අවුලේ මුල
Posted on January 19th, 2020

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

1978 සම්මත කරගත්ත දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුලින් ම සම්මත කරගනිද්දි ව්‍යවස්ථාවේ සම්පූර්ණ අන්තර්ගතය පරිච්ඡේද 24 ක් යටතේ තමයි පෙළ ගස්වලා තිබුණේ. විධායකයට සහ ව්‍යවස්ථාදායකයට අදාළ ව්‍යවස්ථා සහ විධිවිධාන ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළේ බොහොම පැහැදිළිව පරිච්ඡේදවලට වෙන් කරලා පිළිවෙළකට දක්වලා තිබුණා.

විධායකය

7 වැනි පරිච්ඡේදය – ජනරජයේ ජනාධිපතිවරයා
8 වැනි පරිච්ඡේදය – අමාත්‍ය මණ්ඩලය
9 වැනි පරිච්ඡේදය – රාජ්‍ය සේවය

ව්‍යවස්ථාදායකය

10 වැනි පරිච්ඡේදය – පාර්ලිමේන්තුව
11 වැනි පරිච්ඡේදය – කාර්ය පටිපාටිය සහ බලතල
12 වැනි පරිච්ඡේදය –  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම

අන්තර්ගතය මේ විදිහට පෙළ ගැස්සුවාම ව්‍යවස්ථාවේ අන්තර්ගතය තේරුම් ගන්න පහසුයි. (ව්‍යවස්ථාවේ මේ පරිච්ඡේද නම් කරලා තියෙන්නේ රෝමානු ඉලක්කම්වලින්. ඒවා මේ විදිහට ලිව්වේ ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් වෙන්න).

1978 අවුරුද්දේ ඉඳලා 1987 වෙන කල් එකොළොස් වතාවක් ම (12 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වුනේ නෑ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළත් ඒ හැම සංශෝධනයක් ම වචන කීපයකට, වාක්‍ය කීපයකට විතරක් සීමා වුනා. ඒවා එකක්වත් මහා පරිමාණයෙන් කරපු ව්‍යවස්ථා සංශෝධන කියලා කියන්න බෑ. ඒ සංශෝධන හින්දා ව්‍යවස්ථාවේ මූලික ස්වරූපයට ලොකු බලපෑමක් ඇති වුනේ නෑ.

ඉන්දියාවේ බලපෑම්වලට යටත් වෙලා 1987 අවුරුද්දේ කරපු 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඊට වඩා ගොඩක් වෙනස්. ඒ සංශෝධනයේ දී අලුතින් ම පරිච්ඡේයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකතු කළා. 17 සහ 18 පරිච්ඡේද අතරට එකතු කරපු ඒ අලුත් පරිච්ඡේදය නම් කරලා තියෙන්නේ 17අ පරිච්ඡේදය කියලා. ඒ ව්‍යවස්ථා සංශෝධනය ඉතිහාසයට එකතු වෙලා තියෙන්නේ ජනතාවගේ මතය විමසන්නේ නැතුව කරපු මහා තක්කඩිකමක් විදිහට. ඒකට අවශ්‍ය ඡන්ද ලබාගත්තේ දින නැති ඉල්ලා අස්වීම් ලිපි මන්ත්‍රීවරුන්ගෙන් ලබාගෙන කියන එකත් අපි හැමෝ ම අහලා තියෙනවා.

1988 අවුරුද්දේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුන් වතාවක් සංශෝධනය කළා. දෙවැනි ජනාධිපතිවරණය පැවැත්තුවේ 1988 දෙසැම්බර් 19 වැනි දා.  ඊට දවස් දෙකකට කලින් – ඒ කියන්නේ 1988 දෙසැම්බර් 17 වැනි දා; ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 වැනි සහ 16 වැනි සංශෝධන සම්මත කරගත්තා. ඒ, මහා භීෂණයකින් මුළු රට ම වෙලාගෙන තිබුණු කාලයක්. මිනිස්සු ඡන්ද දෙන්න යන එක වළක්වන්න ජනතා විමුක්ති පෙරමුණත් සෑහෙන්න මහන්සි වුනා. ඒ ඡන්ද ව්‍යාපාරය තියෙන කාලය තුළ ජනතා විමුක්ති පෙරමුණ විසින් විතරක් කරපු දේශපාලන ඝාතන ප්‍රමාණය 800 කටත් වැඩියි. ආරක්‍ෂක අංශවල සහ ඒ අයගේ පවුල්වල අයගේ මරණ මේ ගණනට අයිති නෑ. අන්තිමේ දී ඡන්ද හිමි මිනිස්සුන්ගෙන් සියයට 55 ක් විතර ප්‍රමාණයක් ඡන්දය දීලා තිබුණා. ඒ ප්‍රමාණයෙන් සියයට 50 සීමාව යන්තමින් (ඡන්ද 21,810 කින්) ඉක්මවලා ඡන්ද ගත්ත ප්‍රේමදාස මහත්තයා ජනාධිපති බවට පත්වුනා. ඇත්තෙන්ම ඒ මහත්තයාට ලැබිලා තිබුණේ ලියාපදිංචි මුළු ඡන්ද ප්‍රමාණයෙන් සියයට 27 ක් විතරයි.

1988 අවුරුද්දේ කරපු ඒ වික්‍රමයෙන් පස්සේ අවුරුදු 13 ක් ගත වෙන කල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එක වතාවක්වත් සංශෝධනය කළේ නෑ. අලුත් ව්‍යවස්ථාවක් හදන වැඩකට තමයි චන්ද්‍රිකා නෝනා කර ගහලා තිබුණේ. ඒත් ව්‍යවස්ථා විප්ලව කරන්න රනිල් වික්‍රමසිංහ මහත්තයාට තියෙන හපන්කම චන්ද්‍රිකා නෝනාට තිබුණේ නෑ. ඉතින් කොච්චර සුදු නෙළුම්, තවලම් පෙන්නුවත් පරණ පුරුදු විදිහට ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්‍ෂා වෙලා තිබුණා.

2000 ඔක්තෝබර් 10 වැනි දා පවත්වපු මහ මැතිවරණයෙන් ජනතා විමුක්ති පෙරමුණට ආසන 10 ක් ලැබුණා. චන්ද්‍රිකා නෝනාගේ පොදුජන එක්සත් පෙරමුණට ලැබුණේ ආසන 107 කුත් රනිල් මහත්තයාගේ එක්සත් ජාතික පක්‍ෂයට ආසන 89 කුත් ලැබුණා. ඉතින් චන්ද්‍රිකා නෝනා ආණ්ඩුවක් හැදුවේ අෂ්රොෆ් මහත්තයාගේ (ඇත්තෙන්ම ඡන්දයට දවස් 25 කට කලින් සිද්දවෙච්ච ගුවන් අනතුරකින් අෂ්රොෆ් මහත්තයා පරලොව ගියා) සහ ඩග්ලස් දේවානන්ද මහත්තයාගේ උදව්වෙන්. ඒ විදිහට හවුලක් හදාගෙන පාර්ලිමේන්තුවේ ආසන 115 ක බලයක් තහවුරු කරගන්න චන්ද්‍රිකා නෝනාට පුළුවන් වුනා.

මේ විදිහට අමාරුවෙන් අටවා ගත්ත ආණ්ඩුවට රට පාලනය කරන්න පුළුවන් වුනේ දවස් 358 ක කාලයක් විතරයි. ආණ්ඩුවේ වයස දවස් 246 ක් වෙද්දි (2001 ජුනි 20 වැනි දා) හකීම් මහත්තයා ඇතුළු මන්ත්‍රිවරු පිරිසක් ආණ්ඩුවෙන් අයින් වුනා. ඒ කියන්නේ ආණ්ඩුවේ බලය මන්ත්‍රීවරු 109 ක් බවට පත් වුනා. එහෙම වුනාම විපක්‍ෂයේ බලය ආසන 115 ක් බවට පත්වුනා.

ජුලි 10 වැනි දා විපක්‍ෂයේ මන්ත්‍රිවරු 115 ක් අත්සන් කරපු විශ්වාසභංග යෝජනාවක් කතානායකතුමාට භාර දුන්නා. ඒ දවසේ ම චන්ද්‍රිකා නෝනා පාර්ලිමේන්තු වාරය අවසන් කරලා සැප්තැම්බර් 7 වැනි දා නැවතත් පාර්ලිමේන්තුව රැස්වෙන බව නිවේදනය කළා. ඒ මදිවට මේ ඔක්කොම කලබල මැද්දේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගන්න කියලා ජනමත විචාරණයක් පවත්වනවා කියලාත් නිවේදනයක් නිකුත් කළා. අගෝස්තු 21 වැනි දා ඒ ජනමත විචාරණය තියන බවක් තමයි කිව්වේ.

ටික දවසක් ගත වුනාට පස්සේ ජනමත විචාරණය පවත්වන වැඩේ ඔක්තෝබර් 18 වැනි දා දක්වා කල් දැම්මා. අගෝස්තු 25 වැනි දා වෙද්දි චන්ද්‍රිකා නෝනා ජනතා විමුක්ති පෙරමුණත් එක්ක සාකච්ඡා පටන් ගත්තා. ඊට පස්සේ පරිවාස ආණ්ඩුවක් හදනවා කියලා පොදුජන එක්සත් පෙරමුණයි ජනතා විමුක්ති පෙරමුණයි එකතු වෙලා අවබෝධතා ගිවිසුමක් අත්සන් කළා. මේ හපන්කම කළේ සැප්තැම්බර් 5 වැනි දා. ඒ ගිවිසුමේ හැටියට හදපු අමාත්‍ය මණ්ඩලය සැප්තැම්බර් 14 වැනි දා දිවුරුම් දුන්නා.

මේ ඔක්කොම සෙල්ලම් මැද්දේ තවත් ව්‍යවස්ථා සෙල්ලමක් ක්‍රියාත්මක වෙමින් තිබුණා. ඒ වැඩේට මුල් වෙලා තිබුණේ ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයින්ගේ සංගමය. ඒ අය මුල් වෙලා හදපු ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් ඒ අය විසින් ම 2001 ජනවාරි මාසයේ දී අනුමත කරගෙන තිබුණා. මේ විදිහට අනුමත කරගත්ත ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයින්ගේ සංගමය කිව්වේ 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය කියලා.

ඒ කියන්නේ 2001 ජුනි මාසයේ පාර්ලිමේන්තු කුණාටුව ඇති වෙන වෙලාව වෙද්දි ව්‍යවස්ථා යෝජනා දෙකක් ගැන කතාබහක් ඇතිවෙලා තිබුණා. එකක් තමයි චන්ද්‍රිකා නෝනාගේ කට්ටිය මුල්වෙලා හදපු අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. අනිත් එක තමයි ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයින්ගේ සංගමය ඉදිරිපත් කරපු 17 වැනි ව්‍යවස්ථා සංශෝධන යෝජනාව.

චන්ද්‍රිකා නෝනා ජනමත විචාරණයක් පවත්වනවා කියලා නිවේදනය කළේ තමන්ගේ කට්ටිය මුල්වෙලා හදපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ජනතා කැමැත්ත ලබා ගන්න අදහසින්. ඒත් ජනතා විමුක්ති පෙරමුණ චන්ද්‍රිකා නෝනා ළඟට ඇරගෙන ආවේ ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයින්ගේ සංගමය විසින් අනුමත කරගෙන තිබුණු 17 වැනි ව්‍යවස්ථා සංශෝධන යෝජනාව.

ඉතින් දෙගොල්ල එකතුවෙලා සැප්තැම්බර් 5 වැනි දා අත්සන් කරපු අවබෝධතා ගිවිසුමට මේ 17 වැනි ව්‍යවස්ථා සංශෝධන යෝජනාවත් රිංගවාගන්න ජනතා විමුක්ති පෙරමුණට පුළුවන් වුනා. සැප්තැම්බර් 24 වැනි දා වෙද්දි 17 වැනි ව්‍යවස්ථා සංශෝධන යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කරවලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවකුත්, රාජ්‍ය සේවා කොමිසම් සභාවකුත්, මැතිවරණ කොමිසම් සභාවකුත්, අධිකරණ සේවා කොමිසමකුත්, ජාතික පොලිස් කොමිසමකුත් පත් කරන්න ඕන නීතිමය පසුබිම හදන්න කියලා ජනතා විමුක්ති පෙරමුණ චන්ද්‍රිකා නෝනාට බල කළා.

මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා අදහස නේපාලයෙන් ණයට ගත්ත එකක් කියලා තමයි කියන්නේ. හොඳ දෙයක් නම් කොහෙන් ගත්තම මොකද?

17 වැනි ව්‍යවස්ථා සංශෝධන යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දක්වපු මතය සැප්තැම්බර් 24 වැනි දා කතානායකතුමාට ලැබුණා. සැප්තැම්බර් 25 වැනි දා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වාද කළා. ඉතින් ඒ විදිහට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කරපු 17 වැනි සංශෝධනය සම්මත කර ගත්තා. ඒ විදිහට සම්මත කරගත්ත යෝජනාවට කතානායකගේ අත්සන යෙදුවේ ඔක්තෝබර් 3 වැනි දා. ඒත් එක්කම 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක වුනා.

ඊට පස්සේ දවස් 6 ක් ගත වෙද්දි බන්දුල ගුණවර්ධන මහත්තයා විපක්‍ෂයට එකතු වුනා. ඊ ළඟ දවසේ එස්.. බී. දිසානායක, විජේපාල මෙන්ඩිස්, ආනන්ද මුණසිංහ, මහාචාර්ය ජී. එල්. පිරීස්, මහින්ද විජේසේකර, බන්දුල පරාක්‍රම ගුණවර්ධන, එදිරිවීර ප්‍රේමරත්න, ජයසුන්දර විජේකෝන් කියන අට දෙනාත් විපක්‍ෂයට එකතු වුනා. ඊට පස්සේ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහත්තයාත් විපක්‍ෂය එකතු වුනා.

මේ පිමි ටික පනිද්දි පරිවාස ආණ්ඩුව කිසිම අර්ථයක් නැති විහිළුවක් බවට පත්වෙලා ඉවරයි. ඉතින් චන්ද්‍රිකා නෝනාට කරන්න ඉතිරි වෙලා තිබුණේ එක ම එක දෙයයි. ඔක්තෝබර් 10 වැනි දා වෙද්දි කලින් මහ මැතිවරණය පවත්වලා අවුරුද්දකුත් සම්පූර්ණ වුනා. ඉතින් චන්ද්‍රිකා නෝනා පාර්ලිමේන්තුව විසිරෙව්වා.

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුනේ දෙසැම්බර් 5 වැනි දා. ඒ මැතිවරණයෙන් රනිල් මහත්තයාට ආසන 109 ක් ලැබුණා. චන්ද්‍රිකා නෝනාට ලැබුණේ ආසන 77 යි. ජනතා විමුක්ති පෙරමුණට ආසන 16 ක් ලැබුණා.

17 වැනි ව්‍යවස්ථා සංශෝධනය කියලා කියන්නේ අපේ පාර්ලිමේන්තු ඉතිහාසයේ වාර්තා වෙලා තියෙන දැවැන්තම ව්‍යවස්ථා සංශෝධන කටයුත්ත. මේ වැඩේ වෙද්දි පාර්ලිමේන්තුව සාමාන්‍ය විදිහට නො තිබිච්ච බව දැන් අපි හැමෝට ම පැහැදිළියි. රටේ තිබුණු වාතාවරණයත් සාමාන්‍ය එකක් නෙවෙයි. උදාහරණයක් විදිහට කියනවා නම් කොටි සංවිධානය කටුනායක ගුවන් තොටුපොළට පහර දුන්නේ 2001 ජුලි 24 වැනි දා.

පාර්ලිමේන්තුවේ ඒ තරම් අවුලක් තියෙද්දි, රටේ ඒ තරම් මහා විනාශයක් සිදුවෙමින් තියෙද්දි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පරිච්ඡේද පහක් ම 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් රිංගෙව්වා. ගෑණියෙක් පිරිමියෙක් කරන එකයි – පිරිමියෙක් ගෑනියෙක් කරන එකයි ඇරෙන්න ඕන දෙයක් කරන්න පුළුවන් කියලා පම්පෝරි කියවපු ජේ. ආර්. මහත්තයාවත් මෙහෙම වැඩක් ක‍ළේ නෑ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව ගැන විධිවිධාන ඇතුළත් ව්‍යවස්ථා රිංගවලා තියෙන්නේ විධායකය ගැන විධිවිධාන ඇතුළත් පරිච්ඡේද දෙකක් මැද්දට. ඒ කියන්නේ 7 වැනි සහ 8 වැනි පරිච්ඡේද දෙක මැද්දට. ඒ අලුත් පරිච්ඡේදය 7අ පරිච්ඡේදය කියලා තමයි නම් කරලා තියෙන්නේ.

7 වැනි පරිච්ඡේදය – ජනරජයේ ජනාධිපතිවරයා
(7අ වැනි පරිච්ඡේදය – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව)
8 වැනි පරිච්ඡේදය – අමාත්‍ය මණ්ඩලය
9 වැනි පරිච්ඡේදය – රාජ්‍ය සේවය

17 වැනි ව්‍යවස්ථා සංශෝධනය කියලා කියන්නේ මහා අවුලක් මැද්දේ ඇති කරපු තවත් මහා අවුලක්. 2015 අවුරුද්දේ සම්මත කර ගත්ත 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පදනම් කරගෙන තියෙන්නෙත් මේ 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය. ඒ හින්දා ඇත්තටම මේ වැඩේ පිටිපස්සෙන් හිටියේ කවුද කියන එක අපිට හිතා ගන්න පුළුවන්. මේක මහා අවුලක් මැද්දේ ඇති කරපු මහා අවුලක් කියන එක වටහා ගැනීම දැනට ප්‍රමාණවත්. මේ අවුල ගැන වැඩි විස්තර පස්සේ කියන්නම්.
ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress