RANJANGATE SCANDAL – රන්ජන් රාමනායක යළි රිමාන්ඩ්
Posted on January 29th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී, වූවද අධිකරණ ක්‍රියාවලියට බලපෑම් කිරීමට ඉඩ දිය නොහැකි බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක ලබන මස 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් එච්.යූ.කේ. පැල්පොල අද නියෝග කළා.

ඒ, අධිකරණ විනිසුරුවන්ගේ ක්‍රියාවලියට බලපෑම් කිරීමේ චෝදනාව යටතේ මන්ත්‍රීවරයාට එරෙහිව ගොනුකර ඇති නඩුව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේදී අද යළි කැඳවූ අවස්ථාවේදීයි.

මෙම සිදුවීමට අදාළව සිදුකෙරෙන විමර්ශනයන් හි වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කොළඹ අපරාධ කොට්ඨාශය වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ දුරකතන සංවාද ඇතුළත් හඬ පටයන් හි ඇති අධිකරණ විනිසුරුවන් සහ විමර්ශන නිලධාරීන් සම්බන්ධ සංවාද කෙරෙහි මේ වනවිට විමර්ශනයන්හි අවධානය යොමු වී ඇති බවයි.

සැකකරු සම්බන්ධයෙන් වූ දුරකතන සේවා සැපයුම් වාර්තාද, විමර්ශනයේදී මෙම සැකකරු ඇතැම් විනිශ්චයකාරවරුන් සමඟ විසිවතාවක් දුරකතන සංවාද පැවැත් වූ අවස්ථාද, තවත් විනිසුරුවරුන් සමඟ දහඅට වතාවක්ද සංවාද පැවැත් වූ අවස්ථාද හමුව ඇති බව රජයේ අධිනීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළා.

එසේම, දැනට සිදුකර ඇති විමර්ශනයන් හිදී මෙම සැකකරු 2008 වර්ෂයේ සිට පමණ පටිගත කරන ලද දුරකතන සංවාද හමුව ඇති බවද අධිනීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙම සිදුවීම් සම්බන්ධයෙන් එක් පසෙකින් සැකකරුගේ දුරකතන විශ්ලේෂණ වාර්තා පරීක්ෂා කරමින්ද, අනෙක් පසින් හමුව ඇති හඬපට අධ්‍යයනය කරමින්ද මෙම විමර්ශන ඉදිරියට පවත්වාගෙන යන බවයි.

මෙහිදී රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න, අතිරේක මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේ තම සේවාදායකයාට එරෙහිව ගොනුකර ඇති චෝදනාව ඇප ලබාදිය හැකි චෝදනාවක් බැවින් ඔහුට ඇප ලබාදෙන ලෙසයි.

මෙහිදී අධිකරණය හමුවේ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා ප්‍රශ්න කර සිටියේ ඇප පනතේ, ඇප ලබාදීමේ හැකියාව තිබූ පමණින් අධිකරණය ඉදිරියට පැමිණෙන ඕනෑම පුද්ගලයෙකුට අධිකරණය විසින් ඇප ලබාදෙන්නේද යන්නයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 ව්‍යවස්ථාවේ ඇ වගන්තිය යනු පූජණීය සහ උත්තරීතර වගන්තියක් බවත්, ඒ තුළින් විනිසුරුවෙකුගේ ස්වාධීනත්වය සහ නිදහස් තීරණ ගැනීම ආරක්ෂා කර ඇති බවත්, අධිකරණය හමුවේ සඳහන් කළ රජයේ අධිනීතිඥවරයා වැඩිදුරටත් කියා සිටියේ එම වගන්තිය කඩකරන්නෙකු සිදුකරන්නේ බරපතල වරදක් බවයි

පොල් ගෙඩියක් කැඩුවද, මිනීමැරුමක් සිදුකළද, ඕනෑම නඩුවකට අදාළව අධිකරණය ඉදිරියට පැමිණෙන විත්තිකරුවෙකුට දේශපාලකයෙකු ලබාදෙන දුරකතන ඇමතුමකින් තම නීති කෘත්‍යයන්හි තීන්දුව වෙනස් නොවෙතැයි විශ්වාසයක් පැවතිය යුතු බව රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කළා.

බාහිර පාර්ශවයක් විනිසුරුවන්ට ලබාදෙන දුරකතන ඇමතුමක් ඔස්සේ නඩුවක තීන්දුව වෙනස් කිරීමේ හැකියාවක් පවතින්නේ නම් මෙරට අධිකරණයේ උත්තරීතරත්වය කිමෙක්දැයි ඔහු එහිදී විමසා සිටියා.

බන්ධනාගාරගතව සිටියදීද මෙම සැකකරු තමන් ළඟ හඬ පට ඇති බවත්, ඒවා එලියට දමන්නේ යැයි ප්‍රසිද්ධ ප්‍රකාශ සිදුකරමින් සාක්ෂිකරුවන්ට බලපෑම් කරමින් පවතින වාතාවරණයක් තුළ විමර්ශන නිලධාරීන් සිය විමර්ශන ඉදිරියට පවත්වාගෙන යන්නේ කෙසේ දැයි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා අතිරේක මහේස්ත්‍රාත්වරයාගෙන් ප්‍රශ්න කර සිටියා.

එබැවින් මෙම සිද්ධිය තුළින් සමස්ත අධිකරණ ක්‍රියාවලියේම විශ්වසනීයත්වය පිළිබඳ බැපතල ප්‍රශ්න සහගත තත්ත්වයක් උද්ගතව ඇති බැවින් නීතිඥයින්, අධිකරණ නිලධාරීන් මෙන්ම විනිසුරුවන්ද අධිකරණ ක්‍රියාවලියේ ගරුත්වය ආරක්ෂා කිරීමට එක්විය යුතු බවත්, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය ප්‍රකාශයට පත්කරමින් සඳහන් කළේ විත්තියේ නීතිඥයින් මෙම වරදට ඇති දඬුවම සලකා බලා ඇප ලබාදෙන ලෙස පැවසුවද මෙම වරදට ඇති දඬුවම් හි ප්‍රජා අයිතිය අහෝසි කිරීම පවා සඳහන්ව ඇති බැවින් මෙම වරද මිනීමැරුමකටත් එහා ගිය බරපතල වරදක් ලෙස සැලකිය හැකි බවයි.

එසේම, විශ්‍රාමික විනිසුරු පද්මිණී රණවක විසින් ලබාදුන් වැදගත් නඩු තීන්දුවක් සහ ප්‍රශ්නගත දුරකතන සංවාදය අතර කාල පරාසය වසරක් පමණ යැයි විත්තියේ නීතිඥයින් පැවසුවද එම කාලසීමාවේ ගැටළු සහගත තත්ත්වයක් පවතින බව විමර්ශන නිලධාරීන් සඳහන් කර ඇති බවද අතිරේක මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණය හමුවේ සඳහන් කළා.

එසේම, මෙම සැකකරු තමන්ට අදාළ නඩුවකට විනිසුරුවරයෙකුගෙන් උපදෙස් ලබාගැනීම සහ සේවාදායකයෙකු තම නඩුවකට නීතිඥවරයෙකුගෙන් උපදෙස් ලබාගැනීම අතර බරපතල වෙනසක් පවතින බව සඳහන් කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් කියා සිටියේ තමන්ද විනිසුරුවරයෙකු ලෙස එවැනි අවස්ථාවකට මුහුණදීමට අකැමැති බවයි.

එබැවින් මෙම කරුණු සලකා බැලීමේදී සැකකරුට ඇප ලබාදීමේ හැකියාවක් නොමැති බව සඳහන් කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයට දැනුම් දුන්නේ තමන් එම තීරණය ගනු ලබන්නේ දඬුවමේ පරිමාණය සලකා බලා නොව, මෙම අවස්ථාවේදී සැකකරුට ඇප ලබාදුනහොත් සාක්ෂිකරුවන්ට සහ සාක්ෂිවලට සිදුකළ හැකි මැදිහත්වීම්වලට අවධානය යොමු කරමින් බවයි.

කෙසේ වෙතත්, අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත්කර තිබියදී සැකකාර රන්ජන් රාමනායක, අතිරේක මහේස්ත්‍රාත්වරයාගේ අවසරයකින් තොරවම අධිකරණය හමුවේ ප්‍රකාශයක් සිදුකළා.

බන්ධනාගාරගතව සිටියද තමන්ට පාර්ලිමේන්තු යාමේ අවස්ථාව උදාවන බවත්, එහිදී තමන්ට දුරකතන පරිහරණය කිරීමේ හැකියාවක් පවතින බවත් සඳහන් කළ සැකකාර මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ තමන් සන්තකයේ ඇති හඬපට එක්ලක්ෂ 24,000 ක් පමණ ප්‍රමාණයක් පිටතට දැමීමට හැකි බවයි.

එහිදී අතිරේක මහේස්ත්‍රාත්වරයා විත්තියේ නීතිඥයින්ට සඳහන් කළේ තමන් සැකකරුට ඇප ලබානොදුන්නේ මෙම තත්ත්වය නිසා බවයි.

පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ වූවද, අධිකරණ ක්‍රියාවලියට බලපෑම් කිරීමට හැකියාවක් නොපවතින බව සඳහන් කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකාර රන්ජන් රාමනායක ලබන මස 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.

එසේම, කටහඬ පරීක්ෂාවක් සඳහා ලබන මස 07 වැනිදා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත සැකකරු ඉදිරිපත් කරන ලෙසද අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් බන්ධනාගාර නිලධාරීන්ට සහ විමර්ශන නිලධාරීන්ට නියෝග කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress