ආහාර අර්බුදයක් ඇති නොවීමට සහල් බල ගන්වමු
Posted on April 10th, 2020

මතුගම සෙනෙවිරුවන්

               පවතින වසංගත තත්වය හමුවේ බරපතලම හානිය සිදුව තිබෙන්නේ දේශීය ආර්ථිකයටයි. නිෂ්පාදන ආර්ථිකය මෙන්ම සේවා ආර්ථිකයද බිඳ වැටෙමින් පවතී. මේ තත්වය හමුවේ දෛනික ආහාර වේල සරි කර ගත නොහැකි විශාල ජනතාවක් සිටිනු නිසැකය. අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑමට රජය විසින් දියත් කරනු ලැබූ වැඩ පිළිවෙල තුළ ත්‍රිවිධ හමුදාවේ කාර්යය  අති විශිෂ්ට ලෙස සිදු වේ. නමුත් රටේ තොග වෙළඳාම සහ සිල්ලර වෙළඳාම සීමා සහිත තත්වයකට පත් වී තිබේ. ප්‍රා දේශීය ලේකම් කාර්යාල හරහා සහ බලපත් සහිත අලෙවි කරුවන් හරහා ආහාර බෙදා හැරීම සිදු වුවද එහි බරපතල අඩුපාඩු ඇත. කෙසේ වුවත් රටේ ප්‍රධාන ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය වූ  වී නිපැයුම මිලදී ගැනීමට රජය විසින් හමුදාව මැදිහත් කරුවා ලෙස යොදා ගැනීම තුළින් මේ වන විට මෙට්රික් ටොන් විසිපන්දහසක් පමණ ප්‍රමාණයක් වී අලෙවි මණ්ඩලයට ලබා ගැනීමට හැකිව තිබේ. එය හොඳ තත්වයකි. එසේම ගොවීන්ට රුපියල් පණහක සහතික මිලක් ලැබීම බෙහෙවින් සතුටට පත් විය හැකි කාරනණයකි.නමුත් රජය විසින් මිලදී ගෙන ඇත්තේ ඉතා අල්ප ප්‍රමණයකි. පෞද්ගිලක අංශය විසින් වී මෙට්රික්ටොන් ලක්ෂ 33 කට ආසන්න ප්‍රමාණයක් මිලදී ගෙන තිබේ. දැන් අවශ්‍යව ඇත්තේ බත් කන මිනිසුන්ට සහ විවිධ ආහාර අනුභව කරන සමස්ත ජනතාවට සාධාරණයක් ඉටු කරලීමයි.

     වී මෙට්රික් ටොන් එකක් යනු සහල් මෙටිරික් ටොන් පහලොස් දාහක් හෝ දාසයදාහකි. තිරිඟු පිටි මෙට්රික් ටොන් දශලක්ෂ දාහතරක පමණ ප්‍රමාණයක් වාර්ෂිකව ලංකාවට ගෙන්වන්නේ ජනතාවගේ ආහාර අවශ්‍යතාවයට සහ ආහාර කර්මාන්ත අවශ්‍යතාවයන්ටය. මේ සඳහා කාලයක් තිස්සේ තිරිඟු පිටි සහනාධාර ක්‍රමයක් ලංකාවේ ක්‍රියාත්මක විය. පී.එල් . 480 ගිවිසුම යටතේ ඇමරිකාවෙන් ලැබුණ සහනාධාරය දෙස බලා සිටි යුගයක් ද විය.  2019 වර්ෂය වන විට මේ තත්වය තවත් වෙනස් වී අතිරේකව මෙට්රික් ටොන් ලක්ෂ තුනහමාරක පමණ තිරිඟු පිටි තොගයක් ද ලංකාවට ගෙන්වා ඇත.            ලංකාවට ගෙන්වන තිරිඟු පිටි වලින් සියයට විස්සක් පමණ පරිභෝජනය කරන්නේ වතුකරයේ ජනතාවයි. බහුතර සිංහල ජනතාවද තමන්ගේ දෛනික ආහාර අවශ්‍යතාවයට සෘජුව තිරිඟු පිටි හෝ ආහාර යොදා ගනිති. මේ නිසා තිරිඟුපිටි සහනාධාරය කාලයක් තිස්සේ දේශපාලන අවශ්‍යතාවයක් විය.නමුත් මෙම වසංගත තත්වය හමුවේ තිරිඟු පිටි ලංකාවට ගෙන්වීම අර්බුයක් බවට පත් වීමට ඉඩ ඇත. ඒසේ නම් එම අර්බුදය ජය ගැනීමට  අපට සැලසුම් තිබිය යුතුය. වී වලින් සහල් සකස් කර බත් ප්‍රධාන ආහාරය බවට පත් කර ගන්නා අතර සහල්  බල ගන්වා සහල් පිටි බවට පත් කරලීමට වී අලෙවි මණ්ඩලයට හැකි විය යුතුය. නමුත් තිරිඟු පිටි වල මෙන් සහල් වල ග්ලූටන් නැත. පාන් ඇතුලු බේකරි නිෂ්පාදන සකස් කරලීමට නම් සහල් පිටි විවිද ආකාරයෙන් බල ගැන්විය යුතුය.ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය දියුණු කර ගැනීමට නව නිපැයුම් කරුවන් උත්සාහ කර තිබුණේ මීට වර්ෂ කීපයකට පෙරාතුවයි.එහි එක් උදාහරණයක් නම් හෙල්තිෆ්ලා නම් නිෂ්පාදනයයි.අරුණ කාන්ත බණ්ඩාර නම් නිපැයම් කරුවාගේ අදහසක් අනුව එය ක්‍රියාත්මක විය.

      දිනකට සහල් මෙට්රික් ටොන් දහයක් එකවර ඇඹරිය හැකි සහල් පිටි යන්ත්‍රයක් නිර්මාණය වීම එහි ආරම්භක අවදිය   විය.      එහි වෙසෙසියාව වූයේ අඩු උෂ්ණත්වයක් යටතේ මයික්‍රොන් 125 ට වඩා ඉතා කුඩා සහල් පිටි අංශු වියළි තත්වයක් මත ලැබීමයි. මෙය බණ්ඩාර මහතාගේ සොයා ගැනීම විය.මෙම සහල් පිටි යන්ත්‍රයේ අනෙක් විශේෂත්වය වූයේ අඩු විදුලි බලයකින් ධාවනය කළ හැකි වීමයි. මේ සමගම සහල් පිටි ගබඩා කිරීමේ ක්‍රියාවලිය සඳහා ද ඔහු විප්ලවීය වෙනසක් කර ඇත. ඒ සඳහා අවශ්‍ය සංවෘත ගබඩාව නිර්මාණය කරන ලද්දේ අරුණ ශාන්ත බණ්ඩාර මහතා විසිනි.මේ ව්‍යාපෘතිය සඳහා කෝටි හතරක පමණ මුදලක් වියදම්ව ඇති බව ද පැවසෙයි.                                                                                                         මෙම සහල් පිටි සියයට පණහක් තිරිඟු පිටි සමග මිශ්‍ර කරමින් පාන් සෑදීමට හැකි බවද සොයා ගන්නා ලදී. එසේම තිරිඟු පිටි වලින් සෑදිය හැකි සියලුම ආහාර මෙම පිටි වලින්ද සෑදිය හැකි බවද ඉන්පසු තහවුරු කරන ලදී. සාමාන්‍යයෙන් සහල් පිටි පාන් සෑදීමේ දී අනුගමනය කළ යුතු පිළිවෙත් කීපයක් ද වෙයි. එයට හේතුව සහල් පිටි වල ග්ලූටන් ප්‍රතිශතයක් නොවීමයි. පළමුවෙන් සහල් පිටි ජලයෙන් තෙත්කර අනතුරුව පාන් පිටි සහ අනෙකුත් ද්‍රව්‍ය කලවම් කිරිම මෙහි ක්‍රමයයි. මෝලිය සාදා ගැනීමේ දීද ඇඹුල් කිරීමේදීද අනුගමනය කළ යුතු ක්‍රම කීපයක් සඳහා මෙහිදී උපදේශ සපයයි. පාන් පිපීම වැඩි කර ගැනුමට අවශ්‍ය නම් සෙන්ටිග්‍රේඩ් අංශක 170 ටසකස්කළ පොරණුවකට දමා අනතුරුව විනාඩි දහකින් සෙ.ග්‍රේ.240 දක්වා වැඩි කිරීම කළ යුතු වෙයි.                                                                                          මේ තත්වය එසේ තිබියදි සාමාන්‍ය ගෘහස්ථ පරිභෝජනය උදෙසා සහල් පිටි යෙදවීමේ අරමුණ ජය ගැනීමට නම් එනම් ඉදිරියේ දී නිර්මාණය විය හැකි තිරිඟු පිටි හිඟය මග හරවා ගැනීම සඳහා මයික්‍රෝන 125 ට අඩු සහල් පිටි නිෂ්පාදනයන් ඉතා පහසුවෙන් වෙළෙඳ පළට සමීප විය යුතුය. ඒ සඳහා හොඳම මග නම් සමූපකාර සහ  ස.තො.ස වෙළෙඳ පළ ජාලයයි.දැනට රජය මිලදී ගෙන ඇති වි තොගයෙන් යම් කිසි ප්‍රමාණයක් සහල් පිටි බවට පත් කරලීමට උත්සාහ දැරීම එයට ඇති හොඳම විසඳුමයි. ස.‌තො.ස. ආයතනයත් හෙල්තිෆ්ලා ආයතනයත් එක්ව සහල් පිටි නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්බ කරන්නේ නම් සමූපාකර ය තුළින් සහ ස.තො.ස අලෙවි සහල් තුළින් සිල්ලරට සහල් පිටි ලබා ගන්නට ජනතාවට හැකි වනු ඇත. පාන් නිෂ්පාදනය පැත්තකින් තැබුවද රොටි ඉඳි ආප්ප ආප්ප මෙන්ම තිරිඟු පිටි වලින් සෑදිය හැකි ගෘහස්ථ නිෂ්පාදන රාශියක් මෙම මේපිටි වලින් සෑදිය හැකි බව නොඅනුමානය. මේ මගින් වතුකරයේ ජනතාවගේ පිටි අවශ්‍ය තාවය සියයට සීයයකින් සපිරි හැකිය. වසංගත තත්වයක් හමුවේ පවා අනාගතය සඳහා තීන්දු තීරණ ගත යුතු අවස්ථාව මග හැර යා නොහැකි බව මෙහිදී මතක් කල යුතුය.                                                                                               මතුගම සෙනෙවිරුවන්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress