කොරෝනා – ඇමරිකානු ජීව අවියක් බව රුසියානු විද්‍යාඥයන් කියයි
Posted on February 7th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

කොරෝනා වෛරසයේ උපත සත්ත්වයන්ගෙන් සිදුවූ බවට බොහෝ පාර්ශව මත පළ කලද කොරෝනා වෛරසය ඇමරිකාව විසින් නිර්මාණය කළ ජීව අවියක් බවට රුසියානු විද්‍යාඥයන් පිරිසක් පෙන්වා දී තිබෙනවා.

චීනයේ ආර්ථිකය අඩපණ කිරීමේ ප්‍රබල අරමුණින් මාරාන්තික කොරෝනා වෛරසය ඇමරිකාව ගොඩනගා ඇති බවයි අදාළ විද්‍යාඥයන් ප්‍රකාශ කර ඇත්තේ.

රුසියානු විද්‍යාඥයන් විශ්වාස කරන්නේ මෙම වෛරසය හමුවේ චීනය අඩපණ වීමෙන් පසුව වෛරසය මර්දනයට නව එන්නතක් සොයා ගැනීමෙන්, ඇමරිකාව මුදල් උපයා ගැනීමේ අරමුණක පසුවූ බවයි.

එවැනි අනාවරණයක් සිදුකර ඇත්තේ පසුගිය මාසයේ ඇමරිකානු වානිජ ලේකම්වරයා ද, උද්ගතව ඇති වාතාවරණය හමුවේ චීනයෙන් ගිලිහෙන රැකියා අවස්ථා යළි ඇමරිකාවට ලබා ගැනීමට හැකිවනු ඇති බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර ඇති පසුබිමක් තුල වීම විශේෂත්වයක්.

මේ අතර, කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් රටවල් පනවා ඇති සංචාරක තහනම් හමුවේ ගුවන් ගමන් ඉල්ලුම අඩුවීම නිසා රැකියා කප්පාදු කිරීමට සහ වැටුප් රහිත නිවාඩු ලබා ගන්නා ලෙස හොංකොං ගුවන් සේවය තම සේවකයන්ට දැනුම්දී තිබෙනවා.

එසේම, කාර්ය මණ්ඩලයේ 400 දෙනෙකුට රැකියාවලින් ඉවත් වන ලෙස දැනුම්දී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

හොංකොං ගුවන් සේවය එවන් තීරණයකට එළඹ ඇත්තේ හොංකොං හි කැතේ පැසිෆික් ගුවන් සේවය 27,000 ක සේවක පිරිසක් සේවයෙන් ඉවත් කිරිමට ගත් තීරණයෙන් දින කිහිපයකට පසුවයි.

කොරෝනා වෛරසය මේ වනවිට රටවල් 28 ක් පුරා ව්‍යාප්ත වී ඇති අතර, පුද්ගලයන් 638 ක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉන් 636 ක්ම චීනයෙන් වාර්තා වන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ලොව පුරා කොරෝනා වෛරසය ආසාදිත මුළු සංඛ්‍යාව 31,500 ක්.

සුරතල් සතුන්ට ද මුඛ ආවරණ පළදවමින් ඔවුන් ද කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කර ගැනීමට චීනයේ වූහාන් හි නගර වැසියන් පියවර ගෙන තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

මේ අතර, නව කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැක කෙරෙන පුද්ගලයින් 14 දෙනෙකු තවදුරටත් දිවයිනේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබනවා.

එමෙන්ම, චීනයේ – වූහාන් නගරයේ සිට පැමිණි සිසුන් 33 දෙනාද, මේ වනවිට දියතලාව හමුදා කඳවුරේ තවදුරටත් නිරෝධායන තත්ත්වයේ පසුවනවා.

එමෙන්ම, වානිජ නෞකා හරහා මෙරටට පැමිණෙන විදේශිකයන් අතර, උණ රෝග ලක්ෂණය සහිත කිසියම් පුද්ගලයෙකු සිටී නම්, ඔහුට කිසිදු ආකාරයකින් රට තුළට ඇතුළු වීමට අවස්ථාව නොලැබෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිරෝධායන ඒකකයේ අධ්‍යක්ෂ එස්.එම්.ආනල්ඩ් ප්‍රකාශ කළේ.

මේ අතර, චීනයේ සිට පැමිණෙන මගීන් කටුනායක ගුවන්තොටුපලෙන් දිවයිනට පැමිණෙන ස්ථානයේ සවි කළ නැනෝ තාක්ෂණය මගින් වාතය පිරිසිදු කරන උපකරණය පිළිබඳව වියත්මඟ සංවිධානය කොළඹදී අද මාධ්‍ය හමුවක් කැඳවමින් පැහැදිලි කිරීමක් කළා.

එම අවස්ථාවට අදාළ උපකරණයේ නිපැයුම්කරු මංජු ගුණවර්ධන ද එක්ව සිටියා.

එමෙන්ම, ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව, ගුවන්තොටුපල අවට සහ කාර්යාල පිරිසිදු කිරීමේ පැය 3 ක ශ්‍රමදානයක් අද පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී පැවැත්වුණා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress