සම්ප්‍රදාය ඔස්සේ අභියෝග ජය ගනිමු
Posted on April 4th, 2020

මතුගම සෙනෙවිරුවන්

              ශත වර්ෂයකට ඉහත වසූරිය වංසගතයෙන් පීඩා විඳි මෙරට ජනතාව නැවතත් වරක් ඒ තුන් බියෙන් වෙලී සිටී.රටම එක කලාපයක් ලෙසට ගෙන අඳුරු නීතිය දමා වරින් වර වසා දැමීම හේතු කොට ගෙන සියලු මානව ක්‍රියාකාරකම් අකර්මණ්‍ය ව ඇත. අතීතයේ දී නම් මෙවැනි වසංගත තත්වයකදී හෝ ආපදා පන්න අවස්ථාවන්හිදී ගම් දහයක එකමුතුවකින් සැදි සභාවකින් ( ගම් අඩවි යුත් අටදෙනා) පෙදෙස් පාලනයකරමින් අභියෝග ජයගත් බව ඉතිහාසයෙන් පෙනේ. තමන්ගේ රටේ ඉතිහාසය මත පදනම්ව තීරණ ගැනීමට හුරුව නැති පාලනයක් තුළින් මෙවැනි දේ අපට බලාපොරොත්තු විය නොහැකිය. එසේ කලා නම් මේ තරමට ජනතාව අසීරු තාවයකට පත් වන්නේ නැත. ලංකාව කුඩා රටක් වුවද තනි මධ්‍ය ගත මෙහෙයවීමකින් ආර්ථික ක්‍රියාකාරකම් හැසිරීම ලෙහෙසි පහසු නොවේ. කෙසේ වෙතත් නිවෙස් වලට කොටුව සිටින ජනතාව යළිත් තම අතීතයට එබිකම් කරමින් මහ පොළව සමග පොර බදන්නට පටන් ගෙන ඇත. මිරිස් පැළයක් බටු පැළයක් මයියොක්කා දණ්ඩක් වැල් අලයක් මහ පොළවට දැමිය යුතු කාලය මෙයයි ඉවකින් මෙන් කියා දී ඇත. ආණ්ඩුව ඒවාට පිවිසෙන්නට ප්‍රථම මේ ජානමය හැකියාව ඔවුහු උරගා බලන්නට පටන් ගත්හ.ජනතාවගේ ආහාර ඇඳුම් පැළදුම් බෙහෙත් සහ නිවෙස් යන මූලික අවශ්‍යතාවන් සඳහා ස්වයංපෝෂිත බව ලබා ගැනීම ට අවශ්‍ය සම්පත් රට තුළ පිහිටා තිබේ.පසුගිය දශක කීපය තුළදී විවෘත ආර්ථක සංකල්පයන් මත මේ ස්වයංපෝෂිත භාවය යටපත් කොට තැබූහ.මේ නිසා ජනතාව වේගයෙන් ඇදී ගියේ තොරොම්බල් විච්චූරණ මත යැපෙන ආර්ථිකයකටයි. අද එහි ප්‍රතිවිපාක ඇස් පනා පිට දකින්නට ඇත.තවත් මාසයක් රටම වසා තැබුවහොත් අනිවාර්යයෙන්ම විශාල දුර්භික්ෂයක් පැමිණෙනු නිසැකය. රාජ ධම්මො ප්‍රජා රක්ඛා යයි පෙර සිරිත කියා දෙයි. එහි ගැඹුර දන්නෝ අවංක බෝසත් පාලකයන්ය.

       වසංගත වලින් බේරීමට මූඛ වාඩම් දැමිය යුතු යැයි සෞඛ්‍ය අංශ උපදෙස් දෙති. එහෙත් රෙදි කැබැල්ලේ මුඛවාඩම පවා ගෙන එන්නට පිරටට යැපෙන්නට සිදුව ඇත. රෝහල් වල භාවිත කරන පුළුන් ටික ගෝස් ටික පවා වැඩි වශයෙන් පිටරටින් ගෙන්වති. ගමේ තිබූ පෙහෙකම් හල් වසා දමා ඇඟ ලුම්කම්හල් වලට දක්කන ලද ගැමි තරුණියන් අද අනාථව ගම් රටවල් වලට දිව යති. ඇමරිකාවෙන් ලැබෙන හිඟන කෝටාවෙන් නඩත්තු කළ මේ ඇඟලුම් කම්හල් දේශිය අවශ්‍යතාවන් සඳහා යොදා ගත්තේ නම් කෙතරම් ආඩම්බරයක්ද.පේෂකර්මය පිළිබඳ නිපුණතාවයන් අපේ මූන් මිත්තන් අතර තිබුණේ කුවේණි ගේ කාලයේ සිට බව ඇත්තකි. එහෙත් එදා සිට වර්තමානය දක්වා එම ශිල්පයන් පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන පැමිණි පිරසට අද ඇත්තේ ලොකු වටිනාකමක් නම් නොවේ. මෙවැනි එක පරම්පරාවක් තමයි. උඩුදුම්බර තලගුණේ කියන ගම්මානයේ ජීවත් වුණේ.රෙදි වියන්න පමණක් නොවෙයි  හැඩට වැඩට රටා දමන්නත් ඔවුන්ට දක්ෂතාවයක් තිබුණා. ඔවුන් ගේ මුල් පරම්පරාවන් ගමේ කපු වවල නූල් කැටීම කරලයි. නූල් හදා ගත්තෙ.

         විසිවන සියවස මුල් කාලය වන විට මේ පාරම්පරික ශිල්පීන් ගැන උනන්දුවක් ඇතිවී උඩරට කලා සංගමය බිහිවූ බව පැවසෙයි. මේ සංගමයත් සමග කටයුතු කළ ආනන්ද කුමාරස්වාමි මහතා තලගුණේ ගම්මානයට ගොස් තොරතුරු එකතු කොට ඔහුගේ මධ්‍යකාලීන සිංහල කලා නම් ග්‍රන්ථයට ඇතුලත් කර තිබේ.වර්තමානයේ එම පරම්පරාවේ සාමාජිකයන් ඒ අතීතය ගැන මෙසේ පවසා සිටිති.

     ටිකිරාති කියල සිටිය අපේ මිත්තනියක් තමයි තලගුණේ රෙදි පිළි රටා ඉදිරිපත් කරල තියෙන්නෙ. එදා තලගුණේ කපුවත්ත කියන ඉඩම් වල කපු වවල නූල් කැටල නූල් සායම් පොවල තමයි රෙදි වියල තියෙන්නෙ. පොළවේ සවි කළ අලුව තමයි රෙදි වියන යන්ත්‍රය. මේ අල්වලෙ රෙදි වියන එක ආසියාතික බොහෝ රටවල තියන ක්‍රමයක්. නමුත් අපේ අළුව අපටම ආවේණිකයි. වර්තමාන රෙදි වියන යන්ත්‍ර යේ ෂටල් එකට  අපි කිව්වේ නඩාව කියලයි.වොප් එකට කීවේ. නූල් හැදය කියලයි.රීඩ් එක පනාව යනුවෙන් නම් කලා. නූල් ඔතන යන්ත්‍රය හුළුදෑවයි. ඔහොම සවිමත් භාෂාවකින් තමයි මේ හැම දෙයක්ම තේරුම් කරල දීල තියෙන්නේ. අපේ පරපුර රාවණා යුගයේ සිට පැවතෙනවා  කියල තමයි අහල තියෙන්නේ. ඉන්දියාවෙන් ලංකාවට ආ ශිල්පීන් නිසා අපි වෙනස් වුණේ නැහැ.වර්තමානයේ තලගුණේ පවුල් දහයක පමණ මේ රෙදි පිළි කර්මාන්තය කෙරෙනවා. අපිට හොඳ වෙළඳෙ පළක් තිබෙනවා. නමුත් ක්‍රමයෙන් අපේ දූදරුවන් මේ කර්මාන්තයෙන් ඈත් වෙලා යනවා. නමුත් මම  මගේ දරුවන්ට මෙය උගන්වලයි තියෙන්නෙ.

          දුම්බර රටාවෙන් හැඩ ගැසුණු පුරාණ දිය කච්චිය අද වියමනට යන්නේ නැත.රටා දැමූ බුලත් මඩිස්සලයද එසේමය. ඒවා කෞතුකාගාරයට එක් වී තිබේ.අලුව ප්‍රදර්ශන උපකරණයක් පමණි. නමුත් ඉන්දියාව බුරුමය වැනි රටවල තවමත් මේ අලුවෙන් වැඩ ගන්නා හැටි අන්තර්ජාල තොරතුරු වලින් හෙළිවෙයි. තලගුණේ හේන් වල කපු වැවීමෙන් පසු කපු ඇට වෙන් කරන්නට ගත් යන්ත්‍රය කපු කපන යන්ත්‍රයයි. මේ කපු කපන යන්ත්‍රය වටා එක් රොක් වී තලගුණේ අඟනුන් කපු කැපූ හැටි කියැවෙන පුරාණ කවි සිවුපද දෙකක් දක්වමින් මෙහි සඳහන් කරනු වටී.ඒ එදා තලගුණේ පෙහෙකරුවන් ගේ ලෝකය විය.

මූකලන් කොටා කපු ඇට ඉසින්නේ. දෙපෙති වෙලා පැලපත ලොකුව යන්නේ

සමසක් ගිය කලට මල් බොකල වන්නේ-වෙසක් මසට සුරතල් කපු පිපෙන්නේ

රටින් ගෙනා වද විරුදු යන්තරේ – මෙරට තිබෙන්නේ කපු කපන යන්තරේ

ගැරෙන්ඩියට මතුලට අහයිද මන්තරේ -දී යන් ළඳේ නුඹ කපු කපන යන්තරේ

අඳුරු නීතියට හිරවී සිටින සමයක අපේ ග්‍රාමීය ආර්ථකය ක්‍රමයෙන් ක්ෂය වී යන බව පැහැදිලියි. පිටරටින් ගෙන්වන ආහාර ද්‍රව්‍ය පමණක් නොව රෙදි පිළි පවා ඉදිරියේ දි හිඟ වේවි. එ නිසා ගමේ තිබෙන පේෂ කර්ම ශාලාවලට නැවත පණ දී රෙදි පිළි වියාගතහොත් අපගේ මූලික අවශ්‍යථා වලින් එකක් පිරිමහගන්න පිළිවන් වේවි.

මතුගම සෙනෙවිරුවන්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2020 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress