චම්පිකගේ රිය අනතුරු සිද්ධියට දුරකථන වාර්තා කැදවයි
Posted on December 16th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

2016 වසරේ රාජගිරියේදී තරුණයෙකු රිය අනතුරට ලක් කළ බව කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක නීතීඥයෙකු මාර්ගයෙන් අද අධිකරණය හමුවේ පෙනී සිටියා.

හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ ඒ අනුව ඔහු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා හමුවේ පෙනී සිටි බවයි.

එහිදී හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට දැනුම්දී ඇත්තේ තම සේවාදායකයා සහ ඔහුගේ රියදුරාට අදාළව ලබාගෙන ඇති විදෙස් ගමන් තහනම ඒකපාර්ශවික කරුණු ඉදිරිපත් කිරීමක් මගින් ගත් තීන්දුවක් බවටයි.

එමෙන්ම, කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් හිටපු අමාත්‍යවරයාගේ රියදුරාගේ ගාල්ල – ඉමදූවේ පිහිටි නිවසට ගොස් ඔහුගේ ඥාතීන් බලහත්කාරයෙන් කොළඹට රැගෙනවිත් ඇති බවට ද නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.

කෙසේ වෙතත්, කොළඹ අපරාධ කොට්ඨාශය කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ නිසියාකාරව කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු අදාළ විදෙස් ගමන් තහනම ලබා ගත් බවයි.

බලහත්කාරයකින් තොරව අමාත්‍යවරයාගේ රියදුරාගේ ඥාතීන් කොළඹට රැගෙන ආවේ ඔහු රැදී සිටින කොළඹ නිවස හදුනා ගැනීම සදහා බව ද කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දැනුම් දුන්නා.

එසේම පොලීසියේ ඉල්ලීම අනුව අධිකරණය නියෝග කළේ විමර්ශන කටයුතු සඳහා දුරකථන අංක 20ක් සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තාවක් කැදවීමටයි.

වැඩිදුර විමර්ශනය සඳහා නඩුව ලබන වසරේ පෙබරවාරි මස 14 වන දා යළි කැදවන අතර, එතෙක් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට සහ ඔහුගේ රියදුරාට විදෙස් ගමන් තහනම ක්‍රියාත්මකයි.

මේ අතර හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව එල්ල වී චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්විම සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු පිරිසක් අද කොළඹදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress