RANJANGATE SCANDAL – ශිරන්ති හිරේ දානවා කියා මහින්දට දේශපාලනය අතහරින්නැයි කීවා..
Posted on January 7th, 2020

උපුටා ගැන්ම ලංකාසීනිවුස්

පසුගිය ආණ්ඩු සමයේ මහබැංකුව කොල්ල කා ඇති නමුත් එහි වාර්තාව වත්මන් ආණ්ඩුව විසින් සොරකම් කර ඇති බවට සාවද්‍යා ප්‍ර‍චාරයක් විපක්ෂය විසින් මේ වනවිට සමාජ ගතකරමින් සිටින බව වරාය හා නාවික කටයුතු සහ මාර්ග හා මහා මාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු පවසයි.

මේ බව පැවසූයේ, ශ්‍රී ලංකා වරාය අධිකාරි පරිශ්‍රයෙහි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධිත වාණිජ කර්මාන්ත හා සේවා ප්‍ර‍ගතිශීලී සේවක සංගමයේ වරාය නව කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, යහපාලන ආණ්ඩුව විසින් රජයේ නිලධාරීන්ව කිසිදු පැකිලීමකින් හා සොයාබැලීමකින් තොරව සිරගත කිරීමට ක්‍රියා කළ බවත් තමාව ද කිසිදු හේතුවක් නොමැතිව අත්අඩංගුවට ගත් අවස්ථාවේ එකල පොලිස් නිලධාරීන් පවා තමන්ව මානසිකව පීඩාවට පත්කිරීමට උත්සාහ කළ බවයි.

නමුත් ඒ සියලු අභියෝගයන්ට නොසැඟවී තමන් ශක්තිමත් ව මුහුණ දුන් බවත් එහිදී අවධාරණය කළේය.

මෙම වෘත්තීය සමිති ගොඩනැගිල්ල වෘත්තීය සමිතිවල දියුණවට වගේම වරායේ දියුණුවට යොමුකරන ස්ථානයක් බවට පත්කරන්න ලැබේබා කියා ප්‍රාර්ථනා කරනවා. ඔබලා දුන්න දායකත්වය එක්ක අවුරුදු 05 ක් යන්නත් කලින් මේ ජරාජීර්ණ ආණ්ඩුව පන්නන්න පුළුවන් වුණා. ඒ කර්තව්‍යයේ දී හයිය දුන්නේ තමුන්නාන්සේලා, ඩී. වී. චානක, ප්‍ර‍සන්න රණවීර ආදී මන්ත්‍රීවරු. ඔවුන් එදා වරාය රැකගන්න ගිහින් හිරගෙදරට ගියපු අයයි. මම දන්නවා විභාගය ලියන ශිෂ්‍යයෙක් විභාගයට සති දෙකක් තියෙද්දී හිරේට දැම්මා. රටේ සම්පත් විකුණනවාට විරුද්ධ වුණ අය වගේම තමන්ගේ පැවැත්මට තර්ජනයක් කියලා හිතුණ අයව කිසිම පැකීලීමකින් තොරව රාජ්‍ය බලය යොදවලා හිරයට දාපු එක ගැන අපි මේ වෙලාවේ මතක් කරනවා. ඒ ආණ්ඩුවේ තිබුණ කුරිරු බව රටේ ආර්ථිකය හා රටේ සම්පත් විකුණද්දී ඒකට විරුද්ධව කතාකරපු මිනිස්සු හිරගෙදර දාන්න තරම් ඔවුන් කිසිම පැකිලීමකින් තොරව ඒවා කෙරුවා කියන එක අපි මතක් කරන්න කැමතියි.

අද සමහර අය අහනවා ඇයි මෙහෙම වෙන්නේ. ඇයි මෙහෙම අයට ඇප දෙන්නේ කියලා සමාජයේ කතා බහක් තියෙනවා. මමත් දැක්කා. අද ෆේස්බුක් එකේ රන්ජන් රාමනායක ගැන. ඒකේ නඩු නිමිත්තක් තියෙන නිසා මම ඒ ගැන කතා කරන්නේ නැහැ. නඩුවෙන් තීන්දු තීරණ වෙයි. මොකද්ද සිද්ධ විය යුත්තේ සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද කියන එක ගැන. මට නඩු 11 ක් දැම්මා. ලංකාවේ වැඩිම නඩු ටික දැම්මේ මට. ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වෙනුවෙන් හිටගත්තා කියලා. මුලින්ම ඇමතිකම් දෙන්න ආරාධනා කළා. ඒක ප්‍ර‍තික්ෂේප කරාම මාව වරදක් නොකර සිරගෙදරට දැම්මා. දවස 73 ක් කිසිම හේතුවක් නැතිව මාව හිරේදැම්මා. මට එදා ෆේස්බුක් එක පාවිච්චි කරන්න දුන්නේ නැහැ. මට සෙල්ෆි ගහන්න දුන්නෙත් නැහැ පොලිස් නිලධාරීන් එක්ක. මම රැවුල කපන්න ඕන කියලා ඉල්ලුවා නම් ඒකට ඉඩ ලැබෙන්නෙත් නැහැ. අඩුම ගාණෙ මාව හිරේට දැම්මම මම ෂොපින් බෑග් එකක මගේ ඇඳුම් ටික ලෑස්ති කරලා තිබුණේ. උදේ 9 ට මාව අත්අඩංගුවට ගත්තා. මම දැනගත්තා ආණ්ඩුව මොනවද කරන්න යන්නේ කියලා. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා මම දැනගෙන හිටියා. අඩුම ගාණෙ මගේ ඇඳුම් ටික ගෙනියන්න දුන්නේ නැහැ. උදේ ඉඳලා මම ඇඳගෙන හිටපු ඇඳුම් එක්ක මාව හිර ගෙදරට දැම්මා. රෑ කෑම ටික ගන්න මට ඉඩ දුන්නේ නැහැ. මම උදේ ඉඳලා බඩගින්නේ හිටියේ. FCID යට ගියාම පොලිසියේ නිලධාරියා මුලින්ම ඇහුවේ ඇයි එක්සත් ජාතික පක්ෂය අතහැරියේ කියලා. එහෙම නිලධාරීන් තමයි ඉස්සර හිටියේ. මට තර්ජනය කළා. මම සිනහමුසුව ඒවට මුහුණ දුන්නා. මම මගේ දරුවට කිව්වා ගෙදර කාටවත් කියන්න එපා මාව අනිවාර්යෙන්ම දානවා. ඒක තමයි මේගොල්ලන්ගේ අරමුණ කියලා. මගේ ඇඳුම් ටික ෂොපින් බෑග් එකේ හංගලා තියෙනවා, ඒ ටික උසාවි ගිය ගමන් මට ගෙන්ත් දෙන්න කියලා මම කිව්වා මාව හිරේට දාපු ගමන්. මං කිව්වා කාටවත් කියන්න එපා කියලා. ඒවට මූණ දෙන්න අපිට හයියක් තිබුණා. මාව හිරගෙදර දැම්මම මට සරමක් දුන්නේ හිරකාරයෙක්. මූණ පිහගන්න තුවාය දුන්නේ හිරකාරයෙක්. ඒ තමයි තිත්ත ඇත්ත. නමුත් අපි ඇඞුවේ නැහැ. හැංගුනේ නැහැ. රෝහල් ගාණෙ ගියේ නැහැ. ඒකට මූණ දුන්නා. අවුරුදු පහකින් අන්තිමට ආණ්ඩුවක් ගත්තා. වැඩියෙන්ම හිටියේ උසාවියේ. දෙන්න පුළුවන් දස වද දීලා අපිව මානසිකව වට්ටන්න හැදුවා. නමුත් අපි වැටුනේ නැහැ.

මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් කරන්න හැදුවේ ඒකයි. දරුවෝ හිරේ දැම්මා. ආර්යාව හිරේ යවනවා කියලා දේශපාලනය අතහරින්න කිව්වා. පොලිසයට, අල්ලස් කොමිසටමට එයාලගෙ අයවම දාගෙන ස්වාධීනයි වගේ රඟපෑවා. ජනාධිපතිවරණයට කලින් ඒවගේ හිටපු නිලධාරීන්ම කරපු ප්‍ර‍කාශවලින් අපි ඒක දැක්කා. අද ෆේස්බුක් වලින් යන තොරතුරු වලින් පේනවා සමහර ඇමතිවරු මන්ත්‍රීවරු පොලිසියට, නිලධාරීන්ට බලපෑම් කරපු ඒවා. අපි ඒවා පිළිබඳව සොයා බලන්න ඕන. ඒකට තමයි හැට නව ලක්ෂයක් ජනතාව අපිට ඡන්දය දුන්නේ. සුළු ජාතිකයෝ එහෙම් පිටින්ම වගේ විරුද්ධව වැඩකරද්දී දාහතර ලක්ෂයක් වැඩි ඡන්ද දීලා ගෝඨාභය රාජපක්ෂව ජනාධිපති කෙරුවේ මේවා නිවැරදි කරන්නයි.

ගෝඨාභය මහත්තයට කොච්චර දේවල් කෙරුවද. හිරේ දාන්න හැදුවා. අපහස කළා. ජනාධිපතිවරණයට ඉල්ලන එක නතර කරන්න හැදුවා. ඒ ඔවුන්ට අභියෝගයක් බව දැනුන නිසයි. තවමත් රනිල් වික්‍ර‍මසිංහ මහත්තයා සහ එක්සත් ජාතික පක්ෂය පත්කරපු නිලධාරීන් හොල්මන් කරන යුගයක් මේක. ආණ්ඩුව අප්‍ර‍සාදයට පත්කරන විදියේ ක්‍රියාකරන නිලධාරීන් ඉන්නවා කියලා අපිට පේනවා. මේ සියල්ල නිවැරදි කරන්න පුළුවන් වෙන්නේ මාර්තු මාසයේ මේ පාර්ලිමෙන්තුව විසුරුවලා, මහ මැතිවරණයක් පවත්වලා ජනාධිපතිවරණයේ දී ගත්තටත් වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවකින් බහුතරයක් සහිත ආණ්ඩුවක් නිර්මාණය කිරීමෙනුයි…..” යැයි ද ගරු අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

මෙම උත්සව අවස්ථාවට සංචාරක හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය ප්‍ර‍සන්න රණතුංග මහතා, වරාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජනරාල් ආර්. එම්. දයා රත්නායක මහතා, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂ කපිතාන් අතුල හේවාවිතාරණ මහතා, වාණිජ කර්මාන්ත හා සේවා ප්‍ර‍ගතිශීලී සේවක සංගමයේ වරාය ශාඛාවේ සභාපති සංජීව කුමාර වැලිගම මහතා ඇතුළු සේවක සංගමයේ නිලධාරීන්, අනිකුත් වෘත්තීය සමිති නිලධාරීන් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන් හා සේවක මහත්ම මහත්මීන් ද සහභාගී වූහ.

– media unit

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress