නිවසටම ගොස් තොරතුරු විමසා සුදුස්සන් පමණක් බඳවා ගන්න – ලක්ෂයකට රැකියා දීම ගැන ජනපතිගෙන් උපදෙස්
Posted on December 18th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

ජනවාරි 15 වනදා ඇරඹෙන රැකියා ලක්ෂයක් සම්පාදනය කෙරෙන බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකායේ වැඩකටයුතු යටතේ උපාධිධාරින් දස දහසකට ද රැකියා අවස්ථා විවෘත වන බව අද අනාවරණ වුණා.

ඒ ඊට අදාළව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.

මෙම වැඩසටහන යටතේ කිසිදු අධ්‍යාපනයක් නොලද හෝ අඩු අධ්‍යාපනික මට්ටමක් සහිත නුපුහුණු පිරිස් තෝරා ගැනෙන අතර, ප්‍රථම අදියර යටතේ රැකියා අවස්ථා ලක්ෂයක් සම්පාදනය කෙරෙනවා.

ඔවුන් මෙහෙයවීමේ හා කළමනාකරණ කාර්යයන් සඳහා ද තවත් රැකියා 30,000 ක් පමණ උත්පාදනය වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මෙම කාර්ය සාධක බලකාය සඳහා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකින්ම 300 ත් 350 ත් අතර පිරිසක් බඳවා ගැනීමට නියමිතයි.

ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ නිවැරදිම සුදුස්සන් මේ සඳහා බඳවාගෙන ඔවුන්ට සිය ප්‍රදේශයේම රැකියා අවස්ථා අනිවාර්යයෙන්ම ලබා දිය යුතු බවයි.

මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බඳවා ගැනීම් වලදී මෙතෙක් සිදුවූ වැරදි සිදුවීමට ඉඩ නොතබන ලෙසට ද අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දුන්නා.

මේ අතර, ජනාධිපතිවරයාගේ විදේශ සබඳතා පිළිබඳ අතිරේක ලේකම්වරයා ලෙස හිටපු නාවික හමුදාපතිවරයෙකු වන අද්මිරාල් ජයනාත් කොළඹගේ පත් කර තිබෙනවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress