එජාප නායක රනිල් නොමැතිව, සමගි ජන බලවේගය සම්මුතියකට එළඹේ
Posted on March 2nd, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

ගජ මිතුරු සංගම් රටේ ජාතික න්‍යාය පත්‍රය තීන්දු කල කාලය, සමගි ජන බලවේගය මගින් අවසන් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ඉදිරි මහ මැතිවරණය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් පිහිටුවන ලද සමගි ජන බලවේගයේ සමාරම්භක උළෙලට කොළඹ – නෙළුම් පොකුණ රඟහලේදී අද එක්වෙමින්.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, ජාතික සංවිධායක නවීන් දිසානායක, උපනායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග, පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලක්ෂ්මන් කිරිඇල්ල, වජිර අබේවර්ධන සහ සාගල රත්නායක මෙම උත්සවයට පැමිණ සිටියේ නැහැ.

මීට අමතරව, තිලක් මාරපන , ඞී.එම් ස්වාමිනාදන්, බුද්ධික පතිරණ ඇතුළු තවත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 25 කට අධික ප්‍රමාණයක් මෙම අවස්ථාවට එක්නොවූ බවයි ආරංචි මාර්ග සදහන් කළේ.  

කෙසේ වෙතත් එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්ෂ වන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ  නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්, මෙම අවස්ථාවට සහභාගි වුනා.

එසේම දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, එහි නියෝජ්‍ය නායක  පාර්ලිමේන්තු මන්ත්‍රී පී. දිගම්බරම්, කඳුරට ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධක්‍රිෂ්ණන් සහ  ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ද මෙම උත්සවයට පැමිණ සිටියා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තලතා අතුකෝරාල,කබීර් හෂීම්,මංගල සමරවීර, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, විජිත් විජයමුණි සොයිසා, සහ එක්සත් ජාතික පක්ෂයේ පසුපෙල මන්ත්‍රීවරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටි බව සදහන්.

ජාතික හෙළ උරුමය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය හා එක්සත් වාමාංශික පෙරමුණ, සහ සිවිල් සංවිධාන විස්සක් සහ වෘත්තිය සමිති 18 ක් නියෝජනය කරමින් එහි නියෝජිතයින් සමගි ජන බලවේගයේ මහ ලේකම්වරයා සමඟ ජාතික සම්මුතියේ අවබෝධතා ගිවිසුම් වලට එළඹුණා.

සමගි ජන බලවේගයේ කටයුතු අද ආරම්භ කළ ද ඉදිරි මැතිවරණයට ඉදිරිපත්වන ලකුණ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සමඟ මේ වනවතුරුත් එකඟතාවට පැමිණ නැහැ.

ඊයේ පස්වරුවේ රැස්වූ එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබුණේ ඉදිරි මහ මැතිවරණය සඳහා ‘‘සමගි ජනබලවේගය ඩොට් එක්සත් ජාතික පක්ෂය’’ ලෙස අලියා ලකුණින් තරග කිරීමටයි. කෙසේ වෙතත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතුලූ පිරිසක් ඊට විරුද්ධත්වය පළ කර තිබෙනවා.

නව සන්ධානය සමඟ එක්සත් ජාතික පක්ෂයට එක්විය හැක්කේ එහි ව්‍යවස්ථාවට නීතිමය පිළිගැනීමක් ලැබීමෙන් පසුව බවයි  එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඊයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.

මේ අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තු සංකීර්ණයේ දී  මාධ්‍ය  හමුවක් කැදවා තිබුණා.

ඊට එක්වෙමින් ඔහු කියා සිටියේ සමගි ජන බලවේගයේ ලකුණ පිලිබඳ නිවැරදි තීරණය ඉතා ඉක්මනින් ජනතාවට ප්‍රකාශ කරන බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress