RANJANGATE SCANDAL – රන්ජන්ගේ හඬපට ගැන කොළඹ අපරාධ කොට්ඨාශය පරීක්ෂණ අරඹයි
Posted on January 8th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ දුරකතන හඬපටවලට අදාළව හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී එන්. රණවක සම්බන්ධයෙන්ලැබී ඇති පැමිණිලිවලට අදාළව අධිකරණ සේවා කොමිසම ද විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තාවනවා.

මීට අදාළ හඬ පටය අධිකරණ සේවා කොමිසම වෙත ලැබී ඇති අතර, ඒ ඔස්සේ විමර්ශනයක් ආරම්භ කර ඇති බව සඳහන්.

ඊයේ දිනයේදී හිටපු මහාධිකරණ විනිසුරු පද්මිනී එන්. රණවක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ලබාදුන් නඩු තීන්දුව ඇතුළු අනෙකුත් තීන්දු ශූන්‍ය කළ යුතු බවට වන පැමිණිලිද අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කෙරුණා.

ඒ, නව සිංහල රාවය සහ නව සිංහලේ ජාතික සංවිධානය විසින්.

මේ අතර මෙම සියලු හඬපට සම්බන්ධයෙන් විමර්ශනය කරන බවයි කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කළේ.

වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ලබාදුන් උපදෙස් මත මෙම පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාශයට භාරදී තිබෙනවා.

මේ අතර තම නිවසින් අත්අඩංගුවට ගත් සී.ඩී. තැටිවල තිබූ හඬ පට මාධ්‍ය මගින් ප්‍රචාරය වීමෙන් තමන් අගතියට පත්ව ඇති බව පවසමින් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අද නුගේගොඩ මහේස්ත්‍රාත් යූ.කේ. පැල්පොල ඉදිරියේ නීතීඥවරියක් මාර්ගයෙන් මෝසමක් ගොනු කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress