රට හදන්න නම් උගත් බුද්ධිමත් අලුත් අය පාර්ලිමේන්තුවට යැවිය යුතුයි…මල්වතු අස්ගිරි මහානයක හිමිවරුන් අවධාරණය කරති…
Posted on January 9th, 2020

P. Thameera Manju  (M. A.- Mass communication in KLN, M. A.- Sinhala in CMB,  A. – Sinhala specilist in CMB )

නිවැරදි දැක්කමින් රට හැදීමට නම් උගත් බුද්ධිමත් අලුත් අය පාර්ලිමේන්තුවට යැවිය යුතු බව සියම් මහා නිකායේ මල්වතු – අස්ගිරි මහනායක හිමිවරුන් අවධාරණය කරති. ඒ අලුතින් හිතන සංවිධානය උන්වන්සේලා අද (09) බැහැ දුටු අවස්ථාවේදීයි. අලුතින් සියයක් පාර්ලිමේන්තුවට සංකල්පය මහනායක හිමිවරුන්ට පැහැදිලි කර උන්වහන්සේලාගේ ආශිර්වාදය ලබා ගැනීමේ අරමුණින් මෙම බැහැ දැකීම සිදු විය. මහාචාර්ය කමල් වලේබොඩ, සාහිත්‍යවේදී කල්‍යාණි හේරත් මැණිකේ, ශාස්ත්‍ර‍පති ම. ප. තමීර මංජු, නීතිඥ පියල් ගුරුගේ, තුසිත ජයවර්ධන, මනුල චමල් පෙරේරා, රුවන් පාදුක්ක, ප්‍රියදර්ශන බෙන්තොට ආරච්චි, දිනේෂ් සමීර කැලුම්, හෂාන් දිසානායක යන එම කමිටුවේ ක්‍රියාකාරින් එම අවස්ථාවට එක් විය. එහිදී මහනායක හිමිවරුන් වෙත අලුතින් සියයක් පාර්ලිමේන්තුව සංකල්පය පැහැදිලි කරමින් තුසිත ජයවර්ධන මහතා පැවසුවේ ඉදිරි මහ මැතිවරණයේදී පාර්මේන්තුවට යැවිය යුතු අලුත් අය කවරේදැයි යන්න අවබෝධ කර ගැනීම සඳහා නිර්ණායක දහයක් මහජනතාව හමුවේ හඳුන්වා දී ඇති බවයි.

අලුතින් සියයක් පාර්ලිමේන්තුවට සංකල්පය හඳුන්නා දුන් අලුතින් හිතන අපි එකමුතුව සියලු දේශපාලන මතවාද නියෝජනය කරන අයගෙන් සමන්විත වූවක්. අපි දීර්ඝ කාලයක් සාකච්ඡා කර අලුතින් පාර්ලිමේන්තුව යැවිය යුතු පුද්ගලයින් සතුව තිබිය යුතු ගුණාංග ඇතුළත් නිර්ණායක දහයක් හඳුන්වා දුන්නා. අද එම නිර්ණායක සහිත සංදේශය මහනායක හිමිවරුන්ට පිළිගන්වා උන් වහන්සේලාගේ ආශිර්වාදය ලබා ගත්තා. අපේ අරමුණ වන්නේ නව දේශපාලන සංස්කෘතියකට අවශ්‍ය පසුබිම සකස් කරන්න. අපි 225ම වෙනස් කරන්න උත්සාහ කරන්නේ නැහැ. එය ප්‍රායෝගිකත් නැහැ. අපි කියන්නේ මේ 225න් 100ක් මෙවර මහ මැතිවරණයේදී වෙනස් කරමු කියලයි. ඒ සඳහා සියලු පක්ෂවලින්ම අලුත් අය පාර්ලිමේන්තුවට යවමු. ඒ කාර්යය කරන්න පුළුවන් අපේ ජනතාවට බැවින් ඒ පිළිබඳව දැනුවත් කිරීම් දැන් අපි ආරම්භ කර තිබෙනවා…”යිද තුසිත ජයවර්ධන මහතා පැවසීය. මහාචාර්ය කමල්වලේබොඩ මහතා පැවසුවේ ඉදිරි මහ මැතිවරණයේදී හොරු මංකොල්ලකාර දූෂිතයින්ට නාමයෝජනා ලබා දෙන පක්ෂ නායකයින් ප්‍ර‍තික්ෂේප කිරීමට ජනතාව පෙළ ගැසිය යුතු බවයි.

හොරු මංකොල්ලකාර දූෂිත පුද්ගලයින් වෙනුවට උගත් බුද්ධිමත් අලුත් අයට ඉදිරි මහ මැතිවරණයේදී නාම යෝජනා ලබා දීමට පක්ෂ නායකයින්ට කොන්ද පණ තිබිය යුතුයි. එවැනි පණ නැති පක්ෂ නායකයින් ප්‍ර‍තික්ෂේප කිරීමට ජනතාව පෙළ ගැසිය යුතුයි. අපිට අද පවතින ජරා දේශපාලනය එක රැයකින් වෙනස් කරන්න බැහැ. නමුත් නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම අපට යම් තැනකින් පටන් ගත හැකියි. ඒ සඳහා මේ තරුණ එකමුව ගන්නා උත්සාහ මම හදවතින්ම අගය කරනවා….”යිද මහාචාර්ය කමල් වලේබොඩ මහතා පැවසීය. සංදේශය පිළිගැනීමෙන් පසුව සියම් නිකායේ මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නායක ස්වාමීන්ද්‍ර‍යාණන් වහන්සේ කියා සිටියේ මෙම සංකල්පය කාලීන වශයෙන් වැදගත් වූවක් බවයි. මෙම සංකල්පය ක්‍රියාත්මක කිරීමට සියලු දෙනාම එක් විය යුතු බවද‍ උන්වහන්සේ අවධාරණය කළහ. සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක අති පූජ්‍ය වරකා‍‍‍ගෙඩ ශ්‍රී ඤාණරතන මහානායක ස්වාමින්ද්‍රායණන් වහන්සේ පැවසුවේ රට හැදීමට නම් අලුත් අයටද ඉඩ දීම වැදගත් වන බවයි. වඩාත් වැදගත් වන්නේ රටට ආදරය කරන පිරිස් පාර්ලිමේන්තුවට යැවීම බවද උන්වහන්සේ අවධාරණය කළහ.

අලුතින් හිතන අපි එකමුතුව සමාජ ජාලා හරහා එක් වූ කණ්ඩායමකි. ඔවුන් හඳුන්වා දෙන අලුතින් සියයක් පාර්ලිමේන්තුවට සංකල්පයේ නිර්ණායක ගණන දහයකි. කාර්යශූර බුද්ධිමත් බවින් යුක්ත අවම වශයෙන් අ.පො.ස. උසස් පෙළ සමත් අයෙකුවීම, නිකැළැල් සමාජ කල්ක‍්‍රියාවන් සහිත මත්ද්‍රව්‍ය හා සූදු ව්‍යාපාරවලට සම්බන්ධ නොවීම, සමාජ සංවර්ධන කටයුතුවලට නායකත්වය දී කටයුතු කර තිබීම, අන්තවාදී ආගමික මූලධර්මවාදී ක‍්‍රියාකාරීත්වයෙන් තොරවීම, ණය අසාදු ලේඛණයට ඇතුළත්වූවකු නොවීම හා පොදු ජනතාවට වත්කම් හා බැරකම් ප‍්‍රකාශිත අයෙකුවීම, ජාතික ආරක්ෂාව හා ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ අවබෝධය සහිතවීම, ස්වදේශිකත්වය පිළිබඳ හැඟීමෙන් කටයුතු කිරීම, රටේ සංවර්ධනය සඳහා නිර්මාණශීලී වැඩපිළිවෙලක් සහිත අයෙකුවීම, පරිසරය පිළිබඳ සංවේදීතාවයෙන් යුක්ත අයෙකුවීම සහ මාධ්‍ය අවභාවිතය හා අපහරණය නොකරන අයෙකුවීම නිර්ණායක දහය වෙයි. ඡායාරූප අමුණා ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress