RANJANGATE SCANDAL – අත්අඩංගුවට ගත් රන්ජන් කොළඹ අපරාධ කොට්ඨාශයට රැගෙන යයි
Posted on January 14th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

විනිසුරුවරුන්ගේ රාජකාරියට බලපෑම් කිරීම සම්බන්ධයෙන් මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවාස සංකීර්ණයේදී අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක කොළඹ අපරාධ කොට්ඨාශය වෙත රැගෙන ගොස් තිබෙනවා

අධිකරණ විනිසුරුවරුන්ගේ රාජකාරියට බලපෑම් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මීට ටික වේලාවකට පෙර කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත්තා.

ඒ, මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ පිහිටි ඔහුගේ නිවසේදියි

අදාළ චෝදනාවට රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නා ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තුවක් නිකුත් කළා.

ඒ, රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬ පට සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයන්ට අදාළව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 (ඇ) දෙක ව්‍යවස්ථාව යටතේ කටයුතු කරන ලෙස නීතිපතිවරයා ලබාදුන් උපදෙස්වලට අනුවයි.

>මෙකී වගන්තිය යටතේ පුද්ගලයෙකුට එරෙහිව නීතිමය පියවර ගත් පළමු අවස්ථාව ලෙස මෙය සැළකෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් සිදුකර තිබූ දුරකථන සංවාද ඇතුළත් ආන්දෝලනාත්මක හඬපට සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල වාර්තා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් නීතිපතිවරයා වෙත යොමුකර තිබුණා.

එම විමර්ශන උදෘත සහ හඬපට සම්බන්ධයෙන් සිය උපදෙස් ලබාදෙමින් නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට දැනුම්දී තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විනිසුරුවරුන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 (ඇ) දෙක ව්‍යවස්ථාව යටතේ අධිකරණ වරෙන්තුවක් ගෙන ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙසයි.

එසේම රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් විනිසුරුවරුන් වන පද්මිණී රණවක ගුණතිලක, ගිහාන් පිලපිටිය සහ ධම්මික හේමපාලගේ අධිකරණ බලතල ක්‍රියාත්මක කිරීමේදී බලපෑමක් කිරීමෙන් හෝ ඊට තැත් කිරීමේ අපරාධය සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම් කිරීමට ප්‍රමාණවත් කරුණු පවතින බවද නීතිපතිවරයා දැනුම්දී තිබෙනවා.

එබැවින් ඉහත උපදෙස් පරිදි මෙම සැකකරු සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව නියමිත මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට තවදුරටත් දැනුම්දී තිබුණා.

ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අද පස්වරුවේ නුගේගොඩ මහේස්ත්‍රාත් වසන්ත කුමාරට කරුණු දැක්වීමක් සිදුකළ අතර, අනතුරුවයි අදාළ වරෙන්තුව නිකුත් කෙරුණේ.

ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ පිහිටි රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ නිවසේදී ඔහු අත්අඩංගුවට ගත් අතර, මේ වනවිට ඔහු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන එමින් සිටිනවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress