ශ්‍රී ලංකා සමනල සංරක්ෂණ සංසදයේ “Grow with Nature” ළමා පරිසර වැඩසටහන
Posted on January 10th, 2020

පේශල පසන් කරුණාරත්න සාමාජික ශ්‍රී ලංකා සමනල සංරක්ෂණ සංසදය

සත්ව ලෝකයේ හැඩකාරයන් අතර මුල් ස්ථානය හිමි කරගන්නා විචිත්‍රවත් සමනලුන් නෙතට රසඳුනක් සේම ජෛව විවිධත්වයේ විශාල වටිනාකම් රැසක්ද නතුකර ගන්නට සමත් සත්ත්ව කොට්ඨාසයකි. සමනලුන් සතු සුන්දරත්වය සහ ජෛව විද්‍යාත්මක වටිනාකම් අධ්‍යයනය මෙන්ම එම වටිනාකම් ජනතාව අතර බෙදා දැක්වීම සඳහා ශ්‍රී ලංකා සමනල සංරක්ෂණ සංසදය වැඩසහන් රාශියක් ක්‍රියාවට නංවයි. සමනලුන්, සලබයින්,  බත්කූරන් වැනි කෘමී සතුන් සංරක්ෂණය වෙනුවෙන්ම මෙරට ස්ථාපිත වූ ප්‍රථම පාරිසරික සංවිධානය වන ශ්‍රී ලංකා සමනල සංරක්ෂණ සංසදය ස්වෙච්ඡාවෙන් එක් වූ, විවිධ ක්ෂේත්‍ර වල නිරත සාමාජිකයන් සහ විශේසඥයන්ගේ දායකත්වයෙන් පවත්වාගෙන යනු ලබයි.

පරිසර සංරක්ෂණය කුඩා අවධියේ සිටම පුරුදු පුහුණු කිරීම මගින් පරිසරය ආරක්ෂා කරගනිමින් සාර්ථක ජීවිතයක් ගොඩ නගා ගන්නා මතු පරපුරක් බිහිකර ගත හැකි බැවින් සමනල සංරක්ෂණ සංසදය විසින් දරුවන් තුළ පරිසරය සංරක්ෂණය පිළිබඳව උද්‍යෝගයක් ඇති කිරීම සඳහා වාර්ෂිකව වැඩසටහන් රැසක් සංවිධානය කරනු ලබයි. එම වැසටහන් අතරින් දරුවන් හට පාරිසරික, අධ්‍යාපනික, විනෝදාත්මක අත්දැකීම් රැසක් ලබා ගත හැකි, වාර්ෂිකව සංවිධානය වන  වැඩ සටහනක් වන  “Grow with Nature”   හි  තෙවැනි වැඩසටහන 2020 වසරේ ජනවාරි මස 18 වන දින  පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

පාසල් දරුවන්ට පරිසරය හා සමනලයන් සමඟ ඍජුව සම්බන්ධ වෙමින් ඔවුන් අධ්‍යනය කිරීමට, දේශන වලට සවන්දීම  හා ප්‍රායෝගික ක්‍රියාකාරකම්  රැසක යෙදීමට හැකිවන පරිදි  මෙම වැඩසටහන සංවිධානය කර ඇති නිසා දරුවන් වඩාත් ප්‍රියකරනා සමනල ලෝකයේ සැරිසරමින් වටිනා අත්දැකීම් රැසක් ජීවිතයට එක් කර ගැනීමට  දරුවන්ට අවස්ථාව උදාවේ. අධ්‍යාපනික මෙන්ම විනෝදාත්මක ක්‍රියාකරකම් වල යෙදීමට මෙහිදී අවස්ථාව ලැබෙන අතර සමනලුන් සහ කෘමි සතුන් ආරක්ෂා කර ගනිමින් පරිසරයත් සමග කටයුතු කරන අයුරු සහ කුඩා කල සිටම හුරු පුරුදු වීමට මෙමගින් අවස්ථාව උදාවේ.

සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන “Grow with Nature – 2020” වැඩසටහන ජනවාරි මස 18 වැනි සෙනසුරාදා දින උදැසන 8.00 සිට 10.30 දක්වා තලවතුගොඩ දියසරු උයන කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ.  වයස අවුරුදු 6 ත් 15ත් අතර ළමුන් සඳහා පැවැත්වෙන මෙම වැඩ සටහන පැවැත්වෙන අතර මේ සඳහා සහභාගී වන  දරුවන් සඳහා වටිනා සහතිකපත්‍රයක්ද ලබාදීමටද සමනල සංරක්ෂණය කටයුතු සූදානම් කොට තිබේ. මේ සඳහා කැමැත්තක් දක්වන දරුවන් වැඩ සටහනට පැවැත්වෙන දිනට පෙර ඒ සඳහා ලියා පදිංචි වීම අනිවාර්ය වන අතර ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු රුවංගිකා ගුණවර්ධන (071 463 9767) පුමුදි ගර්දියවසම් ( 070 395 7111) යන දුරකතන අංක මගින් ලබා ගත හැකිය.

පාසල් අධ්‍යාපන කටයුතු තුල සිරවී සිටින දරුවන්ට විචිත්‍ර සමනල ලෝකයක සැරිසරමින්  නවමු අත්දැකීමක් ලබා ගැනීමට, පරිසරයට ආදරය කිරීමට පුරුදු පුහුණු කිරීමට මෙන්ම සැහැල්ලුවෙන් අධ්‍යාපන කටයුතු කරමින් සාර්ථක ජීවිතයක් ගොඩ නගා ගැනීමට ශක්තිමත් අඩිතාලමක් දැමිය හැකි මෙම වැඩසටහනට අවුරුදු 6ත් 15ත් අතර ඔබේ දරුවාද සහභාගී කරවන මෙන් ශ්‍රී ලංකා සමනල සංරක්ෂණ සංසදය විවෘතව ආරාධනා කරයි.

ස්තූතියි.

පේශල පසන් කරුණාරත්න
සාමාජික
ශ්‍රී ලංකා සමනල සංරක්ෂණ සංසදය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress