දෙමළ බෙදුම්වාදය මතවාදයෙන් පැරදවීම: ලිපි මාලා අංක 2
Posted on February 1st, 2020

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B,. Ph.D. 

කොසොල් රජතුමා දුටු සීන දාසැය

සිංහල බෞද්ද්ධයින් ඇතුළු ලාංකිකයින් බොහෝ දෙනෙක් ඇමෙරිකාවට සංක්‍රමණය වීමට ප්‍රධානම හේතුව වන්නේ ඉන්දියාවේ පසේනදී කොසොල් රජතුමා විසින් දැනට අවුරුදු 2,500 කට පෙර දුටු සිහිනවලට දුන් අනාවැකි ඔවුන් උපන් රට තුල සැබෑවෙමින් තිබීමය. ආර්ථික දුෂ්කරතා වලට වඩා ඊට බලපාන්නේ රටේ දේශපාලකයින් රටට කරණ මහා විනාශය නිසා ඇතිවන මානසික අසහනය හා පීඩනය ය. බමුණන් කී පරිදි බිලි සහිත විශාල යාගයක් කරණවා වෙනුවට ඔහු දුටු සීන ගැන බුදුහාමුදුරුවන්ගෙන් අසා බලන ලෙස රජ බිසව යෝජනා කලේය. ඒ අනුව මේ සීන වලට බුදුහාමුදුරුවන් රජුට ලබා දුන් විවරණ, සූත්‍ර පිටකයේ මහා සුපින ජාතකයේ සඳහන්වේ. බුදුරදුන් පෙන්වා දුන්නේ මේ සීන අනාගතයේ ලෝකයේ සිදුවීමට යන විනාශ පිළිඹද පෙරනිමිති බවත්, රජතුමාට ඒ සිහින ගැන බිය වීමට හේතුවක් නැති බවත් ය.

බයිබලයේද නොයෙක් අනාගත වාක්‍ය (ප්‍රොපසීස්) විශාල ප්‍රමාණයක් දක්නට ලැබේ. අනාගත වාක්‍ය පිළිඹඳව යුරෝපයේ හා ඇමෙරිකාවේ ප්‍රසිද්ද්ධ වී ඇත්තේ ප්‍රංශ ජාතික නොස්ට්‍රාඩාමස් (1503-1566) ය. ඉතාමත් මෑතකදී සිදුවූ 2001 වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් විනාශය ඔහු විසින් යකඩ කුරුල්ලන්ගේ ප්‍රහාරයක් වශයෙන් සටහන්කර තිබේ යයි ප්‍රචලිත විය. එහෙත් සමහරවිට බෞද්ද්ධ සාහිත්‍යයේ සඳහන්වන එකම අනාගත වාක්‍යය විය හැකි මෙම සිහින දාසැය, මුළු ලෝක ඉතිහාසයේම සුවිශේෂ කරුණක් වන්නේ ලංකාවේ පමණක් නොව වර්තමාන ලෝකයේ අනෙකුත් රටවලද දක්නට ලැබෙන ව්‍යාධීන්, සමාජ, දේශපාලන, ආර්ථික අසහනකාරී ස්වරූප හා ඊට හේතුවන මූලික සාධකය වෙන කිසිම ලේඛනයක මේ අන්දමට අනාවැකි ලෙස සටහන් කර නොතිබීමය. ලෝභ, දෝෂ, මෝහ යන ත්‍රිදෝෂයෙන් පිරුණු පංචස්කන්ධ වන මිනිසා අධාර්මික වීමේ විපාක මෙහි හරයයි.

මෙම දෝෂ වලින් පාලකයින් වලක්වා, රාජ්‍ය පාලන තන්ත්‍රය රට වැසියාගේ ශුභ සාධනය උදෙසා යොදවා ගැනීමේ ක්‍රමයක් පිළිඹද කදිම නිදසුනක් ඉතාලියේ සියෙනා පුර රාජ්‍යයේ (1287-1355) පැවතියේය. එය 1338-39 කාලයේදී අම්බ්‍රොගියෝ ලොරෙන්සෙටි විසින් හොඳ පාලනය-නරක පාලනය වශයෙන් සියෙනා පුර පාලන ගොඩනැගිල්ලේ කන්තෝරුවේ සිතුවම් කර ඇත. එම නගරයේ පාලකයින් නමදෙනාගේ කවුන්සිලය, තමන් තේරීපත්වූ කෙටි නිල වාර කාලය අවසන් වන තුරු සභා ගොඩනැගිල්ල තුලම පදිංචිව සිටිය යුතු වන්නේ ඉන් පිටතට ගියොත් තීරණ ගැනීමේදී එල්ල විය හැකි අනිසි බලපෑම්වලට ගොදුරුවීමෙන් වැලැකී සිටීමටය. සිතුවම් වලින් පෙන්වන්නේ ඔවුන්ගේ රාජකාරිය කෙතරම් භාරදූරද යන්නය.

බලය දූෂණයට පොළොඹවයි, අසීමිත බලය අසීමිත ලෙස දූෂණයට පොළොඹවයි. මේ නිසා බලතල බෙදා එකිනෙකා බලය අවභාවිත කිරීම වැලැක්විය යුතුය යන අදහස් පසු කාලයකදී යුරෝපීය රටවල ප්‍රචලිතවූයේද මේ අනුවමය. රාජාණ්ඩු කාලයේ ලංකාවේ පැවතියේ රජුගේ අසාධාරණ බලය පන්සල් මගින් තුලනය කිරීමය. සමාජ, ආර්ථික හා දේශපාලනික වශයෙන් රට පුරාම ක්‍රියාත්මකවූයේ ගම-වැව-දාගැබ යන ත්‍රිත්ව සංකල්පයය. කොලම්බස් (1495) හා වස්කෝ ද ගාමා (1492-97) ගෙන් පසු, අවුරුදු 450 ක පමණ කාලයක් යුරෝපීය සුදු ජාතිකයින් විසින් සෙසු ලෝකය යටපත්කරගෙන, ඒ රටවල් සූරාකා, අබල දුබල කර, අන්තිමේදී ඔවුන් විසින්ම බෝකල, හීනමානයෙන් පෙළෙන කළු සුද්දන් පිරිස් වලට මේ රටවල් පවරාදී යාම නිසා ඇතිවුන අවපාලනය, අනාවැකි ලෙස අකුරටම කොසොල් රජුගේ සිහින වලින් පෙන්වා දී තිබේ.

විදේශිකයින් විසින් ජනතාව හා පන්සල අතර ඇති ගහට පොත්ත වැනි බැඳීම කඩා දැමීමට කෙළින්ම හා වක්‍රව නොයෙක් උපක්‍රම අනුගමනය කලේය. ඉංග්‍රීසි පාලකයින් පන්සල් හා සංඝ සමාජය පරිහාණියට වැටෙන ආකාරයේ නීති ක්‍රියාවට යොදන ලදී. සුද්දන් විසින් ඇරඹූ මේ ක්‍රියාවලිය කළු සුද්දන් විසින්ද දිගටම කරගෙන යාම කොසොල් රජුට පෙන්වාදුන් අනාගත අධර්මිෂ්ඨ පාලනයේ ආරම්භයයි. අනාගාරික ධර්‍මපාලතුමාට ස්ත්‍රොත්‍ර නොගයන සිංහල බෞද්ද්ධයෙක් අද නැතිතරම් ය. එහෙත් අධර්මිෂ්ඨ කළු සුද්දන් එතුමාට වටකරගෙන පහරදී රටින් එලවා ගත්තේය. ධර්‍මපාලතුමා අනුව යමින් කළුකොඳයාවේ ප්‍රඥාශෙඛර නාහිමියන් විසින් 1940 ස් ගණන්වල ගෙනගිය ඉතාමත් සාර්‍ථකවූ දීපව්‍යාප්ත අපරාධ මර්‍ධන හා ග්‍රාම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය කළු සුද්දන් විසින් කඩාකප්පල්කර දැම්මේය. ඩී බී ජයතිලක, ඩී ඇස් සේනානායක වැනියවුන්ද ඊට හවුල්විය. එසේත් නැත්නම් සුද්දන් කල භාධාකිරීම් වලට විරුද්ද්ධ නැගීසිටීමට ඔවුන්ට ශක්තියක් නොවීය.

අධර්මිෂ්ඨ දේශපාලකයින් විසින් ගම බදාගෙන නොයෙක් නම් දමාගෙන නටන නාඩගම දෙස බලා සිටින අසරණවූ ජනතාවට මේ ඉතිහාස කතාව පෙන්වාදීමට දන්නා කෙනෙක් දැන් රටේ ඉතුරුව ඉන්නවාද කියා සිතේ. උදාහරණයක් වශයෙන් 1948 සිට මේ දක්වා ලංකාවේ සිදුවන විනාශය වචනයක් නෑරම සීන දාසැයේ සටහන්ව ඇත. දාසැයවැනි හීනයේ කියවෙන දුෂ්ඨ පාලනයට බියේ මිනිසුන් වනාන්තරවල සැඟවීම, මිනිසුන් ලංකාවෙන් ගැලවී ඇමෙරිකාවට හා අනිත් රටවලට යාම නොවේද? මෙම ඛේදවාචකය ලෝකයේ සෙසු රටවලද සිදුවෙමින් පවතින්නේය. මේ රටවල් අසාර්‍ථකවුන රාජ්‍ය ලෙස කලින් මේ රටවල් විනාශ කල යුරෝපීය රටවල් විසින් හංවඩු ගසා ඇත.

15 වැනි සීනයේ සඳහන් බියගුළු පාලකයින් අද ලංකාව විනාශකරණ දේශපාලක කළු සුද්දන් නොවේද? මානව අයිතිවාසිකම් කඩකරනවා යන චෝදනාවකට යටවී සිටින මේ කළු සුද්දන් කල්ලිය, යුරෝපීය රටවල් ඉදිරියේ වැඳ වැටෙන්නේ ඔවුන්ගේ අධර්මිෂ්ඨ ක්‍රියා පිළිවෙල නිසාමය. මේ නිසා අහිංසක රටවැසියා බලවත් ආතතියකට, දුකකට වැටී ඇත. අධිකරණය, සංඝ සමාජය පවා පිරිහී ඇති අන්දම සීන වලින් පෙන්වා දී ඇත. මෙම අධර්මිෂ්ඨ පාලකයින්ගෙන් රට ගලවා ගත හැකි ආකාරය බෞද්ද්ධ දර්‍ශනයේ පෙන්වා දී ඇතත්, දුෂ්ඨ පාලන තන්ත්‍රය බොරුවෙන් මහජනයා රවටමින් සිටී. ධර්මිෂ්ඨ සමාජය, යහපාලනය, ලිච්චවි පාලනය යනාදී බොරු කතා සුලභය. පගාව හා දූෂණයෙන් රට වෙලී ඇත්තේ පාලකයින් අන්ත දූෂිතයින් වීම නිසාය. ඓතිහාසිකව, බෞද්ද්ධ සමාජ ආර්ථික ක්‍රමයට අනුව, ගොයම් කපන විට කුරුල්ලන්ගේ පංගුව යයි ලියදිකෑල්ලක් වෙන්කිරීමට තරම් ගොවියා පරිසරය කෙරෙහි සානුකම්පික විය.

රාජ්‍ය පාලන බලය අල්ලා ගන්නා සුළු පිරිසක් විසින් දේශපාලන පක්‍ෂ දෙකක් හරහා ඇමෙරිකාව පරිහානිය කරා ගෙන යන අන්දම, යටත් විජිතව සිටි රටවල සුද්දන් විසින් බෝකර ගිය කළු සුද්දන් විසින් ඒ රටවලට කරණ විනාශයට සමානය. ඇමෙරිකාවේ පදිංචියට ඒමට පෝලිමක් නැති රටක් ලෝකයේ නැත. ජපානයේ සිට ඇමෙරිකාවට එන කොම්පැනි නිලධාරීන්ගේ නෝනාවරු පවා ඉඩකඩ ඇති ලොකු ගෙවල්, ඉඩම් අතහැර ආපසු යාමට කැමති නැත. බුදු දහම මගින් ලෝකයේ ඇති ප්‍රශ්ණ වලට විසඳුම් සොයාගත හැකියයි ඉන්දියාවේ ජනාධිපති ධූරය දැරූ අබ්දුල් කලාම් හා ප්‍රතිභා පටිල් යන දෙදෙනාම පැවසුවේය. සිංහල බෞද්ද්ධයින් වශයෙන් අපට ලැබී ඇති මේ වටිනා උරුමය හා මේ සීන දාසැයේ ඇති කාරණා කෙතරම් දුරට ඇමෙරිකාවේද දක්නට තිබෙනවාද යන්න තම දූදරුවන් සමග සාකච්චාකර සසඳා බැලීම දැන්ම නොවුනත්, ඔවුන්ට වයස අවුරුදු 40 ක් 50 ක් වන විට වත් ඒවා මතකයට නැගී අනාගතයේදී ඔවුන් තම දූ දරුවන්ට කියා දෙනවා නිසැකය.

බුදුරදුන් විසින් සංක්‍ෂිප්ත වශයෙන් අවුරුදු දෙදාහකටත් කලින් සඳහන් කල පාලකයින් අධර්මිෂ්ඨවීමේ ප්‍රතිඵල, විශේෂයෙන් සුද්දන්ගෙන් පාලන බලය ලබාගත් කළු සුද්දන් අධර්මිෂ්ඨවීමේ ප්‍රතිඵල, නූතන දේශපාලන විද්‍යා දෘෂ්ටිකෝණයකින් බලනවිට එය ඔවුන් චතුරාර්ය සත්‍යයෙන් හා ආර්ය අෂ්ටාංගික මාර්‍ගයෙන් පිට පැනීම හෙවත් මධ්‍යම ප්‍රතිපදාව නොපිළිපැදීම ලෙස හඳුනාගත හැකිවේ. උදාහරණයක් වශයෙන්, සුද්දන් සදාදී ගිය පරිපාලන ක්‍රමය සධාරණ ලෙස දේශීයකරණය කරණවා වෙනුවට ආත්මාර්‍ථකාමි ලෙස හැසිරී එය විනාශ කලේය. ප්‍රජාතන්ත්‍රවාදය හා බෞද්ද්ධ රාජ්‍යපාලන ක්‍රමය දෙකක් නොව එකකි. 1948 න් පසු ලංකාවේ සිදුවූයේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්‍ම එකින් එක ඉවත්කර දැමීමය. මෙය අධර්මිෂ්ඨ පාලනයේ ප්‍රතිඵලයක් විය.

එක අතකින් නීතියේ ආධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය, බලය බෙදා හැරීම, සුළු ජන කොටස් සඳහා තිබූ ව්‍යවස්ථාමය සුරක්‍ෂණ විධිවිධාන, සිවිල් පරිපාලන ස්වාධීනත්වය යනාදිය 1960 මුල සිට ක්‍රමයෙන් කප්පාදුකර දමන ලදී. අනිත් අතට, 1978 න් පසු භූමිය වශයෙන් තමන්ගේ නියෝජිතයෙකු තෝරාගැනීමට මහජනයාට තිබූ අයිතිය ඉවත්කර, කොළඹ සිටින දේශපාලන පක්‍ෂ නායකයින් විසින් එය සිය යටතට ගන්නා ලදී. මෙසේ ඇතිකල අධර්මිෂ්ඨ පාලන ක්‍රමය, ධනවාදී, ලොකු මාළුවා පොඩි මාළුවා ගිලගන්නා, මිනිසා විසින් මිනිසා සූරාකන ආර්ථික ක්‍රමයක් බවට පෙරලන ලදී. 1971 හා ඉන් පසු 1988/9 සිදුවු කැරළි දෙක මෙම දුෂ්ඨ පාලකයින්ගේ ක්‍රියා කලාපය වෙනස් කලේ නැත. තිස් අවුරුදු යුද්ද්ධය මගින් ජනයාගේ යටි සිත් තුලට ඔවුන් නොදැනම මරන භය ඇතුළ් කලේය. මේ නිසා කිසිවෙකු විශ්වාස නොකරණ, අතිශයින් ආත්මාර්‍ථකාමිවුණ, බොරුව, වංචාව රජයන, අපරාධ වලින් පිරුණ සමාජයක් ලංකාවේ බිහිවී ඇත. ලෝකයේ වෙනත් බොහෝ රටවලට දායාදයවී ඇත්තේද මේ අවාසනාවන්ත ඉරණමය.

භික්‍ෂූ ශාසනයේ පිරිහීම ගැන 10 හා 11 සිහිනවල ඇති අනාවැකිය අදවනවිට සැබෑවෙමින් පවතින්නේ පාලකයින්ගේ නොමනා ක්‍රියාකලාපය නිසාමය. බුදු දහමට ලැබෙන රාජ්‍ය අනුග්‍රයක් නැත. 1880 ඕල්කොට්තුමාගේ ආගමනයෙන් පසුව සිදුවූ එක් සැඟවුනු දෙයක් නම් 1840 ගණන්වල සිට රට වෙනුවෙන් පෙරමුණේ සිටි භික්‍ෂූන් (පන්සල්) පිළිකන්නට තල්ලුවී යාමය (තල්ලු කර දැමීමය). 1931 න් පසු ගමේ පන්සල්, සිංහල නොදන්නා දේශපාලකයින් විසින් තම වාසිය සඳහා යොදා ගත්තේය. දේශපාලකයින්ට රැවටීමේ මේ දුර්‍වලකමෙන් අද 2019 වනවිටවත් පන්සල් ගැලවී නැත. ඇමෙරිකාවේ සිටින වයසට යන සිංහල බෞද්ද්ධයින්ට ඇමෙරිකාවටත්, ලංකාවටත් යහපතක් වනලෙස අවම සේවයක් වත් කල නොහැකිද? කොසොල් රජතුමාගේ සීන ඇමෙරිකාව පුරාම සැබෑවෙමින් සිටිනු දිනපතාමවාගේ දක්නට ලැබේ. විශේෂයෙන්ම මැදිවියේ හා දුප්පත් ඇමෙරිකාණුවන් අතර මානසික අසහනය දැඩිලෙස පවතී. ඔවුන් ඉඳහිට පන්සල්වලටද එන්නේය. මෙය වර්‍ධනය කල හැකිවන්නේ හාමුදුරුවරුන් හා ඉංග්‍රීසි ප්‍රවීනතාවයක් ඇති සිංහල බෞද්ද්ධයින් එකතුව තම තමන්ගේ නගරවල බුදුදහමේ පණිවුඩය, මනස සිසිල් කර ගැනීමේ හැකියාව ප්‍රචලිත කිරීමෙනි. ඇමෙරිකාවේ ඇති ලංකාවේ පන්සලෙන් ලෝකයට යහපතක් සිදු කල හැක්කේ එමගිනි.

අන්තර් ජාල වෙබ් අඩවිවල හා ගූගල් මඟින් මෙම සිහින පිළිඹදව විස්තර ලබාගත හැකිය. පහතින් ඇත්තේ එසේ කොපිකරගත් සාරාංශයකි.

1 වැනි සිහිනය
සිහිනය: කලු ගවයින් සිව් දෙනෙකු එකිනෙකා සටන් කරන්නට යනවා සේ සිව් දෙසින් රාජාංගනයට පැමිණ, තප්පුලමින් සිට කිසිදු සටනක් නොකොට ආපසු හැරී යයි.
විවරණය (අනාවැකිය): මෙම සිහිනයේ ප්‍රතිඵලය මතු අනාගතයේ සිදුවන්නකි. මෙයින් කියවෙන්නේ අනාගතයේ රාජ්‍යපාලකයින් අධර්මිෂ්ඨ වන බවත්, එසේ වූවිට රටේ පුරවැසියන්ද අධර්මිෂ්ඨ වන බවය. මෙම අධර්මිෂ්ඨ භාවය නිසා සද්ද්ධර්‍මය පිරිහීයන්නේය. පැලෑටි ගොයම් ආදිය වියළී ගොස් මහා නියං ඇතිවන්නේය. රටේ ජනතාව මහත් පීඩාවට පත්වේ.

2 වැනි සිහිනය
සිහිනය: ඉතා කුඩා පැලෑටි හා පඳුරු පොළොවෙන් මතුවී පැමිණ වියතක් හෝ දෙකක් පමණ වැඩුණු පසු මල් පල දරයි.
‌විවරණය: බොහෝ කාලයක් ඇවෑමෙන් මිනිසාගේ ආයු පිරිහී යනවිට ඔවුන් ඉතා කෙටි කාලයක් ජීවත් වන අවධියක් උදාවන්නේය. එම කාලයේ මිනිසුන් බොහෝ රාගාධික වන්නේය. කුඩා ගැහැණු ළමයින් පිරිමින් සමඟ කාමසේවනය කරන්නේය. එබැවින් ළදරු වියේම ඔවුන් ගැබ්බරවී දරුවන් ලබන්නේය.

3 වැනි සිහිනය
සිහිනය: දෙන්නු එදවස උපන් වසු පැටවුන්ගෙන් කිරි උරා බොයි.
විවරණය: අනාගතයේදී මිනිසුන් තම දෙමව්පියන්ට නොසළකා පවුලේ දේපල සියල්ල තම යටතට ගනී. දෙමව්පියන් අසරණ වන්නේය.

4 වැනි සිහිනය
සිහිනය: ගැල නොබඳිනලද තරබාරු ශක්තිමත් ගොනුන් රැලක් පැටවුන් මතට බර පටවා ඇදගෙන යාමට සලස්වති. එම බර ඇදගෙන යාමට නොහැකිවූ පැටවුන් නිසලව සිටිති.
විවරණය: අනාගතයේ රජවරු අධර්මිෂ්ඨ වූ කල්හි එම රජුන් විසින් රාජ්‍ය පාලන කටයුතුවල නියැලී සිටින බුද්ද්ධිමතුන් නොසලකා හරිති. රාජ්‍ය කටයුතු, කර්‍මාන්ත කටයුතු කිරීමේ පළපුරුද්ද ඇති ඇත්තන් නොසළකා හැර අදක්‍ෂයින් තනතුරුවලට පත් කරති. මේ නිසා රාජකාරී කටයුතු අඩාලවී රට පිරිහේ.

5 වැනි සිහිනය
සිහිනය: මුඛ දෙකක් ඇති අශ්වයෙක් මුඛ දෙකෙන්ම ආහාර ගනී.
විවරණය: අනාගතයේ අදමිටු රජවරු වංචනික විනිසුරුවන් අධිකරණ සේවයේ යොදවනු ඇත. මෙම කපටි විනිසුරුවෝ චූදිත-චෝදක දෙපසින්ම අල්ලස් ගෙන යුක්ති ධර්‍මයට අවමන් කරති. මෙම මුඛ දෙකින් ආහාර ගැනීම යන්නෙන් පිළිඹිබු වන්නේ දෙපසින්ම අල්ලස් ගැනීමය.

6 වැනි සිහිනය
සිහිනය: මනාව ඔප දමන ලද කහවනු ලක්‍ෂයක් වටිනා රන් තලියක මහළු සිවලෙක් මුත්‍රා කරයි.
විවරණය: අනාගතයේදී අදමිටු රජවරු රජ පරපුර නොසළකා නීචයින්ට උසස් ස්ථාන ලබා දෙති. අනතුරුව නීචයින් උදෙසා තම රාජකීය දියණිවරු සරණපාවා දෙති. මින් උසස් රාජ වංශ කෙළෙසී යයි.

7 වැනි සිහිනය
සිහිනය: මිනිසෙකු ලණුවක් අඹරමින් සිටියි. ඔහු ලණුව අඹර අඹරා තමා සිටින පුටුව යටට දමයි. යට සිටින හිවල් දෙනක විසින් එය කොටසින් කොටස ගිල දමයි. මෙය සිදුවන්නේ ලණුව අඹරන මිනිසාගේ දැනුමෙන් තොරවය.
විවරණය: අනාගතයේදී ගැහැණුන් පිරිමින් සමඟ මත්පැන් බොමින් තම සැමියන් විසින් මහන්සිවී උපයන ධනය විනාශකර දමති. එය මහළු හිවලිය මිනිසා කොටස් වශයෙන් අඹරණ ලණුව ගිලදමන්නාක් මෙනි.

8 වැනි සිහිනය
සිහිනය: රජමාලිගයේ, මුවවිට දක්වා දිය පිරුණු සැළියක් ඇත. එය වටා කිසිදු දිය බිඳක් නැති හිස් කළ රාශියක් ඇත. සතර දෙසින් වැල නොකැඩී ගලා එන මහ ජනකාය ජලය පිරී ඇති දිය සැළියට ජලය බහා ලති. දිය සැළිය පිරී ඉතිරී යයි. එහෙත් කිසිවෙකු හිස් බඳුන්වලට දිය නොදමති.
විවරණය: කාලය ගතවත්ම ලෝකය පිරිහෙන විට රාජධානිද පිරිහෙයි. රජවරු දිළිඳුවී බලවත්ම රජුගේ ධනය කහවනු ලක්‍ෂය දක්වා පහල යයි. අනතුරුව රාජධානි වල වැසියන් රජුගේ කටයුතුවල පමණක් යොදවති. රජු ධනවත් වන අතර ජනතාව දිළිදුවී දුක්බරිත වේ.

9 වැනි සිහිනය
සිහිනය: හාත්පසින්ම බෑවුම් සහිත පස් පියුම් විලක් ඇත. දෙපසින් සිව්පා සතුන් දිය බීමට පැමිණෙත්. එහි මැද ප්‍රදේශය මඩ සහිතය. එහි නොයෙක් සතුන් දිය බීමට පැමිණ ඇත.
විවරණය: අනාගතයේ රජවරු අධර්මිෂ්ඨවී හිතූමනාපයේ රාජ්‍ය පාලනය කරති. අල්ලස් ගෙන ධනවතුන් ආරක්‍ෂා කරති. උක්දඩු මිරිකන්නාසේ ජනතාවගේ ශ්‍රමය සූරා ධනය උදුරා ගන්නේය.

10 වැනි සිහිනය
සිහිනය: කිසිවෙකුගේ මැදිහත් වීමකින් තොරව බතක් පිසෙනු ලැබේ. එම බත කොටස් තුනකට බෙදී, එක් කොටසක් බෙරිවී ඇත. අනෙක් කොටස අමුය. ඉතිරි කොටස මනාව පැසී ඇත.
විවරණය: අනාගතයේ අදමිටු රජවරු පහළ වීම නිසා වැසියෝද අදමිටු වෙති. ශ්‍රමණ බ්‍රාහ්මණයින් පවා අධර්මිෂ්ඨ වෙති. මෙසේ වන විට ඔවුන් රකින දෙවිවරුද අධර්මිෂ්ඨ වෙති. මේ අධර්මිෂ්ඨ රාජධානි හරහා හමායන සුළං ක්‍රමවත් නොවීම නිසා රටේ එක් ප්‍රදේශයකට දරුණු නියඟයද, එක් ප්‍රදේශයකට දරුණු ගංවතුරද ඇතිවී මහත් විනාශයන් ඇති වන විට තවත් ප්‍රදේශයක් බොහෝ සශ්‍රීක වන බව මෙයින් කියැවේ.

11 වැනි සිහිනය
සිහිනය: කහවනු ලක්‍ෂයක් වටිනා සඳුන් හරයක් ඇඹුල් රසැති කිරිමෝරු වලට හුවමාරු කරයි.
විවරණය: අනාගතයේදී ලජ්ජා බය නැති දුසිල් භික්‍ෂූහු පහළ වෙති. ඔවුන් තම බඩ වියත වෙනුවෙන් නිර්‍වානගාමී දහම විකෘති කොට ජනතාවට දෙසති. මහජන මුදල් ලබාගැනීමේ අරමුණින් විසිතුරු බස් කියමින් ජනතාව රවටමින් බුදු දහම විකුණා කෑමේ ව්‍යාපාර ආරම්භ කරති. ජනතාව නිර්‍වානගාමි දහමට යොමු කිරීමට ඔවුන්ට අවශ්‍ය නොවන්නේය. තෑගි බෝග සඳහා දහම වංචනික ලෙස කියමින් මහ වීදි වල, මැදුරු වල දහම් කියමින් යති.

12 වැනි සිහිනය
සිහිනය: ලබු කබල් දියෙහි කිඳාබසිනු දුටුවෙමි.
විවරණය: අනාගතයේදී නොයෙක් නීච කුල ජාතිකයන් රජ වෙති. එවිට පහත් ගති ඇත්තේ බලයට පත් වෙති. එවිට ලාමක ගති ඇත්තන් අධිකරණ සේවයේ යෙදවීම නිසා නීතිය වල් වැදී යන්නේය.

13 වැනි සිහිනය
සිහිනය: සුවිසල් පර්‍වත දියෙහි පාවී යනවා දුටිමි.
විවරණය: අනාගතයේදී සම්භාවනීය පුද්ගලයෝ තනතුරුවලින් නෙරපා පහත් පුදගලයින් සේවයේ යොදවත්. මෙමගින් සමාජ සංස්ථාව මහත් පීඩාවට පත් ව රාජ්‍යද පිරිහී යන්නේය.

14 වැනි සිහිනය
සිහිනය: කුඩා මැඩියන් විශාල නාගයින් ගිල දමනවා දුටුවෙමි.
විවරණය: අනාගතයේදී බොහෝ පිරිමින් වියපත් වුවද, තරුණ ගැහැණුන් සමඟ සල්ලාලකම් වල යෙදෙති. මෙම තාවකාලික අඹුවන් සොර සැමියන් වහළුන් බවට පත් කොට සලකති.

15 වැනි සීහිනය
සිහිනය: කපුටෙකු රන්වන් හංස රංචුවක් විසින් පිරිවරා සිටිනවා දුටිමි.
විවරණය: අනාගතයේදී කිසිදු යුද ශිල්පයක් නොදත් රජවරු පහලවෙත්. ඔවුන් බිය ගුල්ලෝය. ඔවුන්ගේ අණසක පවතින්නේ තම පරිවාර සේනාව සමග පමණි. රාජ්‍යත්වය පිරිහී තනතුරුවලට නීචයන් පත් වී එම නීචයන් හා එකට විසීමට රජවරුන්ට සිදුවන්නේය. එය කවුඩා පිරිවරාගත් හංසයන් මෙන් දතයුතුය.

16 වැනි සිහිනය
සිහිනය: එළුවන් විසින් අදුන් දිවියන් පසුපස හඹාගොස් ඔවුන් ගොඳුරු කර ගනිති. එළුවන් දුටු විට අදුන් දිවියන් බියවී වනාන්තරයේ සඟවෙති.
විවරණය: අනාගතයේදී අධර්මිෂ්ඨ රජවරු ලොව පහල වූ විට, ඔවුන් පහත්, නීච ගති ඇත්තන් තනතුරු වලට පත් කරති. අනතුරුව සම්භාවනීය පුද්ගලයන් තනතුරු වලින් පහකර හරිනු ඇත. ඉන්පසු උසස් පුද්ගලයන්ගේ ධනය කොල්ල කති. එවිට සම්භාවනීය පුද්ගලයන් දිවි රැක ගැනීම සඳහා ගේදොර අතහැර පලාගොස් සැඟවෙති.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress