නීති තර්ක වලින් ආණ්ඩුවේ මුදල් හිරකොට කොරෝනා මර්ධන ව්‍යාපෘතිය අඩාල කිරීමේ දුෂ්ඨ උත්සාහය හෙලා දකිමු.
Posted on March 23rd, 2020

මාධ්‍ය නිවේදනය මහින්ද රාජපක්‍ෂ අග්‍රාමාත්‍ය

කොරෝනා වෛරසය ලංකාවේ තවදුරටත් පැතිරීම වැලැක්වීමට මුලු රට පුරාම ඇඳිරිනීතිය පැනවූ දිනයේම, එනම් 2020 මාර්තු 20 වන සිකුරාදා එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ, තමන් නායකත්වය දුන් පසුගිය ආන්ඩුව 2020 වසර වෙනුවෙන් අයවැයක් සම්මත නොකොට 2020 අප්‍රේල් 30 වනදා දක්වා පමණක් බලපවත්වන අතුරු සම්මත ගිණුමක් සම්මත කොට තිබීම හේතුවෙන් අප්‍රේල් 30 වනදායින් පසු, මොනම දෙයකටවත් මුදල් වියදම් කිරීමට ආණ්ඩුවට නෛයිතික බලයක් නැතිවෙන බවයි.  සජිත් ප්‍රේමදාස හිටපු විපක්‍ෂ නායකවරයාත්, මුහුණුපොත හරහා මේ තර්කයම ඉදිරිපත් කරමින් සිටි.

පාර්ලිමේන්තුව විසිරුවා හැර තිබෙන අවස්ථාවක රජයේ සේවාවන් පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය කරන මුදල් ඒකාබද්ධ අරමුදලෙන් නිකුත් කිරීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150(3) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට බලය පැවරේ. මේ නිසා කොරෝනා වෛරසය මර්දන ව්‍යාපෘතිය හා රජයේ සෙසු සේවාවන් පවත්වාගෙන යෑම සඳහා මුදල් ප්‍රතිපාදන තිබේද නැත්ද යන්න ගැන මහජනතාව කිසිඳු බියක් ඇතිකරගත යුතු නැත. පසුගිය පෙබරවාරි 20 වෙනිදා, යහපාලන ආණ්ඩුවේම බෙහෙත් හා පොහොර වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ සැපයුම්කරුවන්ට හිඟ මුදල් ගෙවා සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා අපි යෝජනාවක් ඉදිරිපත් කළද, පාර්ලිමේන්තුවේ බහුතරය හිමිව සිටි සජිත් ප්‍රේමදාස විපක්‍ෂ නායකවරයා ඇතුලු පාර්ශවය අලුත් ආණ්ඩුව අපහසුතාවයට පත් කොට දේශපාලන වාසි ලබා ගැනීම සඳහා එයට විරුද්ධ විය.     

රටේ අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යෑමට අපිට මුදල් සොයා ගැනීමට හැකිවූයේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් පසු, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150(3) වගන්තියෙන් ජනාධිපතිවරයාට ලැබෙන මුදල් බලතල නිසාය. මේ රටේ එකම කොරෝනා ආසාධිතයෙක්වත් නැති අවස්ථාවක 2020 මාර්තු 02 වනදා, ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(1) වගන්තිය අනුව  පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. ඊට දින දහයකට පසු ලංකාවේ පළමු කොරෝනා රෝගියා සොයා ගැනීමත් සමඟම සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ විපක්‍ෂය කලේ පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමිය යුතු යැයි හඩ නැගීමය. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(5) (අ) වගන්තියට අනුව පාර්ලිමේන්තුව විසිරුවා හරින ගැසට් පත්‍රයේම පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන දිනයත් අලුත් පාර්ලිමේන්තුව මුල් වරට රැස් වන දිනයත් නියම කළ යුතු වේ. එම ප්‍රකාශය නිකුත් කළ පසුව, මොනම තත්වයක් යටතේවත් ඡන්දය පවත්වන දවස කල් දැමීමට ජනාධිපතිවරයාට බලය නැත. 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3) වගන්තියට අනුව යම්කිසි අනපේක්‍ෂිත හෝ හදිසි තත්වයක් නිසා ඡන්දය පවත්වන දිනය කල් දැමීමේ බලය ලැබෙන්නේ මැතිවරණ කොමිසමටය. ඒ අනුව මැතිවරණ කොමිසම ඡන්දය පවත්වන දිනය කල්දමා ඇත.

මේ ආකාරයට මැතිවරණය පවත්වන දිනය කල් දමා තිබීමෙන්, ව්‍යවස්ථාවේ 150(3)  වගන්තිය යටතේ පාර්ලිමේන්තුව විසිරුවා හැර තිබෙන කාලය තුළ ජනාධිපතිවරයාට හිමි මුදල් බලතල කිසිවක් වෙනස්වන්නේ නැත. කොරෝනා වෛරස් උවඳුරෙන් දේශපාලන වාසි ලබා ගැනීමට එ.ජා.පයේ පාර්ශව දෙක තරඟයක නියැලී සිටින බව අපට පෙනේ. පසුගියදා පිටරට සිට ශ්‍රී ලංකාවට පැමිණ, නිරෝධායනයට යෑමට නොහැකි යැයි කියා ගුවන්තොටුපලේදී කලබල කළ පිරිස් දිරිගන්වමින් සජිත් ප්‍රේමදාස විපක්‍ෂ නායකවරයා ආණ්ඩුවේ නිරෝධායන වැඩ පිළිවෙලට අකුල් හෙලූ ආකාරය මුලු රටම දුටුවේය. අලුත් ආණ්ඩුවේ මුදල් සැපයුම කපා හැරීමට යහපාලන පාර්ශවය පසුගිය මාසයේ පාර්ලිමේන්තුව තුළ ගත් උත්සාහය වැරදුනු පසු, දැන් ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ලබා දී ඇති මුදල් බලතල ගැන නීති තර්ක ඉදිරිපත් කොට, දරුණු වසන්ගතයක් මධ්‍යයේ රට අකර්මණ්‍ය කිරීමට ගන්නා මේ උත්සාහය අපි හෙළා දකිමු.

අවස්ථාවාදී පාර්ශව රටට එරෙහිව දියත් කරන මෙවන් කුමන්ත්‍රණ හමුවේ වුවත්, ජනතාව කොරෝනා වෛරස් උවදුරෙන් ගලවා ගැනීමට තම ජීවිතත් පරදුවට තබා දිවා රෑ නොබලා වෙහෙසෙන වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සියලුම සෞඛ්‍ය කාර්‍යමණ්ඩල වලටත්, ත්‍රිවිධ හමුදාවේ සියලු සාමාජිකයන්ටත්, අත්‍යාවශ්‍ය සේවා සපයන සෙසු පිරිසටත් මම මේ අවස්ථාවේදී මාගේ ප්‍රණාමය පුද කර සිටිමි. 

මහින්ද රාජපක්‍ෂ

අග්‍රාමාත්‍ය

One Response to “නීති තර්ක වලින් ආණ්ඩුවේ මුදල් හිරකොට කොරෝනා මර්ධන ව්‍යාපෘතිය අඩාල කිරීමේ දුෂ්ඨ උත්සාහය හෙලා දකිමු.”

  1. dhane Says:

    Let have the General Election when the time is right. People of Sri Lanka will give 5/6 majority for Gotabaya & Mahinda to govern the country in correct direction. One more request specially to PM Mahinda Rajapaksa please get ride of your corrupted political former ministers & supporters. Do not take any candidates who are rejected by the voters. That will help Gotabaya to steer the country at correct direction with young & intelligent New comers.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress