රිෂාඩ් බදියුදීන් සහ රවුෆ් හකීම්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට සූදානම්
Posted on December 23rd, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍යවරුන් වන රිෂාඩ් බදියුදීන් සහ රවුෆ් හකීම් යන මහත්වරුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් බව නීතිපති දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නා.

ඒ, මෙම සිද්ධියට අදාළ නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ අද කැඳවූ අවස්ථාවේදී.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම මගින් රාජකාරිය පැහැර හැර සාපරාධී මිනීමැරීමේ සිද්ධිය  සම්බන්ධයෙන්  චෝදනා ලැබ සිටින අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ද අද අධිකරණය හමුවට රැගෙන විත් තිබුණා.

නඩුව කැඳවූ අවස්ථාවේ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කළේ මෙම පරීක්ෂණවලට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ කථානායකවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බවයි.

>කාදිනල් හිමිපාණන්ගෙන්ද නත්තල් උත්සවයෙන් අනතුරුව ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළා.

මෙම විමර්ශනවලට අදාළව නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනෙකු සහ කැබිනට් ලේකම්වරයෙක් පමණක් ප්‍රකාශ ලබාදී ඇති බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා යම් පුද්ගලයෙකු පරීක්ෂණවලට අවශ්‍ය ප්‍රකාශ ලබාදීම හිතාමතා ප්‍රමාද කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් මීළඟ නඩු දිනයේදී අධිකරණ නියෝගයක් ලබාගැනීමට අපේක්ෂා කරන බවද දැනුම් දුන්නා.

මේ අතර දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර සම්බන්ධව ලබන ජනවාරි මස දෙවැනිදා පැය 60 ක කාලයක් සඳහා තාවකාලික මුදා හැරීමේ ඉල්ලීමක් මෙතෙක් තමන් වෙත ඉදිරිපත් වී නොමැති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජයසිරි තෙන්නකෝන්  මහතා ප්‍රකාශ කළා.

ඒ පසුගිය නඩු වාරයේදී අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් කළ ඉල්ලීම පිළිබඳ හිරු ප්‍රවෘත්ති කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්.

එවැනි ඉල්ලීමක් තමන් වෙත ඉදිරිපත් වුවහොත් ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට සූදානම් බවද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

කෙසේ වෙතත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද නියෝග කළේ අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ලබන ජනවාරි මස 6 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

මේ අතර මෙම විමර්ශනවලට අදාළව ප්‍රකාශ ලබාගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress