ප්‍රජා -තන්ත්‍ර-වාදය නමැති නාස් ලණුවෙන් ගැලවෙමු! (දෙවෙනි කොටස)
Posted on April 2nd, 2020

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B.,Ph.D.

Buddhism and Democracy

We know indeed that political science—Arthaśāstra in Sanskrit—was a favourite subject with Indian scholars some centuries before the Christian Era. The social contract as the origin of kingship is discussed in the now famous work attributed to Kautilya, the Chief minister of emperor Chandragupta, about the year 300 B.C. And it would seem that the people who contracted for a king in these early days did so in order that there should be some external authority capable of ensuring that the laws and regulations of the various corporate bodies which had come into existence, were respected. ’The king,’ wrote Yājñavalkya, ’must discipline and establish again on the path of duty all such as have erred from their own laws, whether families, castes, guilds or associations …’ It is notable that the tendency towards self-government evidenced by these various forms of corporate activity received fresh impetus from the Buddhist rejection of authority of the priesthood and further by the doctrine of equality as exemplified by its repudiation of caste. It is indeed to the Buddhist books that we have to turn for an account of the manner in which the affairs of these early examples of representative self-governing institutions were conducted.

….And it may come as a surprise to many to learn that in the assemblies of the Buddhists in India two thousand or more years ago are to be found the rudiments of our own parliamentary practice of the present day. The dignity of the assembly was preserved by the appointment of a special officer—the embryo of ’Mr. Speaker’ in our House of Commons. A second officer was appointed whose duty it was: to see that when necessary a quorum was secured, the prototype of the parliamentary chief whip in our own system. A member initiating business did so in the form of a motion which was then open to discussion. In some cases this was done once only, in others three times, thus anticipating the practice of parliament in requiring that a bill be read a third time before it became law. If discussion disclosed a difference of opinion the matter was decided by the vote of majority, the voting being by ballot.”

Marquess of Zetland, a former Viceroy of índia, in Introduction in Legacy of India, G. T. Garratt (Ed.), (Oxford Press, 1937).

මොන්ටෙස්කි ඔළුවෙන් හිට ගැනීම

කලින් ලිපිය අවසාන කලේ පන්සිල් පද පහ ගැන නොව ලොව සැමටම පොදු ධ‌ර්‌මතාවක් වන චතුරාර්ය සත්‍යය මතක් කරමින්‌ය. රාජකීය විද්‍යාලයට ගිය හෝ නොගිය, ටයි දාන හෝ නොදාන, කලිසම් අඳින හෝ නාඳින කළු සුද්දන් සිතනවා ඇත්තේ නියෝජිත-ප්‍රජා-තන්ත්‍ර-වාදය (නාස් ලණු වාදය), නීතියේ ආධිපත්‍යය, බලතල බෙදීමේ න්‍යාය යනාදිය සුද්දන් ලෝකයට හා ලංකාවට ඉගැන්‌වු මතවාද ලෙසය. ඉහතින් උපුටා දක්‌වා ඇත්තේ ලොකුම ලොකු සුද්දෙක් 1937 දී පොතකට ලියූ පෙරවදනෙන් උපුටා ගත් ජේද දෙකකි. පසුගිය කාලයේදී සුප්‍රිම් කෝට් නඩුකාරවරු, නීති මහාචාර්යවරු, ජනාධිපති නීතීඥවරු, එන්. ජී. ඕ. ඩොලර් කාක්කන් හා සමහර බටහිර විදේශ තානාපතිලා මහා ඝොෂාවක් කලේ 19 වන සංශොධනයේ අගය, බලතල බෙදීම හා ඉන්දියාවේ නඩු තීන්‌දු යනාදිය ගැනය. මේ සියළුදේම බලය අල්ලාගත් යම් සුළු පිරිසක් විසින් සෙසු ජනයා පාලනය කිරීම (රැවටීම හා සූරාකෑම) සඳහා යොදාගත් නාස්ලණු පමණය.

උදාහරණයක් වශයෙන් ව්‍යවස්ථා නීතිය සම්බන්‌ධ විශේෂඥයින් විසින් මෑතදී සොයා ගත් මොන්ටෙස්කි ඔළුවෙන් හිට ගැනීම ගැන ඔවුන් නිහඬය. ඇත්තවශයෙන්ම මොන්ටෙස්කි කියා සිටියේ තාප්ප වලින් වෙන්කල ආකාරයේ බලතල බෙදීමක් නොව රටක රාජ්‍ය බලය (ව්‍යවස්ථාදායක-විධායක-අධිකරණ) හැකි උපරිම ඒකක සංඛ්‍යාවකට බෙදා හැරීම බව දැන් අවභොධ කරගෙන ඇත. ගම් සභාව, පංචයාත්, ජන සභා හා දැන් අළුතින්ම ජනාධිපති ගෝඨාභයගේ ජන මූල සභා එවැනි ඒකකය. පංචයාත් යන්නේ තේරුම නම් පස් දෙනෙක් එකඟවූ තැන දෙවියන් ඉන්නවා යනුය (මෙහි අනිත් පැත්ත අපරාධ නීතියේ එන පස් දෙනාගේ නීති විරෝධි එක්‍රැස්වීම විය යුතුය!). ලෝකයේ කොහේවත් නැති සර්‌වාධිපත්‍යය (බලතල තුනම) සහිත ඒකකයක් නම් ගමේ පන්සලය. එහි නායක හිමියන් හා දායක සභාව ක්‍රිස්තියානි, උලමා සභාවලින් පාලනය වන පල්ලි මෙන් නොව ස්වාධීන ආයතනය. කොළඹින් එන චක්‍ර ලේඛන මෙන් මහානායක හිමිවරුන්ට පන්සල් වලට අණදීමට නොහැකිය.

දෘඪ බලතල බෙදීමක් ලෝකයේ කොහේවත් නැත. ඇමෙරිකාවේ පහල උසාවි වල නඩුකාරවරු මහජන චන්දයෙන් දිණන අපේක්‍ෂකයෝය! දිස්ත්‍රික් හා ඉන් ඉහළ උසාවි වලට තම මතවාදයට පක්‍ෂ අය පත් කිරීම (උදාහරණයක් වශයෙන් ස්ත්‍රීන්ට ගබ්සා තහනම් කිරීම වැනි) ජනාධිපති චන්දයේදී චන්දදායකයින්ට දෙන පොරොන්‌දුවක් වන අතර, ඩොනල්ඩ් ට්‍රම්ප් එසේ ඔහු කල පත්‌වීම් ගැන උදම් අණමින්, 2020 නොවැම්බර් චන්දයට සැරසෙමින් සිටී! ජනාධිපති හා කොන්ග්‍රසය ශීතල යුද්‌ධයක් කරණ අතර සෙනේට් සභාව හා නියෝජිත මන්ත්‍රණ සභාව රට කොට උඩ යන තරමටම කඹ අදිමින් සිටී. මේවා සිංහල චන්දදායකයාට (හා පාලිත තේවරප්පෙරුම, මර්වින් සිල්වා වැනි අයගේ අධ්‍යාපනය සඳහා) ලියන පත්තරයක් හෝ කියන ටී වී නාලිකාවක් හෝ තිබෙනවාද? පරණ නොහොත් යල් පැනගිය මොන්ටෙස්කි බලතල බෙදීම, බලයේ ඉන්නා කල්ලියකගේ ප්‍රජා-තන්ත්‍ර‌යක් හා නීතියේ ආධිපත්‍යයක් වන අතර, අළුතින් වටහා ගත් මොන්ටෙස්කි රීතිය/න්‍යාය යම් රටක විසිරී ඉන්නා ජනයා නාස් ලණුවෙන් ගලවන සාධාරණ සමාජයක් නමැති මාවතකට යොමු කරවන්නේය.

ලංකාවේ අධිකරණ ක්‍රමය බංකොලොත්‌ව ඇති තරම රටට එලිවූයේ රංජන් රාමනායකගේ කුණුහරුප ටේප් වලිනි. මේ ගැන ඔහු දැන් කියන්නේ ඔහු වැනි හාල්මැස්සෙකුට නඩුකාරයින් අල්ලේ නැටවිය හැකි වුනා නම්, ඒ නඩුකාරයින් පත්කල අය කෙසේ ඔවුන් නටවන්නට ඇද්ද යන ප්‍රශ්ණය ජනයාට වැටහී ඇති බවය. ලංකාවේ තරම් සුප්‍රිම් උසාවියේ අග විනිසුරුවන් විහිළුවට ලක්‌වූ රටක් ලෝකයේ තිබෙනවාද? නාගානන්ද කොඩිතුවක්කු පමණක් නොව සුගන්‌ධිකා ප්‍රනාන්‌දු, වික්ටර් අයිවන් විසින්ද (උසාවිය නිහඬයි චිත්‍රපටිය), උසාවි ක්‍රමයේ රෙදි ගලවා ඇත. එස්. එල්. ගුණසේකර මහතාගේ ලෝර් ඔෆ් ද ලෝ ඇන්ඩ් අදර් මෙමරීස් (2011) යන පොතේ අගමැති-තානාපති ගණුදෙනු මට්ටමෙන් පවා නඩුකාර ක්‍රමයට අදාලව සිදුවුණු දූෂණ සඳහන් කර ඇත. වැඩ තහනම් කර සිටින ප්‍රධාන මහේස්ත්‍රාත් තිලින ගමගේ විසින් නොබෝදා බ්‍රිතාන්‍ය කොමසාරිස් විසින් කිසි බයක් සැකක් නැතිව ලියුමකින්ම කල බලපෑමක් එලිකලේය.

ප්‍රජා-තන්ත්‍ර-වාදය, රූල් ඔෆ් ලෝ, ස්වාධීන අධිකරණය ගැන කටමැත දොඩවන, එන්. ජී. ඕ බොරුකාරයින්ට, පරණ යහපාලනකාරයින්ට, කළු සුද්දන්ට, නඩුකාර පංචස්කන්‌ධ ගැන හොඳම සහතිකයක් දී ඇත්තේ නිලයෙන් පහකල හා ප්‍රථම කාන්තා අග විනිසුරුවූ ශිරානි බණ්ඩාරනායකය (ෂමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ, අයිලන්ඩ් පුවත් පතේ ලිපිය, අප්‍රේල් 1). මිසිස් චන්ද්‍රිකා විසින් ඇයව සුප්‍රීම් උසාවියට පත්කල විට ඊට විරෝධතා මතුවිය. මහින්ද රාජපක්‍ෂ විසින් ඇයව අග විනිසුරු කල විටද විරෝධතා පලවිය. කෙසේ වෙතත් මහින්ද-ශිරානි-ප්‍රදීප් කාරියවසම් (ශිරානිගේ සවාමි පුරුෂයා)- යන තුන්‌දෙනාගේ පැණි වරකා ගසට හෙන ගැසීමේ නාටකය, රටට පෙන්‌වා දෙන්නේ යම් තරමකින් හෝ රටක ප්‍රජාතන්ත්‍රවාදයක් රැකෙන්නේ නීති පොත් වලින් නොව, එය භාර මිනිසුන්ගේ අවංකකම හා සද්භාවය උඩ බවය (ජේ. ආර්. විසින් 1977 දී තම මිත්‍ර නෙවිල් සමරකෝන්ව අග විනිසුරු ලෙස පත්කර ඔහුගේ සමහර නඩු තීන්‌දු වලට තිබූ ඇකමැත්ත නිසා 1984 දී කල කතාවක් අල්ලාගෙන ඔහුව නිලයෙන් පහකිරීමට සුදානම් විය. ඊට පෙර සමරකෝන් විශ්‍රාම ගියේය. 1999 දී මිසිස් චන්ද්‍රිකා විසින් මාක් ප්‍රනාන්‌දු වෙනුවට සරත් සිල්වා අග විනිසුරු කිරීම ගැන බලවත් විරෝධයක් පලවිය).

පීපල්ස් පවර් නොහොත් ගම් මට්ටමින් ජනයා බලවත් කිරීම

අර්‌නස්ට් එෆ්. ෂුමාකර් ගේ ස්මෝල් ඊස් බියුටිෆුල් හා බුඩිස්ට් ඉකොනොමික්ස් (1973) යන පොතේ සිට කර්ක්පැට්‍රික් සේල් ගේ හියුමන් ස්කේල් (1980), හියුමන් ස්කේල් රිවිසිටඩ් (2017) යන පොත් දක්වාම කියන්නේද මේ කතාව වඩා පුළුල් අර්‌ථයකින්‌ය. තිරසර සංවර්‌ධනය හා පීපල් පාටිසිපේෂන් යනුවෙනි. මෙම සංකල්ප, <ඔක්කොටම එකඟ වන්නට පුළුවන් විසඳුමක්> ඉල්ලන සම්බන්‌ධන්ට හා <ආපහු ගන්න බැරි ආකාරයේ බලය බෙදීමක්> ඉල්ලන සුමන්තිරන්ට මෙම ධාරා දෙකම (මොන්ටෙස්කි ඔළුවෙන් හිට ගැනීම හා හියුමන් ස්කේල්) අරහංය. මීනින්ෆුල් ඩෙවොලූෂන් ගැන කතාකරණ යුරෝපයේ, කැනඩාවේ, ඕස්ට්‍රේලියාවේ, ජපානයේ, ඇමෙරිකාවේ, එංගලන්තයේ තාමත් ටයිගර් මුදල් හා චන්ද මත යැපෙන දේශපාලකයින්ට මේවා ලියා පෙන්වන ඇමෙරිකන් මහාචාර්යවරුද නැත. ඔවුන් දෙන බේත නම් දකුණු සුඩාන් පාරය! ලංකාවේ බලය පැවරීමේ පාර ජන මූල සභා, ගම් සභා, ග්‍රාම සේවක ඒකක, ප්‍රාදේශීය ලේකම් ඒකක, ප්‍රාදේශීය සභා ඒකක හරහා මිස දිස්ත්‍රික් 24 මට්ටමෙන් නොවිය යුතුය. මෙම රචනාවේ ඉදිරි කොටසකින් පෙන්‌වා දෙන අයුරු, මෙම කුමණ පරිමාණයේ හෝ ඒකක වල මායිම්, ජාතිය, භාෂාව, ආගම අනුව නොව පරිසර-භූගෝල විද්‍යා-ජල විද්‍යා නිර්‌ණායක අනුව විය යුතුය. සිංහල බෞද්‌ධ වෘක්‍ෂය යටතේ ඒකීය රටක් ඇතිකල හැක්කේ ඒ මඟින් පමණය. අන් කිසිම ක්‍රමයකින් සිදුවන්නේ උතුරේ වෙල්ලාල අතලොස්සකට, උතුරේ දුප්පත් හා කුලහීන යයි කියන (උතුරේ සිටි ආදි සිංහලයින්?) ජනයා භාරදීමත්, විදේශ උසිගැන්‌වීම හරහා අනාගත විග්නේෂ්වරන්ලා රට දෙකඩ කර ගැනීමත්‌ය. බලවත් මධ්‍යම ආණ්ඩු යාන්ත්‍රණයක් නැතිව පාර්ලිමේන්තු චන්ද කොට්ඨාශ මට්ටමෙන් මෙය කරන්නට සිතුවොත් (මිසිස් චන්ද්‍රිකාගේ නීලන්-ජී. එල්- ජයම්පති- පැකේජ් ඩීල් ව්‍යවස්ථා කෙටුම්පත් 1995-2001), විශේෂයෙන් ශාරියා-වහාබිසම් මුස්ලිම් ආක්‍රමණිකයින් මුළු රටේම මුස්ලිම් ජනයා නිපදවන නිවාස පැක්ටරි දමා කෙටි කලකින්ම සිංහල බෞද්‌ධයා ගිල දමනු නිසැකය. එය උතුරේ ඊළම්වාදයට වඩා භයානක විය හැකි බව පාස්කු ප්‍රහාරයෙන් එලිවිය.

රත්නජීවන් හූල් හා හිට්ලර්

මෙම කොටස ලියමින් සිටියදී, සමහර විට, මැතිවරණයක් පවත්‌වනවාට විරුද්‌ධව උසාවි ගිය ලෝකයේ එකම මැතිවරණ කොමිෂන් සභා සාමාජිකයා වූවා වියහැකි, රත්නජීවන් හූල් විසින් කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියට, ඩිමොක්‍රසි ඉන් ක්‍රයිසිස්: ඇවොයිඩින් ඩික්ටේටර්ෂිප් යන මාතෘකාව යටතේ ලියමින් (මාර්තු 29) කියා ඇති දේ ඇත්තවශයෙන් බලන විට ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය මොනතරම් බොරුවක්ද යන්න තහවුරු කරණ දුක් ගැනවිල්ලක් වැනිය. ඔහුම සඳහන් කරණ දූෂණ නැතිකරන්නේ කෙසේද යන්න යහපාලන නඩයේ ඉත්තෙක්‌වු ඔහු විසින් සඳහන් නොකරණ අතර, යහපාලන කාලයේ කොමිෂමට අදාලවම සිදුවූ දූෂණ වලට ඔහු විසින් ගතයුතුව තිබූ පියවර වූයේ ඉන් ඉල්ලා අස්වීම නොවේද යන්න ඔහුටම නොතේරෙන්නේ හිරි-ඔත්තප්ප දෙක ඔහුට නොතිබෙන නිසාය. ඒ වෙනුවට ගෝඨාභය ඒකාධිපතියෙක් වෙන්න යනවා යයි ඔහු කියන්නේ, ඔහු වනාහී ලංකාවේ හොර, දූෂිත මැතිවරණ ක්‍රමයේ මුරදේවතාවෙක් බව රටම දන්නේ නැතැයි සිතා විය යුතුය. අස්ගිරි හාමුදුරුනමක් විසින් කල දීර්‌ග අනුශාසනාවකදී, හිට්ලර් කෙනෙක් වෙලා හරි ලංකාව බේරා දෙන්න යයි ගෝඨාභයගෙන් කල ඉල්ලීම අල්ලාගෙන නැටු යහපාලන නැට්ටුක්කරුවෝ, ලංකාවේ සිංහල බෞද්‌ධ ජනයාගේ අභිප්‍රායවූයේද එයම බව ඒ කාලයේදී නොසිතූ අන්දමටම, හූල්ටද දැන්වත් එය අවභොධවී නැතිසේය.

දැලි පිහි ගත් තන්ත්‍ර-වාදී වඳුරෝ

අවුරුදු 70 ක තිස්සේ මුන් රට කෑවා යන විරෝධය එක අතකින් බලනවිට ඊට වගකිව යුතු පංචස්කන්‌ධ වලට සැඟවී සිටීමට ඉඩක් සපයා දේ. සමහර විට සී. ඩබ්ලිව්. කන්නන්ගර, ඒ. ඊ. ගුණසිංහ යන දෙදෙනා හැර 1931 සිටම සිටි ගැහැණු, පිරිමි, ඇමතිවරු, අගමැතිවරු, හා ජනාධිපතිවරු ලංකාවේ සුද්දන් විසින් ඔවුන්ට ලබාදුන් නියෝජිත ප්‍රජා-තන්ත්‍ර-වාදය කෙළෙසූ ආකාරය දිග හැරීමට මෙය අවස්ථාව නොවේ. මහජන යහපතට අදාල යම් යම් දේ ඔවුන්ගෙන් සිදුවූ බවට උදාහරණද ඇත. කිරි කළයට ගොම බිංදු දැමූ අවස්‌ථාද එමටය. උදාහරණයක් වශයෙන් යෝධ ගල් ඔය ජලාශයක් වෙනුවට කුඩා ජලාශ රාශියක් ගංඟා නිම්නයේ ඉහතින් ඉදිකරණ ලෙස දොස්තර වික්‍රමසිංහ මහතා කල ආයාචනා ඩී. එස්ලා ප්‍රතික්‍ෂේප කලේ, ගල් ඔය ව්‍යාපාරය සඳහා කොපිකල ඇමෙරිකාවේ ටෙනසිවැලි මිටියාවත් ව්‍යාපාරයද එසේ ජලාශ රාශියකින් යුක්ත බව නොදැන හෝ දැනගෙනමය. විශාල ඇමෙරිකන් යන්ත්‍රසූත්‍ර සඳහා කල විදේශ විනිමය නාස්තිය අති විශාලය. ඒවා ලංකාව වැනි කුඩා රටකට නොගැලපෙන දේය.

ඒ කාලයේ සිට මේ කාලයට ආ විට, ජේ. ආර් විසින් මඩවඟුරක් ගොඩකර පාර්ලිමේන්තු නගරයක් සැදීමෙන් මද වැස්සකට වුවත් කොළඹ හා අවට ගංවතුරෙන් යටවීම, පරණ පාර්ලිමේන්තුවකට හැතැම්ම දහයක දුරින් අළුත් පාර්ලිමේන්තුවක් සැදීමේ ලෝක වාර්‌තාවට කල සරදමකි. පරිසර හිතකාමී ඉංජිනේරුවන්ගේ උපදෙස් නොතකා හුනුගල් පාෂාණ උඩ ඔහු සාදවා ගත් වික්ටෝරියා ජලාශයේ දුර්විපාක වලට අනාගත පරම්පරා මුහුණ දෙණු ඇත. කොළඹ අසල ඉදිවෙන වරාය නගරය, පියවරෙන් පියවරට සැදිය යුතුව තිබූ හම්බන්තොට වරාය හා රේල් පාරව්ල වෙනුවට සැදූ අධිවේගී මාර්‌ග කෙතෙක් දුරට රටේ සාමාන්‍ය හා දුගී ජනතාවගේ අභිවෘධියට හේතු වේවිද යන්න අනාගතයේදී පෙනීයනු ඇත. ඉහත සඳහන් කල කර්ක්පැට්‍රික් සේල් මේ මෙග ව්‍යාපාර ගැන දැන සිටියා නම් මොනවා ලියාවිද? ආර්‌ථික ඝාතකයෙකුගේ පාපෝච්චාරණ (2004) යන පොතේ ජෝන් පර්කින්ස් විසින් පෙන්වා දෙන පැනමා, ඉක්වඩෝර්, කොලොම්බියා, වෙනිසියුලා, ඉරාන්, ඉන්දුනීසියා යන රටවල සිදුවූ දෙයින් ලංකාව බේරුණාද කියා සිතෙන්නේ ලංකාවේ හඳහන හොඳ නිසා විය යුතුය. රතන හාමුදුරුවන්ද පෙන්වා දෙන අයුරු ඉදිරියේදී රටට අවශ්‍ය අධිවේගී මාර්‍ග නොව රේල් පාරවල්‌ය. ගම්වලට පාරව‌ල්‌ය. කෘෂි නිෂ්පාදන වෙළදපොලට යා කරණ මාර්‌ග පද්ධතියක්‌ය.

ප්‍රජා-තන්ත්‍ර-වාදය කණපිට හැරවීම

අපගේ ප්‍රස්තූත මාතෘකාවට අනුව සිතන විට මේ පක්‍ෂ දේශපාලකයින් කලදේ, වඳුරන්ට දැලි පිහි දීමක් හෝ කකුළුවා දිය සැළියේ සැප වින්දා හෝ වැනිය. මේ කෙරුවාව නිසා, දැන් 2020 දී කවුරුන් හෝ උසාවි හෝ ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය හෝ බලතල වෙන් කිරීමේ පරණ න්‍යාය ගැන හෝ අපක්‍ෂපාත සිවිල් සේවයක් ගැන හෝ කතාකරනවා නම් ඔවුන් රටේ මැරී ඉපදුන පිරිසක් හෝ ඩොලර් කාක්කන් හෝ විය යුතුය. 1815 දී සිංහලයාට අහිමිවූ නිදහස 1948 දී නොලැබීම සංකේතවත් වන්නේ 29(2) වගන්තියෙනි. ඉන් පසු 1960 සිටම වාගේ සිදුවූයේ සුද්දා විසින්, යටත් විජිතයේ සාමය හා මනා පාලනය යන උජාරු වාක්‍යය උඩ ජාම් බේරාගෙන යාම සඳහාවත් ඇතිකල රාජ්‍ය පාලන පද්‌ධතිය කළු සුද්දන් විසින් පියවරෙන් පියවරට විනාශකර දැමීමය. අද වනවිට ඇත්තේ දේශපාලකයා-නිලධාරියා-එන්.ජී.ඕ.කාරයා යන තුන් කොටසෙන් සැදුණ දුෂ්ඨ ත්‍රිකෝණයක්‌ය.

බංගවේවා මාක්ස්වාදීන් හා දේශපාලනය මිනීමැරීමක් කල ජේ.වී.පී කාරයින් පසෙකට ලා සිතන විට. නිල් හා කොල පක්‍ෂ දෙක විසින් කලේ (1) එංගලන්තයේ ඇතිවා මෙන් රටක ප්‍රජාතන්ත්‍රවාදයකට අවශ්‍යවන ව්‍යුහාත්මක කුළුණු එකින් එක (උදාහරණ දෙකක් පමණක් දුන්නොත්, සෙනෙට් සභාව කෙළෙසීම හා අහෝසි කිරීම, ෆිලික්ස් ඩයස් ජයා පතිරණ නම් කුරුණාගල දේශපාලකයා සුප්‍රිම් උසාවියට පත් කිරීම) 1960 සිට බිඳදමා ලීමත් (2) 1981 සිට චන්ද දායකයාට තම වෝඩ් එකට හෝ පාර්ලිමේන්තු මැතිවරණ කොට්ඨාශයට නියෝජිතයෙකු පත්කර ගැනීමට ඇති අයිතිය අහෝසි කිරීමත්‌ය. පාර්ලිමේන්තුව විසින් නීති පනවා ඇති ක්‍රමවේදය, කතානායකලා ඒවාට අත්සන් කර ඇති ආකාරය යනාදිය ගැන සිතන විට, ජනාධිපති මෛත්‍රීපාල, රනිල්ව අගමැති කමෙන් ඉවත්කල අවස්ථාවේදී, බටහිර තානාපතිලා ලංකාවේ පාර්ලිමේන්තුව නිදහස රකිනා බලකොටුවක් යයි කල ප්‍රකාශ හාස්‍ය ජනකය. මෙම චන්ද ක්‍රමය තිබෙන තාක් ලංකාවේ මොන කෙහෙල් මල් තන්ත්‍රවාදයක් වත් නැත. එසේනම්, නැති ප්‍රජාතන්ත්‍රවාදයක්, ගෝඨාභය විසින් හෝ වෙන කෙනෙක් විසින් හෝ නැති කරන්නේ කෙසේද? හූල්ට නොතේරෙන්නේ මෙයය.

1959 අගමැති ඝාතනය, 1962 කුමණ්ත්‍රනය, 1964 ලේක්‌හවුස් කුමණ්ත්‍රනය (මන්ත්‍රීන්ට පගාදී ආණ්ඩුව එක චන්දයෙන් පරාද කිරීම) විශේෂ සිදුවීම්‌ය. සී. සී. දිසානායකගේ පුතා (රවි කරුණානායකගේ මවගේ සහෝදරයා) ලිව්වේ 1962 ක්‍රිස්තියානි හා දෙමළ කුමණ්ත්‍රනය බෞද්‌ධ පන්නයේ එකක් කියාය. හේතුව කුමණ්ත්‍රනයේ නායක සී. සී විසින් ඊට සම්බන්‌ධ නිලධාරීන්ට, එන්. කිව් ඩයස්, ෆිලික්ස් ඩයස්, සිරිමාවෝ යනාදී අය අල්ලා ගන්නට යන විට තම පිස්තෝලයවත් නොගෙන යන ලෙසට අණ කිරීමය! අල්ලා ගන්නට ගිය අය ලඟ ආරක්‍ෂාවට පිස්තෝල තිබුණොත් කරන්නේ කුමක්ද? පසුව එලිවූ පරිදි, ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිමූර්‌තියක් ලෙස සළකන ඩඩ්ලි (සර් ජෝන් සමඟ) කුමණ්ත්‍රනයට කෙළින්ම හවුල් වුණේය. ජේ ආර් විසින් සිඩ්නි ද සොයිසාට දුන් අවවාදයක් අනුව ජේ ආර් ද එය දැන සිටි බව නිසැකය (1959 අගමැති ඝාතනයට හවුල්වූ ඉන්ස්පැක්ටර් නිව්ටන් හා සිඩ්නි අතර රහස් සාකච්චා තිබී ඇත).

ඒහි පස්සිකෝ හා ඒකාධිපතිවාදය

රාජාණ්ඩුක්‍රමයක් හා ගම් සභා ක්‍රමයක් සහිතව සිංහලයින් අවුරුදු දහස් ගණනක් ජීවත්‌වුයේ ගම-වැව-දාගැබ යන සමාජ ආර්ථික මොඩලය යටතේය. රදල ක්‍රමයක අංගද තිබුණත් ඒ සියල්ලේ සමතුලිත භාවයක් දක්නට ලැබුණේය. යමෙකුට මරණ දණ්ඩනය දීමේ බලය තිබුණේ රජුට පමණය. හැම රජෙක්ම දශරාජ ධර්‌මය අනුගමනය නොකලත්, පාලකයා දරන්නේ රටේ භාරකාරත්‌වය පමණක් බව සමහර විට අමතක වුනත්, මෙවැනි අදහස් යුරෝපයට ආවේ පුනරුද අවධියේදී හොබ්ස්, ලොක් රූසෝ, මොන්ටෙස්කි, කාන්ට් යනාදින් හරහා නෙවේද යයි සිතන විට සිංහලේ රාජ්‍යය ඉතාමත් ඉහළින් සිටී. බ්‍රිතාන්‍ය කාලයේදී සිදුවූයේ සුද්දන් විසින් නිලතල දුන් කළු සුද්දන්, කච්චේරියේදී සුදු ඒජන්ත ඉදිරියේ බලු පැටවුන් සේ හැසිරී, ගමට ගොස් අසරණ වැසියාට පුස් පාට් දැමීමය. තමන්ගේ හීනමානය, ජනයා ඉදිරියේ අධිමානයක් කර ගන්නට බැලීමය. මහමුදලිලා අශ්වයා පිටින් යන විට ජනයා පාරේ කාණුවට බැස්සා කියන්නේ ඒ නිසාය.

1971 න් පසු ජේ. වී. පී. කාරයින් එතෙක් පැවති මාක්ස්වාදී සම සමාජ බංග වේවා දේශපාලනය, දේශපාලන විරුද්‌ධවාදීයා මරණ ක්‍රමයක් බවට පෙරළුවත්, විනය ගරුක සමාජයක් සඳහා හැසිරීමේ සීමාවන් පිලිගැනීම සිංහල බෞද්‌ධයෙකුට අසීරු කාරණයක් නොවේ. සෙසු ලබ්ධීන් මෙන්, එනු අදහණු (කම් ඇන්ඩ් බිලීව්) වෙනුවට බුද්‌ධාගමේ කියන්නේ එහි පස්සිකෝ (කම් ඇන්ඩ් එක්සැමින්) යනුවෙනි. මේ නිසා ලබාදෙන මානසික නිදහස, සිතීමේ නිදහස නිසා අනිකුත් ආගම් අදහන අයව මෙන්, (දෙවියන් දැකීමට යන (දර්‌ශන්) හින්දු ආගම හැර) ඓතිහාසිකව, මාක්ස්වාදයට හෝ ක්‍රිස්තියානි අන්‍යාගමීකරණයට හෝ අළුතින් ඒකාධිපතිවාදයකට ගොඳුරු කරගැනීමට අපහසුය. අවුරුදු පන්සීයකට පසු ක්‍රිස්තියානීන් ඉන්නේ සියේට 10 ක් පමණ වීමටත්, 1935 සිටම දඟලා 2019 අග වන විට මාක්ස්වාදීන් ඉන්නේ සියේට 3 ක් පමණක් වීමටත් හේතුව එයය.

කෝප වුවත් රජ මැතිඳුන් ගත නොහෙනා, ශිල්පය මෙන් බෞද්‌ධයෙකුගේ හිත හොරකම් කිරීමට හෝ බලයෙන් අල්ලා ගැනීමට හෝ, ඒකාධිපතියෙකුට නොහැකිය. ආර්ය අෂ්ටාංගික මාර්‌ගයේ බලපෑම මෙයය. ගිහි ජීවිතය ගෙවන ආකාරය ගැන බුදු දහමේ ඇති ඉගැන්‌වීම් අඩංගු වන සූත්‍ර ගණනාවක්‌ම තිබේ. සරලව මේ ගැන සිතුවොත්, ආර්ය අෂ්ටාංගික මාර්‌ගයේ, ශීල (වචන, කර්‌මාන්ත/ක්‍රියා, දිවි පෙවෙත (සම්මා වාචා, කම්මන්ත, ආජීව); සමාධි (උත්සාහය/වෑයම, සිහිය, සිතේ එකඟ කම (වායාම, සති, සමාධි); ප්‍රඥා (දැක්ම, කල්පනාව (දිට්‌ඨි, සංකප්ප) යන ගුණාංග වලින්, වචන, ක්‍රියා, දිවි පෙවෙත, උත්සාහය, ඒ කාලයේ බෞද්‌ධ දර්‍ශණය පිළිඹඳ මහාචාර්ය ඩබ්ලිව්. එස්. කරුණාරත්න විසින් කියා සිටි චන්දදායකයින්ගේ සිදුවිය යුතු බාහිර විප්ලවයට අයත් කාරාණා හතරය.

1977 මහ මැතිවරණයේදී ජේ ආර් විසින් ඔහු ගොඩනැඟීමට යන ධර්‌මිෂ්ට සමාජය චන්ද වේදිකාවල කියා දීමට පාවිච්චිකලේ ඩබ්ලිව්. එස්. වය. සන්තානගත විප්ලවය සිත ඇතුලතින්‌ය. බාහිර විප්ලවය ලෙස ජේ ආර් සැළකුවේ මත්ස්‍ය න්‍යාය බව දැන සිටියේ ජේ ආර් පමණක්ම විය යුතුය. මහාචාර්යවරයා කඩේ ගිහින් රැවටුන, කලකිරුණු පංචස්කන්‌ධයක් වූ බව ඇමෙරිකන් තානාපතිකමෙන් පසු මහබැංකුවේ දුන් කතාවකින් එලිවිය. චන්දය දිණූ පසු ජේ. ආර්. තම ධර්‌මිෂ්ට පාලන ගමන ඇරඹුවේ ඩබ්ලිව්. එස්. ලවා පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට ඉංග්‍රීසියෙන් දේශණයක් ලබා දීය!

සිංහල බෞද්‌ධ ශාසනයේ/සමාජයේ පිරිහීම

මධ්‍යම ප්‍රතිපදාව, ජීවිතයේ තාවකාලික සවභාවය, අනිත්‍යය, මෙත්තා-කරුණා-මුදිතා-උපේක්ඛා චරියාව, කුඹුරේ කුරුළු පංගුවක් වෙන් කල, ගස්-ගල් වලට පවා ගරු කල සිංහල බෞද්‌ධයින් හා අන් ලබ්ධීන් අතර වෙනස කොරෝනා මළමිනී ගිනිතැබීමට විරුද්‌ධව හකීම් හා සාලි කරණ මෝඩ කතා වලින් පැහැදිලිවේ. උපුල් ශාන්ත සන්නස්ගල පවා කියන්නේ කොරෝනා හැදී මළේ අල්ලා වුනත් ගිනි තැබිය යුතුය කියාය. රටේ නැති ප්‍රජා-තන්ත්‍ර-වාදයකින්, රට ගොඩ නැඟිය නොහැකි බව, එක පැත්තකින් විග්නේෂ්වරන්, සුමන්තිරන්ලා ගෙනුත්, අනිත් පැත්තෙන් අරාබි තෙල් ඩොලර්, ක්‍රිස්තියානි මූලධ‌ර්‍මවාදීන්ගේ ඩොලර් හා තවත් පැත්තකින් බටහිර අධිරාජ්‍යවාදී රටවල අළුත් සූරාකෑමේ විධි වලට හිරවී ඉන්නා ජනාධිපති ගෝඨාභයට වැටහුණත්, නියම ප්‍රජාතන්ත්‍රවාදය වනාහි ප්‍රජාව නම්බුකාර ලෙස ජීවත් කරවීම නම් ඒ සඳහා දූෂිත ප්‍රජා-තන්ත්‍ර-වාදයට යම් යම් ශල්‍යකර්‌ම සිදුකලයුතුව ඇත. හිට්ලර් කෙනෙක්‌වී හරි රට බේරාගන්න යන අනුශාසනාවේ අර්‌ථය එයය. රටේ සිංහල බෞද්‌ධ චන්ද දායකයා මේ සඳහා ඔහුට බලය දෙන්නේ කල යුතු ශල්‍යක‌ර්‌ම පිළිඹඳව කල්තියා ඔවුන් දැනුවත් කිරීමෙනි. උදාහරණයක් වශයෙන් ගත්තොත්, ඒකීය රටක් සැදීමට ගන්නා පියවරවල් (ක්‍රියා මා‌ර්‍ග) මොනවාද?
තිස් අවුරුදු යුද්‌ධය නිසා මිනිසුන්ගේ යටි සිතට කා වැදුන මරණ භය ආත්මාර්‍ථකාමි, වංක පරම්පරාවක් දෙකක් බිහිකලේය. එක පවුලේ අය වෙන වෙනම බස් දෙකක යමින් සිටි සමාජයක්, තාප්පය උස්සා ආරක්‍ෂාව ලබාගත හැකියයි සිතූ සමාජයක් ගොඩ එන්නේ කෙසේද? 2009 මැයි මස 19 දා මේ මනස වෙනස්වුනා කියා සිතන්නේ බැංකි මූන් වැන්නන් පමණය. ඒ වෙනුවට දැන් විග්නේෂ්වරන්, සුමන්තිරන්, ශාරියා-වහබ් කල්ලි සනීප වීමටත් පෙර තුවාල පාරමින් සිටිති. රනිල්, සිරිසේන, මංගල, චන්ද්‍රිකා, මනෝ ගනේෂන්ලාගේ සංහිඳියා වැඩ නිසා තිබුණ සංහිඳියාවත් නැතිව ගියේය. සිංහල බෞද්‌ධයින්ගේ හදවතට සමීපවූ දන්නෝ බුදුන්ගේ ගීතය ඔපරා ක්‍රමයට ගයන්නට බොරු නිදහස සමරණ දිනයම (2016 පෙබරවාරි 8) තෝරාගන්න ඕනෑද? ඉන් එකම රටක්-මහ බලයක් ගොඩ නැඟේ යයි සිතූ යහපාලන මෝඩ රැළ කවුද? එවැනි අපහාසයකින් සැමරීමේ සමඟ 1978 සිට ආවේ ලොකු මාළුවා පොඩි මාළුවා ගිල ගන්නා සමාජයකි. තමන්ගේ ආරක්‍ෂාව තමන් විසින්ම කරගත යුතුයයි කියන්නේ කැලෑ නීතිකාරයෙක් මිස ප්‍රජාතන්ත්‍රකාරයෙක්ද? තම කුඩා දරුවාට බොරු කියන්නට උගන්වන්නේ පාසැලකට දමා ගන්නය. සිසේරියන් කර කලින් දරුවා එලියට ගන්නේ පාසැලට දාන වර්‍ෂය පසු නොවීමටය. දෙකට නැමී ලොරි චැසි බස් වල යන්නේ අන්ත අසරණ වීය. හැම පන්සලකම සෝවාන්‌වූ හාමුදුරු නමක් සිටියත්, මෙවන් සමාජයක පිරිහීම නතර කල හැකිද?

(මතු සම්බන්‌ධයි)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2020 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress