකීර්ණයේ’ අය විශ්වාස කරති. අනෙක් ලිබරල් ජාත්‍යන්තරවාදීන් සහ යතාර්ථවාදීන්ගේ තර්කය වනුයේ ආසියානු පැසිපික් කලාපයේ කැපී පෙනීමට වොෂිංටනය අතීතයේ කි‍්‍රයාකළ පිළිවෙත අත හැර, චීනයේ නව අවි පද්ධතියට අත පෙවිය නොහැකි ඔවුන්ට ඔබ්බෙන් ඇති මධ්‍යස්ථාන වෙත මාරු විය යුතුය යන්නය’’.

ඩග්ලස් එච්. පාල්ට අනුව මේ සංවාදය තවම කෙළවරක් දැක නොමැත. එබැවින් එම්.සී.සී ප‍්‍රදානය තීන්දු වන්නේ රාජ්‍ය තාන්ති‍්‍රක ගනුදෙනු හරහා හමුදාමය ආධිපත්‍ය වෙනුවෙන් ඇමෙරිකාවට අවකාශ ලබාගත හැකි දැයි උත්සාහ කිරීමක් ලෙසිනි. ඩොලර මිලියන 480 ක එම්.සී.සී ප‍්‍රදානයේ දේශපාලනය එය වේ.

අපට අදාල එම්.සී.සී ප‍්‍රදානය

එම්.සී.සී ප‍්‍රදානය සතු නොලියවුනු දේශපාලනයට අමතරව එහි ඇති ආර්ථික අරමුණද එම ප‍්‍රදානයට අයත් ව්‍යාපෘති දෙක ඔස්සේ කියවා ගත යුතුය. එහිද තවත් දේශපාලනයක් ඇති බැවිනි. ඇමෙරිකාව ඩොලර මිලියන 480 ක එම්.සී.සී ප‍්‍රදානය ලබා දෙන්නේ එහි ප‍්‍රධාන ව්‍යාපෘති දෙක වන ඉඩම් ව්‍යාපෘතිය (ඩොලර මිලියන 67* සහ ප‍්‍රවාහන ව්‍යාපෘතිය (ඩොලර මිලියන 350* වෙනුවෙනි. ඉතිරි ඩොලර මිලියන 63 ලබා දෙන්නේ අවශ්‍ය තාක්ෂණික, සැළසුම් කිරීම්, ශක්‍යතා අධ්‍යන හා පරිපාලන කාර්යන් සඳහාය. බැලූ බැල්මට නොපෙණුනත් මෙහි වැදගත් සාධකය වන්නේ ඉඩම් ය.

විවිධ රජයේ ආයතන සහ දෙපාර්තමේන්තු යටතේ පවතින රජයේ ඉඩම් ප‍්‍රමාණය සමස්ථ ඉඩම් ප‍්‍රමාණයෙන් සියයට 80 ක් යැයි ‘‘නීතිය හා සමාජ භාරකාරත්ව සංවිධානය’’ විසින් 2015 දී සකස් කර ඇති ‘‘රජයේ ඉඩම් හා ඉඩම් පිළිබඳ නීති’’ නමැති අත් පොතෙහි සඳහන් වේ. ඉඩම් සංවර්ධන පනත යටතේ රජයේ ඉඩම්වල බුක්තිය හා පරිහරණය විවිධ හේතු කාරණා මත පුද්ගලයින්ට හා පෞද්ගලික ආයතන වලට පැවරෙන්නේය. නිදහසින් පසු කෘෂි වගා බිම් අතුරින් සියයට 63 ක් එළෙසින් විවිධ ජනාවාස වැඩසටහන් සහ පුද්ගලයින් පදිංචි කිරීමේ ව්‍යාපෘති යටතේ ආණ්ඩු විසින් ජනතාවට පවරා ඇත. විශේෂයෙන් වියළි කලාප හා මධ්‍යම, සබරගමුව, ඌව වැනි පළාත්හි සහ නැගෙනහිර රජයේ ඉඩම් පුද්ගලයින්ගේ පදිංචියට හා වගා කටයුතු සඳහා ස්වර්ණභූමි, ජයභූමි සහ ඉසුරුභූමි ඔප්පු වෙතින් අක්කර 02 ට අඩු බිම් කැබලි පවරනු ලැබිණ. නමුදු ඒවායෙන් සාමාන්‍ය ඉඩම් ඔප්පුවකින් පැවරෙන හිමිකාරිත්වය පැවරුණේ නැත. මෙම බුක්තිය ඔප්පු හිමියාගෙන් පසු පවුලේ සාමාජිකයෙකුට හිමිවන නමුදු එම ඉඩම් වෙන අයෙකුට සින්නක්කර විකිණීමට හෝ උකස් කිරීමට නීතියෙන් නොහැක. වෙනකක් තබා ණයක් සඳහා මෙවැනි ඔප්පු මගින් පවරනු ලැබූ ඉඩම් ඇප බැඳුම්කරයක් ලෙස බැංකු බාර ගන්නේද නැත.

මෙම ඉඩම් ‘‘රජය සතු ඉඩම්’’ යැයි ව්‍යවහාරයේ තිබුණද ඇත්තටම රජයට ඇත්තේ ඒවායේ ‘‘භාරකාරත්වය’’ පමණි. ‘ඉඩම් අයිතිය පිළිබඳ පනත’ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් 2003 දී අංක 26්-36/2003 දරණ විශේෂ විභාගයේදී තීන්දු කරනු ලැබුවේ රජයේ ඉඩම් යනු ‘‘මහජනතාව වෙනුවෙන් රජය භාරයේ ඇති ඉඩම්’’ බවය. මෙලෙසින් පෞද්ගලිකව වෙළඳපල භාණ්ඩයක් ලෙස අලෙවි කළ නොහැකි අයුරින් අයිතිය රජය භාරයේ තබා ගනිමින් විශේෂයෙන් කෘෂි වගා ඉඩම් සඳහා අවසරපත් ලබාදීම පිළිබඳව විවේචනයන් ඇත. ඉන් ප‍්‍රධානම විවේචනය වන්නේ කුඩා ඉඩම් හිමියන් ලෙස වගාවෙන් ජීවත් විය නොහැකිවුන්ට වෙනත් ජීවනෝපායක ආයෝජනය කිරීමට ඔවුන්ට ලබාදී ඇති ඉඩම මුදල් කිරීමට නොහැකි වීම, බරපතල අසාධාරණයක්ය යන්නය. එහෙත් එනිසාම එවැනි විශාල පිරිසක් යන එන මං නැති අනාථයන් වීමෙන් වැළකී ඇත්තේ ඔවුන්ට ජීවිත කාලය පුරා ස්ථිර පදිංචියක් හා ස්ථිර වගා බිමක් එමගින් තහවුරු කර ඇති බැවින් යැයි ප‍්‍රති තර්කයක්ද ඇත.

මේ තර්ක අතර, එවැනි බොහෝ ඉඩම් අනිසි ලෙස අලෙවි වන අතර, බුක්තියද හුවමාරු වන්නේය. එවැනි අනිසි ගනුදෙණු සඳහා ඉඩ ඇත්තේ නිදහසින් පසු අවුරුදු 70 ට වැඩි කලක ග‍්‍රාමීය සංවර්ධනයක් නොමැති දේශපාලන ඉතිහාසයක් හේතුවෙනි. එය විවෘත වෙළඳපල ආර්ථිකයෙහි වඩාත් උග‍්‍ර වූවකි. මේ අයාලේ යන විවෘත වෙළඳපල ආර්ථිකයෙහි කිසිදු සමාජ රක්ෂණයක් සහ ග‍්‍රාමීය සංවර්ධනයක්ද නොමැති හෙයින් එහි අතරමංව ඇති අසරණුන් වඩා යහපත් ජීවිතයක් අපේක්ෂාවෙන් තමන් වෙත ලැබී ඇති ඉඩම් විකුණා දමා ගමෙන් පිටවීමට හෝ ස්වයංරැුකියාවක් කිරීමට උත්සාහ කරති. පෞද්ගලිකත්වය මත පවතින විවෘත වෙළඳපලක එවැනි පිරිස් දැනටත් ගාල් කෙරෙන්නේ අවිධිමත් නාගරික ආර්ථිකයෙහි ය. එහිද පැහැදිලි ජීවන රැුකවරණයක් නැත. එහි ඇත්තේ ආදායම් සෙවීමේ තනි තනි අත්හදා බැලීම් ය. තවත් එවැනි පිරිස් කුලී ශ‍්‍රමිකයින් සැපයීමේ කොන්තරාත්කරුවන්ගේ (මෑන්පවර්* අර්ධ වහලූන් බවට පත්ව ඇත.

එවන් සමාජ පසුබිමක ඉඩම් අයිතිය පුද්ගලිකව තහවුරු කිරීම විශේෂයෙන් ග‍්‍රාමීය සමාජයේ සාධාරණය කිරීම පහසු කාර්යකි. එම්.සී.සී ප‍්‍රදානය ලබා දෙන්නේ ගමේ එවැනි අසරණුන්ගේ කුඩා ඉඩම් කැබලි වල අයිතිය තහවුරු කර ඒවාට වෙළඳපල වටිනාකමක් ලබා දීමටය. ‘‘සංවර්ධනය’’ සඳහා විවෘත වෙළඳපල පදනම්ව එවැනි ගැටළු හඳුනා ගැනීම වෙනුවෙන් ලංකාණ්ඩුව 2017 දී කර්තෘත්වයක් නොමැති ‘‘පැවතිය හැකි අවහිරතා පිළිබඳ අධ්‍යනය’’ නමින් වාර්තාවක් එම්.සී.සී ප‍්‍රදානය සඳහා සකසා ඇත. හාවඞ් විශ්ව විද්‍යාලයෙහි සහාය ඇතිව එම්.සී.සී විශේෂඥයින් විසින් එය විශ්ලේෂණය කිරීමෙන් පසු සැකසූ ඔවුන්ගේ වාර්තාවෙහි ඔවුන් අවහිරතා ගැන සඳහන් කරන්නේ ‘‘මෙම වාර්තාවෙන් අප තර්ක කරනුයේ පෞද්ගලික අංශයේ ආයෝජන සහ ආර්ථික වර්ධනය වෙනුවෙන් ශී‍්‍ර ලංකාව බැඳී තැබෙන අවහිරතා තුනක් ඇති බවය. එනම් (1* ප‍්‍රතිපත්ති සම්බන්ධ අවිනිශ්චිත බව – විශේෂයෙන් බදු සහ ආනයන අපනයන සඳහා අය කිරීම් (2* ඉඩම් සඳහා ප‍්‍රමාණවත් අවකාශ නොමැතිවීම සහ (3* දුර්වල ප‍්‍රවාහන පහසුකම් හා අදාල සේවාවන්ය.’’ (පිටුව 08*

ඔවුන් කතා කරන්නේ ‘‘පෞද්ගලික අංශයේ ආයෝජන සහ ආර්ථික වර්ධනය’’ ගැනය. අවුරුදු 40 ට වැඩි කලක් මේ රටේ සමස්ථ ග‍්‍රාමීය ප‍්‍රජාව අතහැර දමා කොළඹ කේන්ද්‍රීය පරිභෝජන වෙළඳපලක් නිර්මාණය කරමින් හඩු ජාවාරම්කාරයින් සමග ආත්මාර්ථකාමී, කුහක සමාජයක් තහවුරු කළ අති ¥ෂිත විවෘත වෙළඳපල ආර්ථික කි‍්‍රයාවලිය වඩාත් නග්න ලෙස ඉදිරියට පවත්වා ගැනීම පිළිබඳවය. ඔවුන් කතා කරන්නේ තම රටවැසියන්ගේ ජාතික අවශ්‍යතා සඳහා සංවර්ධන කාර්ය සැළසුම් කිරීමේ ලංකාණ්ඩුවේ හැකියාව අතහැර දැමෙන සහ පෞද්ගලික ආයෝජකයින්ට ඔවුන් තීරණය කරන්නාවූ වැඩි ලාභ ඉපැයීම සඳහා ඉඩ තැබිය හැකි විවෘත ආර්ථික කි‍්‍රයාවලියක් ගැනය, ඒ අනුව මේ එම්.සී.සී ව්‍යාපෘති දෙක සකස් කෙරෙන්නේ අපනයනය සඳහා මහ පරිමාන කෘෂි නිෂ්පාදන වෙනුවෙන් අවශ්‍ය විශාල ආයෝජන ග‍්‍රාමීය කෘෂි ක්ෂේත‍්‍රයට ලබා ගැනීමටත් ඒ වෙනුවෙන් ප‍්‍රවාහන පහසුකම් කාර්යක්ෂම කිරීමටත්ය. කුඩා ඉඩම් කැබලි හිමි ගොවීනට ඒවා අලෙවි කළ හැකි සේ අයිතතිය තහවුරු කිරීමෙන් ලොකු ආයෝජකයින්ට කෘෂි ක්ෂේත‍්‍රයට ඇතුලූවීමේ අවකාශය ලැබෙන්නේය. ඔවුන් හඳුනාගෙන ඇති ‘‘(2* ඉඩම් සඳහා ප‍්‍රමාණවත් අවකාශ නොමැතිවීම’’ යන අවහිරතාවට විසඳුම එය වන්නේය.

ඉඩම් ව්‍යාපෘතිය යටතේ ඇති කි‍්‍රයාකාරකම් 05 එකට ගත් විට ඉඩම් ව්‍යාපෘතියෙහි ආයෝජකයින්ට ඇති වැදගත්කම තේරුම් ගැනීම පහසුය. ඒවා නම්, (1* රජයේ ඉඩම් ලේඛනගත කිරීම (2* රජයේ තක්සේරු දේපාර්තමේන්තුවේ ධාරිතාවය වැඩි දියුණු කිරීම (3* ඉඩම් වාර්තා ඩිජිටල්කරණය කිරීම (4* දේපළ ඔප්පු හිමිකම් සහතික බවට පරිවර්තනය කිරීම සහ (5* ඉඩම් ප‍්‍රතිපත්ති ලේකම් කාර්යාලය ස්ථාපිත කිරීම වේ. මේ සියල්ලෙන් කෙරෙන්නේ කාර්යන් දෙකකි. එකක් නම් නිරවුල් ඔප්පුවක් නොමැති හෙයින් ඉඩම් අලෙවි කළ නොහැකි දිළිඳු ගොවීනට තම ඉඩම් අලෙවි කළ හැකිවන හිමිකාරිත්වය ලබා දීමය. දෙවැන්න එවැනි රජයේ ඉඩම් පහසුවෙන් සොයා ගත හැකි අයුරු නවීන තාක්ෂණ මෙවලමක් ඩිජිටල්කරණය ලෙසින් හඳුන්වා දීමය.

එම කාර්යන් ඉටු කිරීමේදී එයට අනිවාර්යෙන්ම එකතු කළ යුතු අනෙක් සේවාව නම් ප‍්‍රවාහන පහසුකම් ය. ප‍්‍රවාහනය ඉලක්ක කෙරුණු දෙවැනි ව්‍යාපෘතියෙහි ඇති වැදගත්කම එය ය. මේවන විටත් දකුණු පළාත කොළඹට සම්බන්ධ කිරීමේ අධිවේගී හා දුම්රිය මාර්ගය ඉදිකර හමාරය. මධ්‍යම පළාත එම අධිවේගී මාර්ග පද්ධතියට සම්බන්ධ කිරීමේ ඉදිකිරීම්ද අරඹා ඇත. කොළඹ මහනගර වෙළඳපලෙහි වයඹ සකී‍්‍රය සාධකයකි. දිළිඳු කෘෂි සමාජයක් ලෙස ඇති උතුරු මැද පළාත සඳහා දැනට කාර්යක්ෂමතාව ප‍්‍රමාණවත් නොවුනත් සැළකිය යුතු ප‍්‍රවාහන සේවාවන් ඇත. එබැවින් මේ එම්.සී.සී ප‍්‍රදානයෙහි ප‍්‍රවාහන ව්‍යාපෘතිය යොමු කෙරෙන්නේ, කොළඹ කේන්ද්‍රීය වෙළඳපල හා ආනයන-අපනයන සේවා පහසුකම් සමග කෘෂි නිෂ්පාදන ප‍්‍රවාහනය කෙරෙන සේවාවන් බද්ධ කිරීමටය. එම්.සී.සී විශේෂඥයින්ගේ අවහිරතා විශ්ලේෂණ වාර්තාවෙහි ඒ ගැන ඇති සඳහනක් මෙසේය. ‘‘එම්.සී.සී පාර්ශවකරුවන් සමග පැවති සාකච්ඡුාවන්හි කෙරුණු තක්සේරු සහ අනුමත කිරීම් අනුව, කෘෂි නිෂ්පාදන වලින් අවම සියයට 30 ක් ගොවි බිම හා අවසාන වෙළඳලපල අතරතුර ප‍්‍රවාහනය කිරීමේදී විනාශ වන්නේය. අවශ්‍ය ප‍්‍රමාණයට දත්ත නොවුනත් මෙම විශාල නරක්වීම් සඳහා හේතුව විය හැක්කේ ග‍්‍රාමීය හා ජාතික මාර්ග සතු දුර්වල ත්ත්තවයන් හේතුවෙන් වන මන්දගාමී ප‍්‍රවාහනය විය යුතුය.’’ (පිටුව 31*

ලංකාණ්ඩුව විසින් සපයන ලද පැවතිය හැකි අවහිරතා සම්බන්ධ වාර්තාවද පදනම් කරගනිමින් එම්.සී.සී විශේෂඥයින්ගේද සහාය ඇතිව සකස් කෙරුණු ප‍්‍රවාහන ව්‍යාපෘතියට අනුව, ‘‘මධ්‍යම වට රවුම් මාර්ග ජාල ව්‍යාපෘති මගින් ඇමෙරිකානු ඩොලර් මිලියන 140 ක වියදමින් ජාතික මහා මාර්ගයන්හි කිලෝමීටර් 131 ක් නවීකරණය කිරීමෙන් සබරගමුව, ඌව සහ මධ්‍යම යන පළාත් බස්නාහිර පළාතේ ඇති වරායන් හා වෙළඳ පොළ සමග සම්බන්ධ කෙරේ. තවද මෙම මාර්ග ජාල තුලින් නැගෙනහිර ජනතාවගේ ප‍්‍රවාහන සඳහාද පහසුකම් සැලසෙනු ඇත.’’

කතාවේ සම්පිණ්ඩය ගත් කළ

ඇමෙරිකානු ආණ්ඩුවේ දේශපාලන අවශ්‍යතා වලින් ස්වාධීන වූ විදේශ ආධාර ලබාදීමක් ඇත්තේ නැත. යූඑස්ඒඞ් ආයතනයට වඩා ස්වාධීන යැයි හඳුන්වා දෙන එම්.සී.සී ආයතනය ධවල මන්දීරයට සෘජුව සම්බන්ධ වූවකි. එබැවින් ඒ හරහා කෙරෙන ප‍්‍රදාන ඇමෙරිකානු රාජ්‍යයේ දේශපාලන වුවමනාවන් අනියම් ලෙස හා වක‍්‍රව ඉටුකර ගැනීමට කෙරෙන ප‍්‍රදාන වන්නේය. මෙහි ඇති ඒ දේශපාලන වුවමනාව වන්නේ, රාජපක්ෂ යුගයේ සිට ශී‍්‍ර ලංකාව ඉතා විවෘතව චීනයට නතුවීම වළකාලමින් ඉන්දීය-පැසිපික් මුහුදු මාර්ගය ඇමෙරිකානු අධිකාරය යටතේ පවත්වා ගැනීමේ උත්සාහය වන්නේය.

මේ ඇමෙරිකානු ඩොලර මිලියන 480 ක එම්.සී.සී ප‍්‍රදානයෙන් උත්සාහ කෙරෙන්නේ ඒ වෙනුවෙන් අවුරුදු 40 ක් පුරා කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල කේන්ද්‍රගත වූ විවෘත වෙළඳපල ආර්ථිකය හා අපනයන නිෂ්පාදන වලට සීමාවූ ආයෝජන මහපරිමාන කෘෂි නිෂ්පාදන සඳහා විවෘත කිරීමය. ඒ සඳහාවන ව්‍යාපෘති මගින් ඔවුන්ට ශී‍්‍ර ලංකාවේ යටිතල පහසුකම් ඉදිකිරීම සමග දේශපාලන බලපෑම් කිරීමේ අවකාශයක්ද ලබා ගැනීමය.

නගරයෙන් ගමට ආයෝජන ගෙන යාමේ අවාසි දෙකකි. එකක් නම් කුඩා ග‍්‍රාමීය ඉඩම් හිමියන් අවතැන් කරමින් මහ පරිමාන ආයෝජකයින් මෙරට කෘෂිකර්මාන්තය සියතට ගැනීමය. ඉන්පසු කෘෂි ප‍්‍රතිපත්ති තීන්දු කිරීමේ ප‍්‍රධාන සාධකය බවට පත්වනු ඇත්තේ මහපරිමාන කෘෂි නිෂ්පාදකයින්ය. වගා බිම් යොදා ගනු ඇත්තේද ඔවුන්ගේ ලාභ අනුපාත අනුව ඔවුන් තීන්දු කරන්නාවූ කෘෂිභෝග වගා කිරීමටය. දෙවැන්න නම්, වසර ගණනාවක් යත්ම ගමෙන් අවතැන්වන පිරිස් නාගරික අවිදිමත් ආර්ථික ක්ෂේත‍්‍රයෙහි රැුකියා සුරක්ෂිතතාවයක් නොමැති යැපෙන්නන් ලෙස අතරමං වීමය. එමගින් නගරයේ ආයෝජන සඳහා අසංවිධිත ලාභ ශ‍්‍රමික පිරිස් නිර්මාණය වනු ඇත. එය අපනයන නිෂ්පාදනයට හවුල්වන හාම්පුතුන්ටද වාසිදායක ප‍්‍රවනතාවකි.

දැන් ඉතිරිවන ප‍්‍රශ්න දෙකකි. පළමුවැන්න ඇමෙරිකානු ඩොලර මිලියන 480 සමග මේ එම්.සී.සී ව්‍යාපෘති දෙක බාර ගන්නේද නැද්ද යන්නය. එය බාර ගැනීමෙන් මේ රටේ සංවර්ධනයට යමක් අලූතින් එකතුවේ යැයි කිසිදු සහතිකයක් නැතිමුත් අප ඇමෙරිකාවේ භූ-දේශපාලනික ව්‍යාපෘතියෙහි පංගුකාරයින් බවට පත්වීමෙන් වැළකිය නොහැකිය. ඒ සමග අපගේ ස්වෛරිත්වය පිළිබඳ ප‍්‍රශ්නද ඉදිරියේදී මතුවිය හැක. දෙවැන්න මෙය ප‍්‍රතික්ෂේප කිරීමය. ඉන් ඇමෙරිකාවේ භූ-දේශපාලනික ව්‍යාපෘතියෙන් ගැලවිය හැකි නමුත් අවුරුදු 40 ක විවෘත වෙළඳපල ආර්ථිකයේ බිඳවැටීම් වලින් ගැලවිය නොහැක. සියලූ සේවා සහ ආයතන වඩ වඩාත් ¥ෂණයට පත්වීමෙන් සහ නීතියේ පැවැත්ම, ආදායම් හා වත්කම් බෙදී යාමේ බරපතල විෂමතාව මෙන්ම ග‍්‍රාමීය සමාජයේ බිඳ වැටීමේ අර්බූදයෙන් ගැලවිය නොහැක.

එබැවින් ඇත්තටම ඉතිරි වන්නේ අප අපේ අනාගත ‘‘සංවර්ධනය’’ කවර ආකාරයේ සංවර්ධනයක් විය යුතුද යන්න තේරුම් බේරුම් කරගැනීමේ වගකීමය. ඒ සඳහා සමාජ ආර්ථික හා සංස්කෘතික සාධක අලූතින් ගොනුකර ගන්නා විකල්ප මාවත හදා ගන්නේ කෙසේද යන්නෙහිය. ඒ සඳහා ඇනවුම් කළ විගස ලබාගත හැකි ‘‘හදා නිම කළ’’ සැළසුම් ඇත්තේ නැත. එය දිගු සමාජ කතිකාවක් තුල සිදුවිය යුත්තකි.

කුසල් පෙරේරා
2019 දෙසැම්බර 10 වන දින

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2020 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress