ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බකරුට ලැබුණු දුරකථන ඇමතුමක් ගැන, ජනපති කොමිසමේදී හෙළිවෙයි
Posted on January 29th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

පාස්කු ඉරුදින කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා ගත් ඊබ්‍රහීම් ඉල්හාම් මොහොමඩ් නමැත්තාට සමස්ත ලංකා මුස්ලිම් විද්වතුන්ගේ සංගමයේ උපලේකම්, මොහොමඩ් තාසිම් නම් මව්ලවීවරයා දුරකතන ඇමතුමක් දී ඇති බව ඊයේ අනාවරණ වුණා.

ඒ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම හමුවට කැඳවූ අවස්ථාවේදීයි.

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ ඊයේ පෙනී සිටියේ, මාවනැල්ලේ බුදුපිළිමවලට හානි කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනෙකු පොලිසියට භාර දෙන බව පැවසුවේ යැයි කියැවුණු මොහොමඩ් සාලි මොහොමඩ් තාසිම් නම් මවුලවිවරයායි.

සමස්ත ලංකා මුස්ලිම් විද්වතුන්ගේ සංගමයේ උපලේකම් ධුරය දරන ඔහු ජමෙයිතුල් උලමා සංවිධානයේ සාමාජිකයෙකුද වනවා.

තාසිම් මවුලවිවරයා කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේදී ජනාධිපති කොමිසම විසින් සහරාන් හෂීම්ගේ දේශනයක් ඇතුළත් වීඩියෝ පටයක් ඔහුට පෙන්වමින් ප්‍රශ්න කර සිටියේ එහි සිටින පුද්ගලයාව හඳුනන්නේද යන්නයි.

තමන් කිසි දිනෙක ඔහුව සජීවීව දැක නොමැති බවත්, අන්තර්ජාලය හරහා පමණක් ඔහුව දැක ඇති බවත් සාක්ෂිකරු පැවසුවා.

එසේම මෙම දේශනය ඇතුළත් වීඩියෝපටය තමන් පළමුවරට 2014 වර්ෂයේ අගභාගයේදී නැරඹූ බව සඳහන් කළ මව්ලවිවරයා වැඩිදුරටත් කියා සිටියේ තමන් එම දේශන ඇතුළත් සී.ඩී. පට ආරක්ෂක ලේකම්වරුන් කිහිපදෙනෙකුටම ලබාදුන් බවයි.

අදාළ ආරක්ෂක ලේකම්වරුන් ඒ සම්බන්ධයෙන් කිනම් ප්‍රතිචාරයක් දැක්වූයේද යන්න පිළිබඳව එහිදී කොමිසම මවුලවිවරයාගෙන් ප්‍රශ්න කළා.

ඔහු සඳහන් කළේ, වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයාව සිටි කාලවකවානුව තුළ මෙම අන්තවාදී කණ්ඩායම පිළිබඳව ක්‍රියාකාරී ලෙස විමර්ශන සිදු කළද, 2014 වර්ෂය අගභාගයෙන් පසු එම විමර්ශන අඩපන වූ බවයි.

එම කාල වකවානුවේදී හිටපු ජනාධිපතිව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට අවස්ථාව උදා වූ බවත්, එහිදී සහරාන් හෂීම් සහ ඔහුගේ කණ්ඩායමේ ක්‍රියාකාරකම් පිළිබඳව, අදාළ සී.ඩී. පටයද සමග ජනාධිපතිවරයා දැනුවත් කළ බවත්, සාක්ෂිකරු කොමිසම හමුවේ අනාවරණ කළා.

සාක්ෂිකරු පැවසුවේ, ඒ පිළිබඳව සොයා බලා නිසි ක්‍රියාමාර්ග ගන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසූ බවයි.

මෙහිදී ජනාධිපති කොමිසම විසින් පාස්කු ප්‍රහාරයත් සමඟ අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වූ සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායමක් යම් දිවුරුමක් ලබාදෙන අවස්ථාවක දර්ශන ඇතුළත් වීඩියෝ පටයක් මොහොමඩ් තාසිම් මවුලවිවරයාට පෙන්වමින් ප්‍රශ්න කර සිටියේ එහි සිටින පුද්ගලයින්ව හඳුනන්නේද යන්නයි.

මුහුණ නිරාවරණය කරගෙන සිටින සහරාන් හෂීම් හැර මුහුණ වසා සිටින කිසිවෙකුත් තමන්ට හඳුනාගත නොහැකි බව සාක්ෂිකරු එහිදී ප්‍රකාශ කළා.

ජෙමෙයි මොහොමඩ් නමැත්තෙක් හඳුනන්නේදැයි රජයේ අධිනීතීඥවරිය සාක්ෂිකරුගෙන් විමසූ අවස්ථාවේදී ඔහු පිළිතුරු දුන්නේ, අදාළ පුද්ගලයා තම මස්සිනෙකුගේ පුත්‍රයෙකු බවයි.

පාස්කු ඉරුදින දෙහිවල ට්‍රොපිකල් හිල් අවන්හල අසල බෝම්බය පුපුරවා ගත්තේ ජමෙයි මොහොමඩ් නැමැත්තා විසින් බව සාක්ෂිකරු දැනුවත්දැයි ජනාධිපති කොමිසම විමසුවා.

සාක්ෂිකරුගේ පිළිතුර වූයේ, ප්‍රහාරයෙන් අනතුරුව මාධ්‍ය ඔස්සේ තමන් ඒ පිළිබඳව දැනුවත් වූ බවයි.

මොහොමඩ් ඊබ්‍රහිම් ඉල්හාම් නැමැත්තෙක් හදුනන්නේදැයි රජයේ අධිනීතීඥවරිය නැවතත් මව්ලවිවරයාගෙන් ප්‍රශ්න කළා.

එයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ තමන් එවන් පුද්ගලයෙකු කිසිදා දැක හෝ කතා කර නොමැති බවයි.

මෙහිදී සාක්ෂිකාර මවුලවිවරයා භාවිතා කරන දුරකථන සිම්පතට අදාළ දුරකථන සේවා සැපයුම් වාර්තා ඉදිරිපත් කරමින් රජයේ අධිනීතීඥවරිය පෙන්වා දුන්නේ, මවුලවිවරයා නොහඳුනන බව පැවසූ, කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා ගත් ඊබ්‍රහිම් ඉල්හාම් මොහොමඩ් නැමැත්තාට 2019 මාර්තු මස 26 වන දින තත්පර 93 ක දුරකථන ඇමතුමක් ලබා දී ඇති බවයි.

තමන් ඊබ්‍රහිම් ඉල්හාම් මොහොමඩ් නැමැත්තා හඳුනන්ගේ නැති වුවද, ඔහුගේ පියාවන ඊබ්‍රහිම් හාජියාර් නැමැති දෙමටගොඩ ප්‍රදේශයේ කුළුබඩු ව්‍යාපාරිකයාව දැන සිටි බව සාක්ෂිකරු ජනාධිපති කොමිසම හමුවේ පිළිතුරු දුන්නා.

මෙහිදී ජනාධිපති කොමිසම පැවසුවේ, පාස්කු ප්‍රහාරය ගැන පෙර තොරතුරක් ලැබී තිබියදී ප්‍රහාරය වැළැක්වීම සඳහා මවුලවිවරයා විසින් අදාළ ප්‍රහාරකයාට දුරකථන ඇමතුමක් දුන්නේයැයි යෝජනා කළහොත් එය පිළිගන්නේද යන්නයි.

කෙසේ වෙතත්, සාක්ෂිකරු එය පිළිගත්තේ නැහැ.

මෙහිදී රජයේ අධිනීතීඥවරිය විසින්, මින් පෙර ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දී තිබූ සහකාර පොලිස් අධිකාරි තෙන්නකෝන්ගේ සාක්ෂිය මත පදනම්ව මෙම සාක්ෂිකාර මවුලවිවරයාගෙන් විමසා සිටියේ මාවනැල්ල බුදුපිළිමවලට හානි කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනා පොලිසියට භාරදීමට හැකියැයි ඔබ සදහන් කළේද යන්නයි.

එම සිදුවීම පිළිබඳව අසාද් සාලි මහතා තමන් ඇමතූ අවස්ථාවේදී සැකකරුවන්ගේ පියා සමඟ සාකච්ඡා කර ඔවුන් පොලිසියට භාරදීමේ හැකියාවක් ඇත්දැයි යන්න පමණක් සොයා බැලිය හැකි බව තමන් ප්‍රකාශ කළ බව මව්ලවීවරයා සඳහන් කළා.

සාක්ෂිකරු පැවසුවේ, 2018 වර්ෂයේ දෙසැම්බර් මස 26 වන දින මාවනැල්ල ප්‍රදේශයේ බුදුපිළිමවලට හානිකිරීමෙන් පසු අදාළ සැකකරුවන් දෙදෙනා මෙන්ම ඔවුන්ගේ පියා වන ඊබ්‍රහිම් මවුලවිවරයාද ප්‍රදේශයෙන් අතුරුදහන්ව සිටි බවයි.

කෙසේ වෙතත්, 2019 මාර්තු මස 29 වැනි දින ගම්පොළ ප්‍රදේශයේදී ඊබ්‍රහිම් මවුලවිවරයා හමුවි සැකකාර පුතුන් දෙදෙනා පොලිසියට භාරදෙන ලෙස ඔහු පැවසූ බවද සාක්ෂිකරු ජනාධිපති කොමිසම හමුවේ කියා සිටියා.

මෙහිදී රජයේ අධිනීතීඥවරිය සාක්ෂිකරුගෙන් විමසා සිටියේ එම හමුවීමෙන් පසුවද අසාද් සාලි විසින් සාක්ෂිකරුවන් භාරදීම සම්බන්ධයෙන් දුරකථන ඇමතුමකින් විමසුවේද යන්නයි.

ඉන් අනතුරුව අසාද් සාලි එවැනි විමසීමක් නොකළ බවද තාසිම් මව්ලවීවරයා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් මෙහිදී රජයේ අධිනීතීඥවරිය විසින් දුරකථන සේවා සැපයුම් වාර්තා පෙන්වා දෙමින් සදහන් කළේ අසාද් සාලි විසින් මාර්තු 29 වන දිනෙන් පසු සිව්වරක් මෙම මවුලවිවරයා අමතා ඇති බවයි.

මෙහිදී රජයේ අධිනීතීඥවරිය නැවතත් මවුලවිවරයාගෙන් ප්‍රශ්න කර සිටියේ අදාළ සැකකරුවන් පොලිසියට භාරදිය හැකිදැයි අසාද් සාලිට ප්‍රකාශ කළේද යන්නයි.

එයට පිළිතුරු දෙමින් මවුලවිවරයා සදහන් කළේ සැකකරුවන්ගේ පියා හමුවී ඒ පිළිබඳ සොයා බැලිය හැකි බව තමන් සදහන් කළද සැකකරුවන් භාරදෙන බවට තමන් අසාද් සාලිට පොරොන්දු නොවූ බවයි.

මේ අතර, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.

මීට පෙර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අමාත්‍යවරුන් වන රිෂාඩ් බදියුදීන් සහ රවුෆ් හකීම් ඇතුළු පිරිසකගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබාගෙන තිබුණා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress