දේශපාලන ස්වයං-වින්දනය
Posted on January 22nd, 2020

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

මේ රටේ ජීවත් වෙන සියයට එකකටත් අඩු එක්තරා පිරිසකුත් සියයට 3 කට ආසන්න තවත් පිරිසකුත් දේශපාලන ස්වයං-වින්දනය ඇබ්බැහි වෙලා සෑහෙන අවුලක ඉන්න බවක් පේනවා. “හතේ අපේ පොත” සම්බන්ධයෙන් ඇතිවෙලා තියෙන කලබැලෑනිය එක්කත් මේ කට්ටිය පරල වෙලා. ඇත්තෙන් ම අර සියයට 3 ට සම්බන්ධ අයගෙන් සෑහෙන පිරිසක් නම් අහිංසක මිනිස්සු. ඒත් ඉතින් යමකට ඇබ්බැහි වුනා ම ඒකෙන් මිදෙන්න අමාරුයිනේ.

මේ කට්ටියට අද එළිවෙද්දි හරි ඊයේ රෑ හරි හොඳ රස කරවල කෑල්ලක් හම්බ වෙලා තියෙන බව පැහැදිළියි. කට්ටිය ම එකතු වෙලා ඒ කරවල කෑල්ල රහ කර කර හපන විදිහ අද දවසේ මූණු පොතේ කරක් ගහපු අය දකින්න ඇති. ඒ අය ඒක නම් කරලා තිබුණේ වෛද්‍ය පබසරි ගිනිගේ මැදගොඩ අබේතිස්ස හිමියන්ට ලිංගික අධ්‍යාපන ගැන පාඩමක් කියා දෙයි” කියලා.

මේ උගත් වෛද්‍යතුමිය කියන කතාවේ මුල් විනාඩියේ අන්තර්ගතය කියවලා බලන්න.

අපිට අනන්ත අප්‍රමාණ ළමයි එනවා අපි ළඟට. දශක ගානක් තිස්සේ බලනවා. ස්වයං වින්දනය කරන එක මහා පාපයක් කියලා හිතාගෙන එනවා අපේ හාමුදුරුවනේ. ඒ ගොල්ලෝ මානසිකව වැටෙනවා. ස්වයං වින්දනය කියන්නේ සාමාන්‍ය දෙයක්. ඒක සමාජගත කරනවා ද නැද්ද, වචන පාවිච්චි කරන එක අපි සංවේදී වෙන්න පුළුවන් – ඕන වේවි. නමුත් ස්වයං වින්දනය කියන්නේ විද්‍යාත්මකව – වෛද්‍ය විද්‍යාත්මකව සාමාන්‍ය දෙයක්. දරුවෝ ඒවා කරනවා අපේ හාමුදුරුවනේ. එහෙම අවුරුදු දහයේ ළමයි – පොඩි ළමයි අපිට හම්බ වෙනවා – ඒක මහා පාප කර්මයක් ය කියලා දෙමව්පියෝ මනෝ වෛද්‍යවරු – අපි ළඟට මේ ළමයි ඇරන් එනවා. ඒක එහෙම නෙවෙයි කියලා ඒ ළමයින්ව මානසික ආතතියෙන් මුදවා ගන්න එක අපේ රස්සාවේ කොටසක්. (මැදගොඩ හිමි: එතකොට ඒක ජෙනරලයිස් කරන්නේ ඇයි?). අපේ හාමුදුරුවනේ …”

අනන්ත අප්‍රමාණ” ළමයින්ට මෙහෙම මානසික ප්‍රශ්නයක් තියෙනවා කියලා හිතන සියයට කීයක් අපේ රටේ ඉන්නවා ද? මම දන්න එක ළමයෙක්වත් ඒ ළමයින්ගේ දෙමව්පියෝ විසින් මෙහෙම ලෙඩකට මානසික වෛද්‍යවරු හම්බ වෙන්න ගිය බවක් මම නම් අහලා නෑ. එහෙම අහපු අය ඉන්නවා ද?

මේ වෛද්‍යතුමියගේ වයස අවුරුදු පනහකට කිට්ටු ඇති. දශක ගානක් තිස්සේ” මේ වගේ ළමයින්ව බලලා තියෙනවා කියලා එතුමිය කියන මේ කතාව පිළිගන්න සියයට කීයක් අපි අතර ඉන්නවා ද?

මෙතුමිය මේ කතාව කියන්නේ කිසිම සංඛ්‍යාලේඛනයක් සඳහන් නොකර. බර දාලා, බොහොම තාලෙට පද්ද පද්ද මේ කතාව එතුමිය කියනවා. (මේ එක කතාවකටවත් උත්තර දෙන්න, ඒ ගැන ප්‍රශ්න කරන්න අපිට අවස්ථාවක් නො ලැබුණු බවත් කියන්න ඕන. පැය තුන හමාරක් තිබ්බ සාකච්ඡාවේ දී මට ලැබුණේ විනාඩි 5 ක් විතරයි. අපේ පාර්ලිමේන්තුව ඇතුළෙත් ප්‍රජාතන්ත්‍රවාදය රකින්නේ මෙහෙම තමයි).

තමන්ගේ වෘත්තිය බලය පාවිච්චි කරලා මේ කට්ටිය කරන්නේ බලහත්කාරකමක්. ඊයේ පාර්ලිමේන්තුවට ගිය අපිත් ඒ බලහත්කාරකමට ගොදුරු වුනා.

එතකොට ඒක ජෙනරලයිස් කරන්නේ ඇයි?” කියලා පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් අහපු ප්‍රශ්නයටවත් මෙතුමිය උත්තරයක් දුන්නේ නෑ. ඒ ප්‍රශ්නයට උත්තර දෙන්නේ නැතුව මේ නෝනා කරන්නේ තමන්ගේ වෘත්තිය පම්පෝරිය ගැන කියවන එක. ඇයි අර පුංචි ප්‍රශ්නයට උත්තරයක් දෙන්න මෙතුමියට බැරි? වටේ ඉන්න මැඩම්ලාත් ඒකට අත්වැල් අල්ලනවා. කිසිම සංඛ්‍යාලේඛනයක් නැතුව කියන මේ කතාවේ තියෙනවා කියන විද්‍යාත්මක” පදනම මොකක්ද?

මෙහෙම කියද්දි වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්තයා බොහොම වැදගත් ප්‍රශ්නයක් අහනවා. එතුමා අහන්නේ මේ වැඩේට අදාළව අපේ රටට ප්‍රතිපත්තියක් සහ සම්මුති පත්‍රිකාවක් හදලා තියෙනවා ද කියන එක. එහෙම එකක් හදලා නෑ. ඒත් මහ සද්දයක් දාලා ඒ ප්‍රශ්නයත් යට කරනවා.

මෙහෙම අයගේ හපන්කම් ගැන වර්ණනා කරන අය ගැන මට නම් ඇත්තට ම දුකයි! තමන් මහා ආත්ම වංචාවක නිරත වෙලා ඉන්න බව, නවත්ත ගන්න බැරි දේශපාලන ස්වයං-වින්දනයකට ඇබ්බැහි වෙලා ඉන්න බව මේ සියයට (…) ට තේරුම් ගන්න බැරි ඇයි?

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress