අලුත් අවුරුද්දට අලුත් විදියකට සිතන සමාජයක් කරා…………….!
Posted on January 1st, 2020

චන්‍ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.

අප සිතන විදිය හා පතන විදිය, බලපාන්නේ අපට පමණක්ම නොවේ. අප මිනිස් සමාජයේ ඒකකයක් බැවින් එය පොදුවේ සමස්ත සමාජයටම විශාල බලපෑමක් සිදු කරන කරුණක් බවට පත්වෙනවා. මේ වනවිට මේ රට, ඉන්දියන් සාගර කලාපය තුල නවතම ආකාරයේ ගමනකට සූදානම් වෙමින් සිටින බැවින්, මේ විෂය සම්බන්ධව පුලුල්ව කථා කරන්න අප සැමට සිදුව තිබෙනවා.

මෙම සමාජයේ, අපේ ජීවිත පවත්වා ගෙන යාමේදී විවිධ පලපෑම් වලට යටත්ව කටයුතු කිරීමට සිදුවන අවස්ථා ගනනාවක් ඇත. එම බලපෑම් විටෙක සංස්කෘතික වශයෙනුත්, තවත් විටෙක නීතිමය වශයෙනුත් තවත් විටෙක සදාචාරය වශයෙනුත් අප ඉදිරියේ පෙල ගැහෙනවා.

මේ කිසිදු එකද බාධකයක්වත් නැතිව ජීවත් විය හැකි සමාජයක්ද අපට උරුමව තිබෙනවා. අපි ඒ සමාජය තුල ඉතා නිදහස්ව, අපට සිතෙන සිතෙන ආකාරයට ජීවත් වීමට පුරුදුව සිටිනවා. එසේ ජීවත් වීමට කිසිදු බාධාවක් කිරීමට කාටවත් හිමි කමක් නොමැතිවීම එම සමාජය තුල ඇති විශේෂත්වයයි. එම සමාජීය කටයුතු උත්තර නිර්මිතයක කටයුතු වලට සමානයයි කීවද වරදක් නොවේ. බාධාවන් රාශියක් මැද ජීවත්වෙන මිනිසා, තමන්ගේ ක්‍රියාවන්ට බාධාවක් නැති සමාජයකට ඇතුලු වූ විට පාලනයක් නැතිව කටයුතු කිරීමට යාම හේතුවෙන් එම සමාජයද අවුල් සහගත තත්වයකට පත්කර ගන්නා අවස්ථාවන්ද තියෙනවා. එම නිසා එම සමාජයට ඇතුලුවෙන හැම දෙනාම ස්වයංව සම්භාධක දමාගෙනම ඇතුලුවීම වැදගත්වේ.

අප මේ කථා කරනුයේ, මනස හා බැදුන මනෝ ලෝකය සම්බන්ධවයි. ඒ තරම් නිදහස් ස්ථානයක් අප කිසිවෙකුටත් නැත. එම ලෝකය ආක්‍රමණය කිරීමට මෙලොව වසන අති බහුතරයකට නොහැකි බැවින් බොහෝවිට එම පරිසරය තුල අප නිදහස් නිවහල් මිනිසුන් බවට පත්වේ. පියවි සමාජයට පිවිසෙන පුද්ගලයාගේ චර්යාවන් මුලුමනින්ම ඔප මට්ටම් කරන්නේ එම සමාජය තුලයි. ඔප මට්ටම් කිරීමට අවශ්‍යය කරන දත්තයන් ලබා ගන්නා පියවි සමාජයේ ඇති ගුණාත්මක දේ පමණක් ලබාගෙන එම පියවි සමාජයට සාපේක්ෂව ගුණාත්මක පුද්ගලයකුද, එහි ඇති පහත් අංග කෙරෙහි ලොල්ව, ඒවායින් ඔප මට්ටම්ව පියවි සමාජයට මහත් පීඩාකාරී පුද්ගලයකුද බිහි කල හැක.

මම අද අපූරු සිදුවීමක් දුටුවෙමි. ඒ ත්‍රී වීලර් රියදුරු මහත්වරුන් කණඩායමක් සිය දෛනික කාර්යයන් නවතා ඔවුන් අවට පරිසරය තුල ඇති දුගද හමන කාණු පද්ධතීන් ඔවුන් විසින් පිරිසිදු කිරීමයි. පොලිතීන් උරවල දමන ලද කුණු එම කාණු තුලට දමා තිබීම හේතුවෙන්, එම කාණු පද්ධතිය අක්‍රියව තිබිණ.

අප ගොඩනංවන අනාගත සමාජයේ කාර්යය භාරය විය යුත්තේ පොලිතීන් උරවල දමා කුණු කාණු වලට හෝ පාර අද්දර දමා යන අයගේ මනසට, ඒ ගෞරවණීය ත්‍රී වීලර් රියදුරු මහත්වරුන්ගේ මනස තුල ඇති ගුණාත්මක දේ ගලා යාමට සැලසීමයි. අපට එය කල හැකිද?

එය මා දකින විදියට වර්ෂ 1977 සිට 2005 නොවැම්බර් මස 18 වෙනිදා දක්වා කිසිදු පොහොරක් නොයොදා හැදුන ඇට්ටකුණා වෙච්ච පොල් ගහකට, දැන් පොහොර දමා පලදාව ගන්නට හදනවා වැනි කාර්යයකි. මෙවැනි කුණාටු පොල් ගස් මෙරට පුරාම පවතී. අප ඒවා සම්පූර්ණයෙන්ම අමතක කර දැමිය යුතුය. මේ රට තුල සිටින මල් කැකුලු වැනි වූ දරුවන් මේ රටට හිතකරවූ ආකාරයට ගොඩ නැංවීමේ කාර්යය වහාම ආරම්භ කල යුතුය. මෙම කාර්යය අධ්‍යාපන ඇමතිතුමා සිය අමාත්‍යාංශය තුලින් ආරම්භ කලයුතු පලමු කාර්ය යයි. ලක්ෂ 40ක සිසු පරපුරක්, යනු අනාගත ශ්‍රී ලංකාව සෑම අතකින්ම ජයග්‍රහණය කරා මෙහෙය විය හැකි මහා හමුදාවක් වන අතර, එම හමුදාවේ සෙන්පතියා අධ්‍යාපන ඇමතිතුමාය.

මේ සෙන්පතියාට මහා කාර්ය භාරයක් පැවරී තිබේ. ඒ රටේ අනාගතයයි. 40 ලක්ෂයක්වූ සිසු පරපුරගේ චින්තන රටාව සංවර්ධනය වන රටකට උචිත වෙන ආකාරයට සැකසීම ඔහු වෙත පැවරෙන පලමු අභියෝගයයි. ඒ සදහා සංවර්ධනය යයි අප හදුන්වන වචනයට පැහැදිලි අර්ථ කථනයක් තිබීය යුතුය. දකුණු අප්‍රිකාවේ ජොහැනර්ස්බර්ග් නගරය, ලෝකයේ දක්නට ඇති ඉහලම ගෘහ හා නගර නිර්මාණ ශිල්පිත්වයෙන් අනූන නගරයකි. වර්ගවාදී අකුණු අප්‍රිකාවේ සුපිරි නගරයක් වූ මේ නගරය වර්තමානයේද දහවල් කාලයේදී පවා කිසිවෙකුටත් නිදහසේ පයින් ගමන් කල හැකි නගරයන් නොවේ. තවද කේප් ටවුන් හා ඩර්බන් නගර තුලද හවසට නිදහසේ ගමන් කල හැකි පදනමක් ඇත්තේම නැත. මේ අති සංවර්ධිත නගර පහත් මානස තලයක ජීවත් වෙන පරපුරකට හිමිවූ විට අත්වන ඉරණමයි. මෙවැනි තත්වයන් අප ලංකාව තුලද දක්නට ඇති අවස්ථාවන්ද වේ. එම නිසා සංවර්ධනයවන  රට මෙහෙය වීමට, ඒ සංවර්ධනය මනාව අවබෝධ කරගත්, එමෙන්ම එය ප්‍රවර්ධන කිරීමේ හා පවතින තත්වයන් රැකගැනීමේ අභිලාෂය අඩංගු මිනිස් පරපුරක් මේ රටට මීලග අධ්‍යාපන ඇමතිවරයා උරුම කර දිය යුතුය.

අප ස්වභාවයට උරුම පරපුරක් වෙමු. ස්වභාවය අපව නිර්මාණය කිරීමට පෙර අපට ජීවක්වීමට අවශ්‍යය සියලූම යටිතල පහසු කම් නිර්මාණය කලහ. ඒ යටිතල පහසුකම් විනාශ නොකර, මිනිස් මොලයේ ඇති සමාජ නිර්මාණාත්මක තත්වයන් උපයෝගී කරගෙන ස්වභාවයේ ක්‍රියාකාරිත්වයට ඉහල තලයකට එසවීම සැබෑ සමාජ සංවර්ධනයයි. පරිසරයට නිකුත් වෙන කාබන්ඩයොක්සයිඩ් ඉවත් කල යුතුය. ඒ සදහා වැඩි වැඩියෙන් ගස් සිටවිය යුතුය. මේ සම්බන්ධව පාසලේ සිටින කුඩා දරුවාගේ පටන් ඉහලම පන්තියේ සිටින දරුවා දක්වා වූ සෑම දරුවෙකුටම මනා අවබෝධයක් ලබාදෙන අධ්‍යාපනයක් මේ රට ඉල්ලා සිටී. කාබන්ඩයොක්සයිඩ් ඌනව නිසි පරිමිතියෙන් යුත් ඔක්සිජන් පිරුණ පරිසරයක ජීවත්වෙන ජනතාවට සිතීම අවබෝධ කර ගැනීම හා නවතම දේ නිර්මාණය කර ගැනීමටද එම පරිසරය උපකාර කරයි. මෙවන් වූ පාරිසරික තත්වයන් ඇති ගම්බද පලාත්වල ජීවත් වන ජනතාව ලබන්නාවූ අති උතුම්ම දායාදය එය බව සිසු පරපුර අවබෝධ කර ගත යුතුය. සෑම විටම දූෂිත පරිසරයක ජීවත් වෙන ජනතාව ගෙන් බහු තරයේ සිතුවිලි පරම්පරාවන්ද දූෂිතය.

බුදු දහමේ ආනාපාන සති භාවනාව හරහා මිනිසාගේ ආශ්වාස ප්‍රාශ්වාස කාර්යට මහා බලපෑමක් සිදුකර ඔක්සිජන් ඇවැසි තරම් සංසරණ පද්ධතියට එකතු කර නිවැරදිව සත්‍ය දැකීමේ කර්තව්‍යයට විශාල උපකාරයක් සිදු කරන බව අවබෝධ කරගන්න. බුදුරජානන්වහන්සේ තරම් පරිසර හිතකාමී චරිතයක් ඉතිහාසය පුරා කිසිම තැනක දක්නට නොලැබෙන අතර, නගරය වනය උයන පරිසර හිතකාමිව තබා ගැනීම උන්වහන්සේ ඉතා අගය කල කටයුත්තකි. අති බහුතරයක් වූ මෙරට සිසු පරපුර පරිසරය රැකීමේ කර්තව්‍යයට මෙහෙය වන අධ්‍යාපනයක් මේ රට අපේක්ෂා කරයි. පිරිසිදු උයන්වතු මෙන්වූ පරිසරය ලමා මනස පවිත්‍ර කරන අතර එම පරිසරය තුල වසන පක්ෂීන්, සමනලයින් හා මී මැස්සන්, ගී ගයන විලාසය, නිදහසේ පියාසර කරන ආකාරය හා සාමූහිකව සමාජය වෙනුවෙන් වැඩකරන ආකාරය පැහැදිලි කරනු ඇත.

චන්‍ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2020 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress