සතොස ලිපිගොනු සහ ඔප්පු සොයා ගත් වැල්ලවත්තේ නිවස බදියුදීන්ගේ බිරිඳගේ බව හෙළිවෙයි –
Posted on February 14th, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

පසුගිය ආණ්ඩුව සමයේ සතොස ආයතනයේ සිදුවූ බව කියන මූල්‍ය වංචාවකට අදාළ බවට සැක කෙරෙන ලිපි ගොනු සොයා ගත් වැල්ලවත්ත ප්‍රදේශයේ නිවස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ වන එම්.එම්. අයිෂාට අයත් නිවසක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට අද දැනුම් දුන්නා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගෙන් සහ ඔහුගේ බිරිඳගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට බලාපොරොත්තු වන බවයි එම දෙපාර්තමේන්තුව ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොඩ් මිහාල්ට කරුණු වාර්තා කරමින් සඳහන් කළේ.

>අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ අධ්‍යක්ෂවරයාට ලද තොරතුරකට අනුව ගල්කිස්ස අධිකරණය හරහා ලබා ගත් නියෝගයක් මත අදාළ නිවස පරීක්ෂා කර තිබෙනවා.

එහිදී අදාළ නිවසේ තිබී ඉඩම් ඔප්පු 240 ක් සහ සතොස ආයතනයේ සිදුවූ මූල්‍ය වංචාවකට අදාළ බවට සැක කෙරෙන ලේඛන කිහිපයක් සොයා ගෙන ඇති අතර, එම නිවසේ සිටි ඉම්රාන් මොහොමඩ් නැමැති පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගැණුනා.

අදාළ ලිපි ලේඛන තොගය තුළ තිබී පොරොන්දු නෝට්ටු කිහිපයක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයා ගෙන ඇති අතර, නිවස භාරව සිට අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ අදාළ පොරොන්දු නෝට්ටු රුපියල් නව ලක්ෂ 35,000ක වටිනාකමින් යුක්ත ඒවා බවයි.

කෙසේ වෙතත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂාවට අනුව ඒවායේ වටිනාකම රුපියල් නව කෝටි තිස් පන්ලක්ෂයක් බවට අනාවරණ වී තිබෙනවා.

මේ අතර, අත්අඩංගුවට ගත් සැකකරුගේ සහෝදරයෙකු සහ සේවකයෙකු සිද්ධියේ සාක්ෂිකරුවන් ලෙස හඳුනාගෙන ඇති බැවින් ඔහුට ඇප ලබාදීම විමර්ශනවලට බාධාවක් විය හැකි බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට කරුණු වාර්තා කළා.

ඒ අනුව, අදාළ කරුණු සලකා බැලූ ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ නිවසේ සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයා මේ මස 28 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress