කල්මුණෙ හෙදි නේවාසිකාගාරයේ සිදුවී ඇති මංකොලල්ය
Posted on April 11th, 2020

සමස්ත ලංකා හෙද සංගමය.

භද්‍රාණී ජයවර්ධණ මහත්මිය
ලේකම්,
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය,
කොළඹ 10.

මහත්මියනි,

කල්මුණෙ අශ්රොෆ් මූලික රෝහලේ හෙදි නේවාසිකාගාරයේ සිදුවී ඇති මංකොලල්ය හා හෙදි නිලධාරීන්ගේ ආරක්ෂාව සැලසීම සම්බන්ධවයි


2020. 04. 11 (අද) දින අළුයම 1.30 ට පමන කල්මුණේ අශ්රොෆ් මූලික රෝහලේ හෙදි නේවාසිකාගාරයට ඇතුළු වු සොරුන් විසින් හෙදි  නිලධාරීන්ට මරණ තර්ජනය කර ඔවුන් කීපදෙනෙක් සතු මුදල් හා රන් භාණ්ඩ පැහැර ගෙන ගොස් ඇත. ඒ හමුවේ හෙදි නේවාසිකාගාරයේ රැදී සිටින හෙදි නිලධාරීන් දැඩි භීතියකට හා අනාරක්ෂිත තත්වයකට මුහුණ දී ඇත. මේ සම්බන්ධව ඔවුන් විසින් කල්මුණේ පොලීසියටද පැමිණිලි කර තිබේ.

හෙදි නේවාසිකාගාරය රෝහල් භුමිය තුල පිහිටා තිබුනද ඒ වෙනුවෙන් කිසිදු ආරක්ෂක වැඩපිළිවෙලක් සපයා දී නොමත. මීට පෙර අවස්ථා කීපයකදීද අනවසරයෙන් පුද්ගයින් පැමිණි අවස්ථා තිබී ඇති අතර ඒ පිළිබදව වෛද්‍ය අධිකාරී ඇතුළු බලධාරීන්ට දැනුම් දුන්නද කිසිදු ආරක්ෂක වැඩපිළිවෙලක් සලසා නොදුන් බව ඔවුන් පවසා සිටී.

මෙම නේවාසිකාගාරයේ රැදී සිට ඇත්තේ රටේ දකුණු ප‍්‍රදේශයෙන් පැමිණි හෙදි නිලධාරීන් වන අතර ඔවුන් භාෂාමය, සංස්කෘතිමය හා වෙනත් දුෂ්කරතා ගනනාවක් මධ්‍යයේ වුවද සිය රාජකාරී කැපවීීමෙන් ඉටු කර ඇත. මතුව ඇති #කොරෝනා ආසාදන තත්වය හමුවේ වුවද ඔවුන් අද දක්වා රෝහලේ රැදී සිට රෝගී සත්කාරයේ නිරත වූහ.

නමුත් අද දහවල් වන විට ඔවුන්ට මතුව තිබූ අනාරක්ෂිත තත්වය හමුවේ තවදුරටත් යහපත් මානසිකත්වයකින් රාජකාරී කිරීමට නොහැකි වටපිටාවක් මතුවී ඇත. ඒ අනුව නේවාසිකාගාරයේ සිටි හෙදි නිලධාරීන් 11 දෙනෙකු අද දින නේවාසිකාගාරයෙන් ඉවත් වන්නට තීරණය කර ඇත. ඔවුන් ඒ සම්බන්ධව ආයතන ප‍්‍රධානියාට ලිපියක් මගින් දැනුම්දී නිවාඩු ලබා තම නිවෙස් වෙත පැමිණීමට කටයුතු කර ඇත. ඔවුන් තීරණය කර ඇත්තේ නේවාසිකාගාරය සඳහා විධිමත් ආරක්ෂාවක් සහතික කර දෙන තුරු නැවත රාජකාරිය සදහා නොපැමිණීමටයි.

එබැවින් මේ ගැටළුව සම්බන්ධව විශේෂ මැදිහත්වීමක් සිදුකර සොරකමට සම්බන්ධ චූදිතයින් අත්අඩංගුවට ගැනීමටත්, නැතිවු දේපල නැවත සොයාදීමටත් අවශ්‍ය නීතිමය කටයුතු සිදුකරන ලෙසත්, හෙදි නේවාසිකාගාරය සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක විධිමත් ආරක්ෂාවක් සපයා හෙදි නිලධාරිනියන්ගේ ආරක්ෂාව සහතික කර දීමටත් කටයුතු කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

ස්තුතියි.

මෙයට,
හෙද නිලධාරී එස්. බී. මැදිවත්ත
ප‍්‍රධාන ලේකම්
සමස්ත ලංකා හෙද සංගමය.

පිටපත්
01. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා (අ.ක.ස)
02. වෛද්‍ය අධිකාරීතුමා – අශ්රොෆ් මූලික රෝහල
– කල්මුණේ (අ.ක.ස)
03. පොලිස් ස්ථානාධිපතිතුමා – කල්මුණේ (අ.ක.ස)
04. අදාල හෙද නිලධාරිනියන් (දැ.ස)
05. සියළුම ජනමාධ්‍ය ආයතන (දැ.ස)


Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress