වසංගත හමුවේ ජනාවාස සැලසුම්කරණය ගැන අලුතින් සිතා බලමු
Posted on April 12th, 2020

මතුගම සෙනෙවිරුවන්

              ලෝකයම වෙලා ගත් නව වසංගත තත්වය හමුවේ අද වන විට සියල්ලෝම හුදකලා වී සිටිති. ඇඳිරි නීතිය වේවා නගර වසා තැබීම  වේවා මගින් ඇති කරන ලද සමාජ දුරස්ථකරණය හමුවේ කාර්මික විප්ලවය විසින් ඇති කරන ලද ගෝලීය මනෝභාවය අර්බුදයට පත්ව තිබේ. ලංකාව දූපතක් බැවින් වසංගත තත්වයන් නිරතුරු පැතිරෙන්නේ සාංක්‍රමණිකයන්ගෙනි. මේ නිසා ගුවන් තොටුපළ වසා දැමීමට සිදු විය. විදෙස් වලින් පැමිණි සියලු දෙන නිරෝධානයකට ලක් කෙරිණ.හැත්තෑව දශකයේ සිට වර්ධනය වූ වෙළෙඳ පළ ආර්ථික ක්‍රමය මේතත්වය තුල බිඳ වැටෙමින් පවතී. නිවාස අඩස්සියට පත් ජනතාව තමන්ගේ කුටුම්භය අවට පරිසරය ගැන නැවත හිතන්නට පටන් ගෙන ඇත. ගෙවතු වගා පෙරළියකට මං පෙත් විවර වී තිබේ.එහෙත් තාප්ප වලින් වටවූ පර්චර්ස් දහයකට පහකට සීමා වූ නාගරිකයන් සුසුම් හෙළමින් මානසික පීඩනයන්ට ලක්ව සිටිති.මෙයට හේතුව විවෘත ආර්ථික සංකල්ප තුළ පහළ වූ නූතන ජනාවාසකරණයයි.1914 දී පමණ බ්‍රතාන්‍යයෙන් බිහිවූ නූතින නගර සැලසුම් සංකල්ප ලංකාවට ආදේශ වන්නට වැඩි කලක් ගත වූයේ නැත. 1947 දී නගර හා ග්‍රාම නිර්මාණ සැලසුම් පණත බලාත්මක වීමෙන් පසු බ්‍රිතාන්‍ය වාස්තු ශිල්පීන් අනුගමනය කළ පුද්ගලයන් ලංකාවෙන් ද බිහි විය. අනුරාධපුර නව නගරය බිහිවන්නේ ඒ මග ගිය ඔලිවර් වීරසිංහල නම් මහත්මයෙකුගේ සංකල්පයකට අනුවයි. එහි ඇත්තේ අපේ ඉපැරණී  ක්‍රම වේදයන් නොවේ.

          සිංහලෙයෝ ගම් ගොඩ නගා නගර බිහිකරන්නට සැලසුම් කර ඇත්තේ විජයාගමනයටත් පෙර  පැවති ශිෂ්ඨාචාරය තුළ දී බව පුරා විද්‍යා සාධක මගින් ඔප්පු වී ඇත. පණ්ඩුකාභය රජ දවසදී මෙලෙස නැන් වී තිබූ ගම් එක් කර විධිමත් සැලසුමකින් රාජ්‍ය ගොඩ නැන් වූ බව කියැවෙයි.අනුරාධපුර නගරය සැලසුම් කිරීමේදී අනුගමනය කළ වාස්තු සැලසුම් සැබවින්ම ඉතා නවීන නගර සැලසුම් පරදවයි. විසිඑක් වන සියවසේ ( බුද්ධ වර්ෂයෙන් නම් විසිහය වන සියවසේ ) අද දවස වන විට ලෝකයේ ජනගහන ව්‍යාප්තිය අනුව නගර මෙන්ම ජනාවාස සැලසුම්කරණයට ඇත්තේ සීමිත භුමි ප්‍රමාණයකි.ලංකාවේ ජන ඝනත්වය තුළ නිවාස පිහිටා තිබෙන ආකාරය ගැන කල්පනා කර බැලුවහොත් බස්නාහිර කලාපයේ ඉතිරිව පවතින්නේ ඉතා කුඩා භුමි භාගයන්ය. ඒ අතර අධිනගර වැනි නවීන සංකල්ප මගින් ලංකා භූමියෙට යෝග්‍ය නොවන  යෝජනා ඉදිරිපත් වෙමින් ඇත. වරාය අසල මුහුද ගොඩකර වරාය නගර සැදෙමින් ඇත. ගම්බද ජනාවාස සඳහාද රජයට නිශ්චිත ප්‍රතිපත්තියක් නොමැත.

      පසුගිය කාලයේ ගං වතුරවෙන් හෝ නාය යෑම් නිසා අවතැන් වූ ජනතාව සඳහා නිවාස ලබා දීමේ අරමුණින් කට්ටි කඩන ලද භූමි ප්‍රමාණයන් විශාලය.ඒ හැම ඉඩම් කට්ටියක්ම පර්චර්ස් දොළහේ කොටස් වේ. රජයේ වතු හෝ පුද්ගලික වතු වල ඉඩම් මේ සඳහා වෙන්කරගෙන ඇත. මෙම ජනාවාස සැලසුම් කර ඇත්තේ ප්‍රා දේශීය ලේකම් මිනුම්දෝරු අධිකාරිය සහ දේශපාලන අධිකාරියේ මැදහත් වීමෙනි. මෙම ජනාවාස සැලසුම් දෙස විශ්ලේශණාත්මක බලන කල්හි එම සැලසුම් සැබවින්ම වර්තමානයට නොගැලපෙන යල් පැන ගිය සැලසුම් බවට හෙළි වෙයි.

       1973 නිකුත් වූ ඉඩම් කොමසාරිස් ගේ පාලන වාර්තාවේ ඉඩම් ජනාවාසකරණය ගැන මෙලෙස දක්වා තිබේ.භෞතික සැලසුම් කිරීමේ ක්‍රමයද වගාවට හා නිවාස සදහා ඉඩම් කට්ටිවලට මුහුණලමින් මාර්ග අද්දර නිවාස පිහිටි හා සැතපුම් එකක් හෝ දෙකක වට ප්‍රමාණක් සහිත ගොවිපළවල් වලින් යුක්ත රේඛීය ක්‍රමය එකකි. මේ ක්‍රමය තීරු සංවර්ධනය නමින් ප්‍රසිද්ධය. මේ ක්‍රමයෙහි එක් අවාසියක් නම් ප්‍රජා සංවර්ධනයට එය හිතකර නොවීමයි. ජනපදිකයන් අතර පවතින සමාජ සම්බන්ධය අඩුවේ. නිවාස තැනින් තැන විසිරී පවත්නා හොයින් විදුලි බලය ජල පහුසුකම් හා අනෙක් වානිජ පහසුකම් සැපයීම් ඉතා වියදම් සහිතයයි ඔවුන් පවසති. අනෙක් ක්‍රමය වන්නේ නිවාස එක ළඟ පිහිටි ඒකරාශී ජනාවාස ක්‍රමයයි.

           සැබවින්ම යුරෝපීයන් අනුදත් මෙම ඒකරාශී ජනාවාස ක්‍රමය දැන් අප දශක ගණනාවක් තිස්සේ අත්හදා බලා තිබේ. කවුඩුල්ල පොළාන්නරුව සේම මහවැලි ජනාවාස පිහිටුවීමේ දීද මේ ක්‍රමයන් දෙකම අඩු වැඩි වශයෙන් යොදා ගෙන තිබේ. මේ ජනපදිකයන් ගේ වර්තමාන ජීවන රටාව දෙස බලන කල්හි ඔවුහු එකිනෙකා ගෙන් වෙන්වූ පෞද්ගලිකත්වයට මුල් තැන් දෙන පිරිසක් ලෙසට පත් වී තිබෙන බව පෙනේ. ඔවුන් ගේ කුඹුරු ඉඩම් පිහිටා තිබෙන්නේ කි.මී. දෙක තුනක් ඈතින්ය. මේ ගොවිපළවල් වලට යෑමට ඊමට තිබෙන පහසුකම් අවමය. ඒවා දියුණු කරන්නටද නොහැකිය. පාරවල් තාර දැමීමෙන් ප්‍රශ්ණ විසඳී නැත. සිදු වු ඇති එකම දේ ගොවීන් විශේෂයෙන් තරුණයන් ගොවිතැන අත්හැරීමයි.වීදි දෙපස ගෙවල් සෑදිම මේ නවීන ජනාවාස රටාවේ ක්‍රමයයි. ගොවිපල හෝ වැව ප්‍රධාන නොවුණු මහපාර ප්‍රධාන වන මේ ක්‍රමය තුළ මුල් උදුරා  ඉවත් කරන ලද පිරිසක් රටට බිහිකර තිබේ. මෑතකදී උතුරේ අවතැන් ජනතාව පදිංචි කරවීමේදීද අනුගමනය කර ඇත්තේ මෙවැනි ක්‍රමයකි. උතුරේ අවතැන් සිංහල ජනතාව පදිංචි කරවීමේ දී හමුදාව විසින් අනුගමනය කර ඇත්තේද ඒකරාශී හෙවත් පොකුරු ගම්මාන ක්‍රමයයි. විශේෂ පරිශ්‍රමයකින් මහපාර තනවා තාර දමා විදුලිය අරන් දීමෙන් පසු. පාර දෙපස තීරු වෙන් කොට පදිංචි කරවීම නිසා අද මේ ප්‍ර දේශ වල සුවිසල් ප්‍රශ්ණ ඇති වී තිබේ. ප්‍රධාන ප්‍රශ්ණය නම් පානීය ජලය නොමැති යි. දෙවැන්න ගොවිපළක ආශ්‍රය නොලැබීමයි.ගොවිපළකට යෑමට අලි ගැවසෙන භූමි ප්‍ර දේශ පසුකරමින් කී.මී. දෙක තුන යෑම් ඊම් කල යුතුය. මේවා නාගරික ජනාවාස ලෙසට වැඩෙන්නට ඉඩ හැර තිබේ. ගම් වල බහුතරයක් දුප්පතකම නිසා උදේ රැයින් පිටවී කුලී වැඩට යති. ගැහැණුන් ගාමන්ට් වල රැකියා සඳහා යති.මේ ගම්වල තිබූ පැරණි වැව් කපා හෙළමින් පාරවල් දැමීමද සිදු වේ ගමත් වැවත් පන්සලත් අතර තිබෙන සම්බන්ධය බිඳි වැටීමට මෙම ජනාවාස කරණය බෙහෙවින් බලපා තිබේ.

    සිංහලයන් ගේ පැරණි ගම වනාහි වැවක් කඳුරක්  උල්පතක් අශ්‍රිතව බිහි වූවකි. වැව් ගම්මානයක් නම් ගම්මැද්දේ නිවාස ඝණය පිහිටා තිබුණි. වැව  යටතේ පෝෂණය වූ කෙත් බිම් අසලම විය.හේන පිල්ලෑව තිස්බඹේ සහ ඔබ්බෙන් වූ වනය නිසා ආහාර සුරක්ෂිතතාවය මැනවින් අත්දැකිය හැකි විය. වැව් ගම් ස්වයංපෝෂිතය. අටු කොටු පිරී පැවතුණි. ගම්මුන් වැවෙන් වතුර පානය කළහ ස්නානය කළහ ගවාදි සතුන් පවා නෑවූහ. වැවෙන් නිකුත් කළ ජලය කුඹුරු කරවන්නට යෙදුණි. වැව පාමුළ සිසිල් දියෙන් පිරි ළිඳක් ද ඇතැම් විට විය . වැවේ සාමූහික ක්‍රියාවලිය නිසා ගැමියන් ගේ භූමිපුත්‍ර අයිතිය තහවුරු විය. කඳුකර ගම්මානයන්ද එසේ වුවද එහි භූමි පිහිටීම් මත නිවාස ඉඳි කිරීමේ කලාව වෙනස් ලෙස දකින්නට හැකිය..පුරාණ යක්ෂ වංශික ගම්මානයන් බොහොමයක් කඳුකරව වර්ධනය වූ බව පුරා විද්‍යාත්මක සාධක වලින් තහවුරු වෙයි.

    වසංගත තත්වය මත ගෝලීය සමීපබව වෙනස් වී තිබේ. ලෝක ආර්ථිකයක් මගින් පාලනය වීමද අර්බුදයට පත් වෙමින් පවතී. ලංකා රජය මේ සම්බන්ධව නිශ්චිත අදහසක් නොමැතිව වල්මත් වී සිටී.අඳුරු නීතිය නිසා අර්බුදයට ලක් වූ ආර්ථිකය දේශීයත්වයට නැඹුරුවන ආකාරයට ගොඩ නගන්නට දරනා උත්සාහයක පෙර නිමිත්තක් පවා නැත.නාගරික ජනාවාස මෙගා නගර වෙනුවට සුන්දර ගැමි වට පිටාවකින් යුත් තදබදයෙන් තොර ගම්මාන සෑදීම දිරි දීම කළ යුතු බව මේ විපතෙන් අප ලත් පාඩමයි. මහල් නිවාස වුවද උද්‍යනයක් පොදු ගෙවත්තක් සිහිතව සැලසුම් කරලීමට අපට බල කරයි.විහාර මහා දේවී උද්‍යානය යනු එම සංකල්පය නොවේ.එය ජනාවාස රටාවෙන් වියුක්ත ය.ආහාර ලොරි නිවෙස් අසලට පැමිණෙන තෙක් බලා සිටින අතමිටේ මුදල් නොමැතිව ලතවෙන ජනමනස වෙනස් කරන්නට මේ කාලය බව මෙරට ජනතාව ට හැඟෙන්නේ නම් බෙහෙවින් සතුටට පත් විය යුතුය..

‍ මතුගම සෙනෙවිරුවන්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress