සහරාන් සමග සබඳතා පැවැත්වූ, අනන්‍යතාව හෙළි නොකළ විශේෂ සාක්ෂිකරුවෙකු ජනපති කොමිසමට
Posted on January 18th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සහරාන් සමග සබඳතා පැවැත්වූ අනන්‍යතාව හෙළි නොකළ විශේෂ  සාක්ෂිකරුවෙක් අද සාක්ෂි ලබා දුන්නා.

>පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අද පෙරවරුවේ අන්‍යනතාව හෙළි නොකළ මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි විශේෂ  සාක්ෂිකරුවෙක් සාක්ෂි ලබාදීම සඳහා කැඳවා තිබුණා.

සාක්ෂි ලබාදීම සඳහා අදාළ සාක්ෂිකරු කොමිසමේ විනිසුරුවරුන් හමුවේ පෙනී නොසිටි අතර ඔහු මාධ්‍යටද ආවරණය නොවන පරිදි වෙනත් ස්ථානයක රඳවා තිබුණා.

සාක්ෂි විමසීමේ කටයුතු සිදු කෙරුණේ කොමිසමේ සාමාජිකයින්ට පමණක් පෙනෙන අයුරින් විඩියෝ තාක්ෂණය ඔස්සේ වීම විශේෂත්වයක්. <br /><br />එම පරිශ්‍රයට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාවද යොදවා තිබීමද විශේෂත්වයක්.

එහිදී ජනාධිපති කොමිසමේ විනිසුරුවරුන් මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියේ 2015 අංක 4 දරණ අපරාධ වින්දිතයින් ආරක්ෂා කිරීමේ පණත යටතේ, සාක්ෂිකරුගේ ආරක්ෂාව වෙනුවෙන් ඔහුගේ පෞද්ගලික තොරතුරු අනාවරණ නොකරන ලෙසයි.

ජනාධිති විමර්ශන කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදීම ආරම්භ කළ සාක්ෂිකරු සඳහන් කළේ තමන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමෙන් අනතුරුව දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි ඉස්ලාමිය ස්ටුඩන්ට් මූමන්ට් නැමැති ආයතනයට සම්බන්ධ වී 50ක පමණ පිරිසක් සමඟ ආගම සම්බන්ධයෙන් දින 5ක වැඩමුළුවකට සහ දේශන සඳහා සහභාගී වූ බවයි.

රටපුරා එවැනි වැඩමුළු පවත්වන ස්ථාන 20ක් පමණ ඇති බවත් උසස් පෙළ විභාගයෙන් අනතුරුව තවත් එවැනිම දින7 ක වැඩමුළුවක් සඳහා සහභාගීවීමෙන් පසු තමන්ට ජමයිතේ ඉස්ලමික් නමැති සංවිධානයේ සබරගමුව සංවිධායක ලෙස තනතුරක් ද පිරිනැමූ බව කොමිසමේ දී සාක්ෂි ලබාදෙමින් හෙළි කළා.

අදාළ සංවිධානවල දේශන තුළදී ල ලෝකය පුරා ඉස්ලාමිය රාජ්‍යයක් තිබිය යුතු බවත් එහි සියලුදෙනා එකම නීතීයක් යටතේ ජීවත් වීය යුතු බවටත් ඒ සියල්ල කුරාණයේ සඳහන්ව ඇති බවට එම සංවිධානය විසින් ලබා දුන් දේශනවලදී සඳහන් කර ඇති බවද ඔහු සාක්ෂි ලබාදෙමින් සඳහන් කළා.

ලංකාවේ මුස්ලිම් ජාතිකයින්ට සිය ආගම ඇදහීම සම්බන්ධයෙන් උපදෙස් ලැබෙන්නේ කිනම් රටවල් වලින් දැයි රජයේ අධිනීතීඥවරිය විමසූ විට ඔහු පිළිතුරු ලබාදෙමින් සඳහන් කළේ මේ සංවිධාන සියල්ල ඉන්දියාවේ සිට පැමිණි සංවිධාන බවත්ල එම සංවිධාන හරහා ශිෂ්‍යවත්ව ලබා දී මැලේසියාව, පිලිපීනය, ඉන්දියාව, පාකිස්ථානය වැනි රටවල් සඳහා පුද්ගලයින් යවන වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක වී තිබූ බවයි.

ඔබට විදෙස් ගතව ආගම ඉගෙන ගැනීමට අවස්ථාව ලැබුණේ ද යන්න පිළිබඳ රජයේ අධිනීතීඥවරිය විමසූ අතර සාක්ෂිකරු සඳහන් කළේ,  2014 වසරේදී තමන් තුර්කිය බලා පිටත්ව ගිය බවත් එහි මාස 4ක පමණ කාලයක් ආගම ඉගෙන ගැනීමකින් තොරව රැඳී සිටීමෙන් පසුව සිරියාව බලා පිටත්ව ගිය බවයි.

ඉන්අනතුරුව තමන් ලබාදෙන සාක්ෂි මාධ්‍යට අනාවරණ නොකරන ලෙසට සාක්ෂිකරු විමර්ෂණ කොමිසමේ විනිසුරුවරුන්ගෙන් ඉල්ලීමක් සිදුකළා.

ඒ අනුව සියලු මාධ්‍යවේදීන් අදාළ සාක්ෂි විමසීමට සවන්දෙමින් සිටි ස්ථානයෙන් ඉවත් කිරීමට ජනාධිපති විමර්ශන කොමිසම කටයුතු කළා.

පසුව නැවතත් මාධ්‍යවේදීන්ට සාක්ෂි විමසීමට සවන්දීමට අවස්ථාව ලබා දුන් අතර එහිදී විමසුවේ 2014 වසරේදී තුර්කිය හරහා සිරියාවට ගියේ කුමන ආකාරයෙන්ද යන්න  කොමිසටම අනාවරණ කරන ලෙසයි.

එහිදිද සාක්ෂිකරු සඳහන් කළේ විදෙස් ගත වූ ආකාරය නීතී විරෝධී බැවින් ඒ පිළිබඳවද ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් නිකුත් කල නොහැකි බවයි.

පසුව කොමිසමේ සාක්ෂි විභාගය නැවතත් මාධ්‍යට විවෘත වූ අතර එහිදී සාක්ෂිකරු සදහන් කලේ දිගන සිද්ධියෙන් අනතුරුව සහරාන් හෂීම් සමාජ මාධයට නිකුත් කල දේශන ඇතුලත් වීඩියෝ පටයක් නැරඹීමෙන් පසු 2018 වසරේදී සහරාන් හෂීම් සම්බන්ධ කර ගත් බවයි.

එහිදී සාක්ෂිකරු කොමිසමෙන් විමසා සිටියේ මෙවැනි වීඩියෝ පට නිකුත් කර තිබියදීත් එවකට පැවති පොලිසිය සහ බුද්ධි අංශ කුමක් කළේ ද යන්නයි.

පසුව තමන් සහරාන් හෂීම් හමු වූ බවත් ඔහු සමඟ නුවරඑළිය ප්‍රදේශයේ පිහිටි නිවසක සිට 2018 වසරේ ජූනි මාසයේදී සහරාන් හෂීම් ගේ දේශන සඳහා සහභාගී වී ඇති බවත් සාක්ෂිකරු සඳන් කළා.

එහිදී සහරාන් හසීම් සඳහන් කර ඇත්තේ තමන් අයිගඑස් සංවිධානය සමඟ එක්ව කටයුතු කරන බවත්, එම සංවිධානයේ අරමුණ ලෝකයම ඉස්ලාම් රාජයක් බවට පත් කිරීම වුවත්, ශ්‍රී ලංකාවේ එය සිදු කල නොහැකි බවයි.

නමුත් අල්ලා දෙවියන් ප්‍රතික්ෂේප කරන පුද්ගලයින් විනාශ කිරීම සඳහා ආයුධ රැස් කළ යුතු බවත් අවම වශයෙන් පිහියක් හෝ සියලුදෙනා ළඟ තබා ගත යුතු බවත් සහරාන් හෂීම් තමන්ට ප්‍රකාශ කළ බව සාක්ෂිකරු සඳහන් කර සිටියා.

සහරාන්ගේ දේශන තුළදී, බුරුමයේ හිමි නමක් ශ්‍රී ලංකාවට පැමිණ පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් හමු වී ඇති බැවින් බුරුමයේ මුස්ලිම්වරුන්ට සිදු වූ සිදුවීම ශ්‍රී ලංකාවේද සිදුවීමට ඉඩ ඇති බැවින් බෞද්ධයින්ට එරෙහිව දේශනවලදී අදහස් පළ කල බව සාක්ෂිකරු සඳහන් කළා.

පසුව සහරාන් විසින් ටී 56 අවි ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන්ද එම පිරිස දේශන මඟින් දැනුවත් කල බවද සාක්ෂිකරු අනාවරණ කළා.

මෙම දේශන සම්බන්ධයෙන් පිටස්තර පුද්ගලයින් දැනුවත් කිරීමක් සිදු කළහොත් හෝ සිය සංවිධානයේ අරමුණූ පිළිබඳව හෙළි කළහොත් අදාළ පුද්ගලයින් ඝාතනය කරන බවට සහරාන් හෂීම් විසින් තර්ජනය කර ඇති බවද අනාවරණ වුණා.

වනාතවිල්ලුව ප්‍රදේශයේදි වෙඩි බෙහෙත් සහ පුපුරණ දුව්‍ය සම්බන්ධයෙන් හෙළිවීමත් සමඟ සහරාන් විසින් බෞද්ධයින් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කල යුතු බවට තීරණය කල බවත්, පසුව පිරිසක් ඊට විරෝධය පළ කරමින් සහරාන්ගේ කණ්ඩායමෙන් ඉවත් වූ බවත් සාක්ෂිකරු කොමිසම හමුවේ හෙළි කළා.

ඒ වනවිට බෝම්බ නිශ්පාදනය කිරීම සම්බන්ධයෙන් සහරාන් කිසිවක් දැන නොසිටි බවත්, උසස් පොලිස් නිලධාරියෙක් සහ බුද්ධි අංශ නිලධාරියෙක් යූරියා උපයෝගී කරගනිමින් බෝම්බ නිෂ්පාදනය කල හැකි බව මාධ්‍යයට අනාවරණ කරන තෙක් සහරාන් බෝම්බ නිෂ්පාදනය කිරීම පිළිබඳ දැන නොසිටි බවද සාක්ෂිකරු සඳහන් කළා.

අනතුරුව මාධ්‍යවේදීන් එම පරිශ්‍රයෙන් ඉවත් කර නැවතත් රහසේ සාක්ෂි විමසීම සිදු කිරීමෙන් පසු අද දිනට කොමිසමේ සාක්ෂි විභාගය අවසන් කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress