බරපතල දූෂණ චෝදනා 13ක් ඇති ඇමැතිවරුන්ට මොකද වෙන්නේ?
Posted on January 4th, 2020

උපුටා ගැන්ම  මව්බිම දැන්

2015 ජනවාරි 8 වැනිදා මෛත්‍රිපාල ප්‍රමුඛව පිහිටුවාගත් යහපාලන ආණ්ඩුව ජනතාවගෙන් සුවිශේෂ වරමක් ලබාගත්තේ හොරකමත් දූෂණයත් වංචාවත් මුලිනුපුටා දමන බවට දස අතේ පොරොන්දු වෙමිනි. ඔවුන් ඒ වෙනුවට දිගින් දිගටම වේදිකාවලත් විද්‍යුත් නාලිකාවලත් කෑ මොර දෙමින් කියා පෑවේ එතෙක් පැවැති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවේ දූෂණ – වංචා නම් ආයේ සිදුවන්නේම නැති බවය. 

රත්රන් අශ්වයන්, ලැම්බෝගිනි රථ, විදේශ රටවල සඟවා තිබෙන කෝටි ප්‍රකෝටි මුදල් සම්භාරයන් පිළිබඳ ජනතාව රවටන අතේ රෝල් බොහෝ විය. ඒ තරමටම දූෂිත මහින්ද ප්‍රමුඛ ආණ්ඩුව පලවා හැරිය යුතු බව ශ්‍රී ලනිපයෙන් එළියට බහිමින් ශ්‍රී ලනිප ලේකම් ලෙස මෛත්‍රි කියූ කතා අනන්තය. තමන්ගේ දේශපාලන වර්ගයා සමඟ බද්ධ වෛරයෙන් එතෙක් තමන් විසූයේ මේ කියන දූෂණ – වංචා ඉවසා දරා ගන්නට බැරිව බවත් හෙතෙම පුන පුනා කීවේය. 

මෛත්‍රිව ජනාධිපති කරන්නට යූ.එන්.පී.ය ප්‍රබල ලෙස ජනතාව අතරට ගිහින් කීවේද? එහෙව් දූෂණ – වංචා මුලිනුපුටා දමන බවටය. චෝදනා එල්ල වූවන් එල්ලන තරමේ කතාය. එහෙත් එකදු චෝදනාවක්වත් ඔප්පු කර ගත නොහැකිව යහපාලකයෝ නන්‍ෙදාඩවන්නට වූහ. ජනතාව බොරුවට ඉඩක් නොතබමින් ගෝඨාභය ජනාධිපති පදවියට පත් කරගත්තේ නීතිගරුක, විනයගරුක, දූෂණයෙන් – වංචාවෙන් තොර රටක් හදා ගන්නටය. එය දැන් ඇරැඹී ඇත. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති හැටියට සෘජු, නිවැරැදි තීන්දු තීරණ ගනිමින් සිටින්නේය. 

ඒ නිසාම ජනතාව අතරට ගොස් ජනවරමක් ඉල්ලමින් දුන් පොරොන්දු අතර යහපාලකයන් කළ දූෂණ චෝදනා විභාග කිරීමත් ඒ ඒ අයට නීත්‍යනුකූලව දඬුවම් කිරීමත් කළ යුතු වන අවස්ථාව එළැඹී ඇත. එය එසේ නොකළහොත් ජනවරම ලබා දුන් ජනතාවගේ බලාපොරොත්තුව කඩ කළ බව දැනෙන්නට පුළුවන. 

දූෂණ අංක 01

යහපාලකයන්, යහපාලනයක් ඇති කරන්නට ඇවිත් කළ බැව් කියන දූෂණ හා අක්‍රමිකතා දහතුනක් පිළිබඳව අපට දැනගන්නට ලැබෙයි. ඉන් පළමු චෝදනාව එල්ල වී තිබෙන්නේ යහපාලන ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහට හා එහි මුදල් අමාත්‍ය රවි කරුණානායක යන දෙදෙනාටය. වාසුදේව නානායක්කාර මන්ත්‍රිවරයා විසින් 2016 ඔක්තෝබර් 29දා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණේය. එයින් කියැවුණේ මහ බැංකුව හා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම අතර සිදුවී ඇති බැඳුම්කර වංචාවෙන් ශ්‍රී  ලංකා රජයට වසර 30කින් සිදුවිය හැකි රු. බිලියන 145ක පාඩුවක් සිදු කිරීමක් ගැනය. ඒ අනුව පර්පචුවල් ටෙෂරීස් සමාගම එම මාස 15ක කාලය තුළ උපයාගෙන ඇති රුපියල් බිලියන 15ක අයුතු ලාභය සහ සේවක අර්ථ සාධක අරමුදලට එයින් සිදුවූ බිලියන 15ක පාඩුව බරපතළ වංචා සහගත ගනුදෙනුවක් බැව් පැහැදිලි කෙරිණි. එනමුත් ජනතාව බලාපොරොත්තු වූ ආකාරයේ කඩිනම් බවකින්  යහපාලන රජය යටතේ මෙකී චෝදනා පිළිබඳ විභාග නොකෙරුණේය. චෝදනාවේ ප්‍රබල වගඋත්තරකරුවකු වූ අර්ජුන් ඇලෝසියස් තවමත් විදෙස්ගතවය. ඔහුව අල්ලා රැගෙන ඒමටත් බැරිවිය. ඒ නිසා ඊධන 1 යටතේ නම් කෙරුණු බරපතළම චෝදනාවට ලක්වූවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු යැයි ජනතාවගේ විශ්වාසයයි. 

දූෂණ අංක 2

දෙවැනි බරපතළම චෝදනාව වූයේ මහපොළ භාරකාර අරමුදලින් රුපියල් බිලියන 10ක මුදලක් වංචා කිරීම සහ පාඩු කිරීම පිළිබඳව කරන ලද පැමිණිල්ලය. එම පැමිණිල්ල ගොනු කරනු ලැබුවේ සිසිර ජයකොඩි මන්ත්‍රිවරයා විසිනි. චෝදනාව එල්ල කෙරුණේ ඇමැති මලික් සමරවික්‍රමට එරෙහිවය. මෙම චෝදනාව බරපතළ එකක්ය. 2015 අගෝස්තු මස පැවැත්වූ මැතිවරණයෙන් පසු සංවර්ධන උපාය මාර්ග ඇමැතිවරයා වශයෙන් පත්වී මලික් සමරවික්‍රම අදාළ පනතට අනුව වෙළෙඳ කටයුතු ඇමැතිවරයා වශයෙන් වෙළෙඳ කටයුතු ඇමැතිවරයාගේ විෂය යටතේ තිබිය යුතු මහපොළ අරමුදල තම අමාත්‍යාංශයට පවරාගෙන රු. ලක්ෂ 8000කට වඩා වත්කම් හිමි අසරණ සරසවි දරුවන්ගේ අරමුදල වංචනික ලෙස බලපෑම් කොට පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගැනීමට කටයුතු කර ඇති බව දක්වමින් එය  අල්ලස් හෝ දූෂණ පනත යටතේ වරදක් බැවින් එය සොයා බලා විමර්ශනය කර නීතියට අනුව වැඩ කරන ලෙස ඉල්ලා තිබිණි. මෙයද ජනතාවට වඩාත් සංවේදී මාතෘකාවක් වන බැවින් ඒ ගැන සොයා බැලීම විධිමත් කළ යුතු බවට අවධාරණය කරයි. 

දූෂණ අංක 3

තුන්වන බරපතළ චෝදනාව එල්ල වන්නේ හිටපු ඇමැති රවි කරුණානායකට එරෙහිවය. ව්‍යාපාර සඳහා අමාත්‍ය බලතල උපයෝගි කර ගනිමින් රවි කරුණානායක ඇමැතිවරයා රජයට හිමිවිය යුතු රු. බිලියන 10කට වැඩි මුදලක් අහිමි කිරීමට අනුබල දීම එම චෝදනාවයි. ඒ අනුව ඕ.ඩබ්ලිව්. කරුණානායකගේ ඉල්ලීමට මේ දක්වා රජයේ ආයතනවලට පමණක් ලබාදී තිබූ ගුදමක් බැංකු ඇපකරයකින් තොරව පළමු වතාවට පෞද්ගලික ඇපකරයකට ලබාදී ඇති බවත් එය මුළුමනින්ම නීති විරෝධී බවත් දක්වා තිබිණි. මෙයද ජනතා විශ්වාසය ඇති වන ආකාරයට විභාග කොට කටයුතු කළ යුතු වන බරපතළ චෝදනාවකි. 

දූෂණ අංක 4

හතරවන බරපතළ චෝදනාව එල්ල වන්නේ යහපාලන රජයේ හිටපු ඇමැතිනිය තලතා අතුකෝරලට එරෙහිවය.  එහිදී 2015 අගෝස්තු 26දා සිට ලංකාවෙන් මැද පෙරදිග රැකියා සඳහා යන ශ්‍රමිකයන් සඳහා රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදී තිබුණු අතර ඒ හරහා සිදුකර ඇතැයි කියන රු. මිලියන 1500ක් හෙවත් රු. බිලියන 1.5ක වංචාව සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට 2016.12.07 දින නිරෝෂන් ප්‍රේමරත්න මන්ත්‍රිවරයා පැමිණිල්ලක් ගොනු කර ඇත. මෙම දූෂණ ක්‍රියාවලිය පිළිබඳව බලපත්‍ර ලත් විදේශ සේවා නියුක්ති නියෝජිතායතන සංගමය විසින් ජනාධිපතිවරයාට, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමාට සහ විනිමය පාලකතුමිය වෙතද පැමිණිලි කළ ලිපි ලේඛනද මීට අමුණා ඉදිරිපත් කර තිබුණේය. 

දූෂණ අංක 5

මෙම චෝදනාව වඩාත් කතාබහට ලක්වූවකි. හම්බන්තොට වරාය චීන සමාගමක් වෙත විකිණීමෙන් ශ්‍රී  ලංකා වරාය අධිකාරියට රුපියල් බිලියන 330ක මුදලක් අහිමි කිරීම තුළින් සිදුකරනු ලැබූ මහ පරිමාණ දූෂණයක් පිළිබඳව මන්ත්‍රි මහින්ද යාපා අබේවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට 2017.01.04 දින පැමිණිල්ලක් කරමින් කියා සිටියේ මේ පිළිබඳව විධිමත්ව සොයා බලා පරීක්ෂා කර අදාළ චෝදනාවට එරෙහිව නීතිමය කටයුතු කරන ලෙසටය. ජනතාව වෙත ගලාගිය තොරතුරුවලට අනුව මෙම චෝදනාව සෘජුවම එල්ල කෙරුණේ අගමැති රනිල්, ඇමැති මලික් සමරවික්‍රම හා අගමැති ආර්ථික උපදේශක ආර්. පාස්කරලිංගම් යන අයටය. එම චෝදනාවත් බරපතළය. සැකසහිත ගනුදෙනුවක්ය යන හැඟීම මතු කරවන සුලුය. ජනතාව වඩාත් උනන්දුවෙන් සිටින්නේ මෙම චෝදනාව කොයි තරම් දුරට සොයා බලා අදාළ පාර්ශ්වයන්ට එරෙහිව කටයුතු කෙරෙනවාද යන්නය. 

දූෂණ අංක 6

යහපාලන රජයේ ප්‍රබල භූමිකාවක් ඉටු කළ ඇමැති කබීර් හෂීම්ට එරෙහිවද බරපතළ චෝදනාවක් නැඟුණේය. ඒ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයාව සිටියදී එම අමාත්‍යවරයාගේ විෂය පථයට ගැනෙන ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විසින් ඇණවුම් කළ ඒ 350/900 එයාර් බස් වර්ගයේ ගුවන් යානා 3ක් මිලදී ගැනීම අවලංගු කර රජයට ඇමෙරිකානු ඩොලර් 98ක මුදලක් අහිමි කිරීම හා එම ගනුදෙනුව හරහා රජයේ ප්‍රබලයකු විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක කොමිස් මුදලක් ලබා ගැනීම සම්බන්ධ කාරණාය. මෙයද ඉතා සූක්ෂ්මව සිදු කළ බරපතළ වංචාවක් බැවින් එකී චෝදනාවන් ඇතුළත් පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබුවේ මන්ත්‍රි කනක හේරත්ය. ඒ 2017.01.18 වැනි දින පොලිස්පතිවරයා වෙතය. මේ පිළිබඳව වගේ වගක් නැතිව සිටිය නොහැකි කාලය ඉක්ම ගොස් ඇති නිසා ජනතාවගේ මතය වන්නේ එයද විමර්ශනය කර වරදක් වී ඇත්නම්  අදාළ අයට දඬුවම් කරන ලෙසය. 

දූෂණ අංක 7

අමාත්‍ය පී. හැරිසන්ට හා වී අලෙවි මණ්ඩලයේ හිටපු සභාපතිවරයාට එරෙහිවද බරපතළ දූෂණ චෝදනා ගොනු කෙරුණේ 2017.02.01දා අල්ලස් කොමිෂන් සභාව වෙතය. ජයන්ත සමරවීර මන්ත්‍රිවරයා මෙම චෝදනාවන් ගොනු කරමින් කියා සිටියේ වී අලෙවි මණ්ඩලය විසින් අවස්ථා දෙකකදී සත්ත්ව ආහාර නිෂ්පාදනයට හා සහල් සැකසීම සඳහා වෙළෙඳපොළට හා තෝරාගත් සමාගම් කිහිපයකට වී නිකුත් කිරීමේදී සිදුවී ඇති මූල්‍ය වංචාවක් ගැනය. එයින් රුපියල් බිලියන 10ක් රජයට පාඩු සිදුව ඇතැයි කියැවේ.

දූෂණ අංක 8

රජයට රුපියල් මිලියන 6500ක පාඩුවක් කරමින් රජයේ අනුග්‍රහය ඇතිව වාහන කැබලි ජාවාරමක් කරගෙන යෑමට සහාය වී යැයි ඇමැති රවි කරුණානායකට එරෙහිව උල්ලස් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ගොනු කෙරුණේ 2017.02.15 දිනකදීය. ඒ අනුව මුදල් ඇමැතිවරයා රජය නොමඟ යවමින් රජයට අයත් විය යුතු බදු මුදල් අහිමි කිරීමක් ගැන පැමිණිල්ලෙන් කියැවේ. එම චෝදනාවන්ට එරෙහිව අල්ලස් කොමිසම කොයිතරම් දුරට ඉක්මනින් කටයුතු කරාවිදැයි ජනතාව තවමත් බලා සිටින නිසා උදය ගම්මන්පිල මන්ත්‍රිවරයා කළ පැමිණිල්ලට කුමක් වේදැයි දැන ගැනීමට ජනතාවටද අයිතියක් ඇති බැව් කියැවේ.

දූෂණ අංක 9

රාජිත සේනාරත්න ධීවර අමාත්‍යවරයාව සිටි කාලයේදී මෝදර ධීවර වරාය බදුදීම සහ ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු නමින් ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම සඳහා වංචනික ලෙස නැව් 8ක් ගෙන්වීම පිළිබඳව බරපතළ සැකයක් ඇති බවත් එහිදී සිදුවී ඇති වංචාව රු. මිලියන 1000ක් බව කියමින් ටී. රංජිත් සොයිසා මන්ත්‍රිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළේය. මෙය දූෂණ ගනුදෙනුවක් බව  දක්වමින් ඊට අදාළ ලිපි ගොනුද ගොනු කරමින් කළ පැමිණිල්ලට කුමක් වී දැයි ජනතාවටද දැනගන්නට අයිතියක් ඇති බැව් කියැවේ. මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළේ කුමක්දැයි විමසීම ජනතාවගේ අයිතියකි. 

දූෂණ අංක 10

මෙම චෝදනාවද රාජිත සේනාරත්න ඇමැතිවරයාට එරෙහිවය. එයින් චෝදනා නැඟෙන්නේ අමාත්‍යවරයාගේ පූර්ණ අනුග්‍රහයෙන් සිදු කළැයි කියන ඔෟෂධ මාෆියාවක කතාවක්ය. ඊට අදාළ වැදගත්ම ලියැවිලි රැසක් සහිතව අල්ලස් කොමිසමට පැමිණිලි කළේ  ටී. රංජිත් සොයිසා මන්ත්‍රිවරයාය. එයින් රජයට රුපියල් මිලියන 1500ක පාඩුවක් සිදුවිණැයි 2017.02.28 දින මන්ත්‍රිවරයා විසින් සිදු කෙරුණු පැමිණිල්ලෙහි කියැවේ. මෙයද බරපතළ චෝදනාවක් බැවින් ඒ පිළිබඳව සාධනීය පියවර ගනු ඇතැයි ජනතාව බලාපොරොත්තු වෙති. 

දූෂණ අංක 11

මෙම බරපතළ චෝදනාව එල්ල කෙරෙන්නේ අගමැති රනිල්, මලික් සමරවික්‍රම හා අගමැති උපදේශක ආර්. පාස්කරලිංගම්ට එරෙහිවය. චෝදනාවෙන් කියැවෙන්නේ නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරයට ගල් අඟුරු සැපයීමේදී රජයට රුපියල් මිලියන 5000ක පාඩුවක් සිදු කෙරුණු බවක්ය. විදුර වික්‍රමනායක මන්ත්‍රිවරයා විසින් 2017.03.16 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ පැමිණිල්ල සමඟ ඉතා වැදගත් ලියකියවිලි රැසක්ද යොමු කර තිබුණේය. මෙහිදී සිදුවූ ගල් අඟුරු ටෙන්ඩරයෙන් රුපියල් මිලියන 5000ක පාඩුවක් වී ඇති බැවින් ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා තිබිණි. එහෙත් මෙම පරීක්ෂණ සිදු කෙරුණද නැද්ද යන්න පවා දැනගත නොහැකි තැනක තිබීම නිසා ජනතාව වෙනුවෙන් මේ පිළිබඳව වගකිවයුතු සෙවීමක් බැලීමක් සිදුකර අදාළ නෛතික පියවර ගන්නා මෙන් ඉල්ලීම් බොහෝය. 

දූෂණ අංක 12

අනෙක් චෝදනාව එල්ල කෙරුණේ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඇතුළු කිහිප දෙනකුට එරෙහිවය. 2019.06.26 දින ඩී.වී. චානක මන්ත්‍රිවරයා පැමිණිල්ලක් කරමින් කියා සිටියේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පෙළ පොත් මුද්‍රණය කිරීමේදී රජයට මිලියන 128.9ක පාඩුවක් සිදු කළාය කියාය. මෙම චෝදනාව ගොනු කරමින් ඊට අදාළ තහවුරු කිරීම් පිණිස වැදගත් ලිඛිත  සාක්ෂි කිහිපයක්ද එක්කොට තිබුණු අතර පැමිණිල්ල නිසි ආකාරයෙන් විභාග වූවාද යන්න ගැටලු සහගත කාරණයක් වී ඇත. දැයේ දරුවන්ගේ පෙළ පොත්වලින් වංචාවක් හෝ දූෂණයක් වී තිබේ නම් ඊට අදාළ නෛතික පියවර ඉක්මනින් ගැනීම අත්‍යවශ්‍ය දෙයක් බැව් කාගේත් අදහසය. 

දූෂණ අංක 13

ඩී.වී. චානක මන්ත්‍රිවරයා විසින්ම අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව 2019.07.10 දින පැමිණිල්ලක් කරමින් කියා තිබුණේ රිෂාඩ් ඇමැතිවරයා විසින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයට අයත් ලංකා සතොස ආයතනයට රුපියල් මිලියන 5000ක බරපතළ පාඩුවක් සිදුකර ඇති බවයි. එය වංචාවක් බවත් එම වංචාව තහවුරු කර ගැනීමට අදාළ ලියකියවිලි රැසක්ද ඒ සමඟ ඉදිරිපත් කර තිබිණි.

ජනතා මතය වී ඇත්තේ යහපාලනයට මුවා වී සිදුකළ දූෂණ, වංචා සියල්ලට වගකියුත්තන්ට එරෙහිව නොපමාව නීතිය ක්‍රියාත්මක විය යුතු බවය. ගෝඨාභය ජනපති කරන්නට රටේ පොදු මහජනතාව ඡන්දය දුන්නේ දූෂිතයන්ගෙන් මෙන්ම දූෂණවලින්ද වියුක්ත වූ දේශපාලන සම්ප්‍රදායක් මෙතැන් පටන් හෝ ඇරඹෙනු ඇතැයි සාධනීය අපේක්ෂාවන්ගෙන් යුතුවය. එය පමා වන මොහොතක් මොහොතක් පාසා එය අහිතකර වනුයේ වත්මන් ආණ්ඩුවේ දේශපාලන සෞඛ්‍යයටය. මේ අනතුරු සංඥාව ඒ ගැනය. ජනතාවගෙන් රතු එළිය දැල්වෙන්නට කලින් මේ සියලු චෝදනා පිළිබඳ නීතිමය පියවර ගැනීම කඩිනම් විය යුතුය. එබැවින් පමාව කිසිදා සමාවට කරුණක් නොවන බව ආණ්ඩුවේ වගකිවයුත්තන් මැනවින් සිහි කටයුතුය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress