19වන ව්‍යවස්ථා සංශෝධනය ඉංග්‍රීසියෙන් කළ කුමන්ත්‍රණයක්. එය තවමත් නීතියක් වී නෑ…! නීතිඥවරයෙක්ගෙන් ජනාධිපතිට ඉල්ලීමක්…..,
Posted on January 24th, 2020

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන

2015 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නීතියක් බවට පත්වීමේ ක්‍රියාවලිය සම්පූර්ණ වී තිබේද? අද ප්‍රබල සමාජ කතිකාවකි. ආචාර්ය වරැණ චනද්‍රකීර්ති සහ හර්ෂ කුමාර සූරියාඅරච්චි ඒ සම්බන්ධව වැදගත් නීති තර්ක ගෙනවිත් 19වන ව්‍යවස්ථා සංශෝධනය මේ දක්වා නීතියක් බවට පත්වී නැති බවට ශක්තිමත් නීති තර්ක ගෙනවිත් ඇත. 19වන ව්‍යවස්ථා සංශෝධනය ඉංග්‍රීසියෙන් කළ කුමන්ත්‍රණයක් බවත් එය තවමත් නීතියක් වී නැති අතර එය සනාථ කිරීම ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ 3ක් සිංහල භාෂාවෙන් පරිවර්තන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සීටිමෙන් කළ හැකි බව කර්තෘගේ අදහස වන අතර ඒ සදහා ගෙන ඇති පියවර මේ ලිපියෙන් සාකච්ඡා කරනු ලැබේ.

යම් කිසි පනත් කෙටුම්පතක් නීතියක් බවට පත් වීමේ අවසන් අවශ්‍යතාවය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  80 ව්‍යවස්ථාවේ දැක්වේ.

එය මෙසේ ය.

[80. (1) පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද පනත් කෙටුම්පතක් මත කථානායකවරයාගේ සහතිකය ඔහුගේ අත්සන ඇතිව සටහන් කරනු ලැබූ විට මේ ව්‍යවස්ථාවේ (2) වැනි අනු ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව එය නීතිය බවට පත් වන්නේ ය.

(2) යම්කිසි පනත් කෙටුම්පතක් හෝ යම්කිසි පනත් කෙටුම්පතක යම්කිසි විධිවිධානයක් හෝ ජනමත විචාරණයක් මගින් ජනතාවගේ අනුමතය සඳහා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍ය මණ්ඩලය විසින් සහතික කර ඇත්තා වූ අවස්ථාවක හෝ, යම්කිසි පනත් කෙටුම්පතක් හෝ යම්කිසි පනත් කෙටුම්පතක යම්කිසි විධිවිධානයක් හෝ ජනමත විචාරණයක දී ජනතාව විසින් අනුමත කිරීම අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත්තා වූ අවස්ථාවක හෝ යම්කිසි පනත් කෙටුම්පතක් 85 වැනි ව්‍යවස්ථාවේ (2) වැනි අනුව්‍යවස්ථාව යටතේ ජනමත විචාරණයක් මගින් ජනතාව වෙත ඉදිරිපත් කරන අවස්ථාවක, ඒ පනත් කෙටුම්පත හෝ ඒ විධිවිධානය ජනතාව විසින් ජනමත විචාරණයක දී 85 වැනි ව්‍යවස්ථාවේ (3) වැනි අනුව්‍යවස්ථාවට අනුකූලව අනුමත කර ඇති බව ජනාධිපතිවරයා විසින් සහතික කරනු ලැබූ විට පමණක් ඒ පනත් කෙටුම්පත හෝ ඒ පනත් කෙටුම්පතෙහි එකී විධිවිධානය හෝ නීතිය බවට පත් වන්නේ ය. එසේ අනුමත කරනු ලැබූ සෑම පනත් කෙටුම්පතක ම මෙහි පහත දැක්වෙන ආකෘතියෙහි වූ සහතිකයක්, ජනාධිපතිවරයා විසින් ස්වකීය අත්සන ඇතිව සටහන් කළ යුත්තේ ය:-

මේ පනත් කෙටුම්පත/විධිවිධානය ජනමත විචාරණයක දී (ජනතාව විසින් යථා පරිදි අනුමත කරන ලද බව මෙයින් සහතික කරමි.)

එවැනි සහතිකයක් ජනාධිපතිවරයා විසින් පනත් කෙටුම්පතක සටහන් කිරීම

(අ) ඒ පනත් කෙටුම්පත ජනතාව විසින් අනුමත කරන ලද ජනමත විචාරණයේ වලංගුභාවය අභියෝග කරන කිසි පෙත්සමක් ඉදිරිපත් කරනු නොලැබූ අවස්ථාවක, එවැනි ජනමත විචාරණයක වලංගුභාවය අභියෝග කරන පෙත්සමක් ඊට අදාළ නීතිය යටතේ ඉදිරිපත් කළ හැක්කේ යම් කාල සීමාවක් ඇතුළත ද ඒ කාල සීමාව ඉකුත් වීමෙන් පසුව ද ,

(ආ) ඒ පනත් කෙටුම්පත ජනතාව විසින් අනුමත කරන ලද්දේ යම් ජනමත විචාරණයක දී ද ඒ ජනමත විචාරණයේ වලංගුභාවය අභියෝග කරන පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවක, ඒ ජනමත විචාරණය වලංගු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කරනු ලැබීමෙන් පසුව ද,

මිස, නොකළ යුත්තේ ය.

ඒ සෑම සහතිකයක් ම අවසානාත්මක හා තීරණාත්මක වන්නේ ය. ඒ සහතිකය පිළිබඳව කවර වූ හෝ අධිකරණයක දී ප්‍රශ්න නොකළ යුත්තේ ය.

(3) අවස්ථාචෝචිත පරිදී ජනාධිපතිවරයා ගේ හෝ කථානායකවරයාගේ සහතිකය පනත් කෙටුම්පතක් මත සටහන් කරනු ලැබූ පසු එම පනත් කෙටුම්පත නීතිය බවට පත් වන අවස්ථාවක ඒ පනතෙහි වලංගුභාවය පිළිබඳව පරීක්ෂා කිරීම, ඒ පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම හෝ කවර වූ හෝ ආකාරයකින් ප්‍රශ්න කිරීම කිසිම අධිකරණයක් හෝ විනිශ්චය අධිකාරයක් හෝ විසින් නොකළ යුත්තේ ය. ]

එමෙන්ම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් දෙකක් එනම් වර්ෂ 2002දී සහ 2015 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර එකී පනත් කෙටුම්පත් 2කම ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය අභියෝගයට ලක්කර ඇති අතර එකී තීරණ 2කම පාර්ලිමේන්තු හැන්සාර්ඩ් වාර්තාවේ ඇත.

වර්ෂ 2002 දී සහ 2015 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ දෙකක් ලබා දී ඇත.

එමෙන්ම වර්ෂ 2018 නොවැම්බර් මස 09වැනි දින අංක 2096/70 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් පාර්ලිමේන්තුව විසුරුවීමට අදාලව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරමින් 2018.12.13 දින ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව 2015 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ජනමතවිචාරණයකින් සම්මත කළ යුතු සඳහා කථානායකවරයා විසින් අත්සන් තැබීම පමණක් සිදුකර ඇති බවත් එය මේ දක්වා ව්යෙඅවස්ථාව අනුව නීතියක් බවට පත්වී නැති බවත් පෙනී යයි. සිංහල ජනතාවට මේ සම්බන්ධව අවබෝධය ලැබීමට නම් එකී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ සිංහල භාෂාවෙන් ලබා ගත යුතුවේ. සිංහල භාෂාවෙන් මේ නඩු තීන්දු 3 ලබා ගැනීමට හැකියාව ලැබුණහොත් ජනතාවට සගවා අධිකරණයේ දී ඉංග්‍රීසියෙන් සිදුකරන සියලු ක්‍රියාවන් ජනතාවට නිරාවරණය වේ.

එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනවල දී ජනමතවිචාරණයකින් අනුමැතිය ලැබිය යුතු විධිවිධාන සඳහාද කථානායකවරයා 80.2 ව්‍යවස්ථාව අනුව නොව 80.1 ව්‍යවස්ථාව අනුව සහතික කර ඇති බව ජනතාවට දැනගත හැකි වන්නේ මෙම නඩු තීන්දු සිංහල භාෂාවෙන් ලබා ගත් විටය.

මෙය වහා නිවැරදි කළ යුත්තේ මේ ආකාරයට ජනතාවට නොතේරෙන භාෂාවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒකීය බවට අදාල 2වන ව්‍යවස්ථාව මෙන්ම බුද්ධාගමට අදාල 9වැනි ව්‍යස්ථාවත් සංශෝධනය කිරීම 80.2 ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා විසින් නොව 80.1 ව්‍යවස්ථාව අනුව කථානායකවරයා විසින් සහතිකය යෙදීමේ පූර්වාදර්ශයක් ඇති විය හැකි හෙයිනි.

ඒ අනුව පසුගියදා ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් කරමින්

  1. 2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය,
  • 2015 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත කෙටුම්පතට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය,
  • 2018 නොවැම්බර් මස 09වැනි දින අංක 2096/70 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් පාර්ලිමේන්තුව විසුරුවීමට අදාලව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරමින් 2018.12.13 දින ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණය ජනාධිපතිවරයා වෙතින් සිංහල භාෂාවෙන් ඉල්ලා ඇත.

මෙම ඉල්ලීමේ පිටපත් පාර්ලිමේන්තුවේ මහ ලේකම්, රාජ්‍ය භාෂා කොමිෂන් සභාව සහ නීතිපති වෙතද යොමු කර ඇත. (එකී ලිපිය මෙහි පහත දක්වා ඇත.)

මෙම නඩු තීන්දු 3 සිංහල භාෂාවෙන් කියවීමට ජනතාවට අවස්ථාව ලදහොත් ජනමතවිචාරණයකින් සම්මත කළ යුතු බවට 2002 දී ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති පාර්ලිමේන්තුය විසරවීමට අදාල ප්‍රතිපාදන සදහා 2015 ඉදිරිපත් කළ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත කෙටුම්පතට මේ දක්වා ජනතාවගේ අනුමැතිය ලබාගෙන නැති බවත්, එයට 80.1 ව්‍යවස්ථාව යටතේ කථානායක සහතිකය යෙදීම වැරදි බවත් එයට සහතිකය යෙදිය යුත්තේ 80.2 ව්‍යවස්ථාව යටතේ බවත් මැනවින් පැහැදිලි වේ.

එනම් 19වන ව්‍යවස්ථා සංශෝධනය ඉංග්‍රීසියෙන් කළ කුමන්ත්‍රණයක් බවත්, එය තවමත් නීතියක් වී නැති බවත් ජනතාවට අවබෝධවනු ඇති අතර මේ ව්‍යවස්ථා කුමන්ත්‍රණය කළ තැනැත්තන් අවසානයේ ජනතාවට නිරාවරණය වනු ඇත.

මේ දක්වා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ව්‍යවස්ථාවේ 80.2 ව්‍යවස්ථාව අනුව නීතියක් වී නැති හෙයින් පනත් කෙටුම්පතක් ඉවත් කිරීමට පාර්ලිමේන්තුවේ 2/3ක් මන්ත්‍රී සංඛ්‍යාවක් අවශ්‍යය යන්න කිසිම පදනමක් නැති අදහසකි.

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන

arunaunawatuna@gmail.com

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2020 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress