පසුගිය රජය සමයේ සන්නද්ධ හමුදා සාමාජිකයන්ට සිදුවූ අසාධාරණකම් වලට සාධාරණය ඉටුකරනවා – අගමැති –
Posted on December 13th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

පැවැති  යහපාලන රජය සමයේ සන්නද්ධ හමුදා සාමාජකයිට විදින්න සිදුවූ යුක්තිය, අසාධාරණය හා අවමානය නිවැරදි කොට අවශ්‍ය  තැන්වල වන්දි ලබාදීමට කටයුතු කරන බව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා.

ශ්‍රී ලංකා ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස  සහභාගී වෙමින් ඔහු අද (13) මෙම අදහස් පළකළා.

ලෝකයේ කිසිම රටක ආණ්ඩුවක් මේ ආකාරයට තමන්ගේම සන්නද්ධ හමුදා අවමානයට ලක් කරල නැහැ. සන්නද්ධ හමුදා කියන්නෙ ජාතියක ආරක්‍ෂකයෝයි. 2015 ජනවාරියේ ආණ්ඩු පෙරලියෙන් පස්සෙ මේ රටේ ඇතිවුණේ විදේශීය හතුරු බලවේගයක් විසින් ලංකාව ආක්‍රමණය කරලා යටත් කරගත්ත වගේ තත්වයක් බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

ස්වෛරී ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාව තහවුරු කරන්න සන්නද්ධ හමුදාවලට අවශ්‍ය නායකත්වය දේශපාලන බලධාරීන් හැටියට අපි ලබාදෙනව. මේ රටේ සන්නද්ධ හමුදා වලටත් ශ්‍රී ලංකාවේ ජනතාවටත් අපි දෙන ප්‍රතිඥාව එය බව ද ඔහු ප්‍රකාශ කළා.

අගමැතිවරයා මෙහිදී කල සම්පුර්ණ කතාව පහතින්.

අතිපූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි, සෙසු සියලු ආගම්වල පූජකතුමනි, ගරු ඇමතිවරුනි, මන්ත්‍රීවරුනි, ආරක්‍ෂක ලේකම්තුමනි, ආරක්‍ෂක මාංඩලික ප්‍රධානීතුමනි, ශ්‍රී ලංකා යුද හමුදාවේත්, නාවුක හමුදාවේත්, ගුවන් හමුදාවේත් හමුදාපතිවරුනි, සන්නද්ධ හමුදාවල නිලධාරීන් හා සාමාජිකයිනි, ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ උපාධිධරයිනි, සම්භාවනීය අමුත්තනි,

රී ලංකා ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයට ප්‍රධාන අමුත්තා හැටියට සහභාගී වන මෙන් මට ලැබුණු ආරාධනාව මම පිළිගත්තෙ බොහොම සතුටෙන්. නොවැම්බර් 16 ජනාධිපතිවරණයෙන් පස්සෙ අගමැති හැටියට පත්වෙලා  ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා සාමාජිකයන් නිල වශයෙන් ආමන්ත්‍රනය කරන්න මට ලැබුණු ප්‍රථම අවස්ථාව මෙයයි. මීට අවුරුදු දහයකට කළින් කොටි ත්‍රස්තවාදය පරාජය කරමින්, ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා ලැබූ විශිෂ්ඨතම ජයග්‍රහණය අවස්ථාවේදී ඔබගේ සේනාධිනායකයා හැටියට කටයුතු කිරීමට ලැබීම මම මගේ ජීවිත කාලය තුළ ලැබූ සුවිශේෂම වරප්‍රසාදයරක් හැටියට තමයි මම සලකන්නෙ. ඔබ ඒ ලැබූ ජයග්‍රහනයේ කීර්තිය දේශීය වශයෙන් විතරක් නෙවෙයි ජාත්‍යන්තරවද තවත් දශක ගණනාවක් යනතුරු රැව් පිළිරැව් දෙන බව මට විශ්වාසයි.

ත්‍රස්තවාදී උවදුර මැඩපවත්වගන්න බැරුව මුලු ලෝකයම ලතවෙමින් හිටපු අවස්ථාවක තමයි අපි ඒ ජයග්‍රහණය ලැබුවෙ. එම නිසා,ඒ ශ්‍රී ලාංකික ජයග්‍රහණය ලංකාවට පමණක් නොවෙයි මුලු ලෝකයටම ආලෝකයක් සහ නව බලාපොරොත්තුවක් ගෙන දෙන කාරණයක් වුණා. ඇමරිකාවේ එෆ්.බී.අයි ආයතනය විසින් 2008 ජනවාරි මාසයේදී කොටි සංවිධානය ලෝකයේ බලගතුම හා භයානකම ත්‍රස්තවාදී සංවිධානය හැටියට නිල වශයෙන්ම නම් කරලා තිබුණා. ඇමරිකාවට කොටි සංවිධානයෙන් ඍජු තර්ජනයක් තිබුණෙ නැතත් ඇමරිකාව ඔවුන්ට සැලකුවේ ලෝකයේ දරුනුම ත්‍රස්තවාදී සංවිධානය හැටියටයි. ඔවුන්ට ඍජු තර්ජනයක් වුනු අල්කයිඩා සංවිධානය පවා ඇමරිකානුවන් විසින්ම ශ්‍රේණිගත කරල තිබුණෙ කොටි සංවිධානයට වඩා පහලින්. අපි එදා මුහුණ දුන් ත්‍රස්තවාදී උවදුරේ තරම ඒකෙන්ම පැහැදිලි වෙනවා

නමුත් 2009 දී අපි ඒ ත්‍රස්තවාදී සංවිධානය තීරණාත්මක ලෙස පරාජය කළා. අපි ඒ ජයග්‍රහණය ලබනකම්ම හුඟක් අය කිව්වෙ ඕක කරන්න බැරි දෙයක් කියලා. ඒ කාලෙ මාව මුනගැහුණු විදේශීය ප්‍රභූවරුන් ගණනාවක්ම මට දීපු උපදෙස තමයි කරන්න බැරි දේවල් කරන්න උත්සාහ කරන්න එපා කියලා. අපේම යට ගියාවෙන් අපි ඉගෙනගතයුතු පාඩම තමයි තමන් ගැන ආත්මශක්තියක් නැතිනම්, අවදානමක් දැරීමට අකමැතිනම්, කිසිම ජයග්‍රහණයක් ලබාගන්න බැහැ කියන කාරණය.

2005 දී මම ජනාධිපති හැටියට පත්වුණාට පස්සෙ, අදාල කාර්යයට මම දැනගෙන හිටපු සුදුසුම පුද්ගලයා ආරක්‍ෂක ලේකම් හැටියට පත්කළා. ඔහුගේ නිර්දේශ මත මම වෙනත් සුදුසු නිලධාරීන් අවශ්‍ය තැන් වලට පත් කරල යුද්ධය දිනපු සන්නද්ධ හමුදා යාන්ත්‍රණය ගොඩනැගුව. අද එදා ඒ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ඔබගේ ජනාධිපති හා සේනාධිනායකයා හැටියට ජනතාව විසින් අති විශිෂ්ඨ ජනවරමක් සහිතව පත්කරල තියෙනව.

අපි නැවත වතාවක් මේ රටේ නායකත්වය බාර ගන්නෙ අපේ ජාතික ස්වාධිපත්‍යයත්, ජාතික ආරක්‍ෂාවත් අනතුරේ වැටිල තියෙන අවස්ථාවකයි. කොටි සංවිධානයට එරෙහිව ලැබූ ජයග්‍රහණයේ 10 වන සංවත්සරය සමරන්න දින ගණනක් තිබියදී ඉස්ලාමීය අන්තවාදී සංවිධානයක් විසින් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදුකළා. ආසියාවේ වෙනත් රටවල් එක්ක සසඳනකොට අපේ රට කුඩා දූපතක්. නමුත් මෙහේ මොනම දෙයක්වත් කුඩා පරිමාණයෙන් සිද්ධ වෙන්නෙ නැහැ

1980 ගණන්වල උතුරේ මෙන්ම දකුණේත් සන්නද්ධ කැරළි නිසා අපි ලෝකයේ දරුණුම ගැටුම් සහිත භූමිය බවට පත්වුණා. ඊට පස්සෙ, ගොඩබිමෙන්, මුහුදෙන් හා ගුවනින් මෙහෙයුම් දියත් කරන්න හැකියාව තිබුණු ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානය මෙහේ තිබුණා. ආසියාව තුළ සිවිල් ජනතාව ඉලක්කකරල සිදු කරපු විශාලම හා දරුනුම ත්‍රස්ත ප්‍රහාරය මේ අවුරුද්දෙ පාස්කු ඉරිදා සිද්දවුණා.රට පුංචි වුණාට අපිට මුහුණ දෙන්න වෙන අභියෝගය පුංචි නැහැ.

2008 දී මුම්බායි නගරයට එල්ලවුන ත්‍රස්ත ප්‍රහාරයට ඉන්දියානු ජාතිකයන් සහභාගී වෙලාහිටියෙ නැහැ. නමුත් පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ සියලුම ත්‍රස්තවාදීන් ශ්‍රී ලාංකිකයින්. මේ තර්ජනය අපේ රටට විතරක් සීමා වෙච්ච තර්ජනයක් නෙවෙයි. මේ කළාපයේ වෙනත් රටවල උන්නතිය සඳහාත් මේ ත්‍රස්තවාදය මර්ධනය කළ යුතු වෙනවා. මේ අවුරුද්දෙ අවස්ථා දෙකකදී ශ්‍රී ලංකාවෙන් ඉස්ලාමීය ත්‍රස්තවාදීන් බෝට්ටුවලින් ඉන්දියාවට ඇතුලුවෙන්න උත්සාහ කරමින් ඉන්නවය කියන තොරතුරක් නිසා ඉන්දියව පුරාම ආරක්‍ෂක අංශ සීරුවෙන් තැබුවා.

අපට මේ උවදුර පාලනය කරගන්න බැරිවුණොත් ඉන්දියාව, මාලදිවයින, බංගලාදේශය විතරක් නොවෙයි මියෙන්මාරය, තායිලන්තය හා මැලේසියාව වගේ එපිටින් තියෙන රටවල් වලටත් විශාල තර්ජනයක් එල්ල වෙනවා. ඒ නිසා මේ අලුත් ත්‍රස්තවාදී උවදුර ඒකාන්තයෙන්ම පරාජය කළ යුතුයි. අප අවට රටවල් සේරම මේ අවදානම හොදින් තේරුම් අරගෙන තිබෙන නිසා ඔවුන්ගෙන් මේ ත්‍රස්තවාදයට එරෙහිව අවශ්‍ය සහයෝගය අපට බලාපොරොත්තු වෙන්න පුළුවන්.

කොටි සංවිධානයට එරෙහිව යුද්ධයේදී ගොඩබිමින්, මුහුදෙන් හා ගුවනින් අපට මෙහෙයුම් කරන්න සිද්ධවුණත්, මේ අලුත් ත්‍රස්තවාදී උවදුර සම්බන්ධයෙන් මේ අවස්ථාවේදී ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වෙන්නෙ බුද්ධි මෙහෙයුම්. නමුත් අවාසනාවකට, පහුගිය අවුරුදු පහ මුලුල්ලෙම රටේ බුද්ධි අංශ අකර්මන්‍ය කරලයි තිබුණෙ. පැවතුන ආණ්ඩුව බුද්ධි අංශ නිලධාරීන් දඩයම් කරල, හිරිහැර කරල බොරු චෝදනා උඩ හිරේටත් දැම්මා. මේ තත්වයට මූහුණදෙන්න වුණේ බුද්ධි අංශවලට විතරක් නෙවෙයි. කොටි සංවිධානයට විරුද්ධව යුද්ධ කරපු සන්නද්ධ හමුදා ඉහළ තලයටම මේ දඩයමට මුහුණ දෙන්න වුණා. මාධ්‍යයෙන් විශාල ප්‍රසිද්ධියක් දීල මේ ආරක්‍ෂක ප්‍රධානීන් පොලීසියට ගෙන්නල නොයෙක් චෝදනා සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරුවා.

මේ විදියට යුද්ධ කාලෙ හිටපු ආරක්‍ෂක ලේකම්වරයාත්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානීන් දෙදෙනෙකුත්, යුද හමුදාපතිවරුන් දෙදෙනෙකුත්, නාවුක හමුදාපතිවරුන් සිව්දෙනෙකුත්,ගුවන් හමුදාපතිවරුන් දෙදෙනෙකුත් ජාතික බුද්ධි අංශ ප්‍රධානියාවත් යුද හමුදාවේ පොලීසියේ, පොලිස් විශේෂකාර්ය බලකායේ, නාවුක හමුදාවේ ජේෂ්ඨ නිලධාරීන් විශාල ගණනකුත් මේ විදියට හිරිහැරයටත් අවමානයටත් පත් කෙරුවා. මෙයින් සමහර අය උසාවියට ඉදිරිපත් රකලා සති කීපයක ඉඳල අවුරුද්දකටත් වැඩි කාලයක් දක්වා කාල පරිච්ඡේද වලට රිමාන්ඩ් කරල හිටිය. මේ ක්‍රියාදාමයේ පරමාර්තය වුණේ අපේ සන්නද්ධ හමුදා රණවිරුවන් නොව හොරුන් සහ මීනීමරුවන් යන අදහස ශ්‍රී ලාංකිකයන්ගේ මෙන්ම, ජාත්‍යන්තර ප්‍රජාවගේත් හිත් තුළට ඇතුල් කරන එකයි.

ලෝකයේ කිසිම රටක ආණ්ඩුවක් මේ ආකාරයට තමන්ගේම සන්නද්ධ හමුදා අවමානයට ලක් කරල නැහැ. සන්නද්ධ හමුදා කියන්නෙ ජාතියක ආරක්‍ෂකයෝයි. 2015 ජනවාරියේ ආණ්ඩු පෙරලියෙන් පස්සෙ මේ රටේ ඇතිවුණේ විදේශීය හතුරු බලවේගයක් විසින් ලංකාව ආක්‍රමණය කරලා යටත් කරගත්ත වගේ තත්වයක්. සන්නද්ධ හමුදා දඩයම් කරලා ඔවුන්ගේ ජීවගුණය බිඳ දමල, මහා සංඝරත්නය යටපත් කරල, මේ රටේ බහුතර ප්‍රජාව පාගල, දශක හතරක් පැවති සිවිල් යුද්ධයෙන් ලබාගන්න බැරිවුණු දේ ලබාගැනීමේ  උත්සාහයක් අපි පහුගිය අවුරුදු පහේදී අත්දැක්ක.

පසුගිය ආණ්ඩුව ජිනීවා නුවර එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරියට ගිහිල්ලා විදේශීය විනිශ්චයකාරවරුන්ගේ හා පරිචෝදකයන්ගේ සහභාගීත්වය ඇතුව අපේ සන්නද්ධ හමුදා සාමාජිකයන්ට විරුද්ධව යුද අපරාධ අධිකරණයක් පිහිටුවීමට පොරොන්දු වෙමින් ලංකාවට විරුද්ධව යෝජනාවක් සම්මත කරගත්ත හැටි අපි දැක්ක. ඒක කළේ ලංකාවේම ජනතාව බලයට පත් කරපු ආණ්ඩුවක්. අද ඒ පහුගිය අවුරුදු පහ තුළ සිද්ධවෙච්ච අකටයුතුකම් නැවැරදි කරන්න විශාල ජනවරමක් සහිතව ජනාධිපතිවරයෙක් මේ රටේ ජනතාව පත්කරල තියෙනවා.

පහුගිය අවුරුදුපහ තුළදී සන්නද්ධ හමුදා සාමාජිකයන්ට විඳින්න සිද්ධවෙච්ච අයුක්තිය, අසාධාරණය හා අවමානය නිවැරදි කොට අවශ්‍ය තැන්වලදී වන්දි ලබාදීමටත් කටයුතු කරන බවට මම මේ අවස්ථාවේදී ප්‍රතිඥා දෙනවා. අපේ සන්නද්ධ හමුදා වලට ලැබිය යුතු ගරුත්වය ඔවුන්ට ලබාදීමට ජාත්‍යන්තර මට්ටමෙන් අපි පියවර ගන්නවා. අපි කවුරුත් දන්නවා අපේ සන්නද්ධ හමුදා සම්බන්ධයෙන් නොයෙක් ජාත්‍යන්තර න්‍යාය පත්‍ර ක්‍රියාත්මක වන බව. අපේ සන්නද්ධ හමුදාවල ඇතැම් උසස්වීම් සිදුකරන කොට ඒවට විරුද්ධ වෙච්ච විදේශීය පාර්ශව හිටියා. කිසිම සෛවරී රාජ්‍යයක් තමන්ගේ සන්නද්ධ හමුදාවල කටයුතු වලට විදේශීය පාර්ශව වල ඇඟිලි ගැසීම් පිළිගන්නෙ නැහැ.

ජනතාව අපිව බලයට පත්කළේ අපේ ජාතික ස්වාධිපත්‍යයත් ජාතික ආරක්‍ෂාවත් තහවුරු කරන්නයි. ඒ ඉලක්කය සපුරා ගන්න කලයුතු යම්දෙයක් තිබේද, අපි ඒ දේ අනිවාර්යෙන්ම කරනව. කොටි සංවිධානයෙන් අපිට එල්ලවුණු අභියෝගය ජයගන්න අපට යුද ආයුධ හා මහා පරිමාන සටන් අවශ්‍යවුණා. නමුත් අපි අද මුහුණ දීල තියෙන අලුත් ත්‍රස්තවාදී උවදුර පරාජය කරන්න මේ අවස්ථාවේදී අවශ්‍ය වන්නේ බුද්ධි මෙහෙයුම්, ජාතයන්තර බුද්ධි අංශ සමඟ සමීප සම්බන්ධතාවයන් පවත්වා ගැනීම, සහ එයට ගැලපෙන විදේශ ප්‍රතිපත්තිමය ප්‍රවේශයක් වගේ කාරණායි.

සෛවරී ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාව තහවුරු කරන්න සන්නද්ධ හමුදා වලට අවශ්‍ය නායකත්වය දේශපාලන බලධාරීන් හැටියට අපි ලබාදෙනව. මේ රටේ සන්නද්ධ හමුදා වලටත් ශ්‍රී ලංකාවේ ජනතාවටත් අපි දෙන ප්‍රතිඥාව එයයි.

ආරක්‍ෂක සේවා හා අණ මාණ්ඩලික විද්‍යාලයේ සියලුම උපාධිධාරීන්ට ඉදිරියේදී මේ රටට සිදුකරන සේවය සාර්ථකව ඉටු කිරීමට ලැබේවායි මම ප්‍රාර්ථනා කරනව. කිරීමට නොහැකි යැයි කියපු  දේ කරල, මුලු ලෝකයම මවිත කරපු කීර්තිමත් සන්නද්ධ හමුදාවක සාමාජිකයෙකු හැටියට ඔබේ වගකීම හැමවිටම ඔබ සිහියේ තබාගත යුතුයි. මේ උපාධිධාරීන් අතර අපේ මිත්‍රශීලී රටවල නිලධාරීන් ගණනාවක්ම ඉන්නව. ඒ සියලුදෙනාටමත් තම තමන්ගේ රටවලට සාර්ථකව සේවය කිරීමට ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress