ජීවන වියදම් කැබිනට් අනු කමිටුව ජනපති ප්‍රධානත්වයෙන්
Posted on December 24th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

ඉදිරි උත්සව සමයේදී හිඟයකින් තොරව සහ සහන මිලට ජනතාවට ආහාර ද්‍රව්‍ය ලබාදීම පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පැවති ජීවන වියදම් කැබිනට් අනු කමිටුවේදී උපදෙස් දී තිබෙනවා.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ අනු කමිටුව අද පස්වරුවේ රැස්වුණේ ප්‍රථමවරයි.

ජීවන වියදම් කැබිනට් අනු කමිටුව ප්‍රථමවරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ජනාධිපති කාර්යාලයේදී රැස් වුණා.

ඊට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා,  ඇමතිවරුන් කිහිප දෙනෙකු සහ නිලධාරීන් කිහිප දෙනෙකු එක්ව සිටියා.

ඉදිරි උත්සව සමයේදී හිඟයකින් තොරව සහ සහන මිලට ජනතාවට ආහාර ද්‍රව්‍ය ලබාදීම පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමුව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

දිවයින පුරා ගබඩා පහසුකම් පුළුල් කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමුව ඇති අතර ඉදිරි කන්නයේ සිට අස්වනු මිලදී ගැනීමේදී විද්‍යානුකූල ක්‍රමවේදයක් අනුගමනය කිරීමට ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

තිරිඟු පිටි මිල පාලනයට රජය ගත් පියවර මෙන්ම අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ලබා දුන් බදු සහන ප්‍රතිලාභ පිළිබඳවද මෙහිදී සමාලෝචනයට ලක් කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කලාකරුවන් අතර සුහද හමුවක් ඊයේ පස්වරුවේ පැවැත්වුණේ ජනාධිපති මන්දිරයේදී.

ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් කැපවුණු කලාකරුවන්ට ස්තූතිය පුද කිරීම උදෙසා මෙම හමුව සංවිධාන කර තිබුණා.

මේ අතර ශ්‍රී ලංකා මහබැංකුවේ නව අධිපතිවරයා ලෙස දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා පත් කර තිබෙනවා.

නව මහබැංකු අධිපතිවරයා අද දහවල් ජනාධිපති කාර්යාලයේදී සිය පත්වීම් ලිපිය භාරගත්තා.

අනතුරුව නව අධිපතිවරයා මහ බැංකුවේදී සිය ධුරයේ රාජකාරී ආරම්භ කළා.

මෙරට ප්‍රකට ආර්ථික විද්‍යාඥයෙක් වන ඔහු 1994 සිට 1999 දක්වා කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා ලෙසද කටයුතු කළා.

මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ 15 වන අධිපතිවරයායි

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress