ක්‍රිකට් දූෂණ ගැන අර්ජුන රණතුංග කළ විශේෂ හෙළිදරව්ව
Posted on February 6th, 2020

මාධ්‍ය නිවේදන –Media secretary to Arjuna Ranatunga (MP)

ක්‍රිකට් ගැන කළ වෝහාරික විගණනය විශේෂ වාර්තාවක් වුණේ කොහොමද ?තරග පාවාදීම් ගැන තොරතුරු ඇතළත් හඩපට රන්ජන් ළඟත්
ක්‍රිකට් ආයතනයේ දවස් හයක සි. සි. ටි. වී දර්ශන මකා දැමුවේ ඇයි…?
ක්‍රිකට් ආයතනයෙන් මාධ්‍යවේදීන්ට තර්ජන
ක්‍රිකට් ආයතනයට කඩා පනින්නැයි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක්…

පසුගිය ආණ්ඩු කාලයේදී විගණකාධිපති දෙපාර්තමේන්තුව ක්‍රිකට් ආයතනය ගැන කළ වෝහාරික විගණනය පසුගිය ආණ්ඩුවේදීම සිතා ගත නොහැකි ලෙසට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන්නේ විශේෂ වාර්තාවක් ලෙසින් බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා අනාවරණය කරයි. එලෙස ක්‍රිකට් ආයතනය ගැන කළ වෝහාරික වාර්තාව විශේෂ වාර්තාවක් ලෙසට වෙනස් වීම පිටුපස හොරුන් දූෂිතයින් ආරක්ෂා කිරීමේ කුමන්ත්‍රණයක් පවතින්නට ඇතැයිද ඔහු අවධාරණය කළේය. ඒ අද (06) විශේෂ මාධ්‍ය සාකච්ඡවක් කැඳවමිනි.

”අපි දන්නවා අපේ ආණ්ඩු කාලයේදී ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉල්ලීම මත විගණකාධිපති දෙපාර්තමේන්තුව ක්‍රිකට් ආයතනය ගැන වෝහාරික විගණනයක් සිදු කළා. ඒබව මං ළඟ තියෙන මේ ලිපියෙනුත් සනාථ වෙනවා. මේ ලිපිය එවකට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලෙක්ම්ට යවන්නේ විගණකාධිපති වෙනුවෙට නියෝජ්‍ය විගණකාධිපතිතුමා විසින්. මෙහි පැහැදිලිවම සඳහන් වෙනවා වෝහාරික විගණනය කියලා. නමුත් මේ විගණනය පාර්ලිමේන්තුවට යන්නේ විශේෂ වාර්තාවක් ලෙසට. එහෙම වුණේ කොහොමද ? ඒ වගේම මේ වාර්තාවේ ක්‍රිකට් ආයතනයේ හුඟාක් දේවල් යට ගහලා තියෙනවා. නමුත් මේ වාර්තාවෙන් ක්‍රිකට් ආයතනයේ දූෂණ ගැන හෙළි වන තැන් කිහිපයකුත් තියෙනවා. කැම්පස් එකක් හදන්න කියලා කළ චෙක් ගනුදෙනු ගැන මේ වාර්තාවේ තියෙනවා. හතුරුසිංහ මහත්තයා ක්‍රිකට් ආයතනයට බඳවා ගෙන තියෙන්නේ ක්‍රිකට් පරිපාලනයට ඕන විදියට බවත් මේ වාර්තාවෙන් හෙළි වෙනවා. හරි ක්‍රමවේදයක් බඳවා ගැනීමට අනුගමනය කරලා නැහැ…”යිද අර්ජුන රණතුංග මහතා මෙහිදී පැවසීය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ක්‍රිකට් ආයතනයේ දින හයක සි. සි. ටී. වි දර්ශන අභිරහස් ලෙසට මැකී ඇති බවයි. ඒ

”ක්‍රිකට් ආයතනයේ සි. සි. ටී. වී. 32ක් තියෙනවා. පුදුම කියන්නේ දවස් හයක දර්ශන මේ සි. සි. ටී. වි. වලින් මැකිලා. මේ ගැන ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් පවා කර තියෙනවා. නමුත් දැන් සභාපතිතුමා කියනවා බටන් එකක් ටච් වීමෙන් දර්ශන මැකිලා, ඒ නිසා ඒ ගැන පරීක්ෂණයක් කරන්න එපා කියලා. ඒක පුදුම හේතු දැක්වීමක්. මේ දවස් හයේ දර්ශන මැකුණේ ඇයි ? ක්‍රිකට් ආයතනයෙන් ෆයිල් උස්සන් යනවා මේ දර්ශනවල තිබුණද ? මොකද මේ දර්ශන මැකිලා තියෙනවා කියන්නේ ජනාධිපතිවරණය පැවැති කාලේදී….”

යනුවෙන් පවසමිනි. ක්‍රිකට් තරග පාවාදීම් ගැන තොරතුරු ඇතුළත් හඬපට කිහිපයක් රන්ජන් රාමනායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ළඟ ඇති බවත් එම හඬපට ප්‍රසිද්ධ කරන ලෙසට තමන් ඔහුගෙන් ඉල්ලා සිටි බවත් අර්ජුන රණතුංග මහතා මෙහිදී කියා සිටියේය. වැඩිදුරටත් ඔහු අවධාරණය කළේ ක්‍රිකට් ආයතනයට කඩා පනින ලෙසට තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බවයි. ක්‍රිකට් ක්‍රීඩාව විනාශයෙන් විනාශයට පත් වූයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කාලයේදී බවද ඔහු අවධාරණය කළේය. ඒ,

”අපේ කාලයේදී සූදුකාරයෝ රාජ්‍ය නායකයෝ ඇල්ලුවා. රාජ්‍ය නායකයෝ හොරු අල්ලන්න කලින් හොරු සූදුකාරයෝ ගිහිල්ලා රාජ්‍ය නායකයෝ ඇල්ලුවා. ඒ නිසා අපේ ආණ්ඩු කාලයේදී ක්‍රිකට් ක්‍රීඩාව හොරුන්ගෙන්, සූදුකාරයින්ගෙන්, දූෂිතයින්ගෙන් බේරා ගන්න බැරිවුණා. විශේෂයෙන්ම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව ජනාධිපතිධුරයට ගේන්න මූලික වුණු කෙනෙක් මම. නමුත් කොච්චර සාකච්ඡා කළත් කොච්චර කරුණු පෙන්නුවත් මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ කාලයේදී ක්‍රිකට් ක්‍රීඩාව හරි මඟට ගේන්න බැරි වුණා. ක්‍රිකට් ක්‍රීඩාව විනාශම වුණු කාලය වුණේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ කාලයේ. මොකද ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරන පුද්ගලයෝ එතුමා තමන්ගේ ළඟට ගත්තා. ඒ පවෙන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ගැලවෙන්න ලැබෙන්නේ නැහැ. මම අදත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ගරු කරනවා. අපි සෑහෙන්න වැඩ කොටසක් කළා. නමුත් ක්‍රීඩාව පැත්තෙන් බැලපුවාම ක්‍රීඩාවට ගොඩාක් ප්‍රශ්න ආවා. චූදිතන්ව ආරක්ෂා කළා. ක්‍රිකට් ආයතනය විනාශ කළ සූදු කාරයෝ, බුකිකාරයෝ සිටියේ හිටපු ජනාධිපතිතුමාගේ රැකවරණය යටතේ. මම දන්න විදියට අද ක්‍රිකට් බෝර්ඩ් එකට නඩු හතලිකයට වඩා තියෙනවා. අපේ අවුරුදු 19න් පහළ කණ්ඩායම ලෝක කුසලානයේදී දහවැනි ස්ථානයට දක්වා පහු බැස්සා. එදා අපිට වඩා පහළින් සිටි බංග්ලාදේශ සහ ඇෆ්ගනීස්ථාන කණ්ඩායම් ඉදිරියට ඇවිල්ලා. 

ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිතුමා අද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරයකු ලෙසත් ඉන්නවා. ඉතිං රට හදනවා ශුද්ධ කරනවා, ඔක්කොම කරනවා කියලා ආපු අයටත් ඒ වගේ අය එක්කහු වෙනවා නම් එතැනින් එහාට අපිට ලොකු ප්‍රශ්නයක් තියනෙවා. එතුමාත් බස් ඩ්‍රයිවර් මාරු කළාද වගේද කියන ප්‍රශ්නයත් එතැන අපට තියෙනවා. හැබැයි එතුමා ගැන අපට ලොකු විශ්වාසයක් තියෙනවා, එතුමා හොඳ දෙයක් කරන්න හදනවා කියලා. එතුමා ජාතිය අමතා කළ කථාවේ කොටසක් මම දැන් කියන්න කැමැතියි. එතුමා කියනවා මගේ රජය විරුද්ධ මත ඉවසන්නට සෑම විටම සූදානම්. මාධ්‍යවලට අද සම්පූර්ණ නිදහස තියෙනවා. ඕනෑම අයකුට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අපි ලබා දී තියෙනවා කියලා. මේ ජනාධිපතිතුමාගේ හොඳ තීරණයක්. නමුත් පැතුම් විජේරත්න කියන මාධ්‍යවේදීයාට තහනමක් දාලා ක්‍රිකට් ආයතනයෙන්. මොකද්ද ඒකට හේතුව. එතුමා ක්‍රිකට් ආයතනයේ හොරකම් ලිවීම. එතොකොට ජනාධිපතිතුමා කියනවා මාධ්‍යයට සියලුම පහසුකම් ලබා දෙනවා කියලා. නමුත් ක්‍රිකට් ආයතනය ජනාධිපතිතුමාට වඩා උඩින් ගිහින්. අපි දැක්කා පහුගිය කාලේ ජනාධිපතිතුමා පැන්නා එක එක ආයතනවලට. ආර්. එම්. වී. එකට පැන්නා. තව ආයතන කිහිපයකට පැන්නා. නමුත් ජනාධිපතිතුමා මේ කතාව කළේ ක්‍රිකට් බෝර්ඩ් එක පැත්ත බලාගෙන. එතැන තමයි විශාලම හොරු ගොඩ ඉන්නේ. මම කියන්නේ ඉස්සෙල්ලාම පනින්න ඕන ක්‍රිකට් බෝර්ඩ් එකට. යනකොට ජනාධිපතිතුමා කිව්වොත් අපිත් එන්නම්, අපි හොරු ටිකත් පෙන්නන්නම්…” යනුවෙන් පවසමිනි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress