මිනී කන කිඹුල්ලූ… මිනිස්සු උස්සන සුදු වෑන්… හතර අතේ ඇප ඉල්ලන දොස්තර රාජිතගේ වැඩ මෙන්න…
Posted on December 29th, 2019

හේමන්ත රන්දුණු උපුටා ගැන්ම ඉරිදා දිවයින

rajitha500


රාජිත සේනාරත්න දත් දොස්තර මහතකු බව අප අතීතයේ සිටම දැන සිටියෙමු. මේ දත් දොස්තර මහතා රටට දැයට මහා සේවයක් කළ තඹ දොයිතුවක මහජන මුදලක් සොරකම් නොකළ බාල බෙහෙත් රෝගීන්ට ලබා නොදුන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජනහිතකාමී දේශපාලනඥයකු බව ද රටේ ජනතාව හොඳින් දැන් සිටියහ.

මේ දත් දොස්තර මහතා රටේ සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයට කළ අනර්ඝ සේවය වෙනුවෙන් ඔහු පසුගිය රජය සමයේ සුවපති නමැති නම්බු නාමයෙන් ද පිදුම් ලැබුවේය. දත් දොස්තරකම මෙන්ම දේශපාලනයට හසල දැනුමක් ඇති රාජිත සේනාරත්න දක්ෂ ටෙලිනාටක අධ්‍යක්ෂවරයකු බව රටේ ජනතාව දැන ගත්තේ මෑතකදීය.

පසුගිය අපේ‍්‍රල් 21 පාස්කු ප‍්‍රහාර සිද්ධියෙන් මුළු රටම ගිනි ගත්තේය. පාස්කු ප‍්‍රහාරයෙන් පසු රට උණුසුම් කළ අනෙක් සිදුවීම වූයේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකු වූ ෂාෆි ෂෙහාබ්ඩින් සිංහල මවුවරුන් සිසේරියන් සැත්කම්වලදී වඳ භාවයට පත් කළ බව කියන සිදුවීමය.

‘දිවයින’ පුවත්පතෙන් කළ මේ හෙළිදරව්වෙන් පසු රාජිත දත් දොස්තර මහතා සටන් බිමට පිවිසියේය.

මේ අනාවරණය සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් පැවැත්වීමටත් පෙර රාජිත දත් දොස්තර මහතා වෛද්‍ය ෂාෆි නිර්දෝෂි පුද්ගලයකු බව ප‍්‍රසිද්ධ මාධ්‍ය හමුවේ අභීතව කියා සිටියේය. 

සිංහල ජාතියට සිංහල මවුවරුන්ට හෙණ ගැහුවත් කම් නැත යන මතයේ සිටි මේ දත් දොස්තර මහතා වෛද්‍ය ෂාෆි අහිංසක අවංක වෛද්‍යවරයකු බව රටටම කීවේය.

මේ හෙළිදරව්වෙන් පසු කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර, චන්දන නැදුන්ගමුව ඇතුළු සියලූ වෛද්‍යවරුනුත් රෝහල් සේවකයනුත් අසරණ වූ මවුවරුන් වෙනුවෙන් පෙනී සිටියහ.

එහෙත් ෂාෆි වෛද්‍යවරයා අහිංසකයකු බව කියූ රාජිත දත් දොස්තර මහතා කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර මහතා මාරු කර යැවීමට සූදානම් වුණේ මේ හෙළිදරව්ව උපන් ගෙයිම වඳ දැමීමේ අරමුණෙන් බව හොඳින් පැහැදිලි විය.

එහෙත් මේ මහා හෙළිදරව්ව හමුවේ රටේ බහුතරයක් ජනතාව සංඝරත්නය සිංහල සංවිධාන ඇතුළු ජාති හිතෛෂීන් නැගී සිටියහ.

අතුරලියේ රතන හිමියෝ රාජිත දත් දොස්තර මහතාට එරෙහිව නැගී සිටියේ අසරණ වූ මවුවරුන් වෙනුවෙන් පෙනී සිටීමටය.

වෛද්‍ය සරත් වීරබණ්ඩාර මාරු කර යැවීමට ගත් උත්සාහය රතන හිමියන්ගේ මැදිහත් වීමෙන් නතර කෙරිණි.

එතැන් සිට භික්ෂූන් වහන්සේලා කුරුණෑගල රෝහලේ සමස්ත කාර්ය මණ්ඩලය නීතිඥවරුන් සිංහල සංවිධාන අසරණ වූ මවුවරුන් රාජිත දත් දොස්තර මහතා ප‍්‍රමුඛ රජයට එරෙහිව සටනට අවතීර්ණ වූහ. ඒ වනවිට සී. අයි. ඞී. යේ බත් බැලයන් පිරිසක් වෛද්‍ය ෂාෆි නිර්දෝෂී පුද්ගලයකු කිරීමට දැඩි උත්සාහයක නිරත වූහ. මේ බත් බැලයන් කි‍්‍රයා කළේ විත්ති පාර්ශ්වයේ වෛද්‍ය ෂාෆිට එරෙහිව නොව මේ බරපතළ හෙළිදරව්ව කළ මාධ්‍යට එරෙහිවය. ෂාෆිගේ කෙරුවාවල් රටට හෙළි කළ කුරුණෑගල රෝහලේ වෛද්‍යවරුන්ට අසරණ වූ මවුවරුන් වෙනුවෙන් ස්වේච්ඡාවෙන් පෙනී සිටි නීතිඥවරුන්ට විවිධ චෝදනා කරමින් සී. අයි. ඞී. බත් බැලයන් ෂාෆි නිර්දෝෂී පුද්ගලයකු කිරීමට කටයුතු කරමින් සිටියහ.

මේ කටයුත්තේ නියමුවන් ලෙස කටයුතු කළේ රාජිත දත් දොස්තර, හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන් ඇතුළු දේශපාලනඥයන් පිරිසක් බවට චෝදනා එල්ල විය.

රාජිත දත් දොස්තරගේ මැතිවරණ වැඩවලට වෛද්‍ය ෂාෆි රුපියල් කෝටි ගණනින් මුදල් වියදම් කළ බව බොහෝ දෙනකු පැවසූහ. සී. අයි. ඞී. යේ බත් බැලයන්ට ද මුදල් සන්තෝෂම් දුන් බවට කතා රට පුරා පැතිර ගොස් තිබුණේය. එහෙත් රටට ජාතියට ආදරය කරන රාජිත දත් දොස්තර මහතා තම ඡුන්ද ව්‍යාපාරයට ෂාෆිගෙන් මුදල් ලබා ගන්නට ඇතැයි අප විශ්වාස නොකරමු.

අවංකව රාජකාරි කරන සී. අයි. ඞී. නිලධාරීන් ද ෂාෆිගෙන් තුටුු පඬුරු ගත් බව අප කෙසේවත් පිළි නොගන්නෙමු. ඒ මන්දයත් රටින් පැන ගිය නිශාන්ත සිල්වා කන්දප්පා වැනි අවංක නිලධාරීන් ශී‍්‍ර ලංකාවේ අභිවෘද්ධිය වෙනුවෙන් දිවා ? නොබලා රාජකාරි කළ බව අප පෞද්ගලිකවම දන්නා නිසයි.

වෛද්‍ය වෘත්තිය දේවත්වයෙන් සැලකූ ෂාෆි වෛද්‍යවරයා අවංක පුද්ගලයකු බවට ඒත්තු ගැන්වීමට සටන් කළ රාජිත දත් දොස්තර මහතා ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය විනාශ කර දැමීමට කටයුතු කළ බවට එල්ල වන චෝදනා අපි විශ්වාස නොකරමු.

දොස්තර ෂාෆි බේරා ගැනීමේ ටෙලි නාටකය අධ්‍යක්ෂණය කිරීමෙන් පසු මේ දක්ෂ අධ්‍යක්ෂවරයා තවත් ටෙලි කතාවක් අධ්‍යක්ෂණය කළේය.

ගෝනි බිල්ලා සහ සුදු වෑන් නමැති ටෙලි කෝලම අධ්‍යක්ෂණය කළ රාජිත දත් දොස්තර මහතා ජනාධිපතිවරණය කට උඩට පැමිණ තිබියදී එය තිරගත කළේය.

රාජිත දත් දොස්තර මහතා අධ්‍යක්ෂණය කරන ටෙලි කෝලම් නැරඹීමට මහත් ආසාවක් දක්වන රටේ සුවහසක් ජනතාව එක රැයින්ම ගෝනි බිල්ලා සහ සුදු වෑන් ටෙලි කොලම වැළඳ ගත්හ.

රාජිත දත් දොස්තර මහතා රටේ සිටින්නේ ඔලමොට්ටල පේ‍්‍රක්ෂකයන් යැයි සිතා මේ ටෙලි කොලම ප‍්‍රසිද්ධියට පත් කළේ ඒ හරහා ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට ඉන් විශාල ජනප‍්‍රසාදයක් ලැබෙනු ඇතැයි සිතමින් බව අප විශ්වාස කරන්නෙමු. 

ජනාධිපතිවරණයට දින කීපයක් තිබියදී රාජිත දත් දොස්තර මහතා මාධ්‍ය හමුවක් කැඳෙව්වේය. මේ මාධ්‍ය හමුවට අරුම පුදුම අමුත්තන් දෙදෙනෙක් පැමිණ සිටියහ. ඔවුන් රංගන ක්‍ෂේත‍්‍රයට අලූතින් හඳුන්වා දීමට යන නළුවන් බව රාජිත දත් දොස්තර මහතා අවධාරණය කළේය.

මේ නළුවන් දෙදෙනා මාධ්‍ය හමුවේ පෙනී සිටියේ වේෂ නිරූපනයක් ද කරගෙනය. රාජිත දත් දොස්තර මහතා මේ නළුවන්ගේ සැබෑ ස්වරූපය නොපෙන්වා සිටීමට කටයුතු කළේ ඔවුන්ගේ ජීවිතවල ආරක්ෂාව සඳහාය.

ගෝනිබිල්ලා සහ සුදු වෑන් ටෙලි නාටකයේ ප‍්‍රධාන නළුවන් දෙදෙනා මාධ්‍ය හමුවේ ගිරවුන් මෙන් මහා බරපතළ අනාවරණයන් කීපයක් කළේය. ඒ හෙළිදරව් සියල්ල මේ නාටකයේ තිර පිටපතේ තිබූ ඒවා බව මේ ටෙලි නාටකය රසවිඳිනු ලැබූ සුවහසක් ජනතාව පහසුවෙන් තේරුම් ගත්හ.

රාජිත කලාවට අලූතින් හඳුන්වාදුන් ටෙලි නළුවන් දෙදෙනා ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයාව සිටි කාල සීමාවේ කළ බව කියන බොහොමයක් දේ පිළිබඳව හෙළිදරව් කළහ.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝග මත මිනිසුන් පැහැරගෙන ගොස් මොනරාගල ප‍්‍රදේශයේ පිහිටි වැවක කිඹුලන්ට කන්නට දැමූ බවට වූ මහා භයානක හෙළිදරව් රැසක් එක් නළුවකු විසින් හෙළි කළේය.

අනෙක් නළුවා කියා සිටියේ ප‍්‍රභාකරන්ගෙන් සොරා ගන්නා ලද රුපියල් කෝටි ගණනක් වටිනා රන් ආභරණ කොළඹට ගෙන එද්දි ඒවා අතරමඟදි කොල්ලකාගෙන එම රන් භාණ්ඩ විකුණා ගෝඨාභය රාජපක්ෂ මහතාට මුදල් ලබාදුන් බවය. මේ නවක නළුවන් දෙදෙනා ප‍්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ මේ භයානක හෙළිදරව් කිරීම් සිදු කරද්දී රාජිත දත් දොස්තර මහතා නිර්ව්‍යාජ සිනාවකින් මුව සරසාගෙන තම අධ්‍යක්ෂණයේ හැකියාවන් කොයි තරම් දැයි රටට පෙන්වීමට උත්සාහ කළේය.

මේ බරපතළ හෙළිදරව්වලින් ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ඡුන්ද ප‍්‍රතිශතය ක්‍ෂණිකව ඉහළ යන්නට හේතු වුණේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබා ගැනීමෙන් පසුව ද රාජිත දත් දොස්තර මහතා තම හැකියාවන් රටට හෙළි කිරීමෙන් නතර වුණේ නැත.

රාජිත දත් දොස්තර මහතා මුළු ශී‍්‍ර ලංකාවම පමණක් නොව ජාත්‍යන්තරය පවා කතා බවට ලක් කළ ටෙලි කතාවකට සිය දායකත්වය ලබා දුන්නේය. රට කැළඹූ සුවිස් කෙල්ල ගානියා ටෙලි නාටකයට සිය දායකත්වය ලබාදුන් රාජිත දත් දොස්තර මහතා රටට ඉමහත් කීර්තියක් ගෙන ඒමට කටයුතු කළේය.

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය මගින් නිෂ්පාදනය කළ මේ ටෙලි නාටකයේ ප‍්‍රධාන නිළිය වුණේ ගානියා ෆ‍්‍රැන්සිස් නමැති සුරූපී කාන්තාවය.

ශී‍්‍ර ලංකාව එපාවී ස්විට්සර්ලන්තයේ පදිංචියට ගිය සී. අයි. ඞී. යේ නිශාන්ත සිල්වා කන්දප්පාට ඒ සඳහා උදව් උපකාර කර තිබුණේ මේ ස්විස් කෙල්ල ගානියාය.

මේ සිදුවීමෙන් පසු ගානියා මහා අකරතැබ්බයකට මුහුණ දුන්නාය. …. අවංක නිලධාරියකු වූ නිශාන්ත සිල්වා කන්දප්පාට රටින් යෑමට ඉඩදුන් නිසා කෝපයට පත්වූ සංවිධානාත්මක පිරිසක් ගානියා පැහැරගෙන ගොස් ලිංගික අතවර කර වදහිංසා පමුණුවා ප‍්‍රශ්න කළ බවට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය පොලිස්පතිවරයාට මෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශයට පැමිණිලි කළහ.

අසරණ ගානියා වෙනුවෙන් රාජිත දත් දොස්තර මහතාගේ හදවත වෙඬරු පිඩක් මෙන් උණු වුණේය. සැමදාම රාජිත දත් දොස්තර මහතා ගත්තේ අසාධාරණයට ලක්වූ අසරණයන්ගේ පැත්තය. මෙවර ද අසරණ වූ ස්විස් කෙල්ලගේ පැත්ත ගත් මේ කෘතහස්ත දේශපාලනඥයා ඇයට සාධාරණයක් ලබා ගැනීම වෙනුවෙන් සටන් කරන්නට පටන් ගත්තේය.

ප‍්‍රසිද්ධ මාධ්‍ය හමුවක් පවත්වමින් රාජිත දත් දොස්තර මහතා මේ පැහැර ගැනීම සිදුවන අවස්ථාවේ තමා ද ළඟ සිටි අයුරින් ඇයට සිදුවූ සියලූ අතවර එකින් එක විස්තර කරන්නට පටන් ගත්තේය. 

ගානියා කිසියම් පිරිසක් විසින් සුදු වෑන් රථයකින් පැහැරගෙන ගිය බවත් ඇය රහසිගත ස්ථානයක රඳවා ගෙන ලිංගික අතවර කර කටට පිස්තෝලයක් ඔබා ප‍්‍රශ්න කළ බවටත් රාජිත දත් දොස්තර මහතා කියා සිටියේ සියල්ල ඇසින් දුටුවකු මෙන්ය.

රාජිත දත් දොස්තර මහතා මාධ්‍ය හමුවේ කරන ප‍්‍රකාශ මුළු රටේම ජනතාව හිස් මුදුනින්් පිළිගන්නා බව නොරහසකි. රටේ ජනතාව මේ කතා රාජිත දත් දොස්තර මහතා කියූ නිසාම පිළිගත්හ.

ස්විස් කෙල්ල ගානියා ටෙලි නාටකය ඒ ආකාරයට රට පුරා ප‍්‍රදර්ශනය වෙද්දි රාජිත දත් දොස්තර මහතා අධ්‍යක්ෂණය කළ ගෝනිබිල්ලා සහ සුදු වෑන් නාටකය පිළිබඳව සී. අයි. ඞී. ය විමර්ශනයක් ආරම්භ කළේය.

සී. අයි. ඞී. ය මේ කෘතහස්ත ටෙලි නාටකය පිළිබඳව විමර්ශන ආරම්භ කළේ එහි අධ්‍යක්ෂ රාජිත දත් දොස්තර මහතාට තම හැකියාවන් වෙනුවෙන් රාජ්‍ය සම්මානයක් ලබා දීම සඳහාය.

විමර්ශන කටයුතු සඳහා මේ ටෙලි නාටකයේ නවක නළුවන් දෙදෙනා සී. අයි. ඞී. ය භාරයට ගත්තේය. රාජිත දත් දොස්තර මහතා තම ටෙලි නාටකයට තෝරා ගෙන සිටි ප‍්‍රධාන නළුවන් දෙදෙනා රටේ සුපතල පුද්ගලයන් දෙදෙනකු බව හෙළි වන්නට පටන් ගන්නේ ඔවුන්ගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලදීය.

මේ ටෙලි නළුවන් දෙදෙනා රාජිත දත් දොස්තර මහතා අධ්‍යක්ෂණය කළ ගෝනිබිල්ලා සහ සුදු වෑන් නාටකයේ රඟපෑමට පෙර තවත් රට හෙල්ලූ නාටක ගණනාවක රඟපා ඇති බව හෙළි වුණේය.

මේ රංගන ශිල්පීන් දෙදෙනාගෙන් එකකු අතුල සංජීව මදනායකය. ඔහුට සුරතලයට කීවේ ‘උණ්ඩියල් අතුල’ කියාය. උණ්ඩියල් අතුල ටෙලි නාටක කීපයකම දාමරික චරිත රඟපා තිබුණේය.

ඉන් එක් නාටකයක් දිග හැරුණේ 2012 වර්ෂයේ අපේ‍්‍රල් මස 05 වැනිදාය උණ්ඩියල් අතුල ඇතුළු පාතාල මැරයන් පිරිසක් කොටහේන පුද්ගලික බැංකුවක් අසල රැඳී සිටිමින් සිය රංගනය ප‍්‍රදර්ශනය කිරීමට සැලසුම් කළේය.

කොටහේන පුද්ගලික බැංකුවකට රුපියල් දසලක්ෂයක මුදල් තැන්පත් කිරීමට පැමිණි පුද්ගලයකුට පහරදී ඔහු සතුව තිබූ මුදල් උණ්ඩියල් අතුල ඇතුළු නළුවන් පිරිස කොල්ල කෑහ. උණ්ඩියල් අතුල 2013 වර්ෂයේ අපේ‍්‍රල් මස 05 වැනිදා තවත් නාටකයකට රංගනයෙන් දායක වුණේය. කඳාන ප‍්‍රදේශයේ පෞද්ගලික බැංකුවක මුදල් තැන්පත් කිරීමට පැමිණි අඹු සැමි යුවළකට තියුණු ආයුධවලින් පහරදී කපා කොටා තුවාල කර ඔවුන් සතුව තිබූ රුපියල් දස ලක්ෂයක මුදල් උණ්ඩියල් අතුල ඇතුළු පිරිස කොල්ලකෑවේය.

2013 වර්ෂයේදීත් ජාඇල ප‍්‍රදේශයේ ඇඟලූම් කම්හලක හිමිකරුවකු තම ජීවිත කාලය පුරා දුක් මහන්සියෙන් හරිහම්බ කළ රුපියල් ලක්ෂ 75 ක මුදලක් ජාඇල බැංකුවකින් ලබා ගත්තේ තම දියණියට මංගල උත්සවය වෙනුවෙන් වියදම් කිරීමේ අරමුණෙන්ය.

උණ්ඩියල් අතුල ඇතුළු පාතාල මැරයන් මේ ඇඟලූම් කම්හල් හිමියාගේ මුදල් කොල්ලකෑවේ මහ දවල් දෙනෝදාහක් දෙනා බලා සිටියදීය. 

තම දියණියගේ මංගල්‍යයට වියදම් කිරීමට මුදල් නොමැති ශෝකයෙන් පසු වූ පියා දින ගණනක් තිස්සේ දැඩි සිත්තැවුලෙන් සිට හදිසි හෘදයාබාධයකින් මිය ගියේය.

මේ ටෙලි නාටකයේ ප‍්‍රධාන රංගන ශිල්පියා වූයේ ද උණ්ඩියල් අතුලය.

කොළඹ හෙට්ටිවීදියේ රන් ආභරණ වෙළෙඳසලකට කඩා වැදී එහි හිමිකරුට ගිනිඅවි පෙන්වා රුපියල් කෝටි තුනහමාරක වටිනාකමෙන් යුත් රන් ආභරණ, විදේශ සහ දේශීය මුදල් කොල්ලකෑමේ ටෙලි නාටකයේ ප‍්‍රධාන නළුවා වූයේ ද මේ උණ්ඩියල් අතුල බව සී. අයි. ඞී. ය හෙළි කර ගත්තේය. ඉන් නොනැවතුණු උණ්ඩියල් අතුල සිය රංගන කෞශල්‍යයන් විදහා පාමින් බෙල්ලන්විල විහාරස්ථානය අසලදී පුද්ගලයකු ඝාතනය කළේය. ගල්කිස්ස ප‍්‍රදේශයේ මත්කුඩු ආරවුලක් සම්බන්ධයෙන් ඇති වූ ගැටුමකදී අතුල නමැති අයකු පැහැරගෙන ගොස් ඝාතනය කර තිබුණේ ද මේ උණ්ඩියල් අතුල නමැති රංගන ශිල්පියා විසින්ය.

රාජිත දත් දොස්තර මහතා සිය ටෙලි නාටකයට හඳුන්වාදුන් අනෙක් නළුවා වූයේ අම්පාරේ පදිංචි ඩබ්ලිව්. ඒ. සරත් කුමාරය. සරත් කුමාර ද මීට පෙර මේ ආකාරයේම විවිධ ටෙලි නාටකවල අපරාධ කාරයාගේ චරිතයට පණ පෙවූ දක්ෂ නළුවෙකි.

රාජිත දත් දොස්තර මහතා ගෝනිබිල්ලා සහ සුදු වෑන් නාටකය වෙත සම්බන්ධ කර ගෙන තිබුණේ නිකම්ම නිකන් නළුවන් දෙදෙනකු නොව රටම කැළඹූ දක්ෂ රංගන ශිල්පීන් දෙදෙනකු බව සී. අයි. ඞී. ය හෙළි කර ගත්තේය.

මේ නාටකය සඳහා රංගනයෙන් දායක වීමට මේ රංගන ශිල්පීන් දෙදෙනා එකකු රුපියල් දස ලක්ෂය බැගින් රුපියල් විසි ලක්ෂයක මුදලක් අය කර තිබුණේය.

මේ නාටකයේ අධ්‍යක්ෂ රාජිත දත් දොස්තර මහතාගේ උපදෙස් මත ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ආචාර්ය මොහොමඞ් රූමි විසින් රුපියල් විසිලක්ෂයක මුදල් රංගන ශිල්පීන් දෙදෙනා වෙත ප‍්‍රදානය කළ බව සී. අයි. ඞී. යේදී හෙළි වුණේය.

සිංහල මවුවරුන්ට වඳ සැත්කම් කළ බවට චෝදනා එල්ල වූ වෛද්‍ය ෂාෆිට එරෙහිව ද සී. අයි. ඞී. ය අලූතින් විමර්ශනයක් ආරම්භ කළේය. ෂාෆි නාටකය වෙනස් මඟකට යොමු කර එය තිරයේ නොපෙන්වා සිටීමට රාජිත දත් දොස්තර මහතාට අවශ්‍ය වී තිබිණි.

එහෙත් රාජිත දත් දොස්තර මහතාගේ ඒ සියලූ සැලසුම් බලාපොරොත්තු සුණුවිසුණු කර දමමින් ෂාෆි නාටකය අලූතින් ප‍්‍රදර්ශනය කිරීමට සී. අයි. ඞී. යම කටයුතු කරමින් සිටියි.

රාජිත දත් දොස්තර මහතා සහ වෛද්‍ය ෂාෆි අතර පැවතියේ කුමන ආකාරයක බැඳීමක් ද සම්බන්ධයක් ද යන්න හෙට දිනයේ හෙළිවනු ඇත්තේය.

එමෙන්ම රට කැළඹූ ස්විස් කෙල්ල ගානියා නාටකය ද මේ වනවිට සී. අයි. ඞී. ය විසින් විමර්ශනය කර හමාරය.

මේ නාටකය සඳහා රාජිත දත් දොස්තර මහතා දැක්වූ දායකත්වය පිළිබඳව ද හෙට දිනයේ රටටම දැනගත හැකිවනු ඇත්තේය.

ස්විස් කෙල්ල ගානියා වසරේ දක්ෂතම නිළියට හිමි සම්මානය සඳහා මේ වනවිට සුදුසුකම් ලබා සිටියි. ඇය කළ අති දක්ෂ රංගනය හමුවේ ශී‍්‍ර ලංකාවට ලැබුණේ ඉමහත් කීර්තියකි.

ස්විස් කෙල්ල ගානියා නාටකය සහ රාජිත දත් දොස්තර මහතා අතර ඇතිි සම්බන්ධය ද හෙළිවනු ඇත්තේය.

එවිට ඒ නාටකය වෙනුවෙන් ද රාජිත දත් දොස්තර මහතාට රාජ්‍ය සම්මාන හිමිවනු ඇත්තේය. රට කැළඹූ ගානියා නාටකය රාජිත දත් දොස්තර මහතාගේ නිර්මාණයක් දැයි හෙළිවන තුරු අප නොඉවසිල්ලෙන් බලා සිටින්නෙමු.

කෘතහස්ත දේශපාලනඥයකු වන රාජිත දත් දොස්තර මහතා අතින් අධ්‍යක්ෂණය වූ මේ නාටක සියල්ල රටේ සමස්ත ජනතාව වැළඳගෙන හමාරය. රාජිත දත් දොස්තර මහතා ප‍්‍රසිද්ධියේ පෙනී සිටිද්දී ඔහු පිළිගැනීමට මේ සුවහසක් රසික ජනතාව සැදී පැහැදී සිටිති.

පසුගිය මැතිවරණ සමයේදී ස්ථාන කීපයකදීම රාජිත දත් දොස්තර මහතා ඉතාම උණුසුම් ආකාරයෙන් රටේ ජනතාව පිළිගත් ආකාරය අපි රූපවාහිනි නාලිකාවලින් දුටුවෙමු.

ගෝනිබිල්ලා සහ සුදු වෑන් නාටකයේ අධ්‍යක්ෂ රාජිත දත් දොස්තර මහතා මේ තිර පිටපත සකස් කළේ තමන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව බව නළුවන් දෙදෙනා සී. අයි. ඞී යේදී හෙළිදරව් කළහ.

එහිදී මේ නාටකයේ රඟපෑම කළ යුතු ආකාරය පිළිබඳව රාජිත දත් දොස්තර මහතා තමන්ට කලින්ම පෙරහුරුවක් ලබාදී උපදෙස් දුන් බව ද නළුවන් දෙදෙනා පාපොච්චාරණය කළේය.

දත් දොස්තර කමට, දේශපාලනයට වඩා රාජිත සේනාරත්න දක්ෂකම් දක්වන්නේ ටෙලි කතා අධ්‍යක්ෂණයට බව දැන් රටටම හෙළි වී හමාරය.

අපට හැඟී යන්නේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, තිස්ස අබේසේකර, වසන්ත ඔබේසේකර වැනි ප‍්‍රවීණ අධ්‍යක්ෂවරුන් පරයා රාජිත දත් දොස්තර මහතා දක්ෂ අධ්‍යක්ෂවරයකු වී ඇති බවය.

රාජිත දත් දොස්තර මහතා අධ්‍යක්ෂණය කළ මේ නාටක කොයි තරම් ආකර්ශනීීය නිර්මාණ දැයි කීවොත් ළඟදීම ඒ ටෙලි කතා වෙනුවෙන් රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිතය.

රාජිත දත් දොස්තර මහතා රටේ දක්ෂම ටෙලි කතා අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය අලූත්කඬේ අධිකරණයෙන් ලබා ගනිද්දී මේ නාටක රසවිඳිනු ලැබූ සුවහසක් ජනතාව අධිකරණ සංකීර්ණය ඉදිරිපිටට පැමිණ පී‍්‍රති ඝෝෂා පවත්වනු නොඅනුමානය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress