තමිළ්නාඩුවේ බෙංගාලි ගීතය
Posted on January 4th, 2020

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

ඉන්දියාව කියන රට හදන්න පටන් ගත්තේ 1858 අවුරුද්දේ. ඒ, එංගලන්ත පාර්ලිමේන්තුවේ දී ගවර්මන්ට් ඔෆ් ඉන්ඩියා ඇක්ට් – 1958” කියන පනත සම්මත කරපු දවසේ ඉඳලා. ඊට පස්සෙත් තව තවත් පනත් ගොඩක් සම්මත කළා. හයිද්‍රාබාදය ඈඳගන්න 1948 දී කරපු පෝලෝ මෙහෙයුම” (Operation Polo) වගේ බලහත්කාරකම් පවා කළා. විශාල හමුදා බල ඇණියක් යවලා ඒ හමුදාවේ ආරක්‍ෂාව යටතේ” පවත්වපු ජනමත විචාරණයකින්” 1975 අවුරුද්දේ සීකිම්වල ආධිපත්‍යයත් පවරගත්තාට පස්සේ තමයි මේ කර්මාන්තය යම් විදිහකට සම්පූර්ණ කෙරුණේ. කොහොම වුනත් 2014 අවුරුද්දේ තෙළන්ගානා ප්‍රාන්තය හදපු එකෙන් පැහැදිළි වෙන්නේ තව තවත් වඩු වැඩ සෑහෙන ප්‍රමාණයක් ඉතිරි වෙලා තියෙනවා කියන එක. මොන විදිහකින් හරි යම් කාලයකට භාරතය” හදාගන්න බැරි වෙන එකක් නෑ.

ඉන්දියාව කියලා මේ විදිහට හදාගත්ත රටේ ජනගහනයෙන් සියයට 44 ක් මව් භාෂාව විදිහට කතා කරන්නේ හින්දි. ඒ ලැයිස්තුවේ දෙවැනියාට තියෙන්නේ බෙංගාලි. ඒ ප්‍රමාණය ජනගහනයෙන් සියයට 8.3 ක්. මව් භාෂාව විදිහට දෙමළ කතා කරන ප්‍රමාණය සියයට 6 කට අඩුයි. මව් භාෂාව විදිහට දෙමළ කතා කරන අය ඉන්නේ මේ ලැයිස්තුවේ පස් වැනියාට.

මේ දවස්වල අපේ අය උඩ දදා කතා කරන කාරණයක් තියෙනවා. ඒ තමයි ඉන්දියාව කියන රටේ ජාතික ගීතය බෙංගාලි භාෂාවෙන් ගායනා කිරීම. මේ ගීතය බෙංගාලි භාෂාවෙන් ගායනා කරන්නේ ඇයි? මේ ප්‍රශ්නයට උත්තරය හරි ම සරල එකක්. ඒකට හේතුව තමයි ඒ ගීතය ලියලා තියෙන්නේ බෙංගාලි භාෂාවෙන් වීම. මේ ගීතය රචනා කළේ රවීන්ද්‍රනාත් තාගෝර්. ගීතය මුලින් ම ගායනා කළේත් බෙංගාලයේ දී. ඒ, 1911 අවුරුද්දේ.

රටේ ජනගහනයෙන් සියයට 44 ක් හින්දි කතා කරද්දි සියයට 8 ක් විතර කතා කරන බෙංගාලි භාෂාවෙන් ජාතික ගීතය ගායනා කරන්නේ ඇයි? මේක තුණ්ඩුවක් උඩ දාලා කරපු වැඩක් නෙවෙයි. එංගලන්ත ස්වාමියා හදලා දීපු මේ ඉන්දියාව කියන රට” 1947 අගෝස්තු 14 වැනි දා නිදහස් කරගත්තාට පස්සේ රැස්වෙච්ච මුල් ම පාර්ලිමේන්තුව තමන්ගේ දවස අවසන් කළේ මේ ගීතය ගායනා කරලා. ඊට පස්සේ 1950 දී තමයි මේ ගීතය ව්‍යවස්ථාවට ඇතුළත් කරලා තියෙන්නේ.

මේ විදිහට බෙංගාලි භාෂාවෙන් රචනා කෙරුණු නිර්මාණයක් ජාතික ගීතය විදිහට තෝරගත්තේ ඇයි?

මේකට අදාළ මූලික කාරණයක් තියෙනවා. ඒ තමයි නිදහස් අරගලය” සඳහා බෙංගාල මිනිස්සුන්ගෙන් ලැබිච්ච දායකත්වය. නිදහස් අරගලයේ කේන්ද්‍රස්ථානය බවට පත්වුනේ කොල්කතාව. ඉන්දියානු ජාතික සම්මේලනය” කියන මුල් ම ජාතිකවාදී සංවිධානය බිහිවුනෙත් කොල්කතාවේ. ඒ වැඩේට මුල් වුනේ සුරේන්ද්‍රනාත් බැනර්ජි සහ ආනන්දමොහාන් බෝස් කියන දෙන්නා.

ඉන්දියාව කියන රට” බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස් කරගන්න මුල් වෙච්ච අය අතර දෙවැනියට ඉන්නේ පංජාබ් මිනිස්සු. ඒත් සුද්දෝ ආපහු යන්න ගියේ බෙංගාලයත් පංජාබයත් දෙකට බෙදලා එක කොටස බැගින් ඉන්දියාවටත් පාකිස්තානයටත් දීලා. නිදහස් අරගලයට මුල් වුන පංජාබ් කොටස අයිති වුනේ පකිස්තානයට. ඉතින් ‍නිදහස් අරගලය ගැන කතා කරද්දි බෙංගාල මිනිස්සුත් එක්ක එක පෙළට තියන්න පුළුවන් කවුරුවත් මේ ඉන්දියාව කියන රටේ නෑ.

මේ විදිහට නිදහස වෙනුවෙන් සටන් කරපු බෙංගාලි වීරයෝ සිය ගණනකගේ නම් ලැයිස්තුවක් වුනත් කියන්න පුළුවන්. ඒ ඔක්කොම කියන්න ඕන නෑ. ඒත් සුභාෂ් චන්ද්‍ර බෝස්, චිත්තරංජන් දාස්, මවුලානා අබුල් කලාම් අෂාද්, බීනා දාස්, මතාන්ගිනි හෂ්රා, බිනෝයි බාසු, කුදිරාම් බෝස් කියන අයගේ නම් නො කියා බෑ.

මේ කියපු නිදහස් අරගලයට දෙමළ ජනතාව සම්බන්ධ වුනේ ඊට වඩා වෙනස් විදිහකට. මුළු නිදහස් අරගලය කාලයේ දී ම එක ම එක බ්‍රිතාන්‍ය ජාතිකයකුට විතරයි ඒ අරගලයේ ප්‍රතිඵලයක් විදිහට දකුණු ඉන්දියාවේ දී ජීවිතය අහිමි වුනේ. ඒක සිද්ද වුනෙත් පළමුවැනි ලෝක යුද්ධ කාලයේ ඇති වුනා කියන “හින්දු – ජර්මානු කුමන්ත්‍රණයේ” ප්‍රතිඵලයක් විදිහට.

ඒකත් දෙන්නෙක් සම්බන්ධ වෙලා කරපු ඝාතනයක්. සිද්දියෙන් මිය ගියේ Robert William Escourt Ashe කියන නිලධාරියා. ඒ සිද්දිය ගැන වාර්තා වෙලා තියෙන්නේ මේ විදිහට.

ශංකර ක්‍රිෂ්ණ අයියර් කියන තරුණයා එක්ක ආපු වන්චි කියන පුද්ගලයා වෙඩි තියලා පැනලා ගියා. ඒත් ඊට පස්සේ ඔහුව අල්ලා ගෙන වැරැදිකාරයා කියලා තීරණය කළා. ඈෂ් තමයි ඉන්දියානු නිදහස් අරගලය කාලයේ දකුණු ඉන්දියාවේ මියගිය එක ම යටත්විජිත නිලධාරියා”

ඉතින් මේ කාරණා අනුව පේනවා බෙංගාල භාෂාවෙන් ලියැව්චිච නිර්මාණයක් ඉන්දියාවේ ජාතික ගීතයට කියලා තෝරගන්න සුදුසුකම් ලබපු විදිහ. ඒ සුදුසුකම කැප කිරීම්වලින් ලබාගත්ත එකක්. එහෙම නැතුව සුළු ජනවර්ගයකට තැනක් දෙනවා කියලා හරි තුණ්ඩුවක් උඩ දාලා හරි තෝරගත්ත ගීතයක් නෙවෙයි ජන ගන මන” කියලා කියන්නේ.

අපිටත් පුළුවන් අපේ ජාතික ගීතය රචනා වුනේ මොන විදිහේ පසුබිමක් උඩ ද ඒකට දායක වුන අය කවුද කියන එක ගැන හිතලා බලන්න. ජාතික ගීතය කියලා කියන්නේ උරුමයක්. ඒ උරුමය මිනිස්සු ලබාගන්නේ තමන් කරන කැපකිරීම් හරහා.

(මේ සමඟ පළකරන්නේ ජන ගන මන” ගීතය එහි රචක රවීන්ද්‍රනාත් තාගෝර් ගායනා කරපු අවස්ථාවක දර්ශනයක්)

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress