දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල/ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල වල සේවයේ නියුතු ආශ‍්‍රිත සේවා නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩල සඳහා ද නිවාඩු ලබා දීමට පියවර ගන්න
Posted on March 17th, 2020

සමෘද්ධි සංවර්ධන නිළධාරීන්ගේ සංගමය

ලේකම්,
එස්. හෙට්ටිආරච්චි මහතා,
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය,
නිදහස් චතුරස‍්‍රය,
කොළඹ 07.

ලේකම්තුමනි,

දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල/ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල වල සේවයේ නියුතු ආශ‍්‍රිත සේවා නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩල සඳහා ද නිවාඩු ලබා දීමට පියවර ගන්න.


2020 මාර්තු 17 සිට දින 3 ක් රජයේ ආයතන හා සේවාවන් කීපයක සේවකයින් සඳහා රජයේ නිවාඩු ලබා දී ඇත. රජය එවැනි තීරණයක් ගෙන ඇත්තේ දැනට රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින #Covid-19 කොරෝනා වෛරසයේ අවධානම් තත්වය හේතු කරගෙන බව පැහැදිලිය. එමෙන් ම එම මාරාන්තික වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් ය.

නමුත් එම රජයේ නිවාඩු දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල හා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවයේ නියුතු කාර්යය මණ්ඩල වලට ලබා දී නැත.

ඔවුන් එම අවධානම දරාගෙන ඉහත සේවා ස්ථාන වෙත පැමිණිය යුතුය. ඔවුන් මේ රටේ අපේම මිනිසුන් නොවන්නේ ද? මාරාන්තික කොරෝනා වෛරස් අවධානම මැඩලීම සඳහා සෞඛ්‍ය සේවා කාර්යය මණ්ඩල හා යුධ හමුදාව සිදු කරන කාර්යය භාරය අපි අගය කරමු. නමුත් ඔවුන්ට ද එම අවධානම නැතුවාම නොවන බව අපි දනිමු. ඔවුන් එම අවධානම දරා ගනිමින් කරන කාර්යය ගරු කළ යුතුය.

නමුත් මේ මොහොතේ කොරෝනා වෛරසය මර්ධනය කිරීමට කිසිදු අදාළත්වයක් නැති දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලවල හා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල ආශ‍්‍රිත සේවා ඇතුළු කාර්යය මණ්ඩල වල රාජ්‍ය සේවකයින් ආයතන වලට කැඳවා ඔවුන් එම අවධානමට ලක් කිරීම රජයේ වගකීම් විරහිත ක‍්‍රියාවක් බව අපි දැඩිව අවධාරණය කරමු. ඉහත කාර්යාල වල හැදුනුම්පත් අංශය, ආදායම් බලපත‍්‍ර අංශය ඇතුළු මහජනතාව නිරන්තරයෙන් පැමිණෙන මහජන සේවා කවුළු වසා දැමූ විටත් මෙම කාර්යාල වල කාර්යය මණ්ඩල බිල්ලට දීමේ අරමුණ කුමක්දැයි පැහැදිලි නැත.

රජයත්, සෞඛ්‍ය අංශ බලධාරීනුත් මෙම කොරෝනා වෛරසය මර්ධනය කිරීම සඳහා ගත යුතු සෑම නිරෝධායන ක‍්‍රියාමාර්ගයක්ම ගන්නා ලෙස ජනතාව දැනුවත් කර තිබිය දී මෙලෙස කාර්යාල වලට පැමිණෙන රාජ්‍ය සේවකයින් පොදු ප‍්‍රවාහන සේවාවන්වල උදේට සහ හවසට ගමන් කිරීමෙන් එම රාජ්‍ය සේවකයිනුත් පොදු මහජනතාවත් අවධානමට ලක් වන බව තේරුම් ගැනීමට බලධාරීන්ට නොහැකි වීම බරපතල කණගාටුදායක තත්වයකි.

මාර්තු 17 සිට දින කීපයක් දක්වා ක‍්‍රියාත්මක රජයේ නිවාඩු ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල හා දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලවල කාර්යය මණ්ඩල සඳහා ද ක‍්‍රියාත්මක කිරීමට කඩිනමින් පියවර ගන්නා මෙන් අප සංගමය ඉතා වගකීමෙන් රජයෙන් ඉල්ලා සිටිමු.

තමාගේත්, තම පවුලේ වැඩිහිටියන්ගේ හා දරුවන්ගේත් ජීවිත ආරක්ෂාව වෙනුවෙන් අප සේවාවට අයත් නිලධාරීන් විධිමත් දැනුම් දීමකින් පසු සේවා ස්ථානයට යම් හෙයකින් නොපැමිණියහොත් ඊට එරෙහිව පියවර නොගන්නා ලෙසත් ඉල්ලා සිටින අතර යම් හෙයකින් එවැනි පියවරක් ගතහොත් ඊට එරෙහිව අප වෘත්තීය සමිතිය ඒ වෙනුවෙන් ඉදිරිපත් වන බව ද මෙයින් දන්වා සිටිමු.

ස්තූතියි.

මෙයට,
චන්දන සූරියආරච්චි
ලේකම්

සම්බන්ධීකරණය – 071 81 78 268
Coordinating – +9471 81 78 268

පිටපත් –
1. ගරු රාජ්‍ය පරිපාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙත්නකෝන් මැතිතුමා ( අ.ක.ස.)
2. මහින්ද දේශප‍්‍රිය මහතා – සභාපති, මැතිවරණ කොමිෂන් සභාව (අ.ක.ස.)
3. පළාත් ප‍්‍රධාන ලේකම්වරු
4. සියලූම දිස්ත‍්‍රික් ලේකම්වරු ( අ.ක.ස.)
5. ඒකාබද්ධ සේවා අධ්‍යක්‍ෂ ජනරාල් ( අ.ක.ස.)



Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress