ඩී.කේ.පී. දසනායකත් ජනාධිපති කොමිසමට
Posted on February 25th, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

පසුගිය යහපාලන ආණ්ඩුව දේශපාලන පළිගැනීමක් මත, ත්‍රස්තවාදය වැළැක්වීම පිළිබඳ ප්‍රතිපත්ති සහ උපාය මාර්ග පිළිබඳ පශ්චාත් උපාධියක් හදාරමින් සිටියදී තමන්ව මෙරටට ගෙන්වා නොගත්තේ නම් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වාගැනීමට හැකියාව තිබූ බව රියර් අද්මිරාල් ඩී.කේ.පී. දසනායක මහතා පවසනවා.

ඒ, දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ අද සාක්ෂි ලබාදෙමින්.

කොළඹදී තරුණයන් 11 දෙනෙකු පැහැර ගැනීමට අදාළව සිදුකරන විමර්ශනවල සැකකරුවෙක් ලෙස නම්කර ඇති රියර් අද්මිරාල් ඩී.කේ.පී. දසනායක මහතා පසුගිය යහපාලන ආණ්ඩු සමයේ තමන්ට සිදු වූ දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් සිදුකළ පැමිණිල්ලකට අනුව සාක්ෂි විමසීමට ජනාධිපති කොමිසම හමුවට කැඳවා තිබුණා

සාක්ෂි ලබාදීම ආරම්භ කරමින් ඔහු පැවසුවේ ලොව පුරා ඉස්ලාමීය අන්තවාදයේ නැගී ඒමත් සමඟ ත්‍රස්තවාදය වැළැක්වීම පිළිබඳව ප්‍රතිපත්ති සහ උපාය මාර්ග පිළිබඳ පශ්චාත් උපාධියක් හැදෑරීමට 2014 වසරේ සැප්තැම්බර් මාසයේදී ඇමරිකාව ලොව රටවල්වලින් එක් නියෝජිතයෙකුට බැගින් අවස්ථාව ලබාදී තිබූ බවත් ශ්‍රී ලංකාවෙන් එම අවස්ථාව හිමි වූයේ තමන්ට බවයි.

කෙසේ වෙතත් මාස කිහිපයකින් පසු සිදු වූ ආණ්ඩු පෙරළියත් සමඟ තමන්ව යළි මෙරටට කැඳවීමට පසුගිය ආණ්ඩුව කටයුතු කළ බව ඔහු එහිදී පෙන්වා දුන්නා.

ආරක්ෂක මණ්ඩලයේ තීරණයක් අනුව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත තමන්ව එලෙස කැඳවා තිබූ බවත් අදාළ කටඋත්තරය ලබාගැනීමෙන් පසු නැවත පාඨමාලාව හැදෑරීම සඳහා ඇමරිකාව බලා පිටත්ව යාමට හැකියාව ඇති බවත් එවක හිටපු නාවික හමුදාපතිවරයා තමන්ට දැනුම් දුන් බව ඩී.කේ.පී. දසනායක මහතා කොමිසම හමුවේ පැවසුවා.

තමන්ට ලැබුණු කැඳවීමට අනුව දින 14 ක අධ්‍යයන නිවාඩුවක් මත 2015 පෙබරවාරි 16 වැනිදා තමන් යළි මෙරටට පැමිණි බව ඔහු පැවසුවා.

හිටපු නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා හමු වූ තමන්ට 2015 පෙබරවාරි 19 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති නිශාන්ත සිල්වාට ප්‍රකාශයක් ලබාදෙන ලෙස උපදෙස් ලැබුණු බව ඩී.කේ.පී. දසනායක මහතා සඳහන් කළා.

කෙසේ වෙතත් නාවික හමුදාපතිවරයාගේ සහය නාවික නිලධාරියා ලෙස සිටි කොමදෝරු සුදර්ශන නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොයන ලෙස එදින පෙරවරුවේ තමන්ට දැනුම් දුන් බව දසනායක මහතා කොමිසම හමුවේ සඳහන් කළා.

නමුත් එදින නිශාන්ත සිල්වා විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තමන්ට විරුද්ධව විදෙස් ගමන් තහනමක් ලබාගෙන තිබූ බව ඔහු මෙහිදී සඳහන් කළා.

මෙය සිතාමතා අධිකරණය නොමඟ යවමින් තමන්ට විරුද්ධව ලබාගත් විදෙස් ගමන් තහනමක් බව ඔහු පෙන්වා දුන්නා.

මෙහිදී සාක්ෂිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඩී.කේ.පී. දසනායක මහතාගෙන් විමසුවේ යහපාලන රජයේ ප්‍රබල ඇමතිවරයෙක් තමන් විදෙස්ගතවීම සම්බන්ධයෙන් යම් කිසි සොයා බැලීමක් සිදුකර තිබුණේද යන්නයි.

සාක්ෂිකරු එහිදී සඳහන් කළේ එවකට විදේශ අමාත්‍යවරයාව සිටි මංගල සමරවීර මහතා තමන් විදෙස්ගත වීම සම්බන්ධයෙන් නාවික හමුදාපතිවරයාගෙන් විශේෂ වාර්තාවක් කැඳවා තිබූ බවයි

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ත්‍රස්තවාදය වැළැක්වීමේ ප්‍රතිපත්ති සහ උපායමාර්ග පිළිබඳ පශ්චාත් උපාධිය සඳහා අවස්ථාව ලැබුණු එකම පුද්ගලයා තමන් වූ අතර එය සම්පූර්ණ කිරීමට තමන්ට අවස්ථාව ලබා නොදෙමින් පසුගිය ආණ්ඩුව කටයුතු කිරීම හරහා පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා තමන් විශේෂ වගකීමකින් යුතුව ශ්‍රි ලංකාව තුළ කටයුතු කිරීමේ අවස්ථාව අහිමි වූ බවයි.

කොමිසම හමුවේ වැඩිදුරටත් සාක්ෂි ලබාදෙමින් ඩී.කේ.පී. දසනායක මහතා පැවසුවේ පෙර සඳහන් කළ චෝදනාව මත තමන්ව අත්අඩංගුවට ගත් බවත් වසර 5 ක් ගත වී තිබුණද නිශාන්ත සිල්වා කිසිදු බී වාර්තාවක් මගින් මෙම නඩුවට අදාළව තමන් සම්බන්ධ කිසිම කරුණක් අධිකරණයට වාර්තා කර නොතිබූ බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress