කොරෝනාව කල සේවය: සුනිල් පෙරේරාගේ පින්කෙත- 2015 හා 2020 අතර වෙනස
Posted on April 12th, 2020

චන්ද්‍රසිරි විජයවික්‍රම

ලංකා ලංකා පෙම්බර ලංකා
පිනවමු ඔබ ලංකා
හොබවමු ඔබ ලංකා
දිවිදී
සුරකිමු ඔබ ලංකා…

බලි තරු රාවණ ගැමුණු විජයබා
නිරිඳුන් ලද ලංකා
පුලතිසි දැමි සිරි රහල් කුමරතුඟු
පඬුවන් ලද ලංකා
විදු සක්‌විති මහ පැරකුම් කිවිසුරු
කිවියන් ලද ලංකා
ඔබ රැකුණොත් ලොව කුඹුවද අපහට
ශීත ගඟුලි ලංකා

ලංකා ලංකා පෙම්බර ලංකා…

මහවැලි කළු කැළැණී වලවේ
අත් හතරක් ඇති ලංකා
සමනොල කිරිගල් පිදුරුතලා
නෙක කෙහෙ ගැට බැඳි ලංකා
තේ වතු පොල් වතු කෙත්‌ වතු පෙළ
උකුළේ නළවන ලංකා
මුහුදින් අඟලක් ඔබ වැවෙතොත්
එහි පනිමු පනිමු ලංකා

ලංකා ලංකා පෙම්බර ලංකා…

හෙළ මුතු මිණි වැල් එකට දමාලා
ඔබ සරසමු ලංකා
ගස් වැල් වලැ මල් එකට ගොතාලා
ඔබ පළදමු ලංකා
රුහුණේ කිරි පැනි එකට හනාලා
ඔබ පිනවමු ලංකා
ඔබ වෙනුයෙන් එන වෙඩි සැර
මල් පෙති සේ සලකමු ලංකා

ලංකා ලංකා පෙම්බර ලංකා…

ඔබ හට අත පොවනට උන් මුන් හට
ඉඩ නොතබමු ලංකා
අවහොත් මෙහි උන් ලුහුබඳවා
ගොළු මුහුද ගෙවමු ලංකා
ගොඩ දියෙ අහසේ හැමතැනැ
ඔබගේ නම කියවමු ලංකා
අවසනැ ඔබටමැ පොහොරට
මේ කය මෙහිමැ හොවමු ලංකා

ලංකා ලංකා පෙම්බර ලංකා…

ගායනය: සුනිල් ශාන්ත
පදබැඳුම: අරිසෙන් අහුබුදු

මේ දිනවල මා ලියමින් සිටින ලංකාවේ බොරු ප්‍රජාතන්ත්‍රවාදය නමැති ලිපි මාලාවේ හතරවන කොටසට පෙර, මෙම ලිපිවලින් ඉදිරිපත්කරමින් සිටින මගේ පණිවුඩයට කෙළින්ම අදාලවන උදාහරණයක් පසුගියදා මතුවිය. එය මා දැනගත්තේ සේපාල් අමරසිංහගේ යූ-ටියුබ් බ්ලොග් එකෙන්‌ය (අප්ප්‍රියෙල් 10, 2020). ගායන ශිල්පී සුනිල් පෙරේරාගේ පුතා කොරෝනා නිසා ඇමෙරිකාවේ හිරවී සිටින බවත්, ඔහු ලංකාවට ගෙන්‌වා ගැනීමට විධියක් නැතිව සුනිල් පෙරේරා වික්‍ෂිප්තව සිටිනා බවත්, මෙය කටේ නරිවාදන් රෙද්දපල්ලෙන් බේරීමක් බවත් මුහුණු පොත ඔස්සේ ප්‍රචාරය වනවා යයි සේපාල් කියයි. මේ ගැන ඔහු කරණ විග්‍රහය කියවූ විට මට මතක්‌වූයේ 2015 දී නන්දා මාලිනි ගැයූ පින්කෙත ගීතය යොදාගනිමින් සුනිල් පෙරේරාගේ කල දේශ භ්‍රෂ්ට කතාවට විරුද්‌ධව මා ලියූ රචනාවය (ලංකාවෙබ්, 2015/9/01 ). එය නැවත මෙහි පහතින් කොපිකර ඇත.

සුනිල් පෙරේරා මේ බලු කියමන කරණ විට ඔහුගේ දැන් ඇමෙරිකාවේ හිරවී සිටින පුතාත්, තව කොල්ලන් දෙන්නෙකුත් ඊට හිනාවෙමින් සිටින හැටිත්, එසේ හිනාවෙන විට, එය නැවැත්‌වීමට සුනිල් ක්‍රියා නොකිරීම නිසා සුනිල් දුන් නිවැරදි පණිවුඩය, එනම් වරද රටේ පවතින දූෂිත ක්‍රමයේ මිස රට ඇත්තටම පින්කෙතක් බව යන්න, රටට කල අපහාසයක් හා අවමානයක් බවට පෙරළුණු බව, සේපාල් පෙන්‌වා දෙන්නේය. මෙම සේපාල් වීඩියෝව හරහා අප දැන් නැවතත් දකින්නේ ලංකාවේ බොරු ප්‍රජාතන්ත්‍රවාදය ගැන නොදන්නාකමින්ම සුනිල් විසින් කල ප්‍රකාශයකි. සුනිල්ලා වැනි ලක්‍ෂ සංඛ්‍යාත ජනයා නොදැනගෙන දන්නා මෙම සත්‍යය ඔවුන්ට දැනගෙනම දැනගන්නට සළස්‌වන්නේ කෙසේද?

සුනිල්ට තම පුතා ගැන ඇති භය සුළුපට නොවිය යුතු යයි මට සිතෙන්නේ ඇමෙරිකාවේ විශාල පඩියකට යූ.එන්.ඕ රක්‍ෂාවක් කරණ, නිව්‍යෝර්ක් සිට කොළඹට මාස තුනක නිවාඩුවක් සඳහා පැමිණ මාර්තු අග ආපසු යෑමට සිටි අවුරුදු හැට පිරි මා දන්නා අවිවාහක කාන්තාවකගේ කතාවය. අප්‍රියෙල් 10 දා ඇය දැනගත්තේ ඇගේ නිව්‍යෝර්ක් තට්ටු නිවාසයේ අයෙකුට කෝරෝනා සැදුන බවය. මේ නිසා ඇගේ කොළඹ ජීවත්‌වන ඇගේ වැඩිමහල් අවිවාහක සොයුරිය ඇයට කියන්නේ රක්‍ෂාවෙන් විශ්‍රාම ගෙන තමා ලඟට එන ලෙසය. ලංකාවේ පක්‍ෂ දේශපාලක කළු සුද්දන්ගේ වැඩ ගැන කළකිරී රටින් පිටව යාමත්, රටේ හෝ රටින් පිට සිට තමා උපන් රටට ගැරහීමත් කාරණා දෙකකි. ඔවුන් දොස් පැවරිය යුත්තේ බොරු ප්‍රජාතන්ත්‍රවාදයටය. සුනිල් වලිගේ පාගා ගත්තේ මේ දෙකේ වෙනස නොදැනය. තමන්ට ඇති මරණ භය නිසා, දැන් පිටරට ඉන්නා මෙතෙක් මව්බිම හෙලා දකිමින් කතා කල අයටත්, රට තුල සිටිමින් පිටරට යෑමට සිහින දකිණ ගමන් රටට ගරහන අයටත්, මව්බිමේ අගය සිහිපත් කරදීම ගැන කොරෝනාවට අප ස්‌තුති කල යුතු නොවේද? රූප රාජිණියගේ මළසිරුර ගන්නට කැමති කෙනෙක් හොයාගත නොහැකිවූවාසේ ඉතාලියට, කොරියාවට, අරාබි රටවල වැසිකිළි සේදීමට හෝ යාමට අයෙක් සොයාගැනීම අසීරුවී තිබීම කෙතරම් වාසනාවක්ද?

==================

සුනිල් පෙරේරාලාට පේන්නේ නැති අමරදේව දුටු පින් කෙත සිංහල බෞද්ධයා නමැති මුව හමට තඩිබෑම
Lankaweb- September 1st, 2015

චන්ද්‍රසිරි විජයවික්‍රම

සිංහල බෞද්ධ නායකයින් හා හාමුදුරුවරුන්ගේ එකමුතුවක් නැතිකම නිසා ඉන් ප්‍රයෝජන ගන්නා හබන් කුකුළන් අතර කලාකාරයින් සෙට් එකක් දැන් ලංකාවේ බිහිවී සිටී. මීට මාස ගණනකට පෙර බෞද්ධයින් ඇයි මෙතරම් ප්‍රචණ්ඩත්වයට ලොල්” යනුවෙන් ධර්‍මසිරි බණ්ඩාරනායක නම් චිත්‍රපටිකාරයෙක් කල ප්‍රකාශය ලංකාවේ සිංහල බෞද්ධ පදනම විනාශ කලයුතුය” යන රට බෙදීමටද රුකුල් දෙන ඇන්ටි මහාවංශ ව්‍යාපාරයේම වලිග කොටසකි. බෞද්ධ සොල්දාදුවන් සිටිය හැකිද යන මාතෘකාව යටතේ පවා බටහිර සුදු ප්‍රොපෙසර්ලා ලිපි ලියති. මියගිය ස්ටැන්ලි තම්බයියාට ප්‍රශ්නයක් වූයේ බෞද්ධයින් මිනී මරන්නේ කොහොමද යන්නය (හව් කැන් බුඩිස්ට්ස් කිල්). යාපනයේ කුල භේදය වෙනුවට තායිලන්තයේ ථේරවාද බුද්ධාගම හැදෑරීමට ඔහු මුලින්ම පිටරට ගියේය. මේ ගැන මා කලකට පෙර ඉංගිරිසියෙන් ලියූ ලිපියක් තම්බයියාට යැව්වත් ඔහු පිළිතුරක් එව්වේ නැත. ඒ ලිපිය සිංහලට පෙරලා මෙම බ්ලොග් (හරිමග.බ්ලොග්ස්පොට්.කොම්) එකේ දමන්නට සිතා සිටිමි.

දැන් අළුතින්ම මා දැක්කේ බයිලා ගායක සුනිල් පෙරේරා විසින් අමරදේවගේ පින් කෙත මේ ලක් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා” යන ගීතය හාස්‍යයට ලක්කිරීමේ සිද්ධියයි. සුනිල් පෙරේරා ඒ ගැන හිරු ටී වී එකට කල මිනිත්තු 20 පැහැඳිළි කිරීම තමන් නොදැනම ඔහු විසින් කරන ලද ඇන්ටි මහාවංශ ව්‍යාපාරයට කඩේ යාමක් බව මගේ අදහසය. අවංක මෝඩයින්, වංක මෝඩයින්ට වඩා නාස්තිකාරීය. ධර්‍මසිරි වංක මෝඩයෙක් නම් සුනිල් අවංක මෝඩයෙකි.

සුනිල්ගේ කතෝලික පවුලේ දහ දෙනෙක් විය. ඒ අතරින් බෞද්ධ කෙනෙක් කසාද බැඳගත්තේ
සුනිල් පමණය. සුනිල්ගේ කාතාව අනුව සුනිල්ගේ නෝනා ඇගේ දුවට පල්ලියට යන කෙනෙක් සොයන සේය. සුනිල්ගේ ගෙදර ජේසු රූපය ලඟින් බුදු පිළිමයක් තබා ඇත. සුනිල්ගේ නෝනා ගෙනා අඟල් දෙකේ බුදු පිළිමය වෙනුවට සුනිල් ලොකු බුදු පිළිමයක් ගෙනාවේය. එය දුටු සුනිල්ගේ අම්මා හ්ම්” කියා ගියේය. ඉස්ලාම් ආගමේ මෙන් රූප/පිළිම වන්දනාව ක්‍රිස්තියානි ආගමේදී අයිඩොල් වර්ෂිප් කියා මුලදී හැඳින්වුනත්, දැන් කාරණා වෙනස් වී ඇත.

සුනිල් අසන ප්‍රශ්නය නම් ලංකාව පින් කෙතක් නම් හැමෝම ලංකාව අතහැර පව්කාර රටවලට යන්නේ ඇයි කියාය. ඒ රටවල සුද්දන් ලංකාවට එන්න පොර කන්නේ නැත්තේ ඇයි? ලංකාව ටොප් නම් ලංකාවේ ඉස්පිරිතාල වෙනුවට අගමැතිලා ජනාධිපතිලා පිටරට ඉස්පිරිතාලවලට යන්නේ ඇයි? පිටරට ලමයි ලංකාවේ ඉස්කෝළවලට එන්නට පොර නොකන්නේ ඇයි? ලංකාවේ ලමයි පිටරට ඉස්කෝලවලට යවන්නේ ඇයි? මේ ප්‍රශ්න වලට බයිලා උත්තර නොසෑහේ.

සංගක්කාරට සිංදු කියන්නට හෝ තමන්ට ක්‍රිකට් ගහන්නට දීම සුනිල් සළකන්නේ නූගත් අය පාර්ලිමේන්තුවට යාම වගේය. ඔහුගේ ඕ ලෙවල් සාමාර්‍ථය ඒ සඳහා නොසෑහෙනවායයි සුනිල් පවසයි. සුනිල්ගේ පවුලට, පුතාගේ ඇමෙරිකා අධ්‍යාපනයට ප්‍රශ්න නැති රටේ ප්‍රශ්න ගැන නිහඬව ඉන්නැයි සුනිල්ගේ නෝනා කරන ඉල්ලීම සුනිල් තරයේම ප්‍රතික්‍ෂේප කරයි. සමාජයේ විෂමතාවන්ට බයිලා මගින් නිර්දය ලෙස පහරදීමේ සුනිල්ගේ මේ ප්‍රතිපත්තිය නිසා වරක් එක් තරුණ දේශපාලකයෙක් සුනිල්ට හිරිහැර කලේය. එහෙත් ඔහු හදිසියේ මිය ගියේය.

සුනිල් කියන්නේ දේශපාලකයින් මන්ත්‍රීකම් සඳහා යන්නේ ඔවුන් තමන් නොදන්නා බව නොදන්නා නිසාය කියාය. සුනිල්ගේ මේ කියමනෙන් පේන්නේ සුනිල්ට ඔහුම කියන යථාවාදී ලෙස සිතීම මඟහැරී ඇති බවය. දේශපාලකයින් මන්ත්‍රීකම් සඳහා දුවන්නේ ඒ මඟින් ලබාගත හැකි ධනය හා බලය නිසා මිස නොදන්නා බව නොදන්නා නිසා නොවේ. සුනිල් විසින් බයිලා හරහා රටේ ප්‍රශ්න ගැන කරන උපහාසාත්මක විවේචනය අපක්‍ෂපාති නොවේ කියා මම සිතමි. මහින්ද රාජපක්‍ෂ රෙජීමයට පමණක් නොව දේශපාලක කළු සුද්දන් 1948 ටේ සිටම ලංකාවට කල විනාශය සුනිල්ගේ තේමාව වියයුතුය. ඒ වෙනුවට පින් කෙත කතාවක් ඉදිරියට ගැනීමෙන් සුනිල් පෙන්වන්නේ ඔහුද ලංකාවේ ඉතිහාසය පටන් ගන්නේ 1505 න් පසුව කියා සලකන කෙනෙකු බවය. මඩු පල්ලිය දුටුවිට මෙන් නොව තිසා වැව හෝ රුවන් වැලි මහසෑය දකිනවිට මගේ ඇඟ කිලිපොළා යයි. සුනිල්ට වෙන්නේ මෙති අනිත් පැත්ත විය යුතුය.

ක්‍රිස්තියානි පසුබිමකින් හැදුන වැඩුන සුනිල්, ඔහු මියගියාට පසුව ඔහු බෞද්ධයෙක් ය කියා රට දැනගත් ගාමිනී පොන්සේකා මෙන් නොව, කැළනියේ ආර් එස් පෙරේරා (කතානායකව සිටි) පවුල් පවා බෞද්ධ ක්‍රමයට හැරවූ ඉන්දියානු ගායිකා ජී එස් බී රානි (පෙරේරා පවුලට කසාදයෙන් එක්‌වූ) මෙන් වියයුතුය කියා මම නොකියමි (රේඩියෝ සිලෝන් එකේ බණ කීම ආරම්භකරවූයේ ඇයය). නමුත් සුනිල් තමන්ගේ සාමාජ සේවය සඳහා සිංහල බෞද්ධ පදනම හාස්‍යයට ලක් නොකල යුතුය. ඊට හේතුව සුනිල් නොදන්නා බොහෝ දේ ඇති නිසාය.

උදාහරණයක් වශයෙන් දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්‍මස්කන්දා” යන උපත අනුව ක්‍රිස්තියානිවූ ජෝන් ද සිල්වා ලියූ ගීතය 1948 ට පෙර හා පසුව ලංකාවේ ගම්වල ජාතික ගීය විය. ඒ අනුව අනුරාධ නගරය මිහිබට සුරපුරකි. සුනිල් මේ ගීතය දැන සිටියා නම් කොහොමට සිටීද?

සුනිල් පෙරේරලා විසින් දැනගතයුතු කරුණු:

  1. ලංකාව ලෝකයේ බොහෝ රටවල් හා සසඳන විට පින් කෙතකි. ලංකාව විනාශ මුඛයට වැටුනේ යුරෝපීය ක්‍රිස්තියානි බලවේග නිසාය. අද වනවිට ලංකාව අධ්‍යාත්මක හා සදාචාරත්මක අතින් පිරිහී තිබෙන්නේ රටේ හෝ රටේ සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයේ වරදක් නිසා නොව 1832 න් පසුව සිට ක්‍රිස්තියානී සුද්දන් හා කළු සුද්දන් විසින් කල විනාශය නිසාය.
  2. ලංකාව දකුණු ඉන්දියාවෙන් බේරී සිටියේ මුහුද නිසාය. ලංකාවේ සිට ඉන්දියාවට හා ඉන් ඔබ්බට භාෂාව පවා පැතිරී ගියා යයි සිතීමට ශාක්‍ෂි ඇත. උදාහරණයක් වශයෙන් වතුර යන වචනය සිංහල හා යුරෝපයේ ජර්‍මන් භාෂාවේ ඇත. මෙය සිදුවූයේ කෙසේද?
  3. පෘථුවියේ කාන්දම් බලය දක්වන සිතියමක් ගත් විට ලංකාව එහි සුවිශේෂ ස්ථානයක් ගනී
    භූමි කම්පා, සුලි සුලං, සාගත, වසංගත, ගංවතුර, නායයාම් ආදියෙන් ලංකාව ආරක්‍ෂාවී තිබුණේය. අද මෙම විනාශ ලංකාවට එන්නේ අධර්මිෂ්ට දේශපාලක ක්‍රියා නිසාය.
  4. මිනිසුන් රට අතහැර යන්නේ රටේ වරදක් නිසා නොව රටේ පාලන ක්‍රමයේ වරද නිසාය. අමරදේව කිව්වේ රට ගැන මිස රටේ පාලක හොරුන් ගැන නොවේ.
  5. මෙසේ රටහැර යන අය බොහෝ දෙනා සුද්දන්ගේ රටවල, සුද්දන් කරන්නට අකමැති පහල කම්කරු රක්‍ෂාවල් කරන්නේය. මෙය විශේෂයෙන් ශීතල යුරෝපයට හා කැනඩාවට යන දෙමළ ජනයාගේ ඉරණමය.
  6. ඩුබායි හෝ කොරියාවට හෝ යන මිනිසුන් විඳින දුක දන්නේ ඔවුන් පමණය. තුවාලය කසන්නා වාගේ රටින් පිටට යාමට වලිකන මොවුන් වලේ වැටී සල්ලි ටිකක් හොයාගෙන ආපසු ලංකාවට ඒමට සිටින අයය.
  7. ඇමෙරිකාවේ හෝ යුරෝපයේ හෝ මිනිසුන් මානසික වශයෙන් හෝ සෞඛ්‍ය අතින් හෝ ලංකාවේ මිනිසුන්ට වඩා දියුණුද? සල්ලි නැත්නම්, වයසට ගියවිට හෝ ලෙඩවූවිට ඇමෙරිකාවේ බොහෝ දෙනා දුක්බර ජීවිතයක් ගතකරයි.
  8. සුනිල් නොදන්නා දෙයක් නම් සුදු රටවල් වල බුද්ධාගම පැතිරෙමින් පවත්නා වේගයය. පල්ලි වලට සෙනඟ නොපැමිණීම ලොකු ප්‍රශ්නයක් ව ඇත.
  9. මේ රටවල මිනිසුන්ගේ ප්‍රශ්නවල තරම මේ දිනවල ඇමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් ලබා ඇති ජනප්‍රිය බවෙන් එලි දරව්වේ. ප්‍රජාතන්ත්‍රවාදයට මුවාවී ඇමෙරිකාවේ සුළු පිරිසක් සෙසු ජනයා සූරාකන ආකාරය සුනිල්ට ඔහුගේ පුතාගෙන් විමසා දැනගතහැකිය.
  10. ලෝකයේ මිනිසුන්ගේ අධ්‍යාත්මක පිරිහීමට විසඳුම් බුද්ධාගමේ චතුරාර්ය සත්‍යය අනුව ලබාගත හැකි බව දැන් ඉතාමත් පැහැදිලිය. ඩොලර් බිලියන් ගණන් ක්‍රිස්තියානිකරණය සඳහා යොදවන ලෝක ක්‍රිස්තියාන් සංවිධානත්, ඉස්ලාම් තෙල් සල්ලිත් ඉදිරියේ බුද්ධාගම පැතිරී යන්නේ ලංකාව නමැති පින් කෙත ථේරවාදී බුද්ධාගම ලෝකයට රැක දුන් නිසා බව සුනිල්ට වැටහෙනවා නම් ඔහු මෙවැනි උපහාසාත්මක අපහාස නොකරන බව නිසැකය. ඉන්දියාව, පකිස්ථානය, බංගල දේශ්, කොරියාව, ඇෆ්ඝනිස්ථානය, ඉන්දුනීසියාව, පිලිපීනය යන මේ රටවල් කලින් බෞද්ධ රටවල් වුනත් අද සිැුවී ඇත්තේ කුමක්ද?

පෝප් ෆ්‌රැසිස් විසින් බුද්ධාගම ගැන කියන කතාව ඊට කලින් සිටි පෝප්ලාගේ කතාවට වඩා වෙනස් ය. බුද්ධාගමට ගරු කරන බව එය අධ්‍යාත්මික වශයෙන් ශ්‍රේෂ්ඨ බව ඔහු කියයි සුනිල් තම සමාජ සේවයට තම අධ්‍යාත්මික ගුණවගාවද ඇතුලත් කරගත යුතුය.

චන්ද්‍රසිරි විජයවික්‍රම

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress