දෙමළ බෙදුම්වාදය මතවාදයෙන් පැරදවීම: ලිපි මාලා අංක 4
Posted on February 5th, 2020

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B,. Ph.D.

රට ගොඩගන්නට වෙහෙසුණු කළුකොඳයාවේ මහනාහිමි

හැඳින්‌වීම

හාමුදුරුවරු දේශ-පාලනයට ඒමට විරුද්‌ධව කතා කරන අළුත්ම උදාහරණය වන්නේ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් ය. 1802 පමණ සිටම නෝත් ආණ්ඩුකාරයා විසින් ආරම්භකල පන්සල කොරු කිරීමේ තර්‌කය එහි උච්චතම හා කැතම ගෙනාවේ රංජන් රාමනායක විසිනි. ඔහු එය කලේ යහපාලන-විදේශ බලවේග වල මෝඩ ඒජන්ත වශයෙනි. ලංකාවේ සුද්දන්ගේ හා 1931 සිට කළු සුද්දන්ගේ පාලන කාලය, පාලක කල්ලි හා පන්සල අතරවූ නිරන්තර අරගලයක ඉතිහාසය නොවේදැයි විමසන විට, නොයෙක් අඩු ලුහුඬු කම් තිබෙන හාමුදුරුවරු රටේ සිටියත්, ලංකාවේ සිංහල බෞද්‌ධ ශිෂ්ටාචාරය, ත්‍රිපිටකය හා භාෂාව රැක ගත්තේ සිවුර හා පන්සල බව සක්සුදක් සේ පැහැදිලිවේ. පන්සල්වල අද දක්නට ලැබෙන පිරිහීමට වගකිව යුත්තේද සුද්දගෙ හා කළු සුද්දගෙ නීතිය බවද පෙනීයයි.

හාමුදුරුනමකට පාර්ලිමේන්තුවට ගිහිල්ලා කරන්න දෙයක් තිබෙනවාද යනුවෙන් උන්වහන්සේ අසණ ප්‍රශ්ණය, මැතිවරණ කොමිසමේ සභාපති, නොයෙක් රාජ්‍ය නොවන ඩොලර් සංවිධාන හා කාදිනල්තුමාද අසණ ප්‍රශ්ණයේම කොටසකි. හාමුදුරුවරු නිසා නොවේ නම් ගෝඨාභය කෙනෙකු ජනාධිපති නොවන බවත්, රංජන්ගේ හඬපට අනුව රනිල්ලාට බලය ලැබුනොත් සිංහල බෞද්‌ධයාට උගන්වන නරක (කුණු හරුප) පාඩම ගැන රංජන් හිරුණිකාට කිව් කතාවත් ගැන සිතන විටත්, යමෙක් හාමුදුරුවරුන් ගැන මේ දක්වන්නේ කිඹුල් කදුළු හෙලීමක්ද යන සැකයක් මතුවේ. ලංකාව බේර ගත්තේ මේ රටේ මුරදේවතාවරුවූ හාමුදුරුවරු වීම මංගල සමරවීර, චන්ද්‍රිකා, හා අශීලාචාර ලෙස වේදිකාවල කතාකරණ දඹර අමිල හිමි වැනි අයගේ ඊර්ෂ්‍යාවට හේතුවී ඇත.

මේ රටේ දේශපාලකයින් ධ‌ර්‍මධර, විනයධර හාමුදුරුවරුන්ගේ උපදෙස් පිළිගත්තේ නැත. කාදිනල්තුමාගේ ටෙලිපොන් කෝල් එකක බලය වැන්නක් ඔවුන්ට නොවීය. නොයෙක් බෞද්‌ධ ශාසන කොමිෂම් නිර්දේශ විහිළුවක් විය. ගංගොඩවිල සෝම, මාදුළුවාවේ සෝභිත වැනි හිමිවරු සැක සහිත ලෙස අපවත් වීම හා ජාතික හෙළ උරුමය හතුරු බලවේග වලට නතුවීම වටහා ගත හැක්කේ ඉහතින් සඳහන් කල පාලක-පන්සල අතර අරගලයේ එක් එක් අවධීන්, අවස්ථා වශයෙනි. සිංහල පක්‍ෂ දේශපාලකයින් සිංහල බෞද්‌ධයාට සළකන්නේ, සමහර පිරිමින් හිත හොඳ ගෑණුන්ට සළකන අන්දමටම යන්න ප්‍රසිද්‌ධියේ පෙන්‌වා දීමට 2012 මැයි මස බිහිවූ බොදු බල සේනාවට සිදුවූයේ කුමක් නිසාදැයි කිරිබත්ගොඩ හිමියන් සිතුවාද? මේ සම්බන්‌ධයෙන් ඉදිරි ලිපි වලින් කරුණු ඉදිරිපත් කරනු ඇත.

ආරණ්‍යගතව සිටි, අවුරුදු හතලිකින් චන්දය පාවිච්චි නොකල හාමුදුරුවරු පවා ගෝඨාභයට චන්දය දීමට ආවේ ඇයිද යන ප්‍රශ්නය අප විසින් වැඩිදුරටත් සළකා බැලිය යුතු නොවේද? ඇල්ලේ ගුණවංශ හාමුදුරුවන් කියන අන්දමට, දේශපාලකයින්ට කොඩි උස්සාගෙන ගොස් අන්තිමට පන්සලට ඉතුරුවුණේ කොඩි පොලු පමණක් නම්, හාමුදුරුවරු පාර්ලිමේන්තුවට යනවා වෙනුවට කල යුත්තේ කුමක්ද යන්න සිවුරු දඩයමේ යෙදී ඉන්නා ගිහි දේශපාලකයින් විසින් යෝජනා කල යුතුය. දේශපාලන බලය නැතිනම් දැනට පවත්‌වා ගෙන යන බොරු නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ඉදිරියේ මේ රටේ වැදගත් භික්‍ෂූන්ට දේශ-පාලන බලයක් තිබිය යුතුබව ඔප්පු කරන්නේ මුස්ලිම් දේශපාලකයින් හා දෙමළ ඊළම්වාදීන් විසින්‌ය. කළුකොඳයාවේ ප්‍රඥාශෙඛර නාහිමියන්ගේ කතාන්තරය, විශේෂයෙන් සිංහල බෞද්‌ධයින් විසින් ‌කියවිය යුතුවන්නේ ඒ නිසාය.

ගිහි-පැවිදි භේදය

ශ්‍රී ප්‍රඥාශෙඛර මහානායක හිමියන්ගේ ස්වයංලිඛිත චරිතකථා පොත (1970) කියවිය යුතුය කියා මට සිතුනේ එච් එල් සෙනෙවිරත්න මහතා විසින් ලියූ ද වර්ක් ඔෆ් කින්ස් (1999) යන පොත කියවූ පසුවය. එම පොතෙන් ඔහු කියා සිටියේ රජවරුන් විසින් කලයුතු වැඩ වලට හාමුදුරුවරුන් අත ගසා ඇතිබවය. හාමුදුරුවරු ආරණ්‍යගතව භාවනායෝගීව සිටිය යුතු බවත් දේශය පාලනය කිරීමේ කාරියට අතනොගැසිය යුතු බවත් යනුවෙන් ඔහුගේ පොතේ සඳහන් එක්තරා ගැමියෙකුගේ මතය ඔහුගේද මතයවූ බව පෙනේ. ඔහු විශ්ව විද්‍යාලයේදී මාක්ස්වාදීයෙක්ව සිටියේය. ලෝ වැසියාගේ හිතසුව පිණිස ගම් නියම් ගම් සැරිසරණ ලෙස පස්වග මහණුන්ට බුදුහාමුදුරුවන් දුන් උපදේශය පන්සිල් පද කියාදීමට හැර මිනිසුන්ගේ කුසගිනි නිවීම, සාමය හා සතුට ලබාදීම යනාදී කාරණා ඊට ඇතුලත් නොවන්නේය යන්න මේ මතයේ හරයය. එහෙත් 1916 දී සිටම කළුකොඳයාවේ ප්‍රඥාශෙඛර හිමියන් කියා සිටියේ ආගමකින් කළ යුතු කාර්‍ය්‍යය නම් මිනිසුන්ගේ ජීවිත සකස් කිරීම (හැදීම) බවත්, ඒ සඳහා ජීවිත නොමඟ යාමට ඇති හේතු මොනවාදැයි සොයා බලා එම හේතු වළක්වා ගැණීමට උපදෙස් දියයුතු බවත් ය (ප්‍රඥාශෙඛර චරිතය, 230 පිටුව).

පන්සල හා ගම

තමන්ගේ වැරදි මතය අන්තයටම ගෙන ගිය එච් එල්, ලංකාවේ ප්‍රශ්නවලට (සිංහල-දෙමළ?) වගකිව යුතු වල්පොල රාහුල හා යක්කඩුවේ ප්‍රඥාරාම යන හාමුදුරුවරුන් දෙන්නා යයි කියා සිටියේය. ඔහුගේ පොත ලිවීමේදී රාහුල හාමුදුරුවන් (1907-97) ගෙන්ද උදව් ලබාගත් බව සඳහන් කර තිබූනත් ඔහුගේ මේ බරපතල චෝදනාවට පිළිතුරු දීමට උන්වහන්සේට අවස්ථාවක් නොලැබුණේ පොත පිටවන විට උන්වහන්සේ ජීවතුන් අතර නොසිටීමය. පන්සල හා ගම අතර තිබුණ ගසට පොත්‌ත වැනි බැඳීම නමැති සුද්දන්ට මතුවූ උභතෝකෝටික ප්‍රශ්නය නෝත් ආණ්ඩුකාරයා දැනගත්තේ 1805 දීය (312 පිටුව). දැන් 2017 දී මේ ප්‍රශ්නය කළු සුද්දන්ට හා එන් ජී ඕ මුදලාලිලාට ලොකුම හිසරදයක් වී ඇත. ඔවුන් වටකරගෙන බෞද්ධාගමට හා ශාසනයට පහර දෙන්නේ ඒ නිසාය. පන්සලේ පූජා කිරීමට මල් කැඩීමෙන් මීමැස්සන්ට පැනි නැතිවන නිසා සත්‌ව හිංසාවක් වෙන බවත්, කුඩා ළමුන් මහණ කිරීමෙන් ඔවුන්ගේ මානව අයිතිවාසිකම් කඩවන බවත් කියන තරමට එය උන්මත්‌තක ව ඇත.

බෞද්ධයා රැවටීම

2003 දෙසැම්බර් 12 දින, කුමණ්ත්‍රනයක් සේ පෙනෙන ආකාරයට සිදුවූ සෝම හාමුදුරුවන්ගේ නැතිවීමත් සමඟ යටගිය සිංහල බෞද්ධ බලවේගය, 2012 මැයි මස ඇරඹුණ බොදු බල සේනාව විසින්, පන්සලේ බණ මඩුවෙන්, ප්‍රසිද්ධ වේදිකාවට ගෙන යාමත් සමඟ මේ ප්‍රහාරය අමුතුම වේශයක් ගෙන ඇත. දේශපාලකයින් විසින් සිංහල බෞද්ධයාව හිත හොඳ ගැහැනියක් සේ සැළකීමට විරුද්ධව මිලිටන්ට් ව්‍යාපාරයක ඇති අවශ්‍යතාවය, වතුර සොයා ගොස් ලිප් බොක්කේ හිරවූ බෝධි සත්‌ව නාගයා විසින් දර ඉපලක් ගත් මැහැලියට ඉගැන්වූ පාඩමේ කාලෝචිත භාවය, බොදු බල සේනාව රටටම හා ලෝකයටම එලිකර දුන්නේය. හාමුදුරුවරු දේශපාලනයෙන් ඉවත්‌විය යුතුයයි කී අයගේ සටන අන්තිමේදී ඇමෙරිකන් තානාපතිනි මිචෙල් සිසන් අට පිරිකර සමඟ කෝට්ටේ නාග විහාරයට යෑමෙන් කෙළවර විය. කබරගොයා තලගොයා විය. මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ගේ රට වෙනුවෙන් පෙන්වූ හොඳ හිත හා ජීවිතය පරාජිත මනසකින්, සැක මතුකරමින් වෛද්‍ය ගුවන් යානයක් තුල අවසාන විය.

වර්‍ෂ 2001 වනවිට ප්‍රඥාශෙඛර ස්වයංලිඛිත චරිත පොතක් ලංකාවෙන් හොයා ගැනීම හරියට කළුනික සොයනවා වගේ විය. අන්තිමේදී බොහෝ දෙනෙක් හා සම්බන්‌ධකම් තිබූ මගේ බිරිඳගේ සොහොයුරා මේ පොත හොයා ගත්තේ ඔහුට 1970 දී ඒ පොත මුද්‍රණය කල අයව දැන සිටි කෙනෙක්ව හෝටලයකදී අහම්බෙන් මුණ ගැසීම නිසාය. පොත් ලෙස කපා පිළියෙල නොකල එහි මුද්‍රිත කොල මිටි කීපයක් ඔහු ලඟ ඉතිරිවී තිබුණේය. ඉන් එකක් ලබාගෙන ඒවා කපා පොතක් ලෙස බන්ඳවා ඔහු මට එව්වේය. මේ පොත හොයා ගත්තේ කෙසේදැයි මියගිය ආනන්ද ගුරුගේ මහතාද වරක් මගෙන් ඇසුවේය. හිටගෙන නිදා ගන්නා, නිදාගෙන බණ කියන උන්වහන්සේ ගැන මතකයක් අද කාලයේ ලංකාවේ මිනිසුන්ට නැත. හාමුදුරුනමක් වශයෙන් බණ දහම් අංශයෙන් උන්වහන්සේ විසින් කර ඇති සේවය විෂ්මය දනවයි. තනි පුද්ගලයෙක් මේ සියල්ල කලේ කෙසේද යන්න අදහා ගැනීමට පවා අපහසු වුවත්, එතුමාණෝ ඒ සියල්ල දිනපතා දිනපොතක ලියා තබා ඇත.

අනාගාරික ධර්‍මපාලතුමාගේ ආදර්‌ශය

1895 දෙසැම්බර් 30 දා උපන් දොන් ඉඟෝනිස් නමැති දරුවා කළුකොඳයාවේ ප්‍රඥාශෙඛර නමින් පැවිදිවූයේ 1911 පෙබරවාරි 23 වන දාය. සතිපතා සෙනසුරාදා දිනයේ පන්සලට ලැබෙන සිංහල බෞද්ධයා පත්‍රය කියවීම හාමුදුරුවන්ගේ පුරුද්දක් විය. එහි කොටස් වශයෙන් පළවූ අනාගාරික ධර්‌මපාලතුමාගේ දැන ගත යුතු කරුණු නමැති දීර්‍ඝ ලිපිය උන්වහන්සේගේ අදහස් වෙනස් අතකට පෙරළුවේය. <ගිහියා වේවා පැවිද්දා වේවා මේ සිංහල රට ජන්මභූමි කොට ඇත්තෙක් වී නම් සියරට වෙනුවෙන්, ආගම වෙනුවෙන්, ප්‍රජාව වෙනුවෙන් සේවාවක් කළ යුතුයයි මට අවබොධ වූයේ එම දැන ගත යුතු කරුණු කියවීමෙනි. කවර ජාතික ආගමික සේවාවක් හෝ කිරීම ජීවිතලාභයෙහි ඵලයකැයි එම ලියවිලි කියවීමෙන් වැටහී ගිය මා තුළ ඇතිවූයේ අතිශය උද්වේගයකි> (119 පිටුව). මේ වන විට උන්වහන්සේගේ වයස අවුරුදු විස්සකි (1916). ලංකාව අද වැටී ඇති අවාසනාවන්ත අඩිය ගැන සිතන විට මේ හාමුදුරුවන් 1930-50 අතර කාලය තුල ග්‍රාම සංවර්‍ධන ව්‍යාපාරය උදෙසා කල කැප කිරීම රටට ලැබී නැතිවී ගිය දියසේන කුමාරයෙක්ගේ සේවාවක් වැනිය.

බණමඩුව හා පාංශකූලය

ක්‍රිස්තියානි හා මාක්ස්වාදී සම්භවයක් ඇති රාවය පත්‌තරේ වික්ටර් අයිවන් වැනි අය හා නා නා මාදිලියේ දෙස් විදෙස් සුද්දන්, කළු සුද්දන් ඊලම්කාරයින් හා පල්ලි නිකායිකයින්, සිවුර, බණ මඩුවට හා පාංශකූලයට සිරකර තැබීමට දැන් 2017 වනවිට කරගෙන යන අඛණ්ඩ ව්‍යාපාරයට, දැනට අවුරුදු සීයකට පෙර, 1916 දී සිට 1970 ගණන් වනතුරුම න්‍යායාත්මක, ප්‍රායෝගික හා යථාර්‍ථවාදී බෞද්ධ පිළිතුරක් උන්වහන්සේ විසින් දී ඇති ආකාරය අති විශිෂ්ටය. රාහුල හාමුදුරුවන්ගේ භික්‍ෂුවකගේ උරුමය නම් පොතත්, 1956 නිහඬ විප්ලවයට බලපෑ යක්කඩුවේ හාමුදුරුවන්ගේ විද්‍යාලංකාර ප්‍රකාශනයත් පළවූයේ 1946 දීය. 1931-32 වන විට ආරම්භකර ග්‍රාමප්‍රතිසංස්කරණය හා අපරාධමර්දනය නමින් කාරණා 99 කින් යුත් පොත් පිංචක් ලෙස 1942 දී කළුකොඳයාවේ හාමුදුරුවන් විසින් ඒ ව්‍යාපාරය ගැන කල විස්තරය කළු සුද්දන්ගේ හා එන් ජී ඕ පොත්පත් ලේඛනාදියේ සඳහන් නොවේ. එය කූඨ ලෙස යටගසා, වලලා දමා ඇත. අද 2017 දී කොසොල් රජතුමාගේ සීන සැබෑවී ඇති අවධියක හා රටේ ජනාධිපතිවරයා විසින් බෞද්ධ රාජ්‍ය සංකල්පය ලෝකයටම පතුරවාලීමට ක්‍රියාකරමින් සිටිනා අවස්ථාවක (2017 ලෝක වෙසක් දිනය ලංකාවේ පැවැත්‌වීමද සමඟ) 1931 දී ඇරඹූ ඒ අනගි ව්‍යාපාරය කළු සුද්දන් විසින් කඩාකප්පල් කර දැමූ බව දන්නේ කී දෙනාද?

බෞද්ධ දේශපාලනය

ලංකාවට හූනියමක් වී ඇති පක්‍ෂ දේශපාලන බොරු වල, ලංකාවට නොගැලපෙන සුද්දන් ඇටවූ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය නමැති නාස් ලණුව, 13 වන සංශොධනය නම් මර උඟුල, දෙමළ ඊලම්වාදය හා මුස්ලිම් ශාරියාවාදය, ගම් මට්ටමින් මහජනතාවට බලය මාරුවන ජන සභා ක්‍රමය, මහජාතිය හා අනිත් ජන වාර්ගික කොටස් සමඟ සංහිඳියාව හා තිරසර සංවර්‌ධන මාවත යන මේ අද ලංකාව මුහුණදී සිටින උභතෝකෝටික නොහොත් අන්තෝ ජටා-බහි ජටා ප්‍රශ්න වලට 1931 දී සිට කළුකොඳයාවේ හාමුදුරුවන් ගත් විසඳුම මිස වෙන විසඳුමක් තිබේද යන්න මේ පොත කියවන්නට ලැබුණා නම් අතුරැලියේ රතන හා ගලබොඩ අත්තේ ඥානසාර හිමිවරුන්ටත් රටේ ජනාධිපතිවරයාටත් ප්‍රත්‍යක්‍ෂ වනවා නිසැකය. දැන් බදාගෙන දඟලන සිංගප්පූරු-ඉන්දියන්-චීන, හෝ දකුණු අප්‍රිකා මොඩල් වෙනුවට මෙම කළුකොඳයාවේ මොඩලය (ක්‍රමවේදය) අපේ උරුමය නොවේද? ගස් කොලන් කපා දමමින් රටට කරනා මෙගාඩීල් විනාශය වෙනුවට පරිසරය රැකගන්නා ගම-වැව-දාගැබ නම් සිංහලේ ත්‍රිත්‌වය මේ මොඩලය මය.

කළුකොඳයාවේ මොඩලය

තවමත් පිරිවෙන් ශිෂ්‍යයෙකු වශයෙන් සිටියදීම දෙමටගොඩ කොලොන්නාව පාරේ කුලී ගෙයක පවත්වා ගෙන ගිය ධර්‌මදාන සමිතියක උප‌අනුශාසකවරයා වශයෙන් 1917 ජනවාරි 21 පත්‌වූ හාමුදුරුවෝ දෙවසරකට පසු එහි ප්‍රධාන අනුශාසකවරයා විය. මෙම සමිතිය විසින් ද්‌විභාෂා (සිංහල හා ඉංග්‍රීසි) රාත්‍රී පුණ්‍ය පාසැලක් ආරම්භ කරන ලදී. ගිහියන් හා පැවිද්දන් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමේ ඇති වැදගත්කම (ප්‍රයෝජනය) උන්වහන්සේ නිතරම සඳහන් කර ඇත. 1931-32 කාලයේ ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු එම් ටී අක්බාර් මහතාගේ මාර්‍ගදේශකත්‌වයෙන් පැවති දීප ව්‍යාප්ත අපරාධමර්‌දන ව්‍යාපාරයට හාමුදුරුවන්ගේ එක්‌වීම සිදුවන්නේ 1933 ජනවාරි මාසයේ කොළඹ ආනන්ද විදුහලේ පැවැත්‌වූ මහ සභාවකට අනුශාසනයක් දීමට ලැබුණු අරාධනාවට පසුවය.

පක්‍ෂ දේශපාලනය නම් වසංගතය බෝවීමට කලින් අපරාධම‌ර්‌දනව්‍යාපාරයේ මුල් තැනක් ගෙන ක්‍රියාකල උන්වහන්සේ 1931 න් පසු පක්‍ෂ දේශපාලනය රටට කරන විනාශය මෙහිදී පෙන්වා දුන්නේය. ගම් වැසියාගේ ජීවනත‌ත්වය උසස් කිරීමේ අවශ්‍යතාවයද පෙන්වා දෙමින් කල අනුශාසනය පොතක් ලෙස මුද්‍රණය කිරීමට එය අසා සිටි අක්බාර් විනිසුරු අරාධනාවක් කලේය. එය පියසේන නිශ්ශංක කතුවරයා විසින් පසුදා සිටම ග්‍රාමප්‍රතිසංස්කරණය හා අපරාධමර්‌දනය යන සිරස් තලයෙන් සිළුමිණ පත්‍රයේ කොටස් වශයෙන් පළකරණ ලදී (242 පිටුව).

මෙම පොතේ අදහස් අත්‌හදා බැලීම පිණිස තෝරාගත්තේ (අපරාධමර්‌දන-ග්‍රාමාරක්‍ෂක මහාසංගමය, 1933 අප්‍රියෙල් 30 දා පිහිටුවන ලදී) හේවාගම්කෝරළය ය. 1934 දී කෝරළය පුරා පැතුරුණු මැලේරියා වසංගතය නිසා හැම ගමකම ශාඛා පිහිටුවීමට නොහැකි වුවත්, මුදලිවරු, පොලිසිය, දිසා විනිසුරු හා මන්ත්‍රී ෆොරැස්ටර් ඔබේසේකරද එයට සහාය ලබාදුන්නේය. මේ අතර 1912 දී රටේ මුලින් ආරම්භවුණ අමද්‍ය ව්‍යාපාරයට නව පණ දීමක් 1933 දී සිදුවිය.

මාවනැල්ල පොලිස් සථානාධිපති ඩී අබේවර්‍ණ මහතාගේ මැදිහත් වීමෙන් 1940 සැප්තැම්බර් 27 දා රාත්‍රියේ එලිවනතුරු එවකට කෑගල්ලේ උප පොලිස් සුපිරින්ටැන්ඩන්ට් ව සිටි ඔස්මන් ද සිල්වා සමඟ පැවැත්වූ ග්‍රාම සංවර්‍ධන ව්‍යාපාරයට අදාල සාකච්චාව ඓතිහාසික සිදුවීමක්, කැස්බාවෙන් දෙන්නෙක් දියට දැමීමක් යයි හාමුදුරුවෝ සටහන් කර ඇත (366 පිටුව). කෑගලු දිස්ත්‍රික්කයේ ග්‍රාම සංවර්‍ධන ව්‍යාපාරය ඇරඹුණේ එලෙසය. දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන හය පුරාම සමිති බිහිවීම ඇරඹුණේ 1940 නොවැම්බර් 25 ප්‍රසිද්ධ රැස්වීමකට පසුවය. 1941 අප්‍රියෙල් වනවිට දිත්‍රික්කයේ තැන් 73 ක ග්‍රාම සංවර්‍ධන-ජාතිකෝත්සව සංවිධානය කරන ලදී. මේ නිසා සිංහල අවුරුදු කාලයේදී දිස්ත්‍රික්කයේ කිසිම අපරාධයක් සිදු නොවීය. ගම් බිම් කෙත් ‌වතු සරු සාර වෙමින් දිලෙන්නට විය. උන්වහන්සේගේම වචනයෙන් කියතොත් < මෙයට පෙර අවුරුදු දහයක් පමණ කල් ප්‍රත්‍යක්‍ෂාවබොධයක් නැතිව සිහිනයෙන් දකින්නාක් මෙන් රටට අවශ්‍ය සංවර්‍ධන ව්‍යාපාරය නම් මේ යයි සිතා ඒ පිළිඹඳව මම අනුශාසනය කෙරෙමින් සිටියෙමි. ක්‍රියාත්මක ව්‍යාපාරයකට සම්බද්‌ධ වන්නට හැකි වූයේ කෑගලු දිස්ත්‍රික්කයේදීය. මා දකිමින් සිටි සිහිනය ස්වල්පකාලයක් තුළ දීම සත්‍යයක් වූ බව ප්‍රත්‍යක්‍ෂයෙන් දත හැකි වූයේය> (371 පිටුව).

මේ නිසා රටේ ඉතිරි දිස්ත්‍රික් 20 තුළද මේ ක්‍රමය ක්‍රියාත්මක කිරීමටත් ඊට පෙර කෑගලු දිස්ත්‍රික්කයේ ව්‍යාපාරය ආදර්‍ශ ප්‍රදේශයක් වශයෙන් ස්ථාවරත්වයට පත්කර ගැනීමටත් රජයේ සහයෝගය ලබාගතයුතු බව වටහාගත් හාමුදුරුවෝ ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධාන ඇමතිවරයාවූ සර් දොන් බාරොන් ජයතිලක මහතා හමුවිය. දිස්ත්‍රික්කයේ සංචාරයක් කල එතුමා එහි අගය අවබොධකරගත් බව දැන්වූ විට එසේනම් ව්‍යාපාරය ස්ථාවර කරගන්නා තෙක් ඔස්මන්ඩ් සිල්වා මහතාට අවුරුද්දක් දෙකක් මේ දිස්ත්‍රික්කයේම ඉන්නට ඉඩ සලසා දෙන මෙන් ඔහුගෙන් ඉල්ලා සිටියේය. මෙයට හේතුව වූයේ රටට හෝ රටවැසියාට හිතකර ලෙස රාජකාරිය කරණ නිලධාරීන්ට ප්‍රමාණවත් කාලයක් එම ස්ථානයේම රැඳී සිටින්නට ඉඩ නොදීම එදා පාලනතන්ත්‍රයේ උසස් ධර්‍මතාවක් මෙන් ක්‍රියාත්මක වන බව පෙනෙන්නට තිබුණ හෙයිනි. රට හදන්නට උත්සාහ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔස්මන්ඩ් සිල්වා මහතාව වෙන පෙදෙසකට මාරුකර යවන්නට යත්න දරණ පිරිසක් ඒ වන විටත් මතුවී සිටින බව උන්වහන්සේට ආරංචිවී තිබුණේය. < එහෙයි, ඔබ වහන්සේගේ ඉල්ලීම ඉටු කරන්නට හැකිතාක් උත්සාහ කරණවා යයි ඔහු කී නිසා එයින් මම තෘප්තියට පත්වීමි> (372 පිටුව).

එසේ වුවත් සිදුවූයේ කුමක්ද? රජයේ සිවිල් නිලධාරියෙකු මේ ව්‍යාපාරය ගැන පරීක්‍ෂාකිරීමට පත්කල බව ප්‍රසිද්ධ විය. කෑගලු දිත්‍රික්කයේ ගමක් පාසා ගොවිතැන්බත් සරුවී ඇත. ගම් රැසක පාලුවට තිබූ ඉඩම් කැබලි වැවිලිවලින් පිරී ඇත. අපරාධ සියේට පනහකින් අඩුවී ඇත. බොහෝ නිලධාරීන් ඔස්මන්ඩ් සිල්වාගේ මේ ව්‍යාපාරයට සහයෝගය දුන්නේ එය අතිශයින්ම සාර්‍ථකවූ නිසාය. නමුත් දේශ ද්‍රොහී ප්‍රබල නිලධාරීන්ට එය ඇහේ කටු ගසන්නාක් මෙන් විය. හාමුදුරුවන්ගේ සහාය නිසා ආගම් භේදය පිළිඹඳ කුමන්ත්‍රණයක්ද ඇතිවුයේ යයි කියති. < අපගේ ව්‍යාපාරය කවර ආගමික ප්‍රචාරයක් සඳහා වත් ආයුධ කර නොගන්නා ලදී. කෑගලු දිස්ත්‍රික්කයේ ඉතා ස්වල්ප දෙනෙකුන් හැර හැම දෙනාම වාගේ බෞද්ධයෝය. ප්‍රදේශයේ සෞඛ්‍ය තත්වයේ සැළකිය යුතු දියුණුවක් ඇතිවිය. සොරකම, වංචාව, දුරාචාරය, සූදුව හා සුරාපානය බෙහෙවින් ම අඩුවිය> (374 පිටුව).

මේ හැර ඔස්මන්ඩ් සිල්වා මහතාගේ පුද්ගලික ජීවිතය පිළිඹඳ කරුණු පවා හුවා දැක්‌වින (පසු කළෙක ඔහු විවාහ වන්නේ පොලිස්පති සර් රිචඩ් අළුවිහාරේ ගේ දියණිය සමඟය). අන්තිමේදී ව්‍යාපාරය කඩා කප්පල් කර දැමූ නිලධාරී වාර්තාවත් සමඟ ඔහුව බම්බලපිටියේ පොලිස් අභ්‍යාසවිද්‍යාලයේ අධිපති ලෙස උසස්කර මාරු කර යවන ලදී. එතැනට ගම් වැසියන් යන්නේ නැත. තමන් දුන් ප්‍රතිඥාව වෙනස් කළේ ඇයිදැයි විමසූ විට ජයතිලක මහතා දුන් ක්‍ෂණික පිළිතුර වූයේ පාලන ව්‍යවස්ථාව අනුව මාරුව කළයුතුම බවය. එහෙත් ප්‍රතිඥාව දෙන විට තිබුණේද ඒ ව්‍යවස්ථාවමය (376 පිටුව). කෙසේවෙතත් කෑගල්ලේ ග්‍රාම සංවර්‍ධන ව්‍යාපාරය කුරුණෑගල හා මහනුවර දිස්ත්‍රික් වලටද ව්‍යාප්තවිය. <එහෙත් රජයේ ප්‍රබල නිලධරයෙකුගේ අවංක හෘදයංගම සහයෝගය නැතිව අපගේ අනුශාසනයෙන් හා මාර්ගෝපදේශකත්වයෙන් පමණක් මෙබඳු පෘථුල ක්‍රියාමාර්‍ගයක් සමෘද්‌ධ කල නොහැකි බව හොඳින් ප්‍රත්‍යක්‍ෂ විය.. කෑගලු දිස්ත්‍රික්කයේ සියළුම ග්‍රාම සංවර්‍ධන සමිති ඒකාබද්‌ධකොට පිහිටුවා ගන්නා ලද ග්‍රාම සංවර්‍ධන සමිති සම්මේලනයේ අනුශාසක ධූරයට ද 1941 දෙසැම්බර් 27 දා මම පත්කර ගන්නා ලද්දේ වෙමි> (386 පිටුව).

ඔස්මන්ඩ් සිල්වා මහතා බම්බලපිටියෙන් උතුරු පළාතට ගොස් ඉන්පසු වයඹ පළාතේ සුපුරින්ටැන්ඩන්ට් ලෙස මාරුවිය. කෑගලු දිස්ත්‍රික්කයේ ග්‍රාම සංවර්‍ධන ව්‍යාපාරයෙන් වඩා ලාත් ප්‍රත්‍යක්‍ෂ ප්‍රතිඵල ලැබූවෝ හීන යයි සම්මත කුලවලට අයත් අයය. ඔවුන් හා සම්බන්‌ධතා ඇති කුරුණෑගල ජනයා ඔස්මන්ඩ් සිල්වාට මේ ව්‍යාපාරය ආරම්භ කරණ මෙන් ආරාධනය කළත් කෑගල්ලේදී උගත් පාඩම් නිසා ඔහු ඒ ගැන යුහුසුලු නොවීය. ඔහු හමුවූ හමුවීමට ගිය හාමුදුරුවෝ කෑගල්ලේදී මෙන් නොව මුලින්ම පොලිසිය හා දිසාපති අතර සම්බන්ධකමක් ඇති කරගතයුතු බව සාකච්චා කළේය. එවකට කුරුණෑගල දිශාපතිවූ බී එෆ් පෙරේරාගේ සහයෝගය ලබාගත්තේ මේ නිසාය. ප්‍රථම රැස්වීම පැවැත්වූයේ 1948 ඔක්තෝබර් 14 දා වාරියපොළ පාදෙණිය විහාරස්ථානයේ දීය. <මෙසේ වන්නි හත්පත්තුවේ කෘෂිකර්‍ම ව්‍යාපාරය කෙතරම් සමෘද්‌ධ වී ද යත්: අනුරාධපුර යුගයෙන් මෙපිට වන්නියේ මෙතරම් දියුණුවක් ඇති නොවූ හෙයින් එයට මූලිකව මං පෑදූ ඔස්මන්ඩ් සිල්වා මහතාට වන්නි දෙවියෝ යයි ඔහු තුමූ නම් කළ හ> (405 පිටුව).

බෞද්ධ, හින්දු, මුස්ලිම්, ක්‍රිස්තියානි ජනයා සිටින හලාවත දිස්ත්‍රික්කයේ කොස්වත්ත පොලිස් කොට්‌ඨාශයට අයත් මොරකැළේ ගම කෙතරම් දුශ්චරිත වලින් යුක්තවූවාද යත් කොස්වත්තේ පොලිසියක් තබන්නට වූයේ ඒ නිසායයි කියැවින. ගමේ පවුල් 175 න් 135 ක්ම හැළි අරක්කු පෙරන, මිනී මර ගන්නා අය විය. එහෙත් ග්‍රාම සංවර්‍ධන ව්‍යාපාරය නිසා ගම වෙනස් විය. කොස්වත්තට දැන් පොලිසියක් අවශ්‍ය නැත, එය වසා දැමිය යුතුය කියන තැනට පත්‌ව්‌ය (407 පිටුව).

මේ වකවානුවේදී 1935 සිට මාක්ස්වාදීන් කලේ සූරියමල් විකිණීම (පොපිමල් වලට එරෙහිව) හා මැලේරියා වසංගතයේදී ආධාර බෙදීමය. එය ඒ කාලයේ ලංකාවේ හැමෝම කල දෙයකි. මෑත කාලයේ සුනාමිය වගේය. මැයි දිනයේදී බිල්ඩින් වලට ගල් ගසන බංගවේවා දේශපාලනය ආවේ 1948 ට පසුවය. බ්‍රේස්ගේඩල් හංඟා ගැනීම හෝ ජේලර්ගේ අනුදනුම ඇතිව හිරෙන් පලායාම හෝ ඉන්දියන් වතුකම්කරුවන් ගැන මිස ලංකාවේ ගැමියන්ගේ දුක් ගැනවිලි ඔවුන්ට අදාල නොවීය. ඔවුන්ගේ කම්කරු ව්‍යාපාරය ව්‍යාජ රතු කළු සුද්දන්ගේ වැඩක් කියා මට සිතෙන්නේ මේ නිසාය. 1971 හා 1988-9 ට පසුව අද වනවිට ජේ වී පී එක කරන්නේත් මෙවැනිම අතරමංවූ දේශපාලනයක් යයි මට සිතේ. මොලය පෑදී කළුකොඳයාවේ හාමුදුරුවන් සමඟ එකතුවූවා නම් ලංකාවට කුමක් වන්නට ඉඩ තිබුණාද? මුදල් ඇමති ලෙස ඇන් ඇම් දළදා මාලිගාවට නෙළුම් මල් බන්දේසියක් අරගෙන ගියේ 1964 දීය.

පක්‍ෂ දේශපාලනයෙන් තොරව, නිලධාරීන් විසින් ඉතා සාර්‍ථක ලෙස ගම්වල ගෙනගිය ව්‍යාපාරයක් ලෙස 2004 දී ආරම්භවුන ගැමි දිරිය වැඩ සටහන හඳුන්වා දිය හැකිය. ගමේ මිනිසුන් එකතුව සාකච්චාකර ගමේ කරන වැඩ සටහන් ගැන තීරණය කරනු ලැබුවේය. මෙය ලංකාවේ උතුරු හා නැඟෙනහිර පළාත් වලටද හඳුන්වා දෙනවා වෙනුවට දේශපාලකයින් එය කඩා කප්පල්කර දමන ලදී. මා මේ බව දන්නේ මෙම ව්‍යාපෘතිය නිර්‍මානය කල නිලධාරියාත් එහි අධ්‍යක්‍ෂක ලෙස අවංක සේවයක් කල නිලධාරියාත් යන දෙන්නාවම මා පුද්ගලිකවම දන්නා නිසාය. 2017 දී ග්‍රාම ශක්ති කියාද වැඩසටහනක් ක්‍රියාත්මක කරණ බව වාර්‌තා විය. ගම කරට ගත්තා සේ හැසිරෙමින් 1970 සිට විවිධ දේශපාලකයින් විසින් කරන ලද ආණ්ඩුවේ ගම් සංවර්‌ධන වැඩ සමෘධි-දිවි නැඟුම යන නම් වලින් තිබෙතත් එය කළුකොඳයාවේ මොඩලය මෙන් සම්මුතිවාදී දේශපාලනයක් නොවේ. ඒවා පක්‍ෂ දේශපාලන බරකරත්‌ත ය. ස්වාභාවික මායිම් සහිත ජන සභා ක්‍රමයක් ඇතිකර (දැනට ඇති 14,020ක් වන ග්‍රාම සේවා නිලධාරී වසම් වෙනුවට) රට ගලවා ගත හැකි ආකාරය තේරුම් ගැනීමට 1933 දී කළුකොඳයාවේ හාමුදුරුවන් පෙන්වා දුන් කාරණා 99 න් අද වනවිට යල් පැන ඇතැයි කිව හැක්කේ ඉතා සුළු ප්‍රමාණයක් පමණය.

2017 දී මෙම ලිපිය ලියුවාට පසු දැන් 2020 දී පක්‍ෂ දේශපාලනය නොකල නිලධාරියෙක් රටේ නායකයාවී සිටී. මෙය බෞද්‌ධ රටක් හමුදා පාලනයකට නොගොස් දූෂිත නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට දුන් පිළිතුරක් වැනිය. ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශණයේ, ගම සමඟ පිළිසඳරක් යන කොටසේ සඳහන් කරන්නේ ජන මූල සභා ගම් මට්ටමින් ස්ථාපිත කිරීම පිළිඹදවය. මේ සභා පක්‍ෂ දේශපාලනයෙන් තොරව ගැමි දිරියේදී මෙන් ව්‍යුහගත කරතොත් එය කළුකොඳයාවේ හිමියන් රට වෙනුවෙන් බලාපොරොත්තු වූ දේම නොවේද?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress