වගකීම ආණ්ඩුවට පවරලා කොරෝනාවෙන් මිදෙන්න බෑ!
Posted on March 26th, 2020

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

තමන් මුහුණ දුන් කෝවිඩ් – 19 උවදුරෙන් අත්මිදීමට චීනය සමත් විය. එහෙත් ඉතාලිය ඇතුළු බටහිර රටවල් මෙම සටන තුළ බලවත් අර්බුදයකට මුහුණ පා සිටිති. මේ වන විට අපිදු මෙම වසංගතය නිසා පීඩාවට පත් වී සිටිමු. චීනය මෙම සටනින් ජය ගත්තේ කෙසේ ද, බටහිර රටවල් මුහුණ දී සිටින ගැටලුව මොකක්ද, මේ සියල්ලෙන් අපට උගත හැකි පාඩම් මොනවා ද යන මේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා ගැනීම සඳහා අප හමුවූයේ අන්තර්-සංස්කෘතික සන්නිවේදනය සහ චීන අධ්‍යයන විෂයය පිළිබඳ ප්‍රාමාණිකයකු ද සමාජ විචාරකයකු ද වන ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති මහතායි.

කොරෝනා උවදුරෙන් මිදෙන්න චීනයට පුළුවන් වෙලා. ඒ අය මේ සටන ජයගත්තේ කොහොම ද?

මේ වගේ මහා පරිමාණ අර්බුදයක් ආණ්ඩුවකට හරි හමුදාවකට හරි තනියෙන් පාලනය කරන්න බෑ. වෛද්‍යවරුන්ටත් බෑ. මේකට සියලුම ජනතාව එක විදිහට සම්බන්ධ වෙන සාමුහික ප්‍රයත්නයක් ඕන. හැම කෙනෙක් ම තමන්ගේ වගකීම හඳුනාගෙන ඒ දේ කරන්න ඕන. මේක මිනිස්සුන්ගේ පැත්තෙන් ගත්තාමත් තනි වගකීමක් නෙවෙයි. අපි මේක තේරුම් ගන්න ඕන සාමූහික වගකීමක් විදිහට. සාමුහිකත්වය කියන්නේ සංස්කෘතික විදිහට නිර්මාණය වෙන දෙයක්. අවුරුදු හාර පන්දාහක දීර්ඝ ඉතිහාසයක් තියෙන චීන මිනිස්සු තුළ තාමත් අඩුවක් නැතුව සාමුහිකත්වය තියෙනවා. චීන කොමියුනිස්ට් පක්‍ෂය මුල් වෙලා කරපු විප්ලවය ජයග්‍රහණයෙන් අවසන් වුනෙත් මේ සාමුහික ගුණය මනාව හදුනා ගෙන ඒ වැඩේ කරපු හින්දා. ඉතින් මේ වතාවේ කොරෝනාව පරද්දන සටනටත් චීන මිනිස්සු ළඟ තියෙන ඒ සාමුහික ගුණය හේතු වුනා.

චීනයේ තියෙන දැඩි පාලනය මේකට හේතු වුනා කියන්න බැරි ද?

කොච්චර දැඩි පාලනයකට වුනත් සමාජයක හැම අස්සක් මුල්ලක් ම බලන්න බෑ. මේ දවස්වල අපේ රටේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. මේක ඉතාමත් දැඩි විදිහට මිනිස්සු පාලනය කිරීමක්. ඒත් මේ නීතිය පනවපු පමණින් මිනිස්සු ගෙවල්වලට වෙලා ඉන්නවා ද? හැම ගමක් අස්සට ම පොලීසියට යන්න පුළුවන් ද? අපේ රටේ වගේ ජනගහනයක් ද චීනයේ ඉන්නේ? චීනය කොච්චර නම් ලොකු ද? ඉතින් දැඩි පාලනයක් තිබුණා කියලා මේ වගේ වැඩ කරන්න බෑ. මේක මිනිස්සු එකතු වෙලා සාමූහික විඥානයකින් කරන්න ඕන වැඩක්.

සාමුහික විඥානයක් කියලා ඔබ අදහස් කරන්නේ?

තව සති තුනක් ගත වෙන්න කලින් අපි සිංහල අවුරුද්ද සමරනවා. අවුරුද්දට අදාළ වැඩ අපි කරන්නේ ආණ්ඩුවේ හරි කාගේ හරි නියෝගවලට අවනත වෙලා නෙවෙයි. මේ වැඩේට අදාළ සාමූහික විඥානයක් අපිට තියෙනවා. ඉතින් අපි හැමෝම ඒකට අදාළ වැඩ එක විදිහකට කරනවා. මේ විඥානය උපද්දවලා තියෙන්නේ සංස්කෘතිය විසින්. පහුගිය දවස්වල අපේ තරුණ ළමයි එකතු වෙලා තාප්පවල චිත්‍ර ඇන්දෙත් එක්තරා සාමූහික විඥානයකින් බැඳිලා. යුද්ධයක් ඇති වුනාමත් අපි මේ විදිහට සාමූහිකව බැ‍ඳෙනවා. මේ හැකියාව සංස්කෘතික විදිහට හැඩ ගහගෙන නැතිනම් මිනිස්සුන්ට තමන්ගේ වගකීම හඳුනාගෙන එකතු වෙන්න බෑ.

ඉතාලියේ අයට මේ සංස්කෘතික පුහුණුව නැති ද?

ඉතාලිය කියන්නේ කතෝලික රටක්. කතෝලික කියන වචනයේ තේරුමත් සාමූහික කියන එක. ඉතින් ඉතාලි සංස්කෘතිය ඇතුළේ මේ පුහුණුව තියෙන්න ඕන. ඒත් මේ බටහිර රටවල් දැන් වැඩි තැනක් දෙන්නේ ලිබරල් සංස්කෘතියට. ප්‍රංශ විප්ලවය මහා ජයග්‍රහණයක් විදිහට බටහිර රටවල්වල සළකන්නේ පැරැණි සාමූහික සමාජ ක්‍රමය බිඳ දාලා ලිබරල් ලෝකයක් උදා කරන වැඩේට අදාළ මූලික පෙරැළියක් ඒකෙන් සනිටුහන් කෙරුණු හින්දා. ඉතින් දැන් කතෝලික, ක්‍රිස්තියානි භේදයක් නැතුව මේ හැම රටක් ම සාමූහිකත්වය අමතක කරලා, පුද්ගලිකත්වයට මුල් තැනක් දෙන ලිබරල් සංස්කෘතියට යට වෙලා.

ඒත් බටහිර රටවල්වල පාලන ක්‍රමය හොදින් සංවිධාන ගත කරලා තියෙනවානේ?

තර්කානුකූල විදිහට හිතලා ඇති කරපු පාලන යාන්ත්‍රණයක් බටහිර රටවල්වල තියෙනවා. ඊට අමතරව නීතියේ පාලනයත් ඉහළින් ම තියෙනවා. ඉතින් රට පාලනය කරන්නේ කවුද කියන එක ඒ අයට අදාළ නෑ. කවුරු ජනාධිපති වුනත්, කවුරු අගමැති වුනත් පාලන යන්ත්‍රය ඒකට අදාළ විදිහට ම ඉස්සරහට යනවා. ඒත් මේ වගේ මහා පරිමාණ ආපදාවක දී ඒ යන්ත්‍රය අකර්මන්‍ය වෙනවා. මෙහෙම වෙලාවට කරන්න ඕන මොකක්ද කියලා යන්ත්‍රය දන්නේ නෑ. ඒ යන්ත්‍රය මෙහෙයවන අය දන්නෙත් නෑ. ඔක්කොම වගකීම් යන්ත්‍රයට පවරලා තමන්ගේ පුද්ගලිකත්වයේ ගැලිලා ඉන්න සාමාන්‍ය මිනිස්සු ඒ ගැන කිසිම දෙයක් දන්නේ නෑ.

එතකොට අපේ රටේ වෙලා තියෙන්නේ මොකක් ද?

අපිත් චීන ජනතාව වගේ ම දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන ජාතියක්. ඉතින් ඒ හරහා උරුම කරගත්ත සාමූහිකත්වයක් අපිට තියෙනවා. මේක අදාළ සාමූහික විඥානය ඉස්සරහට එන්නේ අපි අවුරුදු කද්දි විතරක් නෙවෙයි. නාය යෑමක්, මහා ගංවතුරක් වගේ හදිසි ආපදාවක් ඇති වුනාමත් අපේ මිනිස්සු සාමූහිකව ක්‍රියාත්මක වෙලා ඒ ප්‍රශ්න විසඳා ගන්නවා. ඒ වෙලාවට අපේ රාජ්‍ය යාන්ත්‍රණය හරිම අකාර්යක්‍ෂම බව අපි දන්නවා. චක්‍රලේඛවලින්, නියෝගවලින් අපේ මිනිස්සු මෙහෙයවන්න බෑ. හැබැයි දැන් තියෙන්නේ වසංගතයක් හින්දා මේකට එරෙහි සටනට මිනිස්සු එකතු කරන්න පුළුවන් වෙනත් ක්‍රම අපි හොයාගන්න ඕන. මොන විදිහකින් හරි මේ සටනටත් අපි අපේ සාමූහික විඥානයෙන් වැඩ ගන්න ඕන.

ඒත් දැන් අපි කරන්නේ වගකීම ආණ්ඩුවට පවරලා බලාගෙන ඉන්න එකනේ?

අපි බලාගෙන ඉන්නවා නම් ඒත් කමක් නෑ. ඒ වුනත් ඇඳිරි නීතිය වගේ ක්‍රමවලින් අපේ මිනිස්සු මේච්චල් කරන්න බෑ. කරන්න ඕන හොඳම වැඩේ තමයි මිනිස්සුන්ට වගකීම් පවරන එක. ඒක වුනත් නියෝගවලින් කරන්න බෑ. අපි එකතු වෙලා මෙහෙම කරමු” කියලා කිව්වොත් විතරයි අපේ මිනිස්සු ඒ වගේ වැඩට සම්බන්ධ වෙන්නේ.

මොන වගේ වැඩ ද මේ විදිහට කරන්න පුළුවන්?

කොටි ප්‍රශ්නය තියෙන කාලේ අපි සිවිල් ආරක්‍ෂක කමිටු ක්‍රියාත්මක කළා. ඒක සාමූහික විදිහට වගකීම පැවරීමක්. ඉතින් මේ සටන සඳහාත් අපිට පුළුවන් සිවිල් ආරක්‍ෂක කමිටු පිහිටුවන්න. අපේ ගම්වල පන්සලේ ස්වාමීන්වහන්සේලා, ග්‍රාමීය නායකයෝ සහ තරුණ පිරිස් සම්බන්ධ කරගෙන මේ වැඩේ කරන්න පුළුවන්. ත්‍රී රෝද රථ ධාවනය කරන අයටත් පුළුවන් මේ වෙනුවෙන් සෑහෙන වැඩ කොටසක් කරන්න.

ත්‍රී රෝද රථ ධාවනය කරන අයට?

ඔව්. ගෙවල්වල අවශ්‍යතා හඳුනා ගෙන ඕන කරන දේවල් තොග වශයෙන් ගෙනැල්ලා ඉල්ලපු දේවල් අදාළ ගෙවල්වලට බෙදන වැඩේ සිවිල් ආරක්‍ෂක කමිටුවට කරන්න පුළුවන්. ත්‍රී රෝද රථ ධාවනය කරන අයට මේ යටතේ කරන්න පුළුවන් දේවල් කියන්න ඕන නෑනේ. මෙහෙම කරන්න පුළුවන් නම් තමන්ට අවශ්‍ය දේවල් මිල දී ගන්න හැම කෙනෙක් ම කඩේ යන්න ඕන නෑ. ඒ අයට පුළුවන් තමන්ට අවශ්‍ය ගනුදෙනු ගෙදර ඉඳලා ම කරගන්න.

චීනයේත් මේ වැඩේ කළා ද?

චීනය පුරා ම සිවිල් ආරක්‍ෂක කමිටු පිහිටෙව්වා. හැබැයි චීනයේ මංගත (online) වෙළෙඳාම දියුණු හින්දා මිනිස්සු තමන්ට ඕන දේවල් මිල දී ගත්තේ ඒ හරහා. හැබැයි ඒවා ගෙයක් ගෙයක් ගානේ බෙදන එකට හවුල් වෙන්න සිවිල් ආරක්‍ෂක කමිටුවලට සිද්ද වුනා. අදාළ සමාගම්වල ඉඳලා බඩු ප්‍රවාහනය කරන අය ආවේ සිවිල් ආරක්‍ෂක නිලධාරින් ඉන්න තැනට විතරයි. ඒත් අපේ රටේ මංගත වෙළෙඳාම දියුණු නෑ. ගම්වල අයට මේ වැඩ තේරෙන්නෙත් නෑ. ඉතින් අපේ සිවිල් ආරක්‍ෂක කමිටුවලට පුළුවන් ගෙවල්වලට දුරකථන ඇමතුම් දීලා අවශ්‍ය දේවල් ගැන අහන්න. ඊට පස්සේ දවසකට දෙකකට වතාවක් ඒ අවශ්‍යතා සපුරලා දෙන්න.

මේ විදිහට වගකීම් පැවරීමෙන් ලැබෙන තවත් ප්‍රයෝජන තියෙනවා ද?

ඔව්. මේක තමන් මහන්සි වෙලා කරන සටනක් බව මේ වැඩේ හරහා මිනිස්සු තේරුම් ගන්නවා. එහෙම වුනාම ඒක කඩාකප්පල් වෙනවා දකින්න මිනිස්සු කැමැති වෙන්නේ නෑ. මේ සටනට ඕන සාමූහික විඥානය ඉතාමත් තද විදිහට මේ හරහා වර්ධනය වෙනවා. එහෙම වුනාම මේකට බාධා කරන අය මෙල්ල කරන වගකීම මිනිස්සු ස්වේච්ඡාවෙන් ම තමන්ට පවරා ගන්නවා. ඒ හින්දා පුළුවන් ඉක්මනින් ම මේ වැඩේ පටන් ගන්න ඕන කියලා මම හිතනවා.

සාමුහිකත්වයට අමතරව මේ සටන වෙනුවෙන් චීනයෙන් අපිට ගන්න පුළුවන් ආදර්ශ තියෙනවා ද?

චීනය මේ සටන දිනුවේ දේශප්‍රේමය මුල් කරගෙන. හැම වැඩ බිමක ම වගේ ශබ්ද විකාශන යන්ත්‍ර හරහා දේශප්‍රේමී ගීත ප්‍රචාරය කරන්න ඒ තැන්වල වගකීම් දරපු අය ක්‍රියා කළා. ඒ හරහා තමයි මේ සටනට අවශ්‍ය චිත්ත ධෛර්යය මිනිස්සුන්ට ලබා දුන්නේ. එහෙම වුනාම තමයි මිනිස්සු ආත්මාර්ථය පැත්තකින් තියලා තමන්ගේ ජීවිතය වුනත් කැප කරලා ඉස්සරහට යන්න ඉදිරිපත් වෙන්නේ. දේශප්‍රේමයට මුල් තැනක් දීලා තමයි මාධ්‍ය ආයතන පවා ක්‍රියා කළේ. ඉතින් අපිට ඒ ආදර්ශයත් බොහොම ප්‍රයෝජනවත්.

චීන සාම්ප්‍රදායික වෙදකමින් මේ සටනට ලැබිච්ච උදව්ව මොකක් ද?

තමන්ගේ වෙදකමට චීනයේ නීතියෙන් ම ප්‍රමුඛතාව දීලා තියෙනවා. චීනයේ තියෙන හැම බටහිර රෝහලක ම අනිවාර්යයෙන් ම චීන වෛද්‍ය අංශයක් පවත්වා ගෙන යන්න ඕන. ඊට අමතරව, චීන – බටහිර ඒකාබද්ධ රෝහල් විශාල ප්‍රමාණයකුත් චීනයේ තියෙනවා. චීනයේ ඉන්න බටහිර වෛද්‍යවරු තමන්ගේ ජාතික වෛද්‍ය උරුමයට ගරහන්නේ නෑ. ඉතින් මේ සටන දිනන්න චීන වෙදකමින් ලැබිච්ච උදව්ව බොහොම ඉහළින් චීනයේ කතා වෙනවා. චීන වෙදකමින් නිර්දේශ කරන පිළියම් මිනිස්සු අනුගමනය කරනවා.

චීනය මේ වෙද්දි ‍අනිත් රටවල්වල කොරෝනාව මඩින්නත් මැදිහත් වෙනවා නේ ද?

ඔව්. මේකත් සාමූහික විඥානය මුල් කරගෙන කරන වැඩක් කියලා තමයි මම හිතන්නේ. තමන් විතරක් දිනලා මේ හතුරා පරද්දන්න බැරි බව චීන මිනිස්සු දන්නවා. පහුගිය සතියේ ඉඳලා චීනයෙන් වාර්තා වෙච්ච හැම කොරෝනා ලෙඩෙක් ම වෙන රටවල්වල ඉඳලා චීනයට ආපු අය. ඉතින් අනිත් රටවල්වල ලෙඩේ දරුණු විදිහට පැතිරෙද්දි චීනයට විතරක් ආරක්‍ෂා වෙන්න බෑ. මේ සටනින් දිනන්න නම් මුළු ලෝකයේ ම මිනිස්සු සාමූහිකව හිතලා අදාළ වගකීම් තමන්ට පවරාගෙන කටයුතු කරන්න ඕන.

ඒ කියන්නේ ලිබරල් අදහස්වලින් ලෝකය ම මිදෙන්න ඕන කියන එක ද?

මම එහෙම ම කියන්නේ නෑ. ලිබරල් අදහස්වල තියෙන හොඳ, ගැලපෙන දේවල් අපි රැකගන්න ඕන. හැබැයි සාමූහිකත්වය අමතක කරලා පුද්ගලවාදයෙන් විතරක් නම් ඉස්සරහට යන්න මිනිස්සුන්ට බෑ. මේ ලෝකය රැක ගන්න පුළුවන් සාමූහික විදිහට එකතු වෙලා මිසක් තනි තනියෙන් තමන්ගේ අයිතිවාසිකම් ගැන හිතලා නෙවෙයි. ඉතින් මේක මිනිස් සංහතියේ අනාගතය තීරණය කරන චින්තන පරිවර්තනයකට අදාළ කරගන්න පුළුවන් අර්බුදයක් කියලා මම හිතනවා. මේ වගේ පරිවර්තන අවස්ථාවක දී ඒකට හවුල් වෙන්නේ නැතුව ආණ්ඩුවට බැන බැන ඉන්න ගියොත් අපි විශාල කරදරයකට මුහුණ දීලා තමයි වැඩේ ඉවර කර ගන්නේ. විවෘත ආර්ථිකයේ ගියෙන ගැටලු පවා මේ හරහා ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ගෙවතු වගාව, කෘෂිකර්මයට මුල් තැන දීම වගේ දේවල් ගැන අපි දැන් සෑහෙන්න කතා කරනවා. අපි මේවා කතාවට විතරක් සීමා කරගෙන බෑ. සමුපකාරය පවා නැවත පණ ගන්වන්න ඕන.

සමුපකාර ක්‍රමය ගැන අපේ මිනිස්සුන්ට කිසිම පැහැදීමක් නෑනේ?

ඒක ඇත්ත. අපි සමුපකාර ක්‍රමය ආයෙත් ඇති කරගන්න ඕන අසාර්ථක වෙච්ච පරණ ආකෘතිය ඇතුළේ නෙවෙයි. සමුපකාරය ගමේ මිනිස්සුන්ට අයිති හවුල් සමාගමක් බවට පත් කරනවා වගේ ආකෘතික වෙනසක් කරලා තමයි අපි ඒ වැඩේ කරන්න ඕන. සහෝදරත්වයේ ආර්ථිකය (Solidarity economy) කියලා සංකල්පයක් ලෝක මට්ටමින් ඉස්සරහට එමින් තියෙනවා. අපේ සාමූහික ආර්ථික අවශ්‍යතා සම්පූර්ණ කරගන්න අපිටත් ඒ වගේ ක්‍රමයක් ගැන හිතන්න වෙනවා. අද වෙද්දි මේ අර්බුදය නිසා සුපිරි වෙළඳසල් පවා අකර්මන්‍ය වෙලා. ඇදිරි නීතිය අයින් කළාම වරුවක් විතර පෝලීමේ ඉඳලා සුපිරි වෙළඳසල් ඇතුළට යන මිනිස්සු දකින්නේ හිස් රාක්ක. ගමේ මිනිස්සුන්ට අයිති හවුල් සමාගම් විදිහට සමුපකාර ක්‍රමය ඇති කරලා තිබුණා නම් මේක වෙන්නේ නෑ. ඒ ක්‍රමය ඇතුළේ ප්‍රාග්ධන හිමියාත්, වෙළෙඳසල් සේවකයාත්, පාරිභෝගිකයාත් එකම පිරිසක්. ඉතින් ඒ අය පොදු සාමූහික වගකීමකින් කටයුතු කරන එක ඉබේම සිද්ද වෙනවා.
 
සාකච්ඡා කළේ: දිහාන් බණ්ඩාර කීරියවත්ත

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2020 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress