පාර්ලිමේන්තුවේ අතවරයට ලක් වීමෙන් පසු
Posted on February 16th, 2020

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

පාර්ලිමේන්තුවේ අතවරයට ලක් වීමෙන් පසු …

අපේ පාර්ලිමේන්තුවේ අය නිතර නිතර ආරවුල් ඇති කර ගන්නවා. සමහර විට ගහ මරා ගන්නවා. නූගත් කියලා සම්මත ටික දෙනෙක්ගේ නැහැදිච්චකම හින්දා එහෙම වෙන බවක් තමයි මමත් හිතාගෙන හිටියේ. ඒත් ජනවාරි 21 දා සහ පෙබරවාරි 6 දා පාර්ලිමේන්තුවේ දී මම සහභාගී වෙච්ච රැස්වීම් දෙකට ඇවිල්ලා හිටියේ උගත් කියලා සම්මත පිරිසක්. ඒ රැස්වීම් මෙහෙයවන වැඩේ කළෙත් එහෙම පිරිසක්. ජනවාරි 21 වැනි දා රැස්වීම කැඳවලා තිබුණේ පාර්ලිමේන්තුවේ අධ්‍යාපන සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්‍ෂණ කාරක සභාවයි කාන්තා සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්‍ෂණ කාරක සභාවයි ඒකාබද්ධ වෙලා. පෙබරවාරි 6 වැනි දා රැස්වීම කැඳවලා තිබුණේ පාර්ලිමේන්තුවේ අධ්‍යාපන සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්‍ෂණ කාරක සභාව තනියම.

මේ රැස්වීම් තියන්නේ ඒවාට මුල් වෙලා ඉන්න උගත් කියලා කියන කට්ටියගේ බලහත්කාරකම පෙන්නන්න කියලා තමයි මට නම් හිතෙන්නේ. ඒ රැස්වීම් මෙහෙයවන අයටත් ඒවාට සම්බන්ධ වෙන බහුතරයටත් තියෙන්නේ එකම න්‍යාය පත්‍රයක්. ඒවාට අපිව කැඳවන්නේ ඔන්න අපි හැමෝටම තැනක් දුන්නා” කියලා රටට කියන්න. ඒත් ඒවාට යන අපිට විනාඩි තුන හතරකට වඩා කතා කරන්න දෙන්නේ නෑ. ඒ දෙන වෙලාව මැද්දටත් පැනලා මේ අය තමන්ගේ උගත්කමේ බලහත්කාරකම පෙන්නනවා.

පෙබරවාරි 17 වැනි දා සඳුදා තවත් රැස්වීමක් තියෙනවා. ඒකට මටත් එන්න කිව්වා. ඒත් ඒ රැස්වීමට යන අදහසක් මට නෑ. එතැනට ගිහිල්ලා අපේ අදහස් කියන්න ඉඩක් ලැබෙන්නේ නැතිනම් අපි මොකට ද ඒ රැස්වීම්වලට යන්නේ?

මේ රැස්වීම්වලට පදනම් වෙලා තියෙන්නේ හතේ අපේ පොත” කියන නමින් අපේ පොඩි ළමයින්ට ලබා දීපු ලිංගිකත්ව අධ්‍යාපනික අතිරේක පොත. මේක ලියලා තියෙන්නේ බොහොම උගත් වෛද්‍යවරු තුන් දෙනෙක් එකතු වෙලා. මේ පොතේ කිසිම වැරැද්දක් නෑ” කියන සහතිකය අපේ පූජ්‍ය අකුරැටියේ නන්ද නායක ස්වාමීන්වහන්සේ විසින් ලබා දෙනවා මම අහගෙන හිටියා.

පොතේ කිසිම අඩුවක් නෑ කියන උපකල්පනයේ පිහිටලා අපි මුලින් ම මේ ගැන ටිකක් මතුපිටින් විමසලා බලමු.

මේ පොතේ අන්තර්ගතය පිටු 20 ක් පුරා (2 වැනි පිටුවේ ඉඳලා 21 වැනි පිටුව දක්වා) පෙළ ගස්සලා තියෙනවා. පොත ලියලා තියෙන්නේ දෙබස් ස්වරූපයෙන්. ඒ කතාවට ළමයි පිරිසක් සහ අඩු ගණනේ වැඩිහිටියන් දෙන්නෙක් සහභාගී වෙනවා. මේ අය සම්බන්ධ වෙච්ච දෙබස් 150 ක් පොතට ඇතුළත්. කතා බහට සම්බන්ධ වෙන චරිත ප්‍රමාණය 21 ක්. පොතේ අඩුපාඩු තියෙනවා කියලා හිතුවොත් ඒ චරිත ප්‍රමාණය 19 ක්. මේ විදිහේ අඩුවක් වෙන්නේ පොතේ තියෙන විහන්ගා, විහංගා, ලිහිණි සහ ලිහිනි කියන චරිත හතර ඇත්තෙන්ම චරිත දෙකක් කියලා හිතෙන හින්දා. මේවා මුද්‍රණ දෝෂ වෙන්නත් පුළුවන්. ඒ විදිහේ අඩුපාඩු අපි ඉවසන්න ඕන.

සම්පූර්ණ චරිත ගණන 18 ක් වීමේ ඉඩකුත් තියෙනවා. ඒකට හේතු වෙන්නේ මේ පොතේ 19 වැනි පිටුවෙන් විතරක් ඉස්මතු වෙන පුතා” කියන චරිතය. මේ පිටුවේ ඉන්න අම්මා” කියන චරිතය 17 පිටුවේ ඉන්න අම්මා” කියන චරිතය ම නම් මේ කියන පුතා” බොහෝ දුරට දිනෙත්” කියන චරිතය කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. මේක නම් මුද්‍රණ දෝෂයක් කියලා අපිට කියන්න බෑ.

පොතේ ඉන්න සම්පූර්ණ චරිත ගණන 18 ක් කියන අදහසේ පිහිටලා අපි ඉතිරි ටික කතා කරමු.

මේ චරිත 18 අතර පිරිමි චරිත 6 ක් සහ ගැහැණු චරිත 12 ක් තියෙනවා. මේ 18 දෙනා අතරින් වැඩියෙන් ම කතා කරන්නේ විහන්ගා. පොතේ තියෙන දෙබස් 150 අතරින් දෙබස් 29 ක් ම ඇය කියන ඒවා. 3 වැනි පිටුවේ විහන්ගා අහන ප්‍රශ්නයකට උත්තර දෙන්නේ විහන්ගාමයි. අපිම ප්‍රශ්න අහලා අපිම උත්තර දෙන අවස්ථා තියෙනවා තමයි. ඒත් මේකට අදාළ මුල ප්‍රශ්නය ඇහුවා ම විහන්ගා තමන්ගේ ම අහන්නේ ඒ කියන්නේ?” කියන ප්‍රශ්නය. මේක ටිකක් අමුතු වැඩක්. අපි ඒ කොටස කියවමු.

විහන්ගා: ආ එහෙම ද? අපේ ටීචර් කිව්වා අපි දැන් ඉන්නේ නව යොවුන් වයසේලු.

විහන්ගා: ඒ කියන්නේ?

ඊට පස්සේ කසුනි ඒ කාරණය පැහැදිළි කරලා දෙනවා. මොනවා ද ඒ කසුනි?” කියලා විහන්ගා ආයෙත් වැඩි විස්තර අහනවා.

මේකත් මේ පොත දිහා බලපු ගමන් ම පේන අඩුපාඩුවක්. ළමයින්ට ලියන පොත්වල මේ විදිහේ අඩුපාඩු තියෙන්න බෑ. මෙහෙම නොසැළකිල්ලෙන් වැඩ කළාම මේවා කියවන ළමයින්ට යමක් සන්නිවේදනය කරන්න අමාරුයි.

විහන්ගා ඇරුනාම හසුන් සහ දිනෙත් දෙබස් 20 කට වැඩි ප්‍රමාණවලින් කතාවට දායක වෙනවා. චතුරි, ටීචර් සහ මල්කි දෙබස් 10 කට වැඩි ප්‍රමාණවලින් දායක වෙනවා. පොතේ තියෙන සම්පූර්ණ දෙබස් 150 අතරින් දෙබස් 109 ක් ම අදාළ මේ 6 දෙනාට. ඒ කියන්නේ ඉතිරි 12 දෙනා ම කතා කරන්නේ දෙබස් 41 ක් විතරයි.

පිටු 20 ක අන්තර්ගතයක් තියෙන පොතක චරිත 7 ක් හෝ 8 ක් තියෙනවා නම් ඒ අන්තර්ගතය කතාවක් විදිහට සන්නිවේදනය කරන එක අමාරු නෑ. ඒත් මේ උගත් වෛද්‍යවරු තුන් දෙනා එහෙම හිතලා නෑ.

මුළු කතාවට ම එකම එක දෙබසකින් දායක වෙන චරිත දෙකකුත් මේ පොතේ ඉන්නවා. ඒ තමයි රන්දුල සහ මුදිති. රන්දුල ඉස්මතු වෙන්නේ 10 වැනි පිටුවේ දී. “දිනෙත්, ඔයාලත් එකතු වෙලා මේ පාර නියම වැඩක් කරන්න ඇති නේ ද?” කියලා රන්දුල අහනවා. ඊට පස්සේ ඒ ළමයා අතුරුදහන් වෙනවා. මුදිති කරන හපන්කම ඊට වඩා සෑහෙන්න ලොකුයි. මුදිති ඉස්මතු වෙන්නේ කතාවේ අන්තිම දෙබස කියන්න. “ඔව් ටීචර් එහෙම හිතන කොට අභියෝගවලට ආසත් හිතෙනවා” කියලා තමයි මුදිති පොතට තිත තියන්නේ. තව පිටුවක් දෙකක්වත් ලිව්වා නම් මුදිතට තව වචනයක් දෙකක් හරි කියන්න ඉඩ තිබුණා. ඒත් වෛද්‍යවරුන්ට වැඩ තියෙනවානේ. ඒ හින්දා මුදිතිට කතා කරන්න ඕන ම නම්, අදාළ පාර්ලිමේන්තු ආංශික කාරක සභාවකට ගිහිල්ලා ඒක කරන්න පුළුවන්.

මේ චරිත නිරූපණය පොතේ අන්තර්ගතයට එච්චර අදාළ එකක් නෙවෙයි කියලා කාට හරි කියන්න පුළුවන්. චරිත නැතුව කතාවක් කියන්න පුළුවන් කියලා හිතනවා නම් මේවාට ඒ, බී, සී, ඩී, … කියන නම් දාන්න තිබුණා. එහෙම කළා නම් පිටු 20 ට චරිත 26 ක් හදන්නත් තිබුණා!

ළමයින්ගේ මනස දන්න අය මේ වගේ විකාර වැඩ කරන්නේ නෑ. පිටු 20 ක් ඇතුළේ චරිත දුසිම් එක හමාරක් පාවිච්චි කරලා යමක් සන්නිවේදනය කරන්න හදන එක විහිළුවක්. මෙහෙම කරද්දි කියවන අයට විතරක් නෙවෙයි කතාව ලියන අයටත් පැටලෙන්න ඉඩක් තියෙනවා. හතේ පොතේ කර්තෘවරු තුන් දෙනා එකතු වෙලා විහන්ගාට කරපු අතවරයෙන් ම වුනත් ඒ බව පැහැදිළි වෙනවා.

දැන් අපි පොතේ අන්තර්ගත කරුණු කාරණා ගැන යමක් කෙටියෙන් විමසලා බලමු.

මේ පොතේ තියෙන පිටු විස්සෙන් පිටු 10 ක විතරයි ලිංගිකත්වය සහ ඒ ආශ්‍රිත දේ ගැන කරුණු කියලා තියෙන්නේ. තවත් පිටු 8 ක් වෙන් කරලා තියෙන්නේ සමබර ආහාර, එකතු වී වැඩ කිරීම, ක්‍රියාශීලිව සිටීමේ වැදගත්කම, දුම්බීමේ ආදීනව, පැළ සිටුවීම, රක්තහීනතාව, දහඩිය දැමීම, වැසිකිළි – කැසිකිළි පිරිසිදුව තබා ගැනීමේ වැදගත්කම වගේ කරුණු ගැන කියන්න. මුල (2 වැනි) පිටුව වෙන් කරලා තියෙන්නේ මේ පොත මරු එකක් කියලා කියන්න. අවසාන (21 වැනි පිටුව) වෙන් කරලා තියෙන්නේ මේ පොත ලස්සනයි කියලා කියන්න.

ලිංගිකත්වය ගැන කරුණු තවත් විස්තර සෑහෙන ප්‍රමාණයක් එක්ක මිශ්‍ර කරලා කියන්න උත්සාහ කරන එක හොඳ වැඩක්. ඒ හින්දා පිටු වෙන් කිරීමේ ක්‍රමය අපිට අගය කරන්න පුළුවන්. ආරවුලක් ඇති වෙලා තියෙන්නේ මේ කරුණු මිශ්‍ර කිරීම ගැන නෙවෙයි. ආරවුල ඇති වෙලා තියෙන්නේ ලිංගිකත්වයට අදාළ කරුණු ඒ වැඩේට අදාළ පිටු 10 ඇතුළේ කියලා තියෙන විදිහ ගැන.

උදාහරණයක් විදිහට පොත පටන් ගත්ත ගමන් ම, 3 වැනි පිටුවේ දී ලිංගික කරුණු ගැන කියනවා. මෙතෙන් දී ඒකට අදාළ තර්කානුකූල පිළිවෙළක් අනුගමනය කරන්නේ නෑ. අපේ සංස්කෘතිය ඇතුළේ එක සැරේ ම නො කියන ලිංගික කරුණු ටිකක් මේ පිටුවේ මුලින් ම කියනවා. පිරිමි ළමයින්ගේ උරහිස් පළල් වෙනවා, උගුරු දණ්ඩ ඉදිරියට නෙරා එනවා, කටහඬ ගොරෝසු වෙනවා, මුහුණේ රැවුල එනවා වගේ මූලික දේවල් කියන්නේ ලිංගික කරුණු ටික කීවාට පස්සේ ඒ පිටුවේ අන්තිමට. ඊට පස්සේ 4 වැනි පිටුවේ තමයි මේ බාහිර වෙනස්කම් ගැන විස්තර කරන්නේ. 9 වැනි පිටුවේ දී බාහිර පෙනුමේ විපර්යාස සහ ආකර්ෂණය ගැන නැවතත් කතා කරනවා.

නව යොවුන් වියට අදාළ ව මුලින් ම කියලා දෙන්න ඕන මේ බාහිර ව ඇතිවෙන වෙනස්කම් බව අපි කාටත් තේරෙනවා. ඒවා පොඩි ළමයින්ට ලේසියෙන් ම පේන දේවල්. ඒත් මේ උගත් වෛද්‍යවරු තුන්දෙනා එහෙම කරන්නේ නෑ. ඒ අය මුලින් කියන්නේ මතුපිටට එක් වර ම නො පෙනෙන අනෙකුත් ලිංගික වෙනස්කම් ගැන!

පොතේ 5, 6 සහ 7 කියන පිටු තුන ම වෙන් කරලා තියෙන්නේ පීරියඩ්ස්” ගැන කියන්න. ඒ වැඩේ පටන් ගන්නේ ම මාසික අමාරුව නිසා ඇති වන වේදනා නැති කර ගන්න පෙත්තක් ගන්න” කියන උපදේශය දීලා. මාසික අමාරුව නිසා ඇතිවන අපහසුකම් සහ වේදනා නැති කරගන්න ක්‍රම ඕන තරම් මේ ලෝකයේ තියෙනවා. ඒ හැම දෙයක් ම කරලා හරි නො ගියා ම තමයි සාමාන්‍යයෙන් යමක් දන්න කියන අය වේදනා නාශක පෙති පාවිච්චි කරන්නේ. ඒත් මේ උගත් වෛද්‍යවරු තුන් දෙනා එහෙම හිතන්නේ නෑ.

8 වැනි පිටුවේ අන්තර්ගත කාරණය තමයි රටේ විශාල ආන්දෝලනයක් ඇති කරන්න හේතු වුනේ. ස්වයං වින්දනය වගේ ලිංගික හැසිරීම්වලට අදාළ කරුණු මේ තරම් විවෘතව කතා කරන්න හොඳ නැති බවට මතයක් අපි අතර තියෙනවා. මේ විදිහේ මත ඇති වෙන්නේ සංස්කෘතික ඇගැයීම් ඇතුළේ. ඒ මතවාදවල හරි වැරැද්ද වෛද්‍ය ශාස්ත්‍රානුකූලව පැහැදිළි කරන්න බෑ. ඒත් මේ සංස්කෘතික විරෝධය පයිසයකට මායිම් කරන්න ඕන නැති බව තමයි හතේ අපේ පොත” වෙනුවෙන් පෙනී ඉන්න අය කියන්නේ.

පො‍තේ 18 සහ 19 පිටුවලින් ලිංගික අතවර ගැන අදහසක් කියනවා. කුඩා ළමයින් අපයෝජනයට අදාළ කිසිම සමාජ කරුණක් නො සළකා ළමයින්ගේ හිත්වල ඒක සම්බන්ධයෙන් පූර්ව මතයක් පැළපදියම් කිරීම තමයි මේ කරුණු දැක්වීමෙන් කරලා තියෙන්නේ. ඉතින් මේ කාරණයත් සමාජ විරෝධයට හේතුවක් වුනා.

හතේ අපේ පොතෙන් මේ විදිහට ළමයින්ගේ ඔළුවට රිංගවන්න උත්සාහ කරන කරුණු කාරණාවලට අදාළවත් යමක් කියන්නම්. ළමා අපයෝජනයට අදාළ සමාජ කරුණක් ගැන කියලා මේක පැහැදිළි කරන්න පුළුවන්. මේ පොත වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී ඉන්න කෙනෙක් තමයි ප්‍රවීන සිනමා නිළි අනෝමා ජනාදරී මහත්මිය. තමන් වයස හතරේ දී අතවරයකට ලක් වුන බවත් ඒ නිසා හතේ පොත අනිවාර්යයෙන් ම ළමයින්ට ලබාදිය යුතු බවත් ඇය කියනවා. හතේ පංතියේ ඉන්නේ වයස අවුරුදු හතරේ ළමයි නොවන හින්දා මේ පොතේ අනුහසින් ඒ පුංචි ළමයි බේර ගන්න විදිහක් අපිට නම් හිතා ගන්න බෑ.

ඇත්තෙන්ම අපේ ළමයි ආරක්‍ෂා වෙන්නේ සමාජය ඇතුළේ. අපේ ළමයින් ආරක්‍ෂාව ලැබෙන්නේ සංස්කෘතික ආචාර ධර්මවලින්. උදේ පාන්දර ළමයි ඇරගෙන පාරට එන දෙමව්පියෝ හිත හදා ගන්නේ ඒ ළමයි බස් එකට නැග්ගාට පස්සේ. ඊට පස්සේ ඒ අය හිත සැහැල්ලුවෙන් රස්සාවට යනවා. යම් දවසක ළමයෙක් ගෙදර තනියම හිටියොත් රස්සාවට ගිය දෙම්ව්පියෝ ඒ ළමයාගේ ආරක්‍ෂාව ගැන හිත හිතා වද වෙනවා. ඒ කියන්නේ සමාජය ඇතුළේ ළමයි ආරක්‍ෂා වෙනවා. සමාජයෙන් ඈත් වුනා ම ළමයින්ට කරදරයක් වීමේ ඉඩක් තියෙනවා.

අදටත් ළමා අපයෝජන සිද්ද වෙන්නේ පවුල් කඩා වැටිච්ච තැන්වල. නෑදෑ හිතවතුන් වට කරගෙන ඉන්න ළමයින්ට හොඳ ආරක්‍ෂාවක් ලැබෙනවා. ඒත් ළමයින්ගේ ආරක්‍ෂාවට අදාළ සමාජ සංස්කෘතික කාරණා ගැන මේ පණ්ඩිතයෝ හිතන්නේ නෑ.

දැන් තියෙන අධ්‍යාපන ක්‍රමය නිසාත් ළමා අපයෝජනවලට ඉඩක් ලැබෙනවා කියලා ඕන නම් කියන්න පුළුවන්. ඉන්දියාව කියන රටේ දියුණු ම අධ්‍යාපනික සහ සෞඛ්‍ය පහසුකම් තියෙන්නේ කේරළයේ. ඉන්දියාවේ වැඩියෙන් ම ළමා අපයෝජන වාර්තා වෙන්නෙත් කේරළයෙන්. මේ අධ්‍යාපන ක්‍රමය හින්දා පවුල් පුංචි වෙනවා. මිනිස්සු සමාජයෙන් ඈත් වෙනවා. හැමෝ ම තම තමන්ගේ කූඩුවලට කොටු වෙනවා. පදිංචි තැනින් ඈත තැන්වල රස්සාවලට යන එක අනිවාර්යයෙන් කළ යුතු දෙයක් බවට පත් වෙනවා. ඉතින් ළමයින්ට සමාජ ආරක්‍ෂාවක් ලැබෙන්නේ නෑ.

මේක විස්තරාත්මකව සාකච්ඡා කළ යුතු මාතෘකාවක්. මේවා ගැන කිසිම දෙයක් හිතන්නේ නැතුව ළමයින්ගේ ඔළුවලට බොරු විකාර අදහස් රිංගවන්න හදන එක නම් වහාම නැවැත්විය යුතුයි.

මේ ලිපියෙන් පෙන්වා දෙන්න උත්සාහ කළේ හතේ අපේ පොත” තුළ තියෙන ළාමක බව සහ විකාරරූපි බව විතරයි. මේ පොත ලියන්න යොදා ගෙන තියෙන භාෂා දෝෂ ගැන කියන්න යන්නේ නෑ. අපේ රටේ වෛද්‍යවරුන්ට සාමාන්‍ය පෙළ විභාගයට පස්සේ සිංහල භාෂාව ඉගෙන ගැනීමේ අවස්ථාවක් නෑ. ඒ හින්දා මේ පොතේ තියෙන සිංහල වැරැදි ගැන දොස් කියන එක සුදුසු වැඩක් නෙවෙයි.

කොහොම  වුනත් ජනවාරි 21 වැනි දා සාකච්ඡාව අවසන් වුනේ හතේ පොතට ලුණු වැඩි වුනා කියලා ඒකට සම්බන්ධ වෙච්ච කට්ටිය විසින් ම පිළිගැනීමෙන්. ඉතින් පොත් ටික ආපහු එකතු කරගන්න අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඇවිල්ලා හිටිය අය එකඟ වුනා. ඒත් පෙබරවාරි 6 වැනි දා ඒ අය කිව්වේ පොත් ටික ළමයින්ගේ අතට ගිහිල්ලා හින්දා දැන් කරන්න දෙයක් නෑ කියලා. ඒ පොත් ගත්ත ළමයි රටිනුත් ගිහිල්ලා ද දන්නේ නෑ.

මේ සෙල්ලම් හුදකලාව සිද්ද වෙන බොහොම අහිංසක වැරැදීම් කියලා හිතනවා නම් තව තවත් මේ වගේ දේවල් කරන්න ඉඩ ලැබෙනවා. ළමයින්ට ලිංගිකත්ව අධ්‍යාපනයක් දෙන්න ඕන නම් මුලින් ම කළ යුත්තේ ඒකට අදාළ ප්‍රතිපත්ති සහ සම්මත මාලාවක් හදන එක. පොත් ලියන්න ඕන ඊට පස්සේ. ඒ හැම වැඩක් ම වෛද්‍යවරු විතරක් මුල් වෙලා කරන්න ඕන නෑ. අධ්‍යාපන, සංස්කෘතික, ලේඛක සහ සන්නිවේදන විශේෂඥයන්වත් ඒ වැඩට සම්බන්ධ කරගන්න ඕන. එහෙම කරන්න සූදානම් නැති නම් මේවා මේ අයගේ බලහත්කාරකම් විතරක් බව අපිට නිගමනය කරන්න වෙනවා. 

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2020 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress