බැදුම්කර වෛහාරික වාර්තාවේ පාඩුව ගණනය කිරීම පට්ටපල් බොරුවකි
Posted on January 24th, 2020

රජිත් කීර්ති තෙන්නකෝන්

1.       ‘‘වෛහාරික විගණන වාර්තාවේ පාඩුව ගණනය කිරීමේ ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම නොමග යවන සුළුය.  මෙය පට්ටපල් බොරුවකි.  පාඩුව පිළිබද ඉදිරිපත් කොට ඇති සංඛ්‍යා ලේඛන වැරදි ය.‘‘

2.       පාර්ලිමේන්තුව වෙත ලබාදී ඇති බැදුම්කර නිකුත් කිරීම පිළිබද වෛහාරික වාර්තාවේ ඇමුණුම් නැත.  ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජන මුදල් මංකොල්ල කෑමට ඉඩදීම පිළිබදවත්, එම මුදල් මංකොල්ලයට සම්බන්ධ පුද්ගලයින් කවුද? යන්නත් සෘජුව හදුණා ගැනීමට ජනතාවට ඇති හැකියාව එම නිසා අහිමි කොට ඇත. බැදුම්කර වංචා විමර්ශන ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ වැදගත්ම තොරතුරු ද මෙලෙස භාගයක් සගවා (උදා- මන්ත්‍රීවරු 118/දුරකතන සංවාද වාර්තාව) ප්‍රසිද්ධියට පත් කරනු ලැබීය. අදටත් ඒ තොරතුරු රාජ්‍ය ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ ය.  එය වරදකි. 

3.       වෛහාරික විගණන වාර්තාවේ දත්ත හා සංඛා ලේඛන මත පදනම්ව රජයට සිදු වූ  පාඩුව ගැන ඉතාමත් නොමග යවන සුළු දත්ත හා සංඛා ලේඛන සංවිධානාත්මක ෆෙස් බුක් මගින් ද, දේශපාලනඥයින් විසින් ද ඉදිරිපත් කරනු ලබයි.  මෙය (අ) ෆුට් නෝට් දමා පාර්ලිමේන්තුවේ බැදුම්කර වාර්තාවේ හරය විනාශ කිරීම   (ආ) ඇමුණුම් සගවා ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ හරය සැගවීම හා සමාන විනාශකාරී ක්‍රියාවකි.

4.       මම අවධාරණයෙන් පවසන්නේ ‘‘වෛහාරික විගණන වාර්තාවේ පාඩුව ගණනය කිරීමේ ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම නොමග යවන සුළුය.  මෙය පට්ටපල් බොරුවකි.  මේ වාර්තාවේ පාඩුව පිළිබද සංඛ්‍යා ලේඛන වැරදි ය.‘‘

5.       මේ සමග අමුණා ඇති වගුවට අදාළ උදාහරණයක් මෙසේය.  රජයට රු. බිලියන 10 ක පාඩුවක් සිදුව ඇති බව මෙයින් දැක්වේ.   එයින් ලාභය ලැබී ඇත්තේ කාට ද?   61% ක් සේවක අර්ථසාධක අරමුදලට ය.  ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ලංකා බැංකුවට 16% ක ආසන්න පංගුවකි. රජයට පාඩු කොට ඒ ලාභය ලැබී ඇත්තේ රාජ්‍ය ආයතනය  කිහිපයකට ය. එමගින් රජයට ශුද්ධ පාඩුවක් සිදුව නැත.   පුද්ගලික අංශයට මෙම ගණුදෙනුවෙන් ගොස් ඇත්තේ 4% ක කොටසක් පමණී.  (දැන් සිදුව ඇත්තේ රජයට පාඩු කොට, රාජ්‍ය ආයතන විසින්ම ආපසු ලාභයක් ලෙස ලාච්චුවට දා ගත් සංඛ්‍යාත්මක අගයක් ගැන) දේශපාලනික කෝණයන් දෙකකින් කථා කිරීම ය.  එමගින් මහ බැංකුව, ජනතාවගේ මුදල් සැබවින්ම කොල්ල කෑ පිරිස පිළිබද අවධානය ඉවත් කිරීමය.    

6.       ජනාධිපති කොමිෂන් වාර්තාව සේම, වෛහාරික වාර්තාවේ කොටස් ද ජනතාව නොමග යැවීම සදහාම මේ වන විට පාවිච්චි වෙමින් තිබේ. 

රජිත් කීර්ති තෙන්නකෝන්

බැදුම්කර මගඩිය ගැන වැඩිපුරම කථා කළ, වැඩිම තොරතුරු සහ ලේඛන ජනතාව වෙත ලබාදුන් පුරවැසියෙකු ලෙස වගකීමක් ලෙස සලකා පමණක් ලියා තබමි. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress