පිදුරුතලාගල සංරක්ෂිත වනාන්තරය ගින්නෙන් ආරක්ෂා කිරීමට කටයුතු කරයි.
Posted on February 23rd, 2020

පේශල පසන් කරුණාරත්න මාධ්‍ය සම්බන්ධීකාරක වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානය

ශ්‍රී ලංකාවේ වන ඝණත්වය ඉහල දැමීම සැමගේ පැතුම සැමගේ බලාපොරොත්තුව වන නමුත් දිනෙන් දිනම වටිනා වනාන්තර පද්ධති  විනාශ වෙමින් පවතී. මෙරට සිදුවන වනාන්තර විනාශයන් බොහොමයකට හේතුව වන්නේ මිනිසා විසින්ම සිදුකරන විනාශකාරී ක්‍රියාවන්ය. මෙරට වනාන්තරයන්ට බරපතල හානි සිදුවන ප්‍රධානම අවස්ථාවක් වන්නේ වන ගිනි හෙවත් කැලෑ ගිනි ඇතිවීමය. සෑම වසරකම වියලි කාලය උදාවත්ම සිදු වන වනාන්තර ගිනි ගැනීම් රැසක් වාර්තා වන අතර මේ නිසා විශාල වනාන්තර ප්‍රමාණයක් මෙරටට අහිමි වේ. ලාංකාවේ වනාන්තර තුළ ස්වාභාවික ගිනි නැතහොත් ලැව් ගිනි ඇති නොවන අතර මෙරට ඇතිවන සෑම කෑලෑ  ගින්නක්ම පාහේ මානව ක්‍රියාකාරම් නිසා ආරම්භ වී පැතිරීයන කැලෑ ගිනිවේ.  කැලෑ ගිනි ඇති කිරිමට ඍජු හෝ වක්‍ර අයුරින් මානව ක්‍රියාවන් දායක වන අතර මිනිසා විසින් සතුන් දඩයම්කිරීම හේන් ගොවිතැන අනවසර ඉඩම් අල්ලා ගැනීම වැනි පුද්ගලික හේතු, නොසැලකිලිමත් ලෙස ගින්දර බැහැර කිරීම  සහ විනෝදාස්වාදය ලැබීම වැනි කරුණු මුල් කරගනිමින් වන ගිනි ඇති කරයි.

කැලෑ ගිනි ඇතිවූ පසු ඒවා පාලනය අපහසු වන අතර සිදුවන විනාශයද ඉතා බරපතලය. වන ගිනි මගින් සිදුවන හානි යලි ප්‍රතිස්ථාපනයටද බොහෝ කාලයක් වැයවේ. වන ගිනි ඇතිවීම නිසා විශාල ශාක හා සත්ත්ව විශේෂ ප්‍රමාණයක් හානි වන අතර ජල මූලාශ්‍ර සිඳී යාම, වායුගෝලය දූෂණය වීම, පරිසර උෂ්ණත්වය ඉහලයාම  වැනි බරපතල ප්‍රතිවිපාක වලට මුහුණ දීමටද මිනිසා ඇතුළු සමස්ත ජීව ප්‍රජාවටම සිදුවේ. මේ නිසා වන ගිනි ඇතිවූ විට එය මැඩ පැවැත්වීම වෙනුවට සිදුකල යුත්තේ වන ගිනි ඇතිවීම වලක්වා ගැනීමය. මෙම වන ගිනි ඇති වීම වලක්වා ගැනීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ පරිසර සංවිධාන එක්ව විවිධ වැඩසටහන් සංවිධානය කරන අතර ප්‍රධාන වශයෙන්ම වන ගිනි ඇතිවන ප්‍රදේශ ආශ්‍රිත ජනතාව ඒ පිළිබඳව නිරන්තරයෙන් දැනුවත් කර වන ගිනි ඇතිකිරීම වැලැක්වීමට කටයුතු කරයි. නමුත් ඇතැම් නොහික්මුනු පිරිස් එම උපදෙස් නොකතා වන ගිනි ඇති කිරීමට කටයුතු කරන බැවින් අවදානම් තත්වයේ පවතින වනාන්තර වටා ගිනි පටි සකස්කිරිම වැනි ගිනි ආරක්ෂන ක්‍රියාවන්ද සිදු කල යතු වේ.

පිදුරුතලාගල රක්ෂිත වනයද එලෙස නිරන්තර වන ගිනි ඇතිවන ප්‍රදේශයක් වන අතර වියලි කාලගුණය හා අධික සුලං හේතුවෙන් එහි ඇතිවන ගිනි පාලනයද අපහසු වේ. ශ්‍රී ලංකාවේ උසම ස්ථානය වන පිදුරුතලාගල සංරක්ෂිත වනාන්තරය මෙරට වසන ඒකදේශික සහ ස්ථානීය ආවේණික ජෛව ප්‍රජාවන් සිය ගණනක්, ඉතා කුඩා භූමි කලාපයක් තුළ පවා දැකගත හැකි මට්ටක ඇති සුවිශේෂී සහ සංවේදී පරිසර ලක්ෂණ වලින් සමන්විත වනාන්තර පද්ධතියකි. පාරිසරිකව ගත් කල මිලකල නොහැකි වටිනාකමකින් යුක්ත කඳුකර වනාන්තරයකි. ජලය ගබඩා කරගන්නා කඳුවැටියක් ලෙසත්, පසුව එම ජලය පහතට ක්‍රමයෙන් ගලා යාමට සලස්වා ඇල දොල ගංගා විශාල ප්‍රමාණයක් පෝෂණය කරන ජල පෝෂකයක් ලෙසත් නුවරඑළිය නගරයට ජලය සපයන්නා වූ ප්‍රධාන ජල පෝෂකය ලෙසත් මෙම කලාපය වැදගත්කමක් උසුලයි. පිදුරුතලාගල සංරක්ෂිත වනාන්තරය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එහි සුවිශේෂී වැදගත්කම හඳුනාගනිමින් මීට දශක කිහිපයකට පෙර රක්ෂිතයක් ලෙස නම් කර ආරක්ෂා කිරීමට කටයුතු යොදා ඇත. එසේම මෙම කලාපය අධි ආරක්ෂිත කලාපයක් ලෙසද පවතින අතර මෙරට ප්‍රධාන සන්නිවේදන මධ්‍යස්ථානයක් ලෙසද පිදුරුතලාගල කඳු වැටියේ සන්නිවේදන කුළුනුද ඉදිකර තිබේ. මේ නිසා වන ගින්නක් ඇතිවුව හොත් සිදුවන හානිය සුළුපටු නොවේ.

වර්තමානය වන විට ඇති වී තිබෙන දැඩි වියලි කාලගුණික තත්වය මත නුවරඑළිය දිස්ත්‍රිකක්යේ සමස්ත වනාන්තර පද්ධතියටම දැඩි බලපෑමක් එල්ල කරමින් පවතින අතර සීඝ්‍රයෙන් ජලය සිඳී යාම හා ඒ හා ඇතිවන්නා වූ වියලි ස්භාවය නිසාවෙන්ම කැලෑ ගිනි ගැනීමේ අවදානම ඉහල ගොස් මේ වන විටත් විශාල වනාන්තර භූමි ප්‍රමාණයක් විනාශ වී ඇත. එමගින් ජල පෝෂක විනාශ වීම, වන සතුන්ගේ වාසස්ථාන අහිමි වීම ආදී විශාල පාරිසරක හා සමජීය ගැටළු රැසක් පැන නැගී ඇත. මෙම අවදානම් තත්වය පිදුරුතලාගල සංරක්ෂිත වනාන්තරය වෙතද දැඩිව බල පා ඇති බැවින් එම අවදානම සදහා පිළියම් යෙදීමක් වශයෙන් වන ගිනි ඇති වීම හා පැතිරීම වැලැක්වීම සඳහා වනාන්තර පද්ධතියේ ගිනි පටි නිර්මාණය කිරීමේ වැඩසටහන 2020 පෙබරවාරි මස 18 වන දින  පැවැත්විය.

වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කල මෙම වැඩසටහන නුවරඑළිය දිසා වන කාර්යාලයේ ප්‍රධානත්වයෙන් සිදු කල අතර මේ සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, රාජ්‍ය දැව සංස්ථාව, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, නුවරඑළිය මහ නගර සභාව, ශ්‍රී ලංකා පොලීස් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රි ලංකා යුද හමුදාව,  ශ්‍රී ලංකා  වන විද්‍යායතනය යන රාජ්‍ය ආයතන වල නිලධාරීන් සහ තලවකැලේ වතු සමාගමෙහි සේවක මණ්ඩලය, ගම්වාසීන් සහ පරිසර සංවිධානයක් වශයෙන් වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානයේ සාමාජිකයන් ඇතුළුව 300 පමණ පිරිසක් සහභාගී විය.

පිදුරුතලාගල සංරක්ෂිත වනාන්තරය මායිමේ මිනිස් වාසය බහුල ප්‍රදේශය තුළ ගිනි ඇතිවීමේ අවදානම් තත්වය ඉහලම ප්‍රදේශ හඳුනා ගනිමින් වනාන්තරයට අවම බලපෑමක් වන අයුරින් මීටර 10කට ආසන්න පළලකින් යුක්තව කිලෝමීටර 1.5 පමණ දිගට මෙම ගිනි පටිය නිර්මාණය කල අතර එමගින් වනාන්තරය මායිමේ ගිනි ගැනීමක් ඇති උවද මෙම ගිනි පටිය හරහා ගින්න පැතිරී යාමට නොහැකි නිසාවෙන් වනාන්තරය ආරක්ෂා කර ගැනීමට හැකියාව ලැබේ. මෙම ක්‍රියාවලිය වසරක් පාසා සිදු කරමින් පිදුරුතලාගල සංරක්ෂිත වනාන්තරය ආරක්ෂා කිරීමට පියවර ගන්නා බව නුවරඑළිය දිසා වන නිලධාරිනී ලෂ්මි වික්‍රමසිංහ මහත්මිය පැවසීය. මෙම ක්‍රමවේදය පිදුරුතලාගල සංරක්ෂිත වනාන්තරයට පමණක් නොව නිසි අධ්‍යනයනයන් සමගින් ශ්‍රී ලංකාවේ සමස්ත වනාන්තර පද්ධති තුළ ක්‍රියාත්මක කිරීමට හැකි නම් විශාල වනාන්තර ප්‍රමාණයක් රැක ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

ස්තූතියි. 

පේශල පසන් කරුණාරත්න

මාධ්‍ය සම්බන්ධීකාරක

වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress