RANJANGATE SCANDAL – දුමින්දගේ තීන්දුවට, හිටපු ඇමතිවරුන් දෙදෙනෙකුගෙන් අගවිනිසුරුට බලපෑම් – ජාතික පුවත්පතක් අනාවරණය කරයි- කොළොන්නාවේ ජනතාව දුමින්ද ඉල්ලා උද්ඝෝෂණයක
Posted on January 12th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

දුමින්ද සිල්වා ඇතුළු පිරිසට මරණ දඬුවම හිමි කර දුන් මහාධිකරණ තීන්දුවට එරෙහිව සිදුකරන ලද අභියාචනයේ තීන්දුව සම්බන්ධයෙන් පසුගිය රජයේ අමාත්‍යවරුන් දෙදෙනෙකු එවකට අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් වෙත තර්ජනය කර තිබෙන බවට දිවයින ඉරිදා සංග්‍රහය අද සිය ප්‍රධාන පුවත ලෙස වාර්තා කර තිබුණා.

‘‘දුමින්ද එල්ලන්නැයි හිටපු අගවිනිසුරුට ඇමතිවරු දෙදෙනෙක් තර්ජනය කරලා’’ යන මැයෙනුයි අද දිවයින පුවත්පත සිය මුල් පුවත එලෙස වාර්තා කර තිබුණේ.

ඒ අනුව අදාළ ලිපියෙන් සඳහන් කර ඇත්තේ මහාධිකරණයෙන් දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් පිරිසට ලබාදුන් මරණ දඬුවමට එරෙහිව සිදුකරන ලද අභියාචනයේ තීන්දුව සම්බන්ධයෙන් එවක අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් වෙත පසුගිය රජයේ අමාත්‍යවරුන් දෙදෙනෙකු විසින් සිදුකරන ලද තර්ජනයක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති බවටයි.

පැවති රජයේ ඉහළ බලධාරියෙකු විසින් අමාත්‍යවරුන් තුන් දෙනෙකුට අගවිනිසුරුවරයා හමුවී අවසන් තීන්දුව ඒකමතිකව ලබා ගැනීම සඳහා බල කරන ලෙස පවසා ඇති බවත්, ඒ සඳහා එක් අමාත්‍යවරයෙකු එකඟ නොවීම නිසා අමාත්‍යවරුන් දෙදෙනෙකු විසින් අගවිනිසුරුවරයා වෙත මෙම බලපෑම සිදුකර ඇති බවත් දිවයින මුල් පුවතින් අනාවරණ කර තිබෙනවා.

එමෙන්ම, ‘‘දුමින්ද නිදහස් වූ තීන්දුව රන්ජන්, පද්මිණී සහ ශානි ආපසු හැරවූ හැටි’’ යන ශීර්ෂ පාඨ යටතේ දිවයින පුවත්පත පිටු දෙකක් පුරාවටම තවත් දීර්ඝ ලිපියක් පළ කර තිබෙනවා.

උපුටා ගැනීම

පළමු පටිගතයෙන් ඇසෙන පරිදි ශානි අබේසේකර විසින් රන්ජන්ගේ ගෙදර වළං ඉදුල් හෝදන තැන දක්වා පහළ වැටෙන්නේ දුමින්දගේ නඩු තීන්දුව පිළිබදවය.

දුමින්ද වෙත ලබාදෙන ලද්දේ නෛතික දඩුවමක් නොව සැළසුම් සහගත ලෙස පොලීසිය සහ අධිකරණයේ සමහර නඩුකාරයන් මෙහෙයවා ලබාදුන් තීන්දුවක් බව රටම තේරුම් ගන්නේ මෙම හඩපට ඇසීමෙනි.

ලිපියේ වැඩිදුරටත් මෙලෙස සඳහන් වනවා.

මේ සියල්ල දැන් සැසදිය යුත්තේ රන්ජන් හා තොදොල් තෙපුලනා පද්මිණීගේ දුරකතන සංවාද සමගය.

නඩු දිනයට පෙර ශානි විසින් රන්ජන් වෙත තින්දුව කලින්ම ප්‍රකාශ කරන කාරනයත් සමගය.

ඇත්ත වශයෙන්ම ගත්විට දුමින්ද දඩුවම් විදින්නේ සාධාරණ නඩු තීන්දුවක් මත නොව දේශපාලන බලහත්කාරකමක් මත බව මේ සංවාද ඇසීමෙන් පෙනී යයි.

යුක්තියේ දෙවොල මත කරන ලද මේ පාපතර ක්‍රියාව සදහා යුක්තිය ඉටුවීමට තව බලා සිටිය යුතු නැත.

හැකි ඉක්මනින් මේ ගැන විභාගයක් පවත්වා දුමින්දට සාධාරණයක් කළ යුතුය.

මේ රටේ අධිකරණයට සාධාරණයක් කල යුතුය

අධිකරණය සමග මෙසේ කතා කරන තැනට රන්ජන් බලගැන්වූ බලවේග කවුරුන්ද යන්න රට දැනගත යුතුය.

කට රන්ජන්ගේ වුවත් ඔහු පසුපස සිටි බලයද මේවාට වගකිවයුතු හෙයින් ඒ සදහා නියමිත දඩුවමක් නෛතික ආකාරයෙන් තීරණය කළ යුතුය.

දුමින්ද දැන් නිදහස් වුවද ඒ සදහා කෙතරම් වන්දියක් ඔහුට ලැබුනේ වුවද නිරපරාදේ මරණ දඩුවමක් ලබා ඔහු ගෙවූ කාලය යළි මිලට ගත හැකිද.

ලැබුණු අපහාසල අවලාද සදහා වන්දියක් නියම කල හැකිද.

රන්ජන්ල ශානිල පද්මිණී ආදීන් එකතුවී රටේ නීතියට කරන ලද මේ අපචාරය සදහා ජනතා ප්‍රතිචාරය දැනට ලැබී ඇතත් ඒ සදහා තවම විධිමත් නෛතික ප්‍රවේශයක් ආණ්ඩුව ලබාදී නැත.

එසේ පමාවන යුක්තිය දුමින්දට පමණක් නොව රටටම සිදුකරනා අසාධාරණයක් බව දැනට ලියා තබමි.

උපුටා ගැනීම අවසන්.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ හඬ පට මගින් අනාවරණ වන අධිකරණයට බලපෑම් සිදුකිරීම් පිළිබදව කරුණු විමර්ශනය කර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට සාධාරණය ඉෂ්ඨ කරන ලෙස ඉල්ලා අද උද්ඝෝෂණයක් ද පැවැත්වුණා.

කොළොන්නාව නගර මධ්‍යයේ පැවති මෙම උද්ඝෝෂණයට භික්ෂූන් වහන්සේ, සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු විශාල ජනතාවක් එක්ව සිටියා.

උද්ඝෝෂණයට එක්වූ යථාර්ථය සංවිධානයේ මහලේකම් ශාස්ත්‍රවේදී පූජ්‍ය කිරිඉබ්බන්ආරේ විජිත හිමියන් සඳහන් කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සිරගත කිරීම දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බවයි

මෙම උද්ඝෝෂණයට සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් සහ බස්නාහිර පළාත් හිටපු පළාත් සභා මන්ත්‍රී එස්.ඒ.ඞී. ජගත් කුමාර ද එක්ව සිටියා.

එමෙන්ම උද්ඝෝෂණයට එක්ව සිටි ප්‍රදේශවාසීන් ද සදහන් කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා යළිත් කොළොන්නාවට ලබාදිය යුතු බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress