ගානියාගේ විමර්ශනයේදී ශානිගේ ලේක්හවුස් සබඳතා හෙළිවේ – ප්‍රකාශයක් දෙන්නැයි අධිකරණයෙන් නියෝග
Posted on January 21st, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

පැහැර ගැනීමට ලක්වූවායැයි පැවසූ ස්විස් තානාපති කාර්යාල නිලධාරිනි ගානියා බැනිස්ටර් භාවිත කළ දැනට අධිකරණ භාරයේ ඇති ඇයගේ ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත භාරදෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කළා.

ඊට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂක ශානි අබේසේකරට මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශ ලබාදෙන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

අදාළ ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියද අද අධිකරණය හමුවේ පෙනී සිටි අතර, එම ජංගම දුරකථනය සැකකාරියගේ නමට ලියාපදිංචිවූවක් නොවන බැවින් සහ තානාපති කාර්යාලය ලබාදී තිබූ නිල ජංගම දුරකථනයක් නොවන බැවින් එය කාර්යාලීය නිල සන්නිවේදන කටයුතු සඳහා යොදාගත් බවක් නිගමනය කළ නොහැකි බවයි එහිදී මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ.

එබැවින් අදාළ ජංගම දුරකථනය තානාපති මුක්තියට යටත් බවට සැකකාරියගේ නීතීඥයින් නැගූ තර්කය තමන් ප්‍රතික්ෂේප කරන බවයි මහේස්ත්‍රාත්වරිය සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් දැනුම් දුන්නේ.

එමෙන්ම සැකකාර ගානියා බැනිස්ටර් ට එරෙහිව මෙම නඩුවට අදාළව අසත්‍ය තොරතුරු ලබාදීම මත අපරාධමය චෝදනා ගොනුකර ඇති බැවින් ජංගම දුරකථනය විශ්ලේෂනය කිරීම වඩාත් යෝග්‍ය බවද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න පෙන්වා දුන්නා.

අධිකරණය භාරයේ පවතින සැකකාරිය විසින් භාවිත කළ ජංගම දුරකථනය රජයේ  රස පරීක්ෂකවරයා වෙත යොමුකර පූර්ණ විශ්ලේෂණ වාර්තාවක් කැඳවන ලෙසයි මහේස්ත්‍රාත්වරිය එහිදී නියෝග කළේ.

එමෙන්ම එම පූර්ණ විශ්ලේෂණ වාර්තාව ලද පසුව එම නඩු කටයුත්තට අදාළව පමණක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදෙන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නීතිපතිවරයාට නියම කළා.

ඉන් අනතුරුව මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වැඩිදුර විමර්ශන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් සැකකාර ගානියා ප්‍රැන්සිස් පවත්වා ඇති දුරකථන සබඳතා පිළිබඳව අනාවරණයක් කළා.

එහිදී අනාවරණ වුණේ දෙහිවල ප්‍රදේශයේ පදිංචි ලක්නා තරිඳු පරණමාන නැමැත්තෙකුගේ නමට ලියාපදිංචි වූ දුරකථන අංකයකින් ලේක්හවුස් ආයතනයේ මාධ්‍යවේදි දරීෂා බැස්ටියන් නැමත්තියක් සැකකාර ගානියා බැනිස්ටර්ට වැඩි වාර සංඛ්‍යාවක් ඇමතුම් ලබාදී ඇති බවයි.

එම දුරකථන ඇමතුම් ලබාගෙන ඇත්තේ සැකකාරිය පැහැරගැනීමට ලක්වූවා යැයි පවසන කාලවකවානුව තුළම බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

එමෙන්ම  අදාළ ලේක්හවුස් මාධ්‍යවේදිනිය එවකට එම ආයතනයේ සභාපති ධුරය දැරූ ක්‍රිශාන්ත කුරේ සමඟ අවස්ථා 21 කදී දුරකථන සංවාද පවත්වා ඇති බවද එම දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළා.

ප්‍රශ්නගත කාල පරිච්ෙඡ්දය තුළ මෙම මාධ්‍යවේදිනිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා සමඟද ඍජු දුරකථන සබඳතා පවත්වා ඇති බවත්, එවකට ලේක්හවුස් සභාපති ධුරය දැරූ ක්‍රිශාන්ත කුරේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර සමඟ දුරකථන සබඳතා පවත්වා ඇති බවත් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

එබැවින් මෙම සියලු කරුණු එකිනෙක ගලපා බැලීමේදී සැකකාර ගානියා ප්‍රැන්සිස් සහ ඉහත කී නිලධාරීන් අතර පැවති දුරකථන සංවාදයන් හි ජාලාත්මක සම්බන්ධයක් ඇත්දැයි සැක මතුව ඇති බව විමර්ශන නිලධාරීන් මහේස්ත්‍රාත්වරිය හමුවේ සඳහන් කළා.

එසේම මෙම තානාපති කාර්යාල නිලධාරිනිය පැහැරගැනීමට ලක්වූවා යැයි පැවසූ පසුගිය වසරේ නොවැම්බර් 25 වන දිනට ආසන්න දිනවලදී ඉහත කී ලේක්හවුස් මාධ්‍යවේදිනිය හිටපු ලේක්හවුස් සභාපතිවරයා සහ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා ස්විට්සර්ලන්තයට ගොස් ඇති බවද විමර්ශන නිලධාරීන් වැඩිදුරටත් පෙන්වා දුන්නා.

ඒ පිළිබඳව වැඩිදුර කරුණු දක්වමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළේ ලේක්හවුස් මාධ්‍යවේදිනි දරීෂා බැස්ටියන් පසුගිය නොවැම්බර් 21 වන දිනයේද පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා, පසුගිය නොවැම්බර් 24 වනදාද, ලේක්හවුස් ආයතනයේ හිටපු සභාපති ක්‍රිශාන්ත ද කුරේ, ඉකුත් දෙසැම්බර් 5 වනදාද ස්විට්සර්ලන්තය බලා ගියද මෙතෙක් ඔවුන් මෙරටට පැමිණ නොමැති බවයි.

එසේම විමර්ශනවලදී අනාවරණ වූ කරුණු සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකරට අනිද්දා එම දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි විමර්ශන නිලධාරීන් මහේස්ත්‍රාත්වරියගෙන් ඉල්ලීමක් කළා.

කරුණු සළකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කළේ අනිද්දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකරට එහි පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙසයි.

එමෙන්ම සැකකාරියගේ ජංගම දුරකථනය රස පරීක්ෂකවරයා වෙත යොමුකර ලබාගන්නා වාර්තාව සහ විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව පෙබරවාරි 11 වනදා නැවත අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය එහිදී දැනුම්දුන්නා.

එමෙන්ම එම තානාපති කාර්යාල නිලධාරීන් සමඟ ලේක්හවුස් මාධ්‍යවේදී දරීෂා බැස්ටියන් සහ හිටපු ලේක්හවුස් සභාපති ක්‍රිශාන්ත කුරේ දුරකථන සබඳතා පවත්වා ඇති බවද අනාවරණ කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ශානි අබේසේකර සහ නිශාන්ත ද සිල්වා සමඟ ද ඔවුන් දුරකථන සබඳතා පවත්වා ඇති බව අධිකරණයේදී අනාවරණ කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress