RANJANGATE SCANDAL – ස්වාධීනත්වය රැක ගැනීමට අධිකරණය මැදිහත් විය යුතු බව, අගමැති කියයි
Posted on January 9th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

වර්තමානයේදී ආන්දෝලනයට තුඩුදී ඇති හඬ පට නිකුත් වීම නිසා පසුගිය යහපාලන රජයේ දේශපාලනඥයින් අධිකරණයට කෙතරම් බලපෑමක් එල්ල කළේ ද යන්න පිළිබඳව පැහැදිලි වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.

එබැවින්, අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීමේ වගකීම පැවරී ඇති බවයි අග්‍රාමාත්‍යවරයා පුවත්පත් කතුවරුන්ගේ හමුවකට අරලියගහ මන්දිරයේදී අද එක්වෙමින් සඳහන් කළේ.

වර්තමානයේ හට ගෙන ඇති තත්ත්වය හමුවේ අධිකරණ තීන්දු පිළිගන්නේ කෙසේ දැයි යන්න පිලිබඳව ජනතාව ප්‍රශ්න කරන බව ද, අග්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියා.

අධිකරණය කෙරෙහි විශ්වාසයක් නැතිවීමත් සමග රට තුළ අරාජික තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර, සෑම තීන්දුවක් දෙසම ජනතාව සැකයෙන් බලන තත්ත්වයක් අද වනවිට පත්ව ඇති බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එහිදී පෙන්වා දුන්නේ.

පසුගිය සමයේ අධිකරණයට එල්ල වූ බලපෑම් සම්බන්ධයෙන් සලකා බලනවිට අධිකරණයට, නීතිපති දෙපාර්තමේන්තුවට සහ පොලීසියට ඇතමුන් සම්බන්ධ වී ඇති බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.

මෙම තත්ත්වය වළක්වා අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අග්‍රවිනිශ්චයකාරයාට පැහැදිලි වගකීමක් පවතින අතර, ඒ ඔස්සේ වහා පියවරක් ගත යුතු බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කියා සිටියේ.

මේ අතර, තම අමාත්‍යාංශයේ පසුගිය කාලයේ මුදල් ගනුදෙනු පිළිබඳ මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, කෝටි ගණන් මුදල් වියදම් කර ඇති බව දැනටමත්, අනාවරණ වී ඇති බවත්, අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.

එමෙන්ම, සංස්කෘතික අරමුදල සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියේ

පසුගිය රජය 19 වන සංශෝධනය ගෙන එන අවස්ථාවේදී එම කෙටුම්පතේ කොටස් ඉවත් කිරීම නිසා බරපතල තත්ත්වයක් ඇතිවී ඇති අතර, එය වර්තමානයේ ඇතිවී තිබෙන අධිකරණ ආන්දෝලනයට ද හේතුවක් වී ඇති බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අවධාරණය කළේ.  

වැඩිවන සහල් මිල පිළිබඳව ද අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පුවත්පත් කතුවරුන් හමුවේ කියා සිටියේ වී අලෙවි මණ්ඩලය වහා ශක්තිමත් කොට වී මිලට ගැනීමේ වැඩපිළිවෙලක් මේ වනවිටත් සකස් කර ඇති බවයි.

ඒ අනුව, ඉදිරියේදී සහල් මිල අඩු වනු ඇති බවත්, ඉදිරි යළ කන්නයේ සිට නොමිලේ මඩපොහොර සහ ගොඩපොහොර ලබාදීමට කටයුතු කරන බවත්, අග්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියා.

මෙම හමුවට සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ ඇතුළු පිරිසක් එක්ව සිටි අතර, එහිදී අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ හඬ පට සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ මෙම සියලූ කරුණු සම්බන්ධයෙන් අරලියගහ මන්දිරය, රන්ජන් රාමනායකට සියලූ උපදෙස් ලබාදී ඇති බවයි.

එය හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ රන්ජන් රාමනායකගේ හ`ඩපටවලින් අනාවරණ වන බව ද අමාත්‍යවරයා එහිදී කියා සිටියා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress