19 වන ව්‍යවස්ථා සංශෝධන පැටලෑවිල්ලේ හරි කථානායක කවුද වැරදි කතානායක කවුද?
Posted on February 9th, 2020

හර්ෂ කුමාර් සුරියආරච්චි

19  වන ව්‍යවස්ථා සංශෝධන පැටලෑවිල්ලේ හරි කථානායක කවුද වැරදි කතානායක කවුද?

තවම නීතියක් නොවූ 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ඊනියා නීතියක් ලෙස පවත්වා ගෙන යෑමේ වරද කොයි කථානායකගේද?

දහනමවන ව්‍යවස්ථා සංශෝධනය අරභයා 2002 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයෙන් ජනාධිපතිට පාර්ලිමේන්තුව විසිරවිමේ බලය වසර 3කට වඩා සිමා කිරීම 3වන ව්‍යවස්ථාව උල්ලංගනය වීමක් බව පෙන්වා ඇත. පාර්ලිමේන්තුව තුල පමණක් සම්මත වූ 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මගින් 2002 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයෙන් පෙන්වා දුන් 3 වන ව්‍යවස්ථාව උල්ලංඝනය වන කරුණ සිදු කර ඇති බව 2018 පාර්ලිමේන්තුව විසිරවිම පිලිබඳ නඩු තීන්දුවෙන් පැහැදිළි වේ.

යම් කිසි ව්‍යවස්ථා සංශෝධනයකින් 3 වන ව්‍යවස්ථාව උල්ලංඝනය වන්නේනම් එම සංශෝධනය නිතිය බවට පත්වන්නේ පාර්ලිමේන්තුවේ 2/3 ක අනුමැතියෙන් පසු ජනමතවිචාරණයකින් ජනතාව එය අනුමත කර ජනාධිපති තුමා ඒ බව සහතික කල විටය. මේ බව 83 වන ව්‍යවස්ථාවේ දක්වා ඇත. මෙවන් අවස්ථාවක, පාර්ලිමේන්තුව තුල පවත්වන චන්දයෙන් 2/3 අනුමැතිය ලැබුනහොත්,   කතානායක තුමා සිය අත්සන, මෙම පනත් කෙටුම්පත ජනමතවිචරනයකින් අනුමත වන තෙක් නිතිය බවට පත් නොවන්නේය”   යන සටහන ඇතිව තැබිය යුතුය. මේ බව 79 වන ව්‍යවස්ථාවේ දක්වා ඇත.

19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් කථානායකතුමා අත්සන් තබා ඇත්තේ 79 වන ව්‍යවස්ථා ප්‍රකාර නොවේ. එනම් එහිදී 79 වන ව්‍යවස්ථාවට අනුව තැබිය යුතු “මෙම පනත් කෙටුම්පත ජනමතවිචරනයකින් අනුමත වන තෙක් නිතිය බවට පත් නොවන්නේය” සටහන තබා නැත. එම නිසා කථානායකතුමාගේ අත්සන එහිදී ව්‍යවස්ථානුකුල නැත.

ව්‍යවස්ථානුකුලව සටහන් තැබිය යුතු කතානායක තුමාගේ අත්සන තැබීම, ජනමතවිචාරණයකින් ජනතාව අනුමත කිරීම සහ ජනාධිපතිතුමාගේ අත්සන තැබීම යන  පියවරයන් තවම සම්පුර්ණ කර නැති බැවින් 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත තවම ව්‍යවස්ථානුකුලව සම්මත වී නැත. එම නිසා  එය තවම නීතියක් නොවේ.

නමුත් ජනමතවිචාරණයකට යා යුතු නැති විශේෂ ව්‍යවස්ථා උල්ලංඝනයක් සිදු නොවන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතකදී නම්, මන්ත්‍රී වරුන්ගේ නියමිත අනුමැතිය ලැබුණු විට ඒ බව සටහන් කොට කථානායක තුමා අත්සන් කල විට එම කෙටුම්පත නිතිය බවට පත්වන්නේය. එවිට එය අධිකරණයකදී අභියෝග කල නොහැක.

එහෙත් කතානායක තුමා අත්සන් තැබූ විට එය ව්‍යවස්ථානුකුල නොවුවත් අධිකරණයේදී අභියෝඝ කල නොහැකියැයි මිත්‍යා මතයක් පවතී. 82 (5) හා 82 (6) අනු ව්‍යවස්ථාවන්ට අනුව ව්‍යවස්ථා සංශෝධනයක් නිතිය බවට පත් වන්නේ කතානායක තුමා අත්සන් තැබූ විට නොව “අවස්ථාවෝචිත පරිදි ජනාධිපතිවරයා හෝ කතානායකවරයා හෝ අත්සන් තැබූ විටය”.  අවස්ථාවෝචිත පරිදි යනු ජනමතවිචාරණයකට යා යුතු සංශෝධනයක් නම් එය ජනාධිපතිතුමාගේ අත්සනට පැමිණිය යුතුය. එතෙක් එය නිතිය නොවේ. නිතිය නොවන තාක් කල් අධිකරණය ඉදිරියේ අභියෝග කිරීමට ව්‍යවස්ථානුකුල බාධාවක් නැත. 83 වන ව්‍යවස්ථාව ප්‍රකාර ජනමතවිචරනයකින් ජනතාව අනුමත කල යුතු 19 වන ව්‍යවස්ථා සංශෝධනය අරභයා ජනාධිපතිතුමා අත්සන් තබා නැතිවා පමණක් නොව ඊට ප්‍රථම කතානායක තුමාගේ අත්සනද 79 ව්‍යවස්ථාවට අනුකුලව තබා නැති නිසා එම පියවරද ව්‍යවස්ථානුකුලව වලංගු නොවේ.

යහපත් කෝණයකින් බැලූ විට, 2015 දී කථානායකතුමා මෙසේ අත්සන් කලේ ඒ වන විට එතුමාගේත්, නීතිපති තුමාගේත්, පාර්ලිමේන්තුවේත් අදහසට අනුව ඒ වන විට 19 වන සංශෝධන කෙටුම්පතින් 2002 දී තිබු 3 වන ව්‍යවස්ථාව උල්ලංඝනය වීමේ තත්ත්වය ඉවත් කර ඇති යයි විශ්වාශ කිරීම නිසා විය හැක. ඒ එම කෙටුම්පතෙහි 33 (2) (c) වගන්තියෙන් ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව විසිරවිමේ බලය නැවත ලබා දී ඇතැයි පිළිගැනීම නිසා විය හැක. එය සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ පිළිගනිම වූවාද විය හැක. එම පිළිගැනීම අනුව කථානායකතුමා  සිය අත්සන තැබීමේදී අවංකව කටයුතු කර ඇති බව විශ්වාශ කල හැක.

නමුත් ව්‍යවස්ථාව පිළිබද අර්ථ දැක්වීමේ බලය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණි. 2018 දී ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ දැක්වීම රටට දැනගන්නට ලැබුණි. එනම් 2015 දී කථානායකතුමාත්, නීතිපති තුමාත් පාර්ලිමේන්තුවත් විස්වාශ කළා යැයි සිතිය හැකි  ආකාරයට නොව එම සංශෝධනය තුල 3 වන ව්‍යවස්ථාව උල්ලංඝනය වන කාරණය තවදුරටත් අඩංගු බවයි.

2018 දී ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව දුන් වහාම එම තීන්දුව දෙන අවස්ථාවේ සිටින කථානායකතුමා එම තීරණයට ගරු කර 19 වන සංශෝධනය අරභයා පාර්ලිමේන්තුවේ කථානායක තබා ඇති ව්‍යවස්ථානුකුල නොවන සටහන නිවැරදි කල යුතුව තිබිණි. එතුමා තව වන තුරුත් එම නිවැරදි කිරීම කර නැත.

කථානායකතුමා එම නිවැරදි කිරීම කල වහාම රටත්, ජනතාවත්, ජනතාවගේ ආයතන වන විධායකයත්, ව්‍යවස්ථාදායකයත්, අධිකරණයත් මෙම 19 වන ව්‍යවස්ථා සංශෝධන පැටලෑවිල්ලෙන් බේරෙනු ඇත. එසේ නොකරන තාක් කල් කථානායක වරු ජනතාව කෙරෙහි තම යුතුකම ඉටු නොකර පැහැර හරින්නන් බවට පත්වනු ඇත.

හර්ෂ කුමාර් සුරියආරච්චි

අදාල ව්‍යවස්ථා හා අනු ව්‍යවස්ථා

79 ව්‍යවස්ථාව

80 ව්‍යවස්ථාවේ අනු ව්‍යවස්ථා

82 ව්‍යවස්ථාවේ අනු ව්‍යවස්ථා

83 ව්‍යවස්ථාව

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress