පාස්කු ප්‍රහාරය ගැන මෙතෙක් අනාවරණ නොවූ කරුණු ජනපති කොමිසමේදී හෙළිවෙයි
Posted on December 21st, 2019
උපුටා ගැන්ම හිරු නිව්ස්
පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර මහතාගේ ඉල්ලීම පරිදි ඔහු ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පාස්කු ප්‍රහාරය පිළිබඳ අසත්‍ය සාක්ෂි ලබාදුන් බව පොලිස් පරීක්ෂක සුදත්සිරි උපේන්ද්‍ර මහතා අද පිළිගත්තා.
ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති විමර්ශන කොමිසම ඉදිරියේ සාක්ෂි දුන් අවස්ථාවේදී.
මෙහිදී පාස්කු ප්‍රහාරය පිළිබඳ පෙර අනාවරණ නොවූ කරුණු රැසක්ද අනාවරණ වීම විශේෂත්වයක්.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ සඳහා පත් කෙරුණු ජනාධිපති කොමිෂන් සභාව අද පෙරවරුවේත් යළි රැස්වුණා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධ පූර්ව දැනුම් දීමේ ලිපිය පොලිස් ස්ථාන වෙත ප්‍රහාරයට පෙර යොමු කර නැතත්, එය ප්‍රහාරයට පෙර ලැබුණු සේ ගොනුගත කරන ලෙස ස්ථානාධිපතිවරුන්ට සහ පහළ නිලධාරීන්ට බලපෑම් කළ බවට පසුගිය දිනවල කොමිසම හමුවේ නම කියැවුණු, පොලිස් පරීක්ෂක රකිනාවසම් සුදත්සිරි උපේන්ද්‍ර නමැත්තාගෙන් කොමිසම පළමුවෙන් සාක්ෂි විමසුවා.
නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනීසිටි රජයේ අධිනීතිඥ සංජීව දිසානායක මහතා පොලිස් පරීක්ෂක සුදත්සිරි උපේන්ද්‍ර මහතාගෙන් විමසා සිටියේ පොලිස් අධිකාරීවරයාගේ පෞද්ගලික සහකාර ලෙස සිය කාර්යභාරය කුමක්ද යන්නයි.
පොලිස් පරීක්ෂක උපේන්ද්‍ර මහතා සඳහන් කළේ, පොලිස් අධිකාරීවරයාට ලැබෙන සියලු ලිපි ලේඛන පරීක්ෂාකර අවශ්‍ය ලිපි පමණක් පොලිස්අ ධිකාරීවරයාට යොමු කිරීම මෙන්ම පහල නිලධාරීන්ට උපදෙස් දීම හෝ ක්‍රියාමාර්ග ගැනීම සිය වගකීම බවයි.
එහිදී කොමිසම ප්‍රශ්න කළේ, පාස්කු ප්‍රහාරයට පෙර 2019-04-11 වැනි දින කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අත්සනින් යුතුව පොලිස් අධිකාරීවරුන් ඇතුළු අංශ කිහිපයක් වෙත යොමුකළ බව කියන සී9 ලේඛනය පිළිබඳවයි.
2019-04-21 වැනි දිනට පෙර අදාළ සී9 ලේඛනය තමන් සේවය කළ කොළඹ උතුර භාර පොලිස් අධිකාරී කාර්යාලයට ලැබුණේදැයි කොමිසම පොලිස් පරීක්ෂක උපේන්ද්‍ර මහතාගෙන් ප්‍රශ්න කළා.